අපි සමහර පුංචි දේවල් දවසින් දවස පස්සට දානවා පස්සෙ කරනවා කියලා හිතාගෙන. ඒත් අපි දන්නෑ අපිට ඒ පස්සට දාන වැඩ කරන්න ආයෙත් අවස්ථාවක් එනවද කියලා. අපි කසාද බැන්දට, අපි කසාද බැන්දා කියලා මතක සටහනක් විදියට තියෙන්න මඟුල් ෆොටෝ එකක් අපි අරගෙන තිබුණේ නැහැ. ඇය කිහිප වතාවක්ම කිවුවත් ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ එකක් ගමු කියලා ඒ දේ එදිනෙදා වැඩත් එක්ක දවසින් දවස පස්සට ගියේ කවදාවත් අපි දෙන්නා එකට ඉන්න ෆොටො එකක් ගන්න බැරි විදිහටයි.
ඇය දෝනිවත් මාවත් මේ ලෝකේ තනි කරලා ඇය වෙන ම ලෝකයක මිහිදන් වුනේ ඇයගේ මතකය විතරක් මටත් දොනිටත් ඉතුරු කරලා. ඒ වෙනකොට දෝනි ඉස්කෝලේ යන්න පටන් ගත්ත මුල් කාලේ නිසා දෝනිට යාන්තමට තේරුමක් තිබුණා අම්මා ආයෙත් නොයෙන බව. "දුවෙක් කියන්නෙ මලක් නෙවෙයි මල් පැලයක්" ඒ මල් පැලේ පුංචිම පුංචි කොලයකටවත් රිද්දන්නෙ නැතුව පරිස්සම් කරන්න ඕන වස්තුවක්. ඒක ලේසි පහසු වැඩක් නොවුනත් ඒ වගකීම සම්පූර්ණයෙන් මට බාර දීලයි ගියේ දෝනිගෙ අම්මා.
දවසින් දවස ගෙවාගෙන මායි දෝනියි වර්තමානයට ආවේ "අම්මා හිටියනම්" කියන වචන දෙක ඇතුලේ ඒ තනිකමයි වේදනවයි හංගගෙන. මම තාත්තා විතරක් නොවි හැම මොහොතකම උත්සහ කරමින් හිටියේ ඇය හොයන අම්මගේ ආදරෙත් ඇයට දෙන්න. ඒත් මම අම්මා කෙනෙක් වෙන්න හදන උත්සහය සාර්ථක ද කියන දේ දැනෙන්නෙ දෝනිට ම විතරයි. දැං දෝනි ඉස්කෝලේ හතර වසර නිසා තවත් දවසක් ගෙවෙන්න ගෙවෙන්න ඉස්සරට වඩා මල් පැලය ගැන වගකීම ආරක්ෂාව වැඩිවෙමින් තිබුණේ. දවසක් දෝනි ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවේ මගෙන් ඇහුවා "තාත්තේ! තාත්තලගෙ මඟුල් ෆොටො එක කෝ?" කියලා.
දෝනි එහෙම අහද්දි ඒ මොහොත මාව අරගෙන ගියේ දෝනිගෙ අම්මා මඟුල් ෆොටෝ එක ගමු කියලා කියපු මතකයට. දෝනිට බොරුවක් කියලා රවට්ටනවට වඩා හොඳයි කියලා හිතුන නිසා මම ඇත්තම කිවුවා. "අපේ මඟුල් ෆොටෝ එකක් ගන්න බැරි වුනා දෝනි" "ඔය දෙන්නා එකට ඉන්න ෆොටෝ එකක්වත් නැද්ද තාත්තේ?" නැහැ! දෝනි අම්මගේ අර සුදු මල් මාලාවක් දාලා තියෙන ෆොටෝ එක විතරයි තියෙන්නෙ" "ඇයි දෝනිට එක පාරටම එහෙම දෙයක් මතක් වුනේ" "ඉස්කෝලේ ළමයෙක් ගෙනල්ලා තිබුණා එයාලගේ අම්මගේ පොඩි මඟුල් ෆොටෝ එකක්" ඒ අසරණ ප්‍රශ්න ඉස්සරහ මට දෝනිව තුරුල් කරගන්නවා ඇරෙන්න වෙන මුකුත් කරන්නවත් කියවන්නවත් තිබුණේ නැහැ.
මම එදා රෑ කුස්සියේ උය උය ඉද්දි දෝනි තාත්තේ කියාගෙන කුස්සියට ආවේ දෝනිගෙ අම්මගේ සුදු මල්මාලාව දාලා තිබුණු එකම ෆොටෝ එකේ මල් මාලාව අයින් කරලා ෆොටෝ එක අත් දෙකෙන් බදාගෙන පපුවට තුරුල් කරගෙන. "දෝනී ඕක වැටිලා බිඳෙයි පරිස්සමට තිබුණු තැනින් ගිහින් තියන්න" කියලා කිවුවේ වෙනදත් දෝනි ඒ ෆොටෝ එක ඔහොම තුරුල් කරන් ඉන්න නිසා. "තාත්තේ මේ බලන්න" කියලා ෆොටෝ එක මගේ පැත්තට හැරෙව්වහම මගේ ඇඟ පන නැති වෙලා ගියා. "තාත්තේ දැං අම්මයි ඔයයි දෙන්නම මේකේ ඉන්නවා ලස්සනයි නේද" දෝනී ඒ ෆොටො එකේ අම්මගෙ ලඟින්ම වීදුරුව උඩ මාවත් ඇඳලා තිබුණා.