රාත්‍රී කරුවල කලු පාට නැහැ. එතන තියෙන්නෙ මනුස්ස ලෝකෙදි තාමත් වචනවලට පෙරලුණේ නැති වෙන ම පාටක්. කරුවලට ඇස් හුරු කර ගත්ත කෙනෙකුට රෑට ටෝච් එළිය උවමනා වෙන්නෙ කලාතුරකින්. ඝන වනාන්තරයකදි වුණත් ඇස කන ඉව දියුණු කර ගත්ත කෙනෙකුට විශේෂ එළියක් අනවශ්‍ය තරමයි. යුද්ධෙ තිබුණ කාලෙ යුද්ධෙ තිබුණ ප්‍රදේශවල මිනිස්සු රෑට කැලේ පැනලා ජීවිතේ බේරා ගත්තෙ කරුවලේ පිහිටෙන්. තමන්ව ඝාතනය කරන්න හොයන මිනිස්සුන්ට තමන්ගෙන් දැල්වෙන ටෝච් එළියක් කියන්නෙ සංඥාවක්. ඒ නිසා ජීවිතේ බේරා ගන්න නම් කරුවලට හුරු වෙන්න සිද්ධ වුණා.
දැන් වෙලාව රෑ 11 යි. මම ඉන්නෙ මුහුදු වෙරළෙ වැල්ලෙ නිදා ගෙන. රට ඇතුළට වඩා මුහුදු වෙරළ කොහොමත් එළියයි. මට ගෝල්ෆෙස් එකේ දැල්වෙන විදුලි එළි මතක් වෙලා දුක හිතුණා. කොළඹට කොහොමත් කරුවලේ ආලෝකය විඳින්න අවස්ථාවක් නැහැ. ගෝල්ෆෙස් එකේ කරුවල විඳින්න පුලුවන්කම තිබුණත් ආරක්ෂක හේතු මත ඒ අවස්ථාවත් කොළඹට මග හැරිලා. තවමත් මනුස්ස වාසයට හසු නොවුණ මේ වගේ මුහුදු වෙරළවල් කරුවල විඳින්න දන්න මිනිස්සුන්ට ආශිර්වාදයක්.
මම වෙරළෙ වැතිරිලා ඉන්න අතරෙ ම මුහුද දිහා බැලුවා. මුහුද තියෙන්නෙ මගේ ඇස් මට්ටමින්. රැල්ල ඇවිත් වැල්ලෙ හැප්පිලා කිරි පාට පෙණ හදලා බිඳිලා ආපස්සට යනවා. ඉදිරියට ඒමයි ඝට්ටනයයි ආපස්සට යාමයි කියන ක්‍රියා තුන විසින් පෘථිවියේ වෙන කිසිම තැනක දකින්න බැරි චමත්කාර දසුනක් වෙරළයි මුහුදයි මවනවා. මුහුදු රැල්ල ඉස්සරහට විතරක් යන්න තැතනුවා නම් මේ චමත්කාරය මැවෙන්නෙ නැහැ. වැල්ල එක්ක ගැටීම අතහැරියා නම් මේ චමත්කාරය මැවෙන්නෙ නැහැ. ඝට්ටනය කරදරයක් නෙවෙයි ආපස්සට යාම පරාජයක් නෙවෙයි කියලා මුහුදු පෙණ දිහා බලාගෙන ඉන්න අතරෙ මට හිතුණා. මුහුදු රැල්ලක් ටිකක් ඉස්සිලා මගෙ කකුල් දෙක ළගටම ඇවිත් මාව ලාවට වගේ සිපගෙන ආපහු ගියා.
මම ඔලුවට යටින් අත් දෙක තිබ්බා. වැල්ල ටිකක් තෙත ගතියයි. මගේ ඔලුව තිබුණ හරියටම මම ඔලුව තියන්න කලින් රැල්ල ඇවිත් තියෙනවා. වැල්ල කියන්නෙ පුදුමාකාර ගතිගුණ සැගවුණ තැනක්. මතුපිට සීතල වුණාට වැල්ල ඇතුළ උණුසුම්. යුද්ධ කරන්න වුණත් වැල්ලෙ බංකර් හදපු හමුදා බටයො ඒ උණුසුම අත්වින්දා. යුද්ධ කරන්නන්ගෙන් ගැළවෙන්න වැල්ලෙ හැංගුණ මිනිස්සු ඒ උණුසුම අත්වින්දා. ගල්කුළක් වගේ නෙවෙයි වැල්ල තියෙන්නෙ පෑගෙන්න. කකුල්වලට සිහින් කිතියකුත් එක්ක සනීපයක් මතුකරලා දෙන්න. වැල්ල කියන්නෙ කිසිම මමත්වයක් නැති තැනක්. කැස්බෑවන්ට බිත්තර දාන්න කක්කුට්ටන්ට සෙල්ලම් කරන්න හැංගෙන්න වගේම රැල්ල විසින් සෝදා ගෙන යන්නත් ඉඩ දීලා වැල්ල බිම වැතිරිලා ඉන්නවා. වැල්ල ගැන කල්පනා කරද්දි මිනිස්සු හිත්වල පුරවා ගෙන ඉන්න සිතුවිලි ගණනාවක් මට මතක් වුණා.
පෑගීමට ලක් වීම ඝට්ටනය ආපස්සට යන්න සිදු වීම මිනිස්සු දකින්නෙ පරාජයක් බාධාවක් විදියට. මේ නිසාම ඒ ක්‍රියාකාරකම්වලින් සිද්ධ වෙන චමත්කාර විවරණය හෝ විවෘත වීම එයාලට පේන්නෙ නැහැ. පරාජයක් හෝ බාධාවක් කියන සිතුවිල්ල මනසට වැටෙන පළවෙනි තත්පරේදිම චමත්කාරය දකින්න ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තරයේ ඉපදෙන ඇස් සියල්ලම ක්ෂණයකින් වැහිලා යනවා. පරාජය හෝ බාධාව කියන සිතුවිලි මතුපිට තලයට ගෙනෙන්නෙ මිනිස්සුන්ගෙ මමත්වය විසින්. වැල්ලක් විදියට වැල්ලක ශක්තිය දරා ගෙන ඉපෙදන මනුෂ්‍යයා කාලයත් සමග කිසිවෙකුට පහසුවෙන් ළං වෙන්න සහ රටා මවන්න ඉඩ නොදී තමන්ගෙ වටේට ගොඩ නගා ගන්න ගල්කුළු මගින්. ඒ ගල්කුළු නිසා ඔහු හෙමිහිට තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති කෙනෙක් බවට පත් වෙනවා...
මට ඕෂෝගෙ පැහැදිලි කිරීමක් මතක් වුණා. මගෙ ඔලුවට ආව හැම දේම වගේ ඒ වචන ඇතුළෙ ගැබ් වෙලා තියෙනවා...
මමත්වය යනු යමෙකුගේ ස්වකීය අඥානකමේ මදයයි
සෑම ප්‍රචණ්ඩත්වයක්ම උපදින්නේ එතැනිනුයි
එනම්
ප්‍රචණ්ඩත්වය උපදින්නේ මමත්වය තුළිනුයි
යම් මිනිසෙකුට තමන් යනු සියලුම දේ බවත්
ලෝකයේ ඉතිරි සියලු දේ පවතින්නේ තමන් සදහාම බවත් දැනෙයි
ඔහු තමන් කේන්ද්‍රය සේ දකියි
එනම්
සියලු පැවැත්ම සදහා පවතින නාභිගත ලක්ෂය තමන් පමණකැයි සිතයි
මෙම මමත්වයෙන් උපදින සූරා කෑම
ප්‍රචණ්ඩත්වය නම් වෙයි...