මතක මිහිර තීරු ලිපිය : හැබෑ නොවෙනා හීන හරි මිහිරියි (452)

post-title

පුතා ලැබුණු දවස්වල ඉඳලම සිරී ට මං කියලා තිබුණේ ස්ටුඩියෝවකට ගිහින් අපි තුන්දෙනාගේ ෆොටෝ එකක් අරගෙන රාමු කරලා තියාගමු කියලා. ඒත් ඒ වැඩේ දවසින් දවස පස්සට ගියේ ඒ ගැන උනන්දුවක් උවමනාවක් නැති කමට ම තමයි.

ගේ පිලිකන්න පැත්තෙ බිත්තියේ එල්ලලා තියෙන කණ්නාඩි කෑල්ලෙන් තමයි ඉස්සර සිරී රැවුල කැපුවේ. සිරී රැවුල කපන වෙලාවට මාත් එතනින් එහාට මෙහාට යනවා දරුවවත් වඩාගෙන මොකද ඒ වෙනකොට අපේ කුස්සිය තිබුණේ වෙනම නිසා. සිරී රැවුල කපන තැන පහු කරගෙන තමයි කුස්සියට යන්නත් තිබුණේ.

සමහර දවස් වලට මං දරුවවත් වඩාගෙන එතනින් එහාට මෙහාට යද්දි සිරී රැවුල කපන වෙලාවක නම් සිරි ඒ කණ්නාඩිය ඉස්සරහට එන්න කියලා අපි තුන් දෙනවා පෙන්නනවා, ඔය ඉන්නේ ඒයි රාමු කරපු පිංතූරෙක වගේ යස අගේට. ඒ වෙලාවට මට යකා නගිනවා සිරී එක්ක ආයෙත් ඒ ෆොටො වැඩේ මතක් කරන නිසා මාත් ඒ වෙලාට මොකක් හරි ඇනුම්පදයක් කියලා එතනින් යන්නෙ කණ්නාඩියෙන් දැකපු අපි තුන් දෙනාව හිතේ සතුටින් පුරෝගෙන.

කාලය ගෙවිලා ගියේ කවදාවත් අපි තුන්දෙනා ඉන්න ෆොටෝ එකක් අරගෙන රාමු කරලා තියාගන්න බැරි වෙනවත් එක්කම සිරීව විතරක් ගෙදර තනි ෆොටෝ එකකට රාමු කරලා.

සිරී අපෙන් දුරස් වෙලා එච්චර කාලයක් ගෙවිලද කියලා හිතාගන්නත් බැරි වෙන ඉක්මනින් කාලය අපිව අරගෙන ඇවිත් තිබුණා සිරීගේ අවුරුදු දහයේ දානේ දෙන්න තියෙන කාලයට. සිරි ඉන්න කාලේ සිරීට ආසාවක් තිබුණා අපේ ගේ හොදට හදලා හාමුදුරුවරු වඩම්මවලා පිරිත් කියලා දානයක් දෙන්න. සිරී නැති වුනාට පස්සෙ ඒ ආසාව මායි පුතයි පවර ගත්තා කවදම හරි අපේ ගේ හොඳට හදලා සිරී වෙනුවෙන් හාමුදුරුවරු ගෙදරට වඩම්මවලා දානයක් දෙන්න. මොකද සිරී නැති වුනාට පස්සෙත් සිරී වෙනුවෙන් දුන්න හැම දානයක් ම දෙන්න වුනෙත් පංසලට අරගෙන ගිහින් නිසා. ඒ කාලේ තිබුණු වත්කම් එක්ක ඊට වඩා දෙයක් කරන්න තියා හිතන්නවත් බැරිවයි ඒ කාලය ගෙවිලා ගියේ.

අලුත් කරපු ගෙදර සිරීගේ අවුරුදු දහයේ දානේ දීලා ඉවර කරහම මට ලොකු සහනයක් ලැබුණා වගේම පුතා ගැනත් ආඩම්බරයක් ඇති වුනා. අවුරුදු දහයක් වෙනකම් හිතේ පල් වෙවි වෙවි තිබුණු හීනයක් හැබෑ වුන නිසා.

දානේ ඉවර වෙලා දවස් දෙකකට විතර පස්සෙ පුතා මාව උඩ තට්ටුවෙ තියෙන පුතාගේ කාමරයට එක්කගෙන ගියේ දෙයක් පෙන්නන්න තියෙනවා කියලා කියන ගමන්. කාමරේ දොර රෙද්ද එහාට කරනවත් එක්කම පුතා මගේ ඇස් දෙක අත් දෙකෙන් වැහුවා. මාත් ඒ වෙලාවේ පුදුම වුනා ඇයි එහෙම දෙයක් කරන්නෙ කවදාවත් නොකරපු දෙයක් නිසා. පුතා මගේ ඇස් වහගෙනම කාමරේ ඇතුළට ටිකක් එක්කගෙන ගිහින් එක තැනක නැවතුනා. ඒ නැවතිලා පුතා මගේ කරට අත දාගත්තෙ , මං කියනකම් ඇස් අරින්න එපා, කියලා කියන ගමන්. 

පුතා මගේ උරහිසට ඔලුව තියාගන්නවත් එක්කම මට කිව්වා ඇස් ඇරලා ඉස්සරහ කෙලින් බලන්න කියලා. මොන දෙයක් ඇස් ඉස්සරහ තියෙනවද කියලා හිතාගන්නත් බැරුව මම හිමීට ඇස් ඇරියා. ඇස් ඇරලා තප්පර ගානක් යන්න වුනේ නෑ ඇස් දෙක තෙත් වෙන්න. එහෙම ම මං පුතාව හයියෙන් බදාගත්තා. 

ඒ මොහොතේ මම ඇස් අරිද්දි මම හිටියේ පුතාගේ කණ්නාඩි මේසේ ඉස්සරහ පුතා හිටියේ මගේ උරහිසට ඔලුව තියාගෙන. එදා සිරිත් අපි දෙන්නා ලඟින් හිටියා පිටිපස්සෙ බිත්තියෙ රාමූ වෙච්ච ෆොටෝ එකට වෙලා. ඉස්සර රැවුල කපන වෙලාවට අපි තුන්දෙනාව ලඟට අරගෙන රැවුල කපන කණ්නාඩියෙන් බලනවා වගේම.

Top