මතක මිහිර තීරු ලිපිය : කොන්දේසි විරහිත ආදර කතාවක් (627)

post-title

"සරත්" කියන්නෙ අපේ ගමට පිට ගමකින් ආපු අයියා කෙනෙක්. අපේ ගමේ ගත්ත ඉඩමේ ගෙයක් හදාගෙන ඔහු ජිවත් වුනේ තනියම. ඔහුට තිබුණේ පුදුම පිළිවෙලක් ඒ පිළිවල මං කවදාවත් දැකලා තිබුණේ නැහැ කිසිම පිරිමියෙක්ගෙන්. ඔහු ගමත් එක්ක ලොකු සම්බන්ධයක් නොතිබුණාට ගමේ ඕනම වැඩකට උදව් කරේ නිහතමානීව. අහම්බෙන් හරි ඔහුගෙ ගෙදරට ගොඩ වෙන්න වුන වෙලාවට තමයි තව පුදුම වෙන්නෙ ඔහුගෙ ගෙදර පිළිවෙල දැක්කහම. ඒ ගෙදර පුදුමාකාර පිළිවෙලට හැම දෙයක්ම තිබුණා. ගැහැණු පරානයක් නැති ගෙයක් කියලා හිතාගන්න බැරි විදියට. 

ඔහු මට වඩා වයසින් අවුරුදු දහයක් පහළවක් වැඩි වියේ හිටියේ කියලා හිතාගන්න පුළුවන්කමක් තිබුණා ඔහුගෙ ස්වරූපයෙන්. ඒත් හරියටම දන්නැ ඔහුගෙ වයස කීයද කියලවත්. එහෙම වයස දැන ගන්න ඕන කමක් තිබුණෙත් නැහැ.

ඔහුට ආගමක් තිබුණද කියලා දන්නෙත් නැහැ. මොකද ඔහුගෙ ගෙදර ගිය වෙලාවකවත් දැකලා තිබුණේ නැහැ කිසිම දේව රූපයක්වත් ගෙදර තියෙනවා. ඒත් ගමේ පංසලේ වැඩකට හරි දෙවොල් මඩු හරි ඔය ආගමික දේවල් වලට ආධාර එකතු කරන්න ගිය වෙලාවට ආධාර දුන්නෙත් හරි කැමැත්තකින්.

සරත් අයියව මුණගැහෙන්න මාසෙකට තුන් හතර වතාවක් එන යන පිරිමියෙක් හිටියා ඔහුගෙ වයසට සමාන. ඒ එන යන මනුස්සයගෙ නම වසන්ත දිසානායක. අපි කතා කරේ වසන්ත අයියා කියලා. වසන්ත එන්නෙ කොහේ ඉඳලද වසන්ත කියන්නෙ කවුද කියන්න අපි දැනගෙන හිටියේ නැහැ. හැබැයි වසන්ත ඇවිත් සරත්ව මුණගැහිලා ගියාට පස්සෙ සරත්ගෙ මූනට වසන්තයක් එන බවක් පෙනුනා. ඒ බැඳීම හිතවත් කමක්ද සහොදර කමක් ද යාලු කමක් ද කියලා අපිට දැනගන්න ඕන වුනෙ නැහැ. ඒත් ගමේ කතා වුනේ නම් ඒ සරත්ගෙ හොඳම යාලුවෙක් වෙන්නැති කියලා..

ඔහොම ඉන්නකොට මාසයක් විතර එක දිගට වසන්ත අයියා ගමට එනවා යනවා දකින්න ලැබුණේ නැහැ. ඒ කාලය අතරතුර සරත් අයියා මැරුනා. සරත් මැරුනේ සරත්ගෙ වාහනේ ඇක්සිඩන්ට් වෙලා. සරත් අයියගෙ මරණෙ අවසන් කටයුතු කරන්න වුනේ ගමේ අපිට. මොකද සරත් අයියට වසන්ත අයියා හැර වෙන කවුරුත් ඉන්නවා කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. සරත් අයියගෙ මරණය ගැනවත් වසන්ත අයියට කියන්න ක්‍රමයක් නොතිබුණු නිසා ගමේ මිනිස්සුම අවසන් කටයුතු කරා.

සරත් අයියගෙ ගෙදරට ළඟම ගෙයක් තිබුණේ අපේ ගේ තමයි. ඒ නිසා මළගෙදරින් පස්සෙ සරත් අයියගෙ ගෙදර යතුර අපේ ගෙදර අපි තියාගත්තේ වසන්ත අයියා කොයි වෙලාවක හරි එන බව දන්න නිසා. ඒත් පොලීසියෙන් අපිට කියලා තිබුණා ඔහුව අඳුරන කෙනෙක් ආවොතින් පොලීසියට දන්වන්න කියලා. මැරුනේ ඇක්සිඩන්ට් එකක් වෙලා නිසා..

සරත් අයියා මැරිලා මාසයක් විතර ගියාට පස්සෙයි වසන්ත අයියා ආවේ. සරත් අයියගෙ ගෙදර දොරවල් වහලා නිසා වසන්ත අයියා ආවේ අපේ ගෙදරටයි සරත් අයියා ගැන අහන්න. වසන්ත අයියට විස්තරේ කියලා යතුර බාර දුන්නෙ සරත් අයියව දන්න එකම කෙනා වසන්ත අයියා නිසා..

වසන්ත අයියට යතුර දෙනවත් එක්කම වසන්ත අයියා මටත් කතා කරා මල්ලි මාත් එක්ක ගෙදරට යමුද කියලා. මාත් හරි අයියේ යමු කියලා ටී ශර්ට් එකක් දාගෙන වසන්ත අයියා එක්ක සරත් අයියගෙ ගේ පැත්තට ඇවිදගෙන ගියා..

ඒ ඇවිදගෙන යන ගමන් මං වසන්ත අයියගෙන් ඇහුවා සරත් කියන්නෙ අයියගෙ කවුද කියලා. 

"දන්නැ මල්ලි" කියලා උත්තරයක් දුන්නෙ මරණය ගැන ඉන්න කම්පනය නිසා වෙන්නැති කියලා මං හිතුවේ ඒ මූනේ තිබුණු වේදනාබර හැගීම කියවන ගමන්..

අපි ගේ ඇතුළට ගියා. වසන්ත අයියා ගේ ඇතුලට ගොඩ වුන ගමන් ලොකු හුස්මක් ගත්තා ඒ හුස්ම පහළ වැටුනේ ඇස්වල කඳුලු එක්කමයි. වසන්ත අයියා සරත් අයියා හිටිය කාමරයට ගියා මාත් එයත් එක්ක එයාගෙ පස්සෙන් ගියා. කාමරේ තිබුණු මේසේ උඩ තිබිලා ඩයිරියක් අතට අරන් වසන්ත අයියා ඇදෙන් වාඩිගත්තා. මාත් එතන තිබුණු පුටුවෙන් වාඩි ගත්තෙ අහන්නෙ මොනවද වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව. මං සද්දයක් නැතුව එහෙම ම හිටියා වසන්ත අයියා මොනවා හරි කියයි කියලා බලාගෙන. 

විනාඩි දහයක් පහළොවක් විතර ඩයිරිය කියව කියව හිටිය වසන්ත අයියා ඇදෙන් නැගිට්ටෙ කලබලෙන් වගේ. ඒ නැගිටලා අල්මාරිය ඇරලා ෆයිල් එකක් අතට අරගෙන බැලුවා. ටික වෙලාවක් ඒ ෆයිල් එක දිහා බලාගෙන ඉඳලා මට දුන්නා මේක බලන්න වසන්ත කියන්නෙ කවුද කියලා තේරෙයි කියලා. 

මට දුන්න ෆයිල් එකේ තිබුණේ ඉඩම් ඔප්පු දෙකක්. ඒ ඔප්පු දෙකෙන් සරත් අයියව තේරුම් ගන්න පුළුවන් කොහොමද කියලා මං තප්පර ගානක් ඇතුලත කල්පනා කරා. හැබැයි ඒ ඔප්පු දෙක පවරලා තිබුණේ සනුක දෙනුවන් දිසානායක, දිනුක දෙනුවන් දිසානායක කියලා දෙන්නෙක්ට. ඒ නම් දෙක විතරයි මට වෙනසක් පෙනුනේ. ඒ නිසාමයි මං වසන්ත අයියගෙන් ඇහුවෙ සනුක දිනුක කියන්නෙ කවුද කියලා. වසන්ත අයියගෙ උත්තරය වුනේ "ඒ මගේ ළමයි දෙන්නා" කියලා.. ඒ උත්තරෙන් පස්සෙ මට තේරුම් ගන්න පුළුවන් වුනා සරත් අයියාගෙ දේපළ වසන්ත අයියගෙ දරුවන්ට පවරලා කියලා.

වසන්ත අයියා ගෙදරින් එළියට ආවේ මල්ලි පොලීසියට යන්නත් ඕන නේද කියලා මගෙන් අහන ගමන්. අයියා යන ගමන් ම ඔහොම ම පොලීසියට ගිහින් යන්න කියලා මං උත්තරයක් දුන්නා.

සරත් අයියගෙ ගෙදරින් එලියට බැහැලා ආයෙත් අපි ඇවිදගෙන අපේ ගෙවල් පැත්තට ආවා. වසන්ත අයියා පොලීසියට යනවා කිව්වා. වසන්ත අයියා එයා ආපු වාහනේට නගින්න කලින් මං ආයෙත් ඇහුවා අයියේ සරත් අයියා ඇත්තටම ඔයාගෙ කවුද කියලා.. වසන්ත අයියගෙ අතේ තිබුණු ඩයිරිය මට දිග් කරලා කිව්වා සරත් මේකේ ඉන්නවා පරිස්සම් කරලා මං ආවහවම මට ආයෙත් දෙන්න කියලා. වසන්ත අයියා ගියා.

ඒ ඩයිරිය මං එදාම කියවන්න පටන් ගත්තා. සරත් අයියගෙයි වසන්ත අයියගෙයි ජිවිතේ ගැන හැම දෙයක්ම ඒ ඩයිරියෙ නොතිබුණාට තිබුණු දේවල් මට තේරුම් ගන්න පුළුවන් වුනා.

වසන්ත කියන්නෙ සරත් අයියගෙ පෙම්වතා. ඒ දෙන්නා අතර ආදර සම්බන්ධතාවක් තිබිලා තියෙනවා කාලයක ඉඳලා. ඒත් ඒ සම්බන්ධය පවත්වාගෙන එන්න වසන්ත අයියට හයියක් තිබිලා නැහැ වසන්ත අයියගෙ ගෙදරින් තිබුණු ප්‍රශ්න නිසා. ඒත් ඒ සම්බන්ධය එයාලා හැමෝටම හොරෙන් තියාගෙන තිබිලා තීනවා

ගම් දෙකක මේ විදියට ඉඳගෙන. ඩයිරියේ එක තැනක ලොකුවට මෙහෙමත් ලියලා තිබුණා.

ඔබට කලින් මා මිය යා යුතුය

මගේ කියා ඇති සියලු දෑ 

ඔබ සතු විය යුතුය.

ඒ ඔබ මට දුන් ආදරය නිසාවෙන් 

මගේ කියා වටිනාම දෙයක් 

දැං මා ලඟ ඇති නම්

ඒ ඔබ මට දුන් ආදරය පමණි!

මට තේරුම් ගන්න බැහැ එහෙම ආදර කතාවක් ගැන. ඒත් මට එක දෙයක් තේරුනා සරත් අයියා ඉන්න කාලේ වසන්ත අයියා සරත් අයියව බලන්න ආවහවම සරත් අයියගෙ මූනට වසන්තය ආපු විදිය ආදරේ වෙන්නැති කියලා‍

Top