"හැගීම් නිසා ඇතිවෙන දෙයකට කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න බැහැ" (703)

post-title

සුමුදු වීරකෝන් කියන්නෙ මං ආසම චිත්‍ර ශිල්පියෙක්. සුමුදුගෙ චිත්‍ර මං මුලින්ම දැක්කේ ෆේස්බුක් හරහා. ඒ චිත්‍ර දැකපු පළවෙනි දවසෙ ඉඳලා ඔහුගෙ චිත්‍ර වලට ආදරේ කරන්න පටන් ගත්තා.

අවුරුදු තුන හතරක තිස්සෙ මං ඔහුගෙ චිත්‍ර දිහා බලාගෙන එද්දි මට පෙනුන දේවල් ගොඩක් තිබුණා. ඔහුගෙ හැකියාව අද අඳින චිත්‍රයට වඩා ඊලඟට අඳින චිත්‍රයට එනකොට වර්ධනය වෙමින් තිබුණේ. ඒ වගේම මං මුල් කාලේ දැක්ක චිත්‍ර වලට වඩා වෙනස්ම චිත්‍ර තමයි මට මේ ගෙවුන අවුරුද්දක වගෙ කාලෙක ඉඳලා දකින්න ලැබුණේ.

මෑතකදී අඳින චිත්‍ර අර ඉස්සර දැකපු චිත්‍ර වල තිබුණු සතුට, පිරිපුන් බව වගේ දේවල් තිබුණේ නැහැ. මනුස්සයෙක්ට යමක් දැක්කහම ඒ වෙනුවෙන් ඇති වෙන ආසාව මේ මෑත කාලෙදි අඳින චිත්‍රවල නැතුවම ගිහින් වේදනාව, කලකිරීම, තනිවීම වගේ දේවල් දකින්න තිබුනෙ.

එක දෙකක් එහෙම චිත්‍ර දකින්න ලැබෙනකොට මට හිතුනෙ එහෙම දේවල් අඳින්නෙ අහම්බෙන් වෙන්න ඇති කියලා. ඒත් එක දිගට අවුරුද්දක් විතර එකම විදියෙ පාටවල් පාවිච්චි කරලා අඳින අඳුරු චිත්‍ර ගැන මටත් ඇති වුනෙ කලකිරීමක්. මොකද මං ආසාවෙන් ආදරේ කරපු සුමුදුගෙ චිත්‍ර මෙහෙම චිත්‍ර නෙවෙයි නිසා.

සුමුදු ඇඳපු චිත්‍ර තමයි එයාගෙ ෆේස්බුක් කවර් ෆොටෝ එකට වුනත් දාන්නෙ. වෙනදනම් ඒ ෆොටෝ සතියෙන් සතිය වගෙ වෙනස් වෙනවා. ඒත් මේ ගෙවිලා ගියෙ අවුරුද්දක දෙකක කාලයෙදි ඒ දාලා තිබුණු ෆොටෝ එක වෙනස් වුනේ නැහැ. ඒ කවර් ෆොටෝ එකට දාලා තිබුණු චිත්‍රයෙ තිබුණෙත් අර මං කලින් කිව්වා වගේ අඳුරු පැහැ චිත්‍රයක්. මනුස්සයෙක් මුහුද දිහා බලාගෙන ඉන්නවා, මුහුදු රළට බාගයක් මැකිලා ගිය තනියම ඇවිදගෙන යන අඩි සලකුණු කිහිපයක්. 

අවුරුදු කිහිපයක් තිස්සෙ සුමුදුගෙ චිත්‍ර දිහා බලාගෙන ආපු මට සුමුදුගෙ මෑත කාලේ ඔය චිත්‍ර ගැන මට ගොඩක් කල්පනා කරන්න තරම් විවේකයක් ලැබුණේ මං ගෙදර හිටපු දවස් ටිකෙ. මොකද ඒ දවස් ටිකෙ මට කරන්න කියලා මහලොකු වැඩක් තිබුණේ නැහැ මම කැම්පස් තේරිලා, කැම්පස් පටන් ගන්නකම් හිටපු නිසා. සුමුදු දැං චිත්‍ර අඳින්නෙ අන්ධකාරයක තනිවෙලා ඉන්න මනුස්සයෙක් ඉන්න තැනක ඉඳගෙන චිත්‍ර අඳිනවා වගෙ මට තේරුම් ගියෙ. 

අපිට කැම්පස් පටන් ගත්තට පස්සෙ අර තිබුණු විවේකය ඉබේටම නැති වෙලා ගිහින් ඉස්සරම තරම් ලොකු අවධානයකින් සුමුදුගෙ චිත්‍ර දිහා බලන්න වුනේ නැහැ. ඊටත් මට ඒ චිත්‍ර දැක්කහම ඉස්සරම මට දැනුන දේට වඩා වෙන මොකක්ද අමුත්තක් දැනෙන නිසා මං සුමුදුගෙ අඳුරු චිත්‍ර දිහා බලන එක අඩු කරා. 

________

කැම්පස් එකේදි අපේ බැජ් එකෙන් මට සෙට් වුනා "හිරුනි අමන්දා" කියලා යාලුවෙක්. හිරුව ගොඩක් මට හිතවත් වුනෙ හිරුත් මං වගෙ සුමුදුගෙ චිත්‍ර වලට ආස කෙනෙක් කියලා දැනගත්තට පස්සෙ. 

හිරු ගාව ලස්සන චිත්‍රයකුත් තියෙනවා සුමුදු ඇඳපු. ඒක හරි පුංචි චිත්‍රයක්. හිරු ඒක ලැමිනේටින් කරලා පොතක් අස්සෙ දාගෙනමයි හිටියේ. හිරු ළඟ තියෙන ඒ චිත්‍රයෙ තිබුණේ මුහුදු වෙරළක් ලඟ වාඩිගෙන ඉන්න යුවලක්. අර මම කිව්වෙ සුමුදුගෙ ෆේස්බුක් එකෙ කවර් ෆොටො එකට දාගෙන තිබුණු අඳුරු චිත්‍රයක් ගැන. ඒ චිත්‍රය වගෙ මේකත් හැබැයි මේකෙ තිබුණේ අර අඳුර නැතුව පෙම් පාටකින් චිත්‍රය හැඩ වෙලා ඇවිදගෙන යන අඩි සලකුණු වෙනුවට ඇවිදගෙන ඇවිත් එක තැනක නතර වෙලා වාඩිගෙන මුහුද දිහා බලාගෙන ඉන්න දෙන්නෙක්ගෙ චිත්‍රයක්.

හිරුයි මායි මුණගැහුන මුල් කාලේ සුමුදුගෙ චිත්‍ර ගැන කතා කරාට ටික දවසක් ගෙවෙන කොට හිරු සුමුදුගෙ චිත්‍ර ගැන කතා කරන එක මඟහැරියා. ඒක සාමාන්‍ය දෙයක් මොකද මටත් මෑතක ඉඳලා සුමුදුගෙ චිත්‍ර ගැන තිබුණු ආසාව නැතිවෙලා ගිහින් තිබුණේ.

________

හොස්ටල් එකේ හිරු හිටියෙත් මගෙ කාමරේ ම නිසා මං ඒ ගැන ගොඩක් සතුටු වුනා. මොකද කැම්පස් ඇවිල්ලා මුලින්ම හම්බුන යාලුවා හිරු නිසා. අපි සාමාන්‍යයෙන් නිදාගන්න කලින් එක එක දේවල් කතා කරන්න පුරුදු වෙලා හිටියේ ඒ වෙනකොටත්. එක මාතෘකාවකින් පටන් අරගෙන තව මාතෘකා කිහිපයක්ම අපි නොදැනුවත්වම අපි කතා කරනවා. 

දවසක් අපි ඔය කතා කරන මාතෘකා අතරට "ආදරය" ආවා. වෙනදත් අපි ඔය ගැන කතා කරලා තිබුණට එදා ආදරය ගැන කතා කරේ වේදනාව කියන දේ එකතු වෙලා කියලා මට තේරුම් ගියෙ. මොකද ඒ වෙනකොට අපේ කාමරෙ හිටිය හතරදෙනාම ප්‍රේමයකදි ලැබුණු වේදනාව පසු කරගෙන ආපු අය මාත් ඇතුලුව. 

අපි මේ මොහොතෙ ජිවත් වෙනකොට අපිට හිතෙනවා අපේ හිත්වල තිබුණු වේදනාව දැං නැහැ කියලා. ඒත් මං ඒක විශ්වාස කරන්නෙ නැහැ. මං හිතන්නෙ ඒ වේදනාව අපි මේ මොහොතෙ ඉන්න තත්වය නිසා යටපත් වෙලා කියලා. මට ඕක හිතුනෙ එදා අපි ආදරේ ගැන කතා කරලා ඉවර වෙනකොට ඇස්වල වැටෙන්නෙ නැතුව පිරිලා තිබුණු කඳුලු දැක්කහම. එදා හිරු ආදරය ගැන කිව්වෙ මෙහෙම දෙයක්.

"අපිට ආදරේ කරන අයගෙ වටිනාකම තේරෙන්නෙ. අපිට එයාලව එපා වෙලා අතහැරියහම නෙවෙයි, එයාලට අපිව එපා වෙලා අතහැරලා දැම්මට පස්සෙයි" කියලා.

කැම්පස් ජිවිතේ ඇතුලේ ඔය වගෙ දේවල් කතා කරමින් දවස් ගත කරමින් අපි හිටියා.

_________

ඒ වෙනකොට සුමුදුගෙ චිත්‍ර ගැන මට අමතක වෙලා ගිහින් තිබුණේ. ආයෙත් සුමුදු කියන නම මතක් කරේ මල්කි. මල්කි දවසක් රෑක මෙහෙම කිව්වා. "අන්න උඹෙයි හිරුගෙයි චිත්‍ර කොල්ලා රේඩියෝ ප්‍රෝගෑම් එකකට හෙට එනවා කියලා ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාලා තිබුණා" කියලා. අපේ කාමරේ හිටිය අනිත් උනුත් දන්නවා මායි හිරුයි සුමුදුගෙ චිත්‍ර වලට ගොඩක් කැමතියි කියලා. ඒත් උං හිතන්නෙ අපි මනුස්සයෙක්ගෙ යම් දේකට කැමතියි කියන්නෙ උංව කසාද බදින්න බලාගෙන ඉන්නවා වගෙ දෙයක්. ඕවා ඉතින් උංට තේරුම් කරන්න බැහැ.

ඒ ආරංචි ආපු ගමන් මාත් සුමුදුගෙ ෆේස්බුක් එක බැලුවහම ඒ පොස්ට් එක මාත් දැක්කා. මට මොකක්ද අමුතු සතුටක් දැනුනා. ඒත් ඒ ආරංචියට මට තරම් සතුටක් හිරු ගෙන් නම් පෙනුනෙ නැහැ. සමහරවිට ඒකිට දැං එපාම වෙලා ඇති අර මෑතකදී අඳින චිත්‍ර නිසා.

පහුවදා රෑ අපි රේඩියෝ එක දාගෙන හිටියේ සුමුදු එන ඒ වැඩසටහන අහන්න. මං තමයි ඒකට ගොඩක් ආසාවෙන් හිටියේ. වැඩසටහන පටන් අරගෙන සුමුදු කතාකරන්න පටන් ගත්ත වෙලෙ තමයි මං මුලින්ම සුමුදුගෙ කටහඬ ඇහුවෙ. වැඩසටහන පවත්වගෙන යන අතරතුර ඒ නිවේදිකාව සුමුදුගෙන් මෙහෙම ඇහුවා.

"අන්තර්ජාලයේ මෑත කාලෙදි ඔබේ චිත්‍ර වලින් ගොඩක් දකින්න ලැබෙන්නෙ අඳුරු වුන, වේදනාබර චිත්‍ර, ඒකට විශේෂ හේතුවක් තියෙනවද නැත්තම් සුමුදු වීරකෝන් කියන පුද්ගලයා මේ ගත කරන කාලය අඳුරක තනි වෙලාද" කියලා. ඒ ප්‍රශ්නය මටත් ගොඩක් කල් ඉඳලා තිබුණු ප්‍රශ්නයක්.

සුමුදු මෙහෙම කිව්වා ඒ අහපු දේට.

"මං අඳින චිත්‍ර ඇතුලේ සමහර වෙලාවට මාත් ඉන්නවා කියලා මට හිතිලා තියෙනවා චිත්‍ර ඇඳලා ඉවර වෙලා ඒ දිහා බලනකොට. ඒත් ඒවා අහම්බයක්"

"ඔබ ඇහුවා සුමුදු වීරකෝන් අඳුරක තනි වෙලාද කියලා" ඒකට මං මෙහෙම උත්තරයක් දෙන්නම්

"මම ගොඩක් විශ්වාස කරනවා අපේ ජිවිතේ ආලෝකය තියෙන්නේ අපි ළඟමයි කියලා. ඒත් සමහර හැගීම් වලදි අපි අපේ ආලෝකය අපි ළඟම ඉන්න කෙනාට බාර දෙනවා. අපි දන්නෙ නැහැ ඒ කෙනා අපි ළඟ ජිවිත කාලෙම ඉන්නවද කියලවත්. ඒත් අපි හැගීම් වලට අවනත වෙනවා. අපිට තේරෙන්නෙ නැහැ අහම්බයකින් හරි ඒ කෙනා නැති වුනොත් තමන්ගෙ ජිවිතේට අඳුරක් වැටෙනවා කියලා. ඒක හැගීම් නිසා ඇතිවෙන දෙයක් නිසා කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න බැහැ අපේ ජිවිතේ තිබුණු ආලෝකය නැති කරලා අඳුරකට දැම්මා කියලා. ඉතින් ඒක හැගීම් නිසා ඇති වෙන දෙයක්."

ඒ කතාවෙන් පස්සෙ නිවේදිකාව නිහඬ වුනා. අපේ කාමරෙත් තිබුණේ නිහඬ බවත් එක්කම අඬන සද්දයක් ඇහුනෙ හිරුගෙ ඇඳ පැත්තෙන්. හිරු රෙද්ද ඔලුවෙ ඉඳලා පෙරවගෙන හිටපු නිසා මං හිතුවේ හිරු නිදි කියලා. හිරුගෙ ඇඳ ළඟට ගිහින් හිරු පෙරවගෙන හිටපු රෙද්ද අයින් කරහම හිරු අර ලැමිනේටින් කරපු ෆොටො එකත් බදාගෙන අඬනවා කියලා තේරුනා. 

හිරු අඬන්නෙ ඇයි කියලා ඇහුවට හිරු කිව්වෙ නැහැ හේතුවක්. අපි බලකරන්න ගියෙ නැහැ හේතුවක් අහන්න. හිරුට අඬන්න ඉඩ දීලා වැඩසටහන ඉවර වුනහම අපිත් නිදාගත්තා.

පහුවදා හිරුගෙන් මං ඒ ගැන ඇහුවෙ උඹ කැමතිනම් විතරක් කියපන් කියලා. එතකොට හිරු කිව්වා.

"මට මං ගැන වරදකාරි හැගීමක් දැනෙනවා හරියට වෙන කෙනෙක්ගෙ ජිවිතයක එළිය මම අඳුරු කරා වගේ" කියලා.

මං දන්නෙ නැහැ හිරු මොන වගෙ දෙයක් හිතේ තියාගෙන එහෙම කිව්වද කියලා. කොහොමත් හිරු කියන්නෙ ගුප්ත චරිතයක්. ඒත් මට තේරුනා හිරු ඉන්නෙ තමන්ගෙ අතින් වැරද්දක් වෙලා තියෙනවා කියලා හිතාගෙන. හිරු අපිත් එක්ක හිටිය කාලයෙ මං ඔය ගැන විටෙන් විට ඇහුවත් හිරු ඒ ගැන මගහැරියා.

_______

අවුරුදු තුනක් ගෙවිලා ගියා කැම්පස් එකෙ වැඩත් එක්ක ඉබේටම. කැම්පස් එකෙ නිවාඩු දීලා අපි අපේ ගෙවල් වලට ගියා. කැම්පස් ආයෙත් පටන් ගත්තහම කැම්පස් එකේදි අපිට හිරුව ආයෙත් දකින්න ලැබුණේ නැහැ. නිවාඩුව අතරමැද හිරුව බලන්න අපිට යන්න වුනා. එදා තමයි හිරුව අන්තිම පාරට දැක්කෙත් සුමුදු කියන චිත්‍ර ශිල්පියව හැබැහින් දැක්කෙත්. මං දන්නෙ නැහැ හිරුව බලන්න සුමුදු ඇයි ආවේ කියලා. ඒත් එදා සුමුදුගෙ මූනෙන් සුමුදුගෙ චිත්‍ර මට එපා වුන අඳුරු පාටට වඩා අඳුරු පාටක් තිබුණා කියලා දැක්කා.

හිරු ජිවිතේ නැති කරගෙන තිබුණේ බෙල්ල ළණුවකට හිර කරගෙන. මං හිතන්නෙ නැහැ මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතය ළණුවකට හිර කරලා ජිවිතය නැති කරගන්න තරම් හයියක් තියෙනවා කියලා. මට හිතෙන්නෙ මනුස්සයෙක් මේ මොහොතෙ ජිවත් වෙන තත්වයෙන් මිදෙන්න, විසඳුම විදියට ඒ ජිවත් වෙන තත්වය ලණුවකට හරි මොකක් හරි දේකට හිර කරලා ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරනවා කියලා.

සමහරවිට හිරුත් එයා ජිවත් වුන තත්වය ලණුවකට හිර කර ඇති!

Top