මොර සූරන වැස්ස. කම්මැලිකමට ඇඳේ ඇලවෙලා හෙඩ්ෆොන් එකත් කනේ ගහන් අහඹු විදියට තොරාගත්ත සිංදු ටිකක් අහමින් හිටියේ. ඒ අතරතුරේ හර්ෂණ දිසානය පුංචි කාලේ ගායනා කරපු “දියබෙරලිය දළු නෙලන්න ගිය දා -වැටුණු අනෝරා මහ වරුසාවේ” ගීතය ප්ලේ වීමත් තනිකරම අහම්බයක්. තැන වෙලාව ඉන්න මූඩ් එක අදාළම නෑ ඔය සිංදුව අහන්නවා කියන්නේ මට හරියට චිත්‍රපටියක් බලනවා වගේ. එහෙම වෙන්නේ ඒ තරමට චිත්ත රූප තොගයක් ඔය සිංදුව අහන හැම වෙලාවකම මගේ හිතේ මැවෙන හින්දා.
අම්මාගේ හරි තාත්තගේ හරි අම්මා.. එයා තමයි කිරි අම්මා..අපි නම් කිව්වේ ආච්චිඅම්මා කියලා. හැබැයි ගම් වල ජීවත් වෙච්ච අපිට ඔය වයසේ හිටිය හැමෝම ආච්චිඅම්මලා. ඒකට විශේෂ ලේ නෑ කමක් ඕනේ උනේ නෑ. ආච්චම්මලටත් එහෙමයි. අපිට මුණුබුරෙක්ට වගේ සළකන්න තමුන්ගේ දරුවෙක්ගේ දරුවෙක් වෙන්නම ඕනේ උනේ නෑ. ඉතිං අපිට ආච්චම්මලා ගොඩයි. මම්මම්මා අච්චිඅම්මා, මිසිනෝනා ආච්චිඅම්මා, අනුලාවතී ආච්චිඅම්මා, කමලාවතී ආච්චම්ම, පොඩි ආච්චම්මා, සිසිලින් ආච්චම්මා.. මේ ඔක්කොම “අපේ ආච්චි අම්මාගේ” සහොදරියෝ. එහෙම නැත්නම් යාළුවෝ. “අපේ ආච්චි අම්මා” ඒ තමා මගේ අම්මගේ අම්මා. ඇත්තටම අප්පච්චිගේ අම්මව මම දැකලවත් නෑ. හැබැයි මට ඒ අඩුව දැනුනෙත් නෑ.. ඒ අපේ ආච්චිඅම්මා හින්දා. අපේ ආච්චිඅම්මට මුණුපුරෝ මිණිබිරියෝ විස්සකට වඩා හිටියා. ඒ කවුරු හිටියත් මම ඉපදිච්ච දවසේ ඉඳන්ම ආච්චිඅම්මා මියපරලව යනකන්ම මට සුවිශේෂි ඉඩක් වෙන් වෙලා තිබ්බා. ඒ හින්දාම මට තිබ්බේ ආච්චම්මා පිටි පස්සෙන් වැටිච්ච ළමා කාලයක්.
මට යාන්තමට වගේ මතකයි. මම පුංචිම කාලේ හිටියේ ලෑලි ගේක. බිත්ති වෙනුවට ලෑලි ගහපු වහලෙට පොල්අතු දාපු ගෙයක්. හැබැයි බිමට සිමෙන්ති දාලා තිබ්බා. ඊට එහා පැත්තෙන් දැන් ඉන්න ගෙදර වැඩ පටන් අරන් තිබ්බේ. උදේ අහැරිච්ච ගමන් මගේ රාජකාරිය ඊට මීටර් පනහක් විතර එහායින් තිබුන මහ ගෙදරට දුවන එක. ඒ ගෙදර තමා අදටත් මගේ හිතේ මැවිලා තියෙන පරමාදර්ශී ගැමි ගෙදර. ඒක කටු මැටි ගහලා හුණු පිරියම් කරපු, වහලෙට පොල් අතු දාපු ගෙයක්. ඉස්සරහින් ලොකු ඉස්තෝප්පුවක් තිබ්බා.. පොඩි පිලකුත් එක්ක.. සුදු වැලි දාපු ලොකු මිදුල.. අඹ ගස් පේර ගස් ලොකු උගුරැස්ස ගහක්.. ඔය ඔක්කොටම වඩා මගේ හිත ඇද ගත්ත නිධානය උනේ සොල්දරය. ඒකට නගින්න ලොකු තරප්පු පේලියක් තිබ්බා. ඔය සොල්දරය තනිකරම ආච්චම්මගේ අණසකට යටත් වෙච්ච කලාපයක්. ආච්චාඅම්මා ඇරුනම සොල්දරේ බාර දෙවෙනි බලධාරියා උනේ මම. දෛනික වැඩ රාජකාරී අතරේ සොල්දරේට යන එකත් මගෙයි අච්චිඅම්මගෙයි දින චර්යාවේ අනිවාර්ය අංගයක්. පරණ බුදුසරණ පත්තර, ශ්‍රී සඟරා, ඒ කාලේ පාවිච්චි කරපු එක එක ගැජමැටික්.. ඒ විතරක් නෙවෙයි ආතාගේ මන්තර පොත්, කොටි දත්, කොටි නියපොතු, අලි හක්කවල්, තව බෙහෙත් ජාති, පළුදු වෙච්ච මැණික් ගල් දාපු වතුර බොතල් පවා ඔය සොල්දරේ තිබ්බා. පස්සේ කාලෙක අකුරු කියවන්න පුළුවන් වෙද්දි මම ඔය සොල්දරේ උඩ වරු ගනන් ගත කරලා තියෙයි.. පරණ ශ්‍රී සඟරා අස්සේ..
ආච්චි අම්මා කියන්නේ කඩියෙක් වගේ වැඩ කරපු කෙනෙක්. උයන පිහින වැඩ, වත්ත පිටියේ වැඩ වගේම කඩේ ගිහින් බඩු අරන් එන එක වගේ විවිධාකාර වැඩ එයාට තිබුනා. ඒ හැම වැඩකදිම පස්සෙන් එල්ලිලා මමත් හිටියා. කඩේ යන එක, පලා හොයාගෙන කුඹුරට යන එක ඒ දවස්වල මට දැනුනේ විනෝද චාරිකා වගේ.. ඒ දවස්වල මහා දුරක් විදියට දැනුනත් දැන් බලද්දි කුඹුර තිබිලා තියෙන්නෙ අතේ දුරින්. ඔය කුඹුරේ උඩහම ලියදි වල ඉබේ වැවෙන පළා වර්ග කඩන්න අපි යනවා. ඔය ටිකේ ඕසෙට වැවිලා තියෙන පලා වර්ග තුනක් තිබ්බා.. කිරි පලා.. තණපලා.. ගිරා පලා.. තණපලා වල ටිකක් අමුතු කහට රහක් තිබ්බා.. ගිරා පලා කිරි පලා දෙකෙනුත් ආච්චි අම්මා වැඩිපුර හැදුවේ කිරිපලා.. අදටත් ඔය පලා වර්ග ගම්වල තිබුනත් මම හිතන්නේ අවුරුදු පහළවකින් විතර මම ඕවා කාලා නෑ.. ආච්චිඅම්මට ඕනේ කෑමක් රහට උයන්න පුළුවන්.. ඒ අතරිනුත් මම වෙනුවෙන්ම හැදුන සමහර කෑම තිබ්බා.. එළබටු මාළුව ඒවායිනුත් විශේෂයි.. හිටපු ගමන් කඩිමුඩියේ හදලා දෙන හකුරු ආප්ප රහ අදටත් මතකයි.. ආච්චිඅම්මා එක්ක ගිය ගමන් බිමන්.. සිල් ගත්ත ඒවා.. එක පෙළට චිත්‍රපටියක් වගේ මැවෙනවා.. ඒවා මෙහෙම ලියලා ඉවර කරන්න පුළුවන් මතකයන් නෙවෙයි..
පස්සේ පස්සේ ආච්චි අම්මා ගෙදරට කොටු වෙනවා. ඇති වෙන පොඩි පොඩි අසනීප තමයි ඒකට මූලිකම හේතුව.. අපි අධ්‍යාපනය එක්ක කාර්යබහුල වෙනවා. හැබැයි ඒ කාලේ වෙද්දිත් ආච්චිඅම්මට මට පන්ති තියෙන දවස්, මම ගෙදර එන වෙලාවල් කටපාඩම්. ඔය කාලේ වෙද්දි වයසත් එකක් එන මුරණ්ඩුකම් එමටයි.. ඒ හින්දම අපේ අම්මා එක්ක පුංචි එක්ක චූටි චූටි ගැටුම්.. බෙහෙත් වර්ජනය කිරිලි.. කෑම වර්ජනය කිරිලි එමටයි.. ඔය පුංචි පුංචි රණ්ඩු විසඳන මැදිහත්කාරයා වෙන්නෙත් හුඟක් වෙලාවට මම.. බොන් නෑ කියලා වර්ජනය කරන බෙහෙත් මම ගිහින් දුන්නම හරි අපූරුවට බොනවා.. ඒ විතරක් නෙවෙයි.. ගැටුමේ සැබෑ වැරදි කාරිය ආච්චිඅම්ම නම් ඒක අඳුනගන්න හරිම ලේසියි.. මොකද ඒ ගැන වචනයෙන් නොකිව්වට එහෙම වෙලාවට හරි අපූරු මනමාල මුරණ්ඩු හිනාවක් ආච්චිඅම්මගේ මූණට එනවා.
පස්සේ කාලෙක මම උසස් පෙළ කරන්න බෝඩිමක නතර වෙනවා.. ඊටත් පස්සේ කැම්පස් යන්න.. ඔය කාලවල ගෙදර ඉදෙන නන්නන්(නමිනන්), අඹ, ඇඹරල්ලා, වගේ පලතුරු මම එනකම් ආරක්ෂා කරන එක ආච්චිඅම්මගේ එක රාජකාරීයක්. ආච්චඅම්මව බලන්න එන කවුරු හරි ගේන විශේෂ කෑමක් බීමක් අනිවාර්යෙන් මම කවදා හරි ගෙදර එනකම් තියන් ඉන්නවා.. සමහර දවසට ඒවා කන්න බැරි තරමට පරණ වෙලා. ආච්චි අම්මා හරිම අරපිරිමැස්මෙන් ජීවත් වෙච්ච කෙනෙක්.. පොල් අතු වියලා, වත්තේ වැටෙන පොල්ගෙඩියක් විකුනලා එයා කීය කීය හරි හම්බ කරා. ඒවා වියදම් උනේ සීමිත කාරනාවල් කිහිපයකට විතරයි. එකක් ආච්චිඅම්මගේ ප්‍රියතම විනෝදාංශයක් වෙච්ච ලොතරැයි මිලදී ගන්න. අනික පන්සලේ කඨින පින්කම ඇතුලු පින්කම් වලට, ඊගාව දේ ගෙදර ඇවිත් ආපහු කැම්පස් එකට යන මට අතමිට මොළවන්න. රුපියල් සීය දෙසීයේ ඉඳන් දාහා දෙදාහා තුත්හාරදාහ දක්වා ආච්චිඅම්මා මට එහෙම සැරින් සැරේ සල්ලි දීලා තියෙනවා. අදටත් මගේ පර්ස් එක හිස් වෙන්න නොදී තනි රකින රුපියල් දෙකේ කොලයක් සහ පහේ කොලයක් තියෙනවා.. ඒ දෙකම මම ඒ දවස්වල පාවිච්චි කරන්න ගත්ත පර්ස් එකට මුලින්ම ආච්චිඅම්මා දාලා දීපුවා.
පස්සේ කාලයෙක ආච්චි අම්මට අංශබාගය හැදෙනවා.. ඉස්පිරිතාලෙන් හොඳ කරන්න බෑ හොඳින් සළකන්න කියලා ගෙදර එවනවා.. එත් අවිස්සාවේල්ලේ (තල්දුව) අදටත් ප්‍රතිකාර කරන ආයුරුවේද වෛද්‍යවරයෙක් වෙන මුස්තාපා (ඉර්ෂාඩ්) මහත්තයා ආච්චිඅම්මව සම්පූර්ණයෙන්ම හොඳ කරනවා..ඒ වෙනුවෙන් සෑහෙන කැපවීම් තොගයක් අම්මා අප්පච්චි පුංචි මාමලා ඇතුලු අපි හැමෝම කරනවා.. පස්සේ කාලෙක මල්කඩන්න ගිහින් අත කඩා ගන්නවා.. කොච්චර ප්‍රතිකාර කරත් වයසත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ නෑ. ඊටත් පස්සේ කාලෙක කැම්පස් එකේ විභාග තිබ්බ කාලෙක මම ආච්චි අම්මා ගැන අසාමාන්‍ය හීනයක් දකිනවා..ගෙදරට කෝල් කරලා ඇහුවත් විශේෂයක් නෑ කියනවා. හැබැයි මම එදාම හවස විභාගේ ඉවර වෙලා ගෙදර යද්දි ආච්චිඅම්මා වැටිලා සිහිකල්පනාවක් නැතිව කරවනැල්ල ඉස්පිරිතාලයට ඇතුළත් කරලා. පහුවදා උදේම මම ආච්චිඅම්මා බලන්න යනවා.. සිහියක් පතක් නැතිව ඇදේ වැටිලා ඉන්න ආච්චිඅම්මගේ ඔලුව අතගාන ගමන් මම ආච්චි අම්මට කතා කරනවා.. ඒ වෙනකම්ම කාටවත් කිසිම දේකට, කිසිම ප්‍රතිචාරයක් දක්වන් නැතිව හිටපු ආච්චම්ගේ මූනේ අර එයාට හුරුපුරුදු වරදකාරී මුරණ්ඩු හිනාව ඇදෙනවා.. ඒ තමයි ආච්චි අම්මා හිනාවෙච්ච අන්තිම පාර..
ආච්චිඅම්මා කෙනෙක් කියන්නේ මුණුබුරෙකුට කලාතුරකින් හම්බෙන අපූරු පෙම්වතියක්. ඉතිං ඒ අහිමිවීමේ හිස්තැන කාටවත් පුරවන්න බෑ.. ඒ හින්දම හර්ෂණගේ ඔය සිංදුව අහන, ඇහෙන ඕනෑම වෙලාවකදි මගේ ඇස් දෙක බොඳවෙනවා..
හේලංකඩ යට හීතල හෙවනේ
අමල් බිසෝ ගැන කථා කියා දී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ