" ඔය ළමයින්ට හරි කරදර ටීචර්, දානේ හදාගෙන මිනිස්සු එනවා. ඇවිත් අනේ මේ ළමයි කියලා හූල්ලලා හුරතල් කරලා ආපිට යනවා. මේ ළමයි ඒ නිසාම ඒ හැටි හුරතල් කරනවට කැමතිත් නෑ. අනුකම්පා කරන්න ඕනි දරුවො උනත් මේ ළමයින්ට මෙහෙම වෙන්න හේතුව ඒ ළමයි නෙමෙයි නෙ ටීචර්. කෑමෙන් බීමෙන් අඩුවක් නැති උනත් නැති උන ජීවිතය මේ දරුවන්ට ආයෙම දෙන්න කාටවත් බෑ ටීචර්. හරිම තාවකාලිකව වෙලාවකට මිනිස්සු එනවා. ඇවිත් අනුකම්පා කරලා ආපිටම යනවා. මේ ළමයි ආයෙම තනිවෙනවා. ළමා නිවාසයක් කියන්නෙ අසරණ උන දරුවන්ට ආදරේ පිරුණු තැනක් කියලා ලෝකයා හිතුවට මෙතන තියෙන කඳුල උහුලන්න පිටලෝකයට බෑ ටීචර්. අඩුමගානේ ටීචර්ටවත් බෑ.
පිරිමි දරුවො උනත් නොසෑහෙන්න කරදර මේ ළමයින්ට. මට ඇවිදින්න අමාරුයි. මම නිවාසෙ උදව්වට අහම්බෙන් ආවත් ඒ එනකොට මට හරියට ඇවිදින්න බෑ. මම මේ තරමට හරි මෙහෙම ඇවිදින්නෙ මේ ළමයි නිසා. අද මොන තත්ත්වයක් උනත් මට මෙතන දාලා යන්න බෑ. මට ටීචර් යාලුවෙක් වගේ දැනෙන නිසා ටීචර්ට මෙහෙම කතා කලාට මෙතන වෙන අරියාදු ගැන ටීචර්ට කියලා මේ පුංචි කාලේට අපි එක්ක ඉන්න ආව ටීචර්ව අමාරුවෙ දාන්න මට ඕනි නෑ. "
ජීවිතය කියන්නෙ දවසින් දවස පරිච්ඡේද ගණනාවක එකතුවකින් ලියවෙන පොතකට. අපිට අයිති අපේ කතාවේ ඔයා මම සහ අපි හැමෝම ලේඛකයෝ විදියටයි මම දකින්නෙ. ලෝකයේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ටම කතාවක් ලියන්න පුළුවන්. ඒ තම තමන්ගේ ජීවිත කතාව. හැම කතාවකම රචකයා මියදුනත් ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට ලබාගන්න පුළුවන් පන්නරය එහෙමත් කෙනෙක් තමයි අකුරු කරලා තියලා නික්මෙන්නෙ.
ගහක් දිහා බලන් ඉන්න. ගහක් වෙන්න නම් පහුකරගෙන එන්න ඕනි කාල පරාසය ඒ ගහ දිහා බලනකොට අපිට තේරුම්ගන්න පුළුවන්. මේ ගහ අලුත් ද පරණ ද ඔය ආදී වශයෙන් කොහොම තේරුම්ගත්තත් ඒ ගහ ' ගහක් ' වෙන එක අපි බලාන හිටිය ද ?
ගහ සමාන කලොත් මනුස්ස ජීවිතයට ඇරඹුම පටන්ගමු අපි පුංචි බීජයකින්. පුංචි දරුවනුත් හරියට මේ බීජ වගේ.පුංචි දරුවන් මහ පොළොවට උරුමකම් කියාන උපන්නත් ළදරුවා කියන බීජය හරි විදියට පැළකරොත් විතරයි අපිට මහා රූස්ස ගහක පහස ලබන්න දිනෙක පුළුවන් වෙන්නෙ.
හිතුමනාපයට අපිට බීජයක් පැළකරන්න බෑ.අපි ඒ බීජය පැළකරන්න කලින්ම හඳුනගන්න ඕනි.දවසක ගහක් වෙයි ද ?වැලක් වෙයි ද ? පුංචි පැළයක් වෙලා නවතී ද කියලා.ඒ අඳුනගැනීම කරන්න තමයි දෙමව්පියන් ඉන්නෙ. වැඩිහිටියන් ඉන්නෙ. ගුරුවරුන් ඉන්නෙ.මේ මහපොළොවෙ එහෙම අඳුනගැනීම් කරන්න බැරිව ඉබේ හටගන්න කියලා ඔහේ විසිකරලා දාන බීජ අහුරු පිටින් එක කුලකයකට ගත්තොත් අහන් ඉන්න ඔයාට හිතෙයි , කඳුලු ඇයි මේ තරමටම බර කියලා.මම අද මගේ මතකය වර්තමානයට ගලපගන්න උත්සාහ කරන්නෙ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් උහුලන්නට බැරිතරම් අතිශය වේඳනාකාරි නිසා.මොකක්ද මෙහෙම වෙන්න හේතුව ?
බීජයක් පැළකරලා විතරක් මදි. ඒ බීජයට අවශ්‍ය හෙවන, හිරු රශ්මිය, ජලය, පොහොර විටින් විට සිදුවෙන පාරිසරික වෙනස්කම් වලින් ආරක්ෂා කරගැනීම ආදී ගොඩාරියක් කරුණු මතයි බීජය පුංචි පැළයක් වෙලා ,ගහක් වෙලා , මල් වරලා, ඵල දරලා , නියමිත කාලයේ දී තම වර්ගයාට ආයෙම ජීවය දීලා ටිකෙන් ටික මහා රූස්ස ගහක් වෙන්නෙ. පුංචි දරුවොත් ඒ වගේ. දෙමව්පියන්ගේ, පවුලේ අයගේ , වැඩිහිටියන්ගේ සහ ගුරුවන්ගේ ආදරය, රැකවරණය , සෙනෙහස ආරක්ෂාව වගේම යහමඟ පෙන්වීම මත ටිකෙන් ටික වැඩෙන දරුවා තමයි රටට සමාජයට දිනෙක මහා අස්වැන්නක් වෙන්නෙ.
දන්නවද ? ඉඩෝරයක් අත ළඟ එන බව දැනෙන මහ පොළොවට ඒ දාහය උහුලගන්න අමාරුයි අපේ හදවත්වලටත් මේ දැනෙන පීඩනය දරාගන්න අමාරුයි.ඉතින් ,දරුවන් පරිස්සම් කරන්න.ඒක වැඩිහිටියන් විදියට ඔබෙත් මගෙත් වගකීම. ඇස් හුරුකරන්න හරි විදියට ලෝකය දකින්න. රකින්න මේ මහපොළොවට අයිති ජීවිත.අකාලයේ මියෙන්නට නොදී රැකගන්න අනාගතය.හම්බකරන්න නිකම්ම නිකම් කඩදහි කොළයකට දීලා තියෙන ඉලක්කමක බර නෙමෙයි මනුස්සකම.වැඩිහිටියන් විදියට කියලා දෙන්න අපි විසින් රැකගතයුතු සාරධර්ම.
මුලින්ම අකුරු කරපු මතකය එක්ක මම අද වචන ගෙතුවේ සමාජයේ අපිට නොදැනෙන තරමට දුක් උහුලන අසරණ සමනලුන් වෙනුවෙන් වගේම කියාගන්න බැරිව ලෝකයකටම වෛර කරන , අකලට උපන් තනි උන පුංචි පැළ වෙනුවෙන්. කාටත් නොපෙනෙන්න ගලවලා, උගුල්ලලා, විනාශ කරලා දාලා තමන්ට අභිමත පරිදි පැළකරන්න නොදී පරිස්සමෙන් මේ පුංචි පැළ බලාගන්න. හූල්ලන සමාජයක කොටස්කාරයෙක් වෙලා අනාගතය වපුරන්න සූදානම් නොවෙන වෙලාවක ඔබත් මමත් එකතුවිය යුතු වන්නේ මෙහෙව් ජීවිත රැකගන්න. අරගල කරමින් හෝ රැකගත යුතුව ඇති බොහෝ දේ ඇති වෙලාවක සටන් කරමු අපි එහෙම ජීවිත වෙනුවෙන්. අපි අපි හොයන්නට ඉබාගාතේ දුවන ඉලක්කමක බරට වඩා අකලට මියැදෙන දරුවන්ගේ හදවතක බර දරන්නට අපි ඔවුන්ට වාරුවක් වෙමු. හැමදාමත් වගේ වචන එක්ක මතකයක් විදියට අපි ලියලා බෙදාගමු ආදරය ප්‍රේමය සහ ජීවිතය .අකුරු කැටිකොට ආදරණීය මිනිස්සුන් තැනීමට ඔබෙත් මගෙත් මතකයන් වචන හා එක්ව බෙදාගමු.