අප්පච්චි කියන්නෙ ගුරුවරයෙක්

post-title

ඉස්කොලේ නිවාඩු දවස් වලට මාත් අප්පච්චි එක්ක කුඹුරට යන්න පුරුද්දක් තිබුණා. එහෙම දවස් ආවහවම මං උදේ නැගිටින්නෙ අප්පච්චි එක්ක කුඹුරට යන්න බලාගෙනමයි. මට ම කියලා වෙනම පොඩි උදැල්ලකුත් අප්පච්චි හදලා දීලා තිබුණේ. අම්මා වැඩිය කැමැත්තක් තිබුණේ නෑ මං අප්පච්චි එක්ක කුඹුරට යනවට. අම්මට ඒ කාලේ බයක් තිබිලා තීනවා මං ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගනියි කියලා. ඒත් එහෙම වුනේ නැහැ. මං කුඹුරට ගියාට මගෙන් ලොකු වැඩක් වෙන්නෙ නැහැ. ඒත් අප්පච්චි කැමතියි මාත් කුඹුරට එනවට. එහෙම ගිය දවස් වලට උදේ තේ එක බොන්නෙත් අරන් යන දෙයක් කන්නෙත් කුඹුරෙ තියෙන පැල උඩම තමයි. ටික වෙලාවක් කුඹුරෙ අප්පච්චි එක්ක ඇවිදලා මං කෙලින්ම යන්නෙ වක්කඩ ලඟට. කුඹුරෙ වක්කඩවල් හතක් විතර තිබුණා. ඒ වක්කඩවල් වලින් උඩම ලියද්දෙ තියෙන වතුර වලින් වක්කඩෙ පතුල පේනවා. ඒ වක්කඩෙ ගොඩක් ඉන්නෙ වැලිගොව්වො මාලු උං ඉන්නේ පතුලටම වෙලා. ඒ වක්කඩෙ පතුල පේන නිසා උංව අල්ලන්න ලේසියි වතුර බොර කරන්නෙ නැතුව හිමීට අඩිය තියලා ගියහම. මැද තියෙන වක්කඩෙ ඉන්නවා දල තියෙන මාලු උංව මං අල්ලන්න යන්නෙ නෑ වැඩිය උං ඇන්නහම විස නිසා. 

පලවෙනි පාර එහෙම අල්ලන්න ගිහින් කලිසමේ චූ ගියා විසට. මං ඒ වෙලාවේ ගෙදර දුවන්න හදද්දී අප්පච්චි අඬගහලා ගෙන්න ගත්තා ලඟට. අප්පච්චිට තේරුනා මාලු ඇනලා තමයි කියලා කලිසමෙන් ආපු චූ ගඳට. මං ඒත් ඒ වැඩේ අතහැරලා දැම්මේ නෑ. අප්පච්චිට කිව්වත් මට කොහමහරි එයින් මාලු අල්ලලා දෙන්න කියලා. අප්පච්චි කිව්වෙ ඔයාම අල්ලගන්න කියලා.. අප්පච්චි එහෙම මට මාලුවෙක් අල්ලලා දෙන්නෙ නෑ කියලා මම අම්මටත් කිව්වා. 

අම්මා දවසක් රෑක අප්පච්චිට කිව්වා කොල්ලට ඔය කියන මාලුවෙක් අල්ලලා දීලා දාන්නකො කියලා. ඒ වෙලාවෙ අප්පච්චි අම්මට කිව්වා කොල්ලම අල්ලගන්න ඕන හැමදේම මං කරලා හරියන්නෙ නෑ කියලා.. මං දවසක් කොහම හරි පොඩි දැල් කෑල්ලකින් ඒ විස මාලුවෙක් අල්ලගෙන අප්පච්චිට පෙන්නුවා කොහමහරි මං අල්ලගත්තා කියලා.. ඒත් අප්පච්චිගෙ මූනේ ලොකු සතුටක් පෙනුනේ නෑ.. අප්පච්චි ඒ වෙලාවේ ඇහුවා අතින් නෙවෙයි නේද ඇල්ලුවෙ කියලා.. මාත් කිව්වා ඔව් අතින් නෙවෙයි දැල් කෑල්ලකින් කියලා. අප්පච්චි ආයෙත් කිව්වා අතින් අල්ලලා පෙන්නන්න කියලා..මං දන්නැ අප්පච්චි ඇයි එහෙම කිව්වෙ කියලා. මං ඒ අල්ල ගත්ත මාලුවව ආයෙත් වක්කඩටම දැම්මා කොහම හරි අතින් අල්ලනවා කියලා හිතාගෙන. 

ඔෙහාම දවස් දෙක තුනක් ම ඒ මාලුවෙක්ව අල්ලන්න ගිහින් කලිසමෙ චූ ගියා මාලු අනින නිසා. ඒත් එක දවසක් එහෙම අල්ලන්න හදද්දි එදත් ඇන්නා ඒත් මට වෙනදා වගේ කලිසමේ චූ ගියේ නෑ. මං එදා අප්පච්චිට කිව්වා අද මාලු ඇන්නට වෙනදා තරම් රිදුනේ නෑ කියලා. එදා අප්පච්චි මට කිව්වා එහෙනම් දැං ලඟයි මාලුවෙක් අල්ලන්න පුළුවන් කාලේ කියලා. කොහමෙන් හරි මං දවසක් අතින් එයින් මාලුවෙක් අල්ලගත්තා ඒ මාලුවා මට අනින්නෙත් නැතුව පරිස්සමට. එදා මං අප්පච්චිට බෝතලයක දාලා ඌව කුඹුරෙදිම පෙන්නුවහම අප්පච්චි ආඩම්බරකාර හිනාවකින් කිව්වා ඔය අල්ලගෙන තියෙන්නේ කියලා. මං එදා අප්පච්චිගෙන් ඇහුවා ඇයි අප්පච්චිට පුලුවන්කමක් තියෙද්දිත් අල්ලලා දුන්නෙ නැත්තෙ කියලා. අප්පච්චි කිව්වා එදාම මම උබට මාලුවෙක් අල්ලලා දුන්නනම් උබ මහන්සි වෙලා මාලු විස දරාගෙන අද ඔහම අල්ලන්නෙ නෑ කියලා. එදැයින් පස්සෙ ඒ විස මාලු අල්ලන්න තිබුණු බය නැති වෙලා ගියා. ඒ බය මට නොදැනුවත්වම උනත් අප්පච්චි තමයි නැති කරලා දැම්මේ. දැං වුනත් මොකක් හරි වැඩක් කරන්න ගිහින් හිතට බයක් ආවහවම අප්පච්චිව මතක් වෙලා ඒ බය තුනී වෙලා යනවා 

ඔව්! අප්පච්චි කියන්නෙ 

ජිවිතේ ගැට ලිහාගන්න 

ජිවිතය තනියම ලියාගන්න 

පොතක පතක නොලියුනු 

පාඩම් උගන්නපු 

ගුරුවරයෙක්

 

 

Top