ගුරු මතක දිනපොත: අම්මා කියන්නෙම ගුරු පත්වීමක් නො ලත් ප්‍රේමණීය ම ගුරුතුමිය (466)

post-title

" වැරැද්දට වෛර කරන්න. වැරැදිකරන්නාට ආදරේ කරන්න " 

 - මහත්මා ගාන්ධිතුමා 

ජීවිතය ගැන කියාදුන්න අපූරු ගුරුවරියක් මට මුණගැහුනා. ඇය මගේ ජීවිතයට ගොඩක් දේවල් කියලා දුන්නෙ හරි නපුරු විදියට. ඒක එදා පුංචි ළමයෙක් විදියට මට දරාගන්න පවා අමාරු උනා. මම අද මගෙන් දකින්න ආස ගුරු චරිතය හුඟක් සංවේදීව බිහිකරන්න මුල් උන හේතුවත් ඒ ගුරුතුමිය ම වෙන්න ඇති. අහිතකින් ඒ ගුරුවරිය ගැන කතා කරනවා නෙමෙයි. ඔයාටත් එහෙම අමිහිරි මතක ඇති ගුරුවරුන් ඇති. අද මගේ මතකය එක්ක මම කියන්නම් අපි කොහොමද ඒ අමිහිරි මතකයන් වලට සමාව දෙන්නෙ කියලා.

කාලයක් තිබ්බා, නොතේරුම් කමත් එක්ක වෛරයක් හිතේ තියන් ඇයට දණ ගහලා වදින්නවත් අකමැත්තෙන් හිටිය.

 'අපිට මුණගැහෙන හැම ගුරුවරයම පාඩමක් ' කියන තැන ඉදන් මම ඇයට සමාවදුන්නා. මීට දවස් කීපයකට කලින් මම ඇයව මුණගැහුනා. අපි එකට කෑව බිව්වා. කතා කලා. එදා මම මගේ හදවතින්ම ඇයට සමාවදුන්නා. අවුරුදු 12ක ට පස්සෙ මම ඇයට දණගහලා වැන්ඳා. සමහරවිට ඔයාට ඔයාගෙ වේඳනාකාරි මතකයන් එක්ක ඒ තැනට යන්න බැරිවෙන්න පුළුවන්. ඒත් ගුරුවරයෙක්ගෙන් ඔයාට අත්විඳින්න ලැබුණු අමිහිරි මතකයකට ඔයාට පුළුවන් නම් හදවතින්ම සමාවදෙන්න. ඔයා දවසක ලෝකයට ම හොඳ දේවල් පතුරන හොඳ බීජයක් වේවි. උත්සාහ කරන්න.

 ඒ ගුරුතුමිය නිසා මගේ ඇස්වලට දැනුන කදුලු වල බර දැකලා දවසක් මගේ අම්මා මට කියපු කතාවක මතකයේ ඇති තැන් කීපයක් මම වචන වලට මෙහෙම ගලපන්නම්.

" මම මේ කියන දේ ඔයාට පිළිගන්නත් පුළුවන් බැරිවෙන්නත් පුළුවන්. මේ ලෝකෙ මිනිස්සු මහ හුඟක් ඉන්නවනෙ. ඒ අය අතරින් අපි සුවිශේෂ කෙනෙක් වෙන්න නම් අපි ළඟ අනිත් අය ළඟ නැති මොකක් ම හරි හොඳ දෙයක් තියෙන්න ඕනි. තරහක් , කේන්තියක් මිනිස්සුන්ට ඇතිවෙන්නෙ එයාලට දරාගන්න අමාරු පීඩනයක් හිතේ හිරකරන් ඉන්නකොට. එහෙම වෙලාවක ඒ අය අතින් වෙන දේවල් අපිට දරාගන්න අමාරුයි තමා. ඒත් කවුරු හරි ඔයාට නොකරන දේකට චෝදනා කරනවා නම්, හේතුවක් නැතුව ම බනිනවා නම්, ගහනවා නම්, ගරහනවා නම්, මගෙ පුතාට කරන්න තියෙන එක ම දේ ඉවසන එක. අපිට තීන්දු තීරණ ගන්න බැරිතරම ට අසරණ වෙලා ඉන්න තැනකදි උනත් රණ්ඩුවට නොයා ඉවසන් ඉන්න පුළුවන් උනා නම් ඔයා දිනුම්" මගෙ අම්මා එදා මට එහෙම කිව්වා.

මම අදටත් මගෙ අම්මගෙ දර්ශනයට ගරු කරනවා. 

මෙහෙම හිතන්නකො, කිසිම හේතුවක් නැතුව ම ඔයාට කෙනෙක් ඇවිත් ගහලා යනවා. ඔයා ඒ අවස්ථාව පිළිගන්නෙ කොහොමද ? ප්‍රතිචාරය ඊටත් වඩා දරුණු වෙන්න පුළුවන් නෙ. එහෙම වෙලා ඒක එතනින් නතර නොවෙන්නත් පුළුවන්. ඒත් වරදක් නොකර ඔයාට අත උස්සපු පළියට ඔයත් ඒ දේම කරලා ඒ වරද ම කලොත් ඔයාට කවදාවත් සොබාදහමෙන් නම් හරි තීන්දුවක් ලැබෙන්නෙ නෑ. සරලවම කිව්වොත් කෙනෙක් ඔයාගෙ වම් කම්මුලට ගැහුවොත් ආපිට නොගහා ඔයා දකුණු කම්මුල පෙන්නලා ගහන්න කියන්න වගේ දෙයක් ඒක. හිතන්නවත් බෑ නේද ? ඒත් මගෙ අම්මගෙ දර්ශනේට මම හැමදාමත් කැමති. හිත සන්සුන් නොකර ජීවිත ගෙවන අපිව සන්සුන් කරන්න පුළුවන් එකම දහමට මම කියන නම තමා,

" අම්මා " 

එයා අපිට ඉගැන්නුවා , ඔලුව පුරවන්න කලින් හොඳම දේවල් වලින් හිත පුරවන්නෙ කොහොමද කියලා.

* තමන්ගෙ හෘද සාක්ෂියට අනුව ජීවත්වෙන්න ඕනි

* තනි උන කෙනෙකුට නොරිදෙන්න සමීප වෙන්න ඕනි

* උදව් ඕනි ඕනිම කෙනෙකුට පුළුවන් දේ කරලා දෙන්න, ඒ දේ ආපිටම බලාපොරොත්තු නොවී ඉන්න ඕනි

* තමන් ගැන අවිශ්වාසෙන් ඉන්න කෙනෙකුට විශ්වාසය දෙන්න, ඒ හිතට ධෛර්යයක් දෙන්න ඕනි 

* හිතින් සහ ගතින් වැටෙන්න වැටෙන්න අපි ශක්තිමත් වෙන්න ඕනි 

* අපි දුක් උන හේතුවක් කවමදාකවත් කාගෙවත් දුකකට හේතුවක් නොවෙන්න වගබලා ගන්න ඕනි 

* ඔයාට කාලයක් නොලැබුන දේවල් ඔයාට දැන් ලැබුනම, දැන් එහෙම නොලැබෙන තැන් හොයලා ඒ දේවල් බෙදාගන්න ඕනි 

* මිනිස්සුන්ට වගේම සත්තුන්ට ආදරේ කරන්න ඕනි 

* ඇති තැන්වලදි හෝ නැති තැන්වලදි මිනිස්සු අපහසුතාවට පත්වෙන කතා කියනව නම් ඒ දේවල් වලට හූමිටිවත් නොතියම ඈත්වෙන්න ඕනි 

* ලෝකය සහ මිනිස්සු මොන තරම් වෙනස් උනත් ඒ වෙනසට ගරු කරලා ඔයා ඔයාම විදියට පිළිගන්න ඕනි 

* මිනිස්සු උන අපි හැමෝටම වැරදි , අඩුපාඩු , අත්වැරදි වෙන නිසා ජීවිත කාලයටම සමාවදෙන්න ඕනි සහ ඔයාගෙ හිතට ඔයා වරදක් කලා කියන තැනකදි දෙපාරක් නොහිතාම ඔයාගෙන් උන වරදට සමාව ඉල්ලන්න ඕනි 

ඉතින් අද මමත් ගුරුවරියක්. මගෙ අම්මට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් ගුරු තරුවක් වෙන්න හීන මවන පුංචිම පුංචි තරුවක්. ගුරුවරයෙක්ට පුළුවන් ළමයෙකුගෙ හදවත ආදරයෙන් පුරවන්න සහ ඒ ළමයට උරුම ලෝකය දිනවන්න. ඒ වගේම ගුරුවරයාට පුළුවන් ළමයෙකුගෙ හිත වෛරයෙන් පුරවන්න සහ ඒ ළමයට උරුම ලෝකය උදුරගන්න . ඉතින් අපි මැරෙනකන් උත්සාහ කරමු ආදරේ බෙදන්න. මුළු ලෝකයටම. අපිට වරදින්න විදියක් නෑ සත්තයි.

මගේ අම්මා තමයි ගුරු පත්වීමක් නොලබාම මගේ ජීවිතයට මඟපෙන්වපු මට මුණගැහුන ප්‍රේමණීයම ගුරුතුමිය. මේ මතකය පත්වීමක් නොලබාම අපිව යහමඟ යවන්න අපේ හිත් ප්‍රේමයෙන් පුරවපු අම්මලාට.

ඉතින් ඔයාටත් පුළුවන් , අමිහිරි ගුරු මතකයන් වල අසුන්දර තැන් මකලා සුන්දර තැන් වලින් ලෝකය සරසන්න. මේ මගේ වචන. ඉතින් වචන එක්ක ඔයත් ඔයාගෙ මතකයන් බෙදාගන්න

Top