කුඹුරට යාබදව අපිට තිබුණා එළවළු කොටුවක්. අපි වැඩිපුර කාලය ගත කරේ ඔය එළවළු කොටුවෙ. අපි කිව්වෙ මායි නංගියි. කොටුවෙ තිබුණු ලොකු දං ගහ යට තමයි අපිට වාඩිවෙන්න පැලක් හදලා තිබුණේ අප්පච්චි. වාඩිවෙන්න කිව්වට ඒකේ අපි නිදාගන්න දවසුත් තියෙනවා. මොකද ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ගෙදර අම්මා තම්බලා තියෙන දෙයක් කාලා අම්මත් එක්ක කෙලින්ම එන්නෙ එළවළු කොටුවට නිසා.
අපේ කුඹුරෙ එක කෙළවරක තියෙනවා කලු ගලක්. ඒ කලුගලට අපි කිව්වෙ නිධන් ගල කියලා. ඔය නිධන් ගල පේන්නෙ කුඹුර අස්වද්දන කාලෙදි විතරයි. ගොයම් ගස් වැවෙන්න ගන්නකොට නිධන් ගල නොපෙනි යනවා. ආයෙත් නිධන් ගල පේන්නෙ ගොයම් කැපුවහම තමයි.
මායි නංගියි ඔය නිධන් ගලට පහණක් පත්තු කරලා මල් එහෙම තියනවා. බිල්ලට තියෙන්නේ වක්කඩෙන් අල්ල ගත්ත හුංගො හරි තිත්තයෝ හරි තමයි. අපි එහෙම කරන්නෙ දවසක් නිධානයක් ගන්න විදිය කතාවක යනවා දැකපු නිසයි. ඒකත් දැක්කේ අහම්බෙන් වගේ රෑක බූමිතෙල් ගේන්න කඩේට ගිය වෙලාවේ කඩේ ගෙදර ටීවී එකෙන්.
අම්මා අප්පච්චි අනන්තවත් අපිට බනිනවා ඔය පහන පත්තු කරනවා දැක්කොත් එහෙම "මේ හැන්දෑවේ පහන් පත්තු කරලා උබලා යක්කු ගෙන්න ගන්නද හදන්නෙ" කියලා. ඒ නිසා අපි පහන් පත්තු කරේ අම්මලගෙ ඇස් වහලා.
අපි ඔය පහණ පත්තු කරලා කටින් බෙර සද්ද එහෙම දානවා ගල දෙබෑකරගෙන නිධානයක් මතුවෙයි කියලා හිතාගෙන. අපි කොච්චර කාලයක් එහෙම කරාද කියලා මතකයක් නැහැ. ඒත් ඉතින් කවදාවත් එහෙම ගල දෙබෑකරගෙන නිධානයක් මතු වුනෙ නම් නැහැ.
දවසක් නංගී අප්පච්චිගෙන් ඇහුවා "අප්පච්චි අර කුඹුරෙ තියෙන ගලේ නිධානයක් නැද්ද?" කියලා. එදා අප්පච්චි කිව්වෙ "ගලේ විතරක් නෙවෙයි කුඹුරම නිධානයක්" කියලා. ඒත් අප්පච්චි ඒ කිව්වෙ මොකක්ද කියලා මටවත් නංගිටවත් තේරුනෙ නැහැ.
අප්පච්චිගෙ ස්ථීර රස්සාව වුනේ මේ ගොවිතැන නිසා අප්පච්චි වෙන රස්සාවක් කරෙ නැහැ. කරන්න ඕන වුනෙත් නැහැ අපිට තුන්වේල හොඳට කන්න බොන්න ගෙදර වියදම් හැමදේම ගොවිතැනෙන් ලැබුණු නිසා. ඒත් අපිට තේරුම් ගිහින් තිබුණේ නැහැ අපිට ඒ හැමදේම ලැබෙන්නෙ ඒ නිධන් ගල තියෙන මඩ පොළවෙන් කියලා.
ඔහොම කාලය ගෙවෙමින් තියෙද්දි මහ වැස්සක් ආවේ දවස් ගානක් එක දිගට නවතින්නෙ නැතුව. ඒ වැස්සට තමයි මං මුලින්ම දැක්කෙ අපේ ගඟ උතුරනවා. ගඟ උතුරලා පාරවල් කුඹුරු ඔක්කොම යට වුනේ හරියට මුහුද වගේ. ඒ වැස්ස ආවේ හරියටම ගොයම් කපන්න දවස් දෙක තුනකට කලින් නිසා අපිට ගොයම් ටික කපාගන්න බැරුව ගියා.
ඒත් අපිට බතෙන් අඩුවක් තිබුණේ නැහැ ගෙදර මහ කන්නෙ වී තව ඉතුරුව තිබුණු නිසා. ස්වාභාධර්මය කොහම වෙනස් උනත් පොඩි අපි ඒ කාලෙ හුරු වෙලා තිබුණේ ඒ වෙනස් වීමෙන් ප්‍රයෝජන ගන්න. අපිට ඒ කිසිම දේක බරක්පතලක් නැති නිසා අපිට ඕන වුනේ ගංවතුරෙන් විනෝද වෙන්න විතරයි කෙහෙල් කොට පාරුවක් එහෙම හදාගෙන.
ගං වතුර බැහැලා යන්න සති දෙකක් විතර ගියේ අම්මා අප්පච්චිලාගෙ ඇස් වලට කඳුලු පුරොවලා. ඒ ගං වතුරෙන් කුඹුරත් එළවළු කොටුවත් දෙකම නැත්තටම නැතිවෙලා තිබුණේ. හැමදේම මුල ඉඳලා පටන් ගන්න වුනා. මහ කන්නෙ ඉතුරු වෙලා තිබුණු වී ටිකත් ඉවර වෙලා තිබුණේ කියලා අපි දැන ගත්තෙ අම්මා තුන් වේලටම කොස් දෙල් අල බතල තම්බන්න ගත්තහමයි.
එතකොට අපිට තේරුනා ගෙදර ඉතුරු කරගත්ත සල්ලියක් නැහැ කියලා අම්මා අප්පච්චිලගෙ මුහුණු වලින්. අප්පච්චිගෙ මුහුණ තිබුණේ ඒ ගෙවනු දවස් ටිකේ චූටි නංගී ලිඳේ වැටිලා මැරුණු දවස් ටිකේ තිබුණා වගේ. ඒ තරමට වේදනාබර ව.
ඒ ගෙවිලා ගිය දවසක රෑ නංගිට රෑට කොස් කන්න බෑ කියලා මූණ බෙරි කරන් හිටියේ "දවලුත් කොස් කෑවේ ඊයෙත් රෑ කොස් කෑවේ" කියන ගමන් නංගි අප්පච්චිගෙ තුරුලට ගිහින් අප්පච්චිට කිව්වා "අප්පච්චි අර කුඹුරෙ තියෙන ගලේ නිධානය මතු වෙනවනම් අපිට සල්ලි ගොඩාරියක් හොයාගන්න පුළුවන් නේද" කියලා.
අප්පච්චි ඒ වෙලාවේ නංගිට කිව්වා "මෙච්චර කාලයක් අඩුවක් නැතුව උබලට කන්න බොන්න දුන්නෙ ඒ මඩ පොළවෙන් ලැබෙන නිධානය නිසා තමයි" කියලා.
එදා තමයි මටත් තේරුනේ මේ මහ පොළව කියන්නෙම අමිල නිධානයක් කියලා.