වැහි එක්ක මං - ඔයයි මමයි ආදරෙයි නම් ඇයි අපිට අරගලයක් ?

post-title

ඔයාගෙයි මගෙයි ආදර කතාව ඇතුළෙ තියෙන්නෙ පුදුමාකාර ආත්මාර්තකාමී හැගීමක්. “දැන් හැදෙන ළමයි ආදරේ කරන්න දන්නෙ නැහැ” කියලා වැඩිහිටි පරම්පරාව පුරුද්දට වගේ ඇඟිල්ල දික් කළත් ඒ යුගයෙයි මේ යුගයෙයි වැඩි වෙනසක් නැහැ කියලා ඒ ජීවිත දිහා බලද්දි තේරෙනවා. ඒකට හේතුව මිනිස්සු ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමී වීම. තමන්ගෙ ආත්මයට කේන්ද්‍රගත වෙලා අර්ථයක් සෙවීම. අපේ පරම්පරාවෙයි ඒ පරම්පරාවෙයි වෙනස - අපේ පරම්පරාව ආදරය හඳුනන්නෙ නැහැ කියන එක ඇස්පනාපිට පේන්න තියෙනවා. ඒ පරම්පරාව ඒ  අහේතුව හේතුඵලයක් ඇතුළෙ වහගෙන ඉන්නවා.

ආදරය කරන්න ගත්තාම ඔයයි මමයි බොහෝමයක් වෙලාවට අරගල කරන්නෙ අනෙකාව පරිස්සම් කරන්න සහ අනෙකාගෙන් පරිස්සම් වෙන්න. ඔයා මාව සමාජයෙන් ප්‍රවේසම් කර ගන්න වෙහෙසෙනවා. ඔයා මාව තෙහෙට්ටු වෙන්න නොදී ගෙදර තියා ගන්න වෙහෙසෙනවා. ඔයා මගෙ ළගට වේදනාවන් එන්න නොදී කඩු කිනිසි දරා ගෙන මාව ආරක්ෂා කරනවා. මම මගේ වර්ධනය උදෙසා අරගල කරනවා.

ශ්‍රී ලංකාවෙ මම දැකපු බොහෝමයක් දෙමවුපියන් දරුවන්ට ආදරය කරන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ හැගීම්වලට අතිශය ආත්මාර්ථකාමී භයංකර තත්ත්වයකින් බද්ධ වෙලා ජීවත් වෙන්නෙ. ඒ නිසාම දරුවන්ට “එපා“ කියන වචනෙ අහන්න ලැබෙන වාර ගණන වැඩියි. මට මතකයි පහුගිය කාලෙ දවසක හවස දියවන්නාව ළග ඉන්න කොට මං දැක්ක සිදුවීමක්. ඒ වෙලාවෙ එතනට  ෆැමිලි එකක් එතනට ආවා. පුංචි දරුවා වැව අයිනට යන කොට ඒ අම්මා එක පාරට කෑ ගැහුවෙ “යන්න එපා ඔයා වැටෙයි“ කියලා. දරුවා ආපහු හැරිලා එන කොට අම්මයි තාත්තයි දරුවගෙ හුරතල් ඇවිදීම බලලා හිනාවුණා. ඇය කළ යුතුව තිබුණෙ දරුවට වැව අයිනට යන්න දෙන එක. දරුවා වැටෙයි කියලා හැඟීමක් ආවා නම් කළ යුතුව තිබුණෙ දරුවත් එක්ක වැව අයිනට යන එක. වැටෙන්න නොදී අල්ලගන්න සූදානමින් දරුවා තමන්ගෙ අධ්‍යයනය ඉවර වෙනකම් ඔහුත් සමග ඉන්න එක. මම හිටිය තැනින් නැගිටලා බස් එකක් ගන්න පාරට ආවා.

දියවන්නාව ළග මේ බස් නැවතුමේදි ම මම එක දවසක් මහේෂ්වරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“ඔයා බොදු බල සේනාවට විරුද්ධව ඔය තරම් තදින් දේශපාලනය කරලත් ඇයි එයාට ඒකෙ වැඩ කරන්න ඉඩ දෙන්නෙ ?“  මහේෂ්වරන් හිනා වුණා..

“මම මගේ අත්දැකීම්වල මට්ටමින් එයාට පැහැදිලි කරලා දුන්නා. ඒ වුණත් එයාට ඒක කරන්න ම ඕනි නම් මම ඒකට ඉඩ දෙන්න ඕනිනේ. ආගමික අන්තවාදයෙන් එයාගෙ අධ්‍යාත්මය විනාස වුණොත් මම ඉන්නවා එයාට ආයෙ ම ගොඩනැගෙන්න උදවු කරන්න.”

මට වැඩියෙන්ම වටින්නෙ මහේෂ්වරන්ගෙ අවසාන ප්‍රකාශය.

පාවුලෝ කොයියෝ කියනවා මිනිස්සු කවදාවත් කියා දීමෙන් ඉගෙන ගන්නෙ නැහැ කියලා. ඔවුන් වර්ධනය වෙන්න නම් තමා විසින්ම අධ්‍යනයක නිරත විය යුතුයි කියලා. අපි දෙන්නගෙ ආදර අරගලය ඇතුළෙ ඔයා හිතනවා මාව ප්‍රවේසම් කරන්න ඕනි කියලා. නිතරම මගේ ක්‍රියාවන්, ආසාවන් බිඳ දමමින් මට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙනවා. ඔයා මාව කිසිම උපද්‍රවයකින් තොර මාවතකට ගෙනියන්න උත්සාහ කරනවා. ඔයාව හමුවෙන්න කලින් මම ලබා ගත්ත අත්දැකීම් ප්‍රමාණයත් ඒ අත්දැකීම් නිසාම මම දැන් සිටින තත්වයෙන් ජීවත් වන බවත් ඒ නිසාම ඒ ජීවන රටාවට ඔයා ප්‍රේමයෙන් වෙලුන බවත් ඔයාම අමතක කරනවා. කෙටියෙන්ම නම් ඔයාට ප්‍රේමයෙන් වෙලෙන්න උපදින්න තියෙන හේතු සියල්ලම ඔයා විනාස කරන්න පටන් ගන්නවා. මම ඔයාට එකඟවුණොත් මාව සීරීම් තුවාලවලින් ආරක්ෂා වේවි. නමුත් මා වයස්ගත වීමෙන්වත් මරණයට පත් වීමෙන්වත් ඔයාට මාව ආරක්ෂා කර ගන්න බැරි වේවි. ඔයාගෙ සම්පූර්ණ ආත්මාර්ථකාමී ආරක්ෂාව ඇතුළෙ අවුරුදු 60ක ශරීරයකිනුත් අවුරුදු 7ක මනසකිනුත් මිය යන්න ඔයා මට යෝජනා කරමින් ඉන්නවා.     

ඛලීල් ජිබ්රාන් The Prophet ලියමින් කියනවා ප්‍රේමවන්තයන් අතර සැම විටම පරතරයක් වැඩෙන්න ඉඩ දෙන්න කියලා. ප්‍රේමවන්තයන් එකිනෙකාගෙ සෙවණේ නෙවෙයි එකිනෙකාට සමාන්තරව වැවෙන ගස් දෙකක් වගේ වර්ධනය විය යුතුයි කියලා ඔහු කියන්නෙ. මේ ප්‍රකාශය Mike George මෙඩිටේෂන් පොතක ලියනවා. ඒකෙන් කියවෙන්නෙ ජිබ්රාන්ගෙ මේ ප්‍රකාශය ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කිරීම ඇත්තටම භාවනාවක් හා සමානයි කියන එක.

Top