වැහි එක්ක මං - වේදනාවත් මිනිස්සුන්ව ජීවත් කරවනවා.

post-title

පරිසරයේ සීතල හරියටම විඳගන්න නම් උණුසුම් කෝපි උගුරකුත් එක්ක පාන්දර එකට දෙකට මාකේස් කියවන්න ඕනි. මගෙ පොත් රාක්කෙ අතේ දුරින් මාකේස් ඉන්නවා. ඒ වුණත් හිතේ හැටියට මේ කිසිවක් විඳගන්න ඉඩක් නැහැ.  බල බල හිටිය නීති පොත් ගොන්න පැත්තකින් තියලා මම ජනේලෙන් එළිය බැලුවා. “තරු අරුන්දතී නෙතු පහන් නිවා... දුර  නිසොල්මනේ හිඳිනා...” කොතනක හරි හුදෙකලා හදවතක් තවම අවදියෙන් නවාතැන මොකද්ද කියලා හරියට ම හඳුනගන්න මට උවමනාවක් නැහැ. ඇස් දෙක පියාගෙන ගීතයට සවන් දුන්නා. මේ වගේ රාත්‍රියකට ගැළපෙන ම ගීතයක්, තනුවක්, කටහඬක්, වචන පෙළක්. 

 

මම මේ මිහිතලේ දැකපු, අත්විඳපු සුන්දරතම දෙයක් තියෙනවා නම් ඒ තමයි මනුෂ්‍ය සංවේදනා. මිනිස්සු කියන්නෙම හරිම සංවේදී ජාතියක්. ඔයා කවුරු හරි කෙනෙක් දිහාවට ඇඟිල්ල දික් කරලා එයා ටිකක්වත් සංවේදී නැති මිනිහෙක් කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. එයාගෙ සංවේදී නොවන රූපය ඇතුළෙ ගැහෙන්නෙත් අතිශය සංවේදී මනුෂ්‍ය හදවතක්. ඔයාට එයාව දැනෙන විදියෙ වෙනසක් තියෙනවා වෙන්න පුලුවන්. හේතුව අපි එකිනෙකාගෙන් වෙනස් වීම. අපි එකිනෙකාගෙන් වෙනස් වෙන්නෙ අපිට දැනෙන සංවේදනයන්ට අපි විවෘත වෙන්නෙ, පිළිගන්නෙ, ඒ සංවේදනයන් හසුරුවන්නෙ කොහොමද කියන එක මත. 

 

මිනිස්සු තමන්ට ම කියලා ලොජික් ගොඩනගා ගන්නෙ හරිම පුදුම විදියට. පුංචි දරුවෙක් ව උදාහරණෙකට ගන්න. එයාගේ හිත දීප්තිමත් දේවල් විසින් කුල්මත් කරනවා. එයා ගින්දරට ආකර්ශනය වෙනවා. එක පාරක් ගින්දර අල්ලලා බලනවා. එයාව පිච්චෙනවා. අත අහකට ගන්නවා. ටිකක් ක්‍රියාශීලී හිතුවක්කාර දරුවෙක් නම් දෙවැනි, තුන්වැනි වරටත් ට්‍රයි එකක් දෙනවා. ගින්දර නිසා තමන් පිළිස්සෙන බව ඒක තමන්ට හානියක් බව එයා හඳුනා ගන්නවා. ‘ගින්දර අත හැරිය යුතුය’ කියන නිගමනේට ඒ දරුවා කිසිම දවසක එළඹෙන්නෙ නැහැ. ඒ වෙනුවට එයා ගින්දර පාවිච්චි කරන්න ඕනි කොහොමද කියන එක ඉගෙන ගන්නවා.  ඒ දරුවා වැඩිහිටියෙක් වුණාම තමන්ගෙම වර්ගයාට මේ ලොජික් එක බද්ධ කරන්නෙ හරි පුදුම සහගත විදියට. එයා මිනිස්සු දහ දෙනෙක්ව විශ්වාස කරනවා. අට දෙනෙක් එයාගේ විශ්වාසය බිඳිනවා. එයා නිගමනයකට එළැඹෙනවා මනුෂ්‍යයා කියන්නෙ තමන්ගෙ හැඟීම් පටියෙන් ඉවත් කළ යුතු කොට්ඨාසයක් බව ම. ‘මම තව දුරටත් මිනිස්සුන්ව විශ්වාස කරන්නෙ නැහැ’ කියන තීරණයට එයා එනවා. එයා මිනිස්සුන්ට ආදරය කිරීම අතහරිනවා. විශ්වාසය අතහරිනවා. අනෙකාව විශ්වාස නොකරන කෙනෙක් අතින් අනෙකාගේ විශ්වාසය බිඳෙන්න පටන් ගන්නෙත් නොදැනුවත්වම යි. මේක චේන් එකක් වගේ ඉස්සරහට යනවා.  ගින්දර වලිනුයි මනුෂ්‍යාගෙනුයි අපිට වේදනාව දැනුණත් අපි අපේ ලොජික් එක දෙන්නාට ආදේශ කළේ දෙවිදියකට. ජීවිතේ කිසිම දවසක ගින්දර අත හරින්නෙ නැති ඔයා මනුෂ්‍යාව අත හරිනවා. ලොජික් එක නිවැරදිව ආදේශ කරනවා නම් ඔයා කරන්න ඕනි මනුෂ්‍යාව අතහැරීම නෙවෙයි. විශ්වාසය දිගටම පවත්වා ගැනීම. අනෙකාගෙන් ඕනෑම විදියක ප්‍රතිචාරයක් ඕනෑම මොහොතක ලැබෙන්න පුලුවන් බව ඉගෙන ගෙන ඔවුන්ව විශ්වාස කිරීම. මනුෂ්‍ය ස්වභාවය යථාර්ථවාදීව හඳුනාගෙන මනුෂ්‍යාව සිප ගැනීම. 

 

තවත් ගැඹුරට අපි විශ්ලේෂණය කරලා බැලුවොත් ඔයා ගින්දර අල්ලන්න ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්න පටන් ගන්නෙ අත පිළිස්සුන නිසා නෙවෙයි. අත පිළිස්සීම ඔයාට වේදනාවක් වුණ නිසා. අත පිළිස්සීම ‘වේදනාවක්’ ය කියන හැඟීමෙන් ඔයාට වියුක්ත වෙන්න පුලුවන් නම් ගින්දර අල්ලන එක ඔයාට කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. කොහොම උණත් ගින්දර කියන්නෙ මනුෂ්‍ය ආත්මයකට බද්ධ වුණ දෙයක්. කෝවිලට ගියත් පන්සලට ගියත් වෙනසක් නැතිව පහන් වැටි දැල්වෙනවා. 

 

ඔයාගෙයි මගෙයි බාහිර හැසිරීම හැම වෙලාවෙම වගේ රඳා පවතින්නෙ අපි අපේ සංවේදනයන් හසුරුවන්නෙ මොන රටාවට ද කියන කාරණය මත. බරපතල වේදනාවකට ප්‍රතිචාර දක්වන්න ඔයාට ක්‍රම ගණනාවක් තියෙනවා. ඔයාට පුලුවනි ඒ වේදනාව නොදැනුනා වගේ ඉන්න. එහෙමත් නැත්තම් ඔයාට පුලුවනි ඒ වේදනාව පරිවර්තනය කරන්න. ඔයාට පුලුවනි වේදනාව මරණයකට, පරුෂ වචනවලට නැත්තම් කඳුලුවලට පරිවර්තනය කරන්න. වේදනාවක් මරණයකට හෝ පරුෂ ක්‍රියාවකට හෝ පරිවර්තනය කරන්න කලින් අපි අපේ ජීවිතවල වටිනාකම හඳුනාගෙන ඉන්න ඕනි. වේදනාවක් කඳුලට පරිවර්තනය කරන්න කලින් ඔයා ඔයාගේ කඳුලුවල හැඟීම්වල බර හඳුනාගෙන ඉන්න ඕනි. 

 

 මාකේස් එක වෙලාවකදි කියනවා, ‘ගැටලුව තියෙන්නෙ ඔයාට සිදු වූ සිදුවීමෙ නෙමෙයි, ඔයාට මතක තියෙන්නෙ මොනවද සහ ඔයා ඒක මතක තියා ගන්නෙ කොහොමද? කියන එක ඇතුළෙයි’ කියලා. ඔව් ඒක ඇත්ත. මොරොක්කෝවෙ ඉපදිලා ඊජිප්තුවෙ ජීවත්වෙන Jannat Mahidකියන සුන්දර අරාබි ගායිකාවගේwaheshnieidutilmesny’ ගීතය මගේ ඔලුවට එනවා. ‘I’m crying not singing’ කියලා ඉතාම මධුර ගැඹුරු හඬකින් ඇය කඳුලට වටිනාකමක් දෙන විදිය හදවත කීරි ගස්සනවා. මම ඇගේ කටහඬට කොහොමත් ප්‍රියයි. වේදනාවලට වටිනාකමක් දෙන මිනිස්සුනට කොහොමත් ආදරෙයි. මගේ දිනපොතේ පහුගිය අවුරුද්දක ජූලි  තිස් එක්වෙනිදාවක මෙන්න මෙහෙම සටහනක් ලියැවිලා තිබුණා. “ඔයා දන්නවා ද සාමාන්‍ය මිනිසෙක්ගෙයි ලේඛකයෙක්ගෙයි වෙනස මොකද්ද කියලා.? සාමාන්‍ය මිනිහෙක් අඬනකොට එයාගෙ හිතවතුන් එයාව වටකර ගන්නවා. නාඩන්න හේතු කියනවා. සනසන්න උත්සහ කරනවා. ලේඛකයෙක් අඬනකොට එයාව මිනිස්සු වට කර ගන්නවා. සුබ පැතුම් එවනවා. තව ලියන්න කියනවා.”

දැන් ඔයාට පුලුවන් ඔයාගේ වේදනාව ගැන තීරණයක් ගන්න

Top