එන්න, අධ්‍යාත්මික ප්‍රේමයෙන් අපි බැඳෙමු -වැහි එක්ක මං තීරු ලිපිය (167 වන ලිපිය)

post-title

එක දිගට වෙහෙසකර දින ගණනාවක් ගෙවන්න නියමිතයි. සැහැල්ලුවෙන් ඇවිදපු යුගයට තිත තියලා උදේ හවස උසාවි යන්න පටන් ගන්න තැනට ඔලුව හදා ගන්න ඕනි. මේ තාක් දුරකට ජීවිතේ මට දැණුනෙ ගමන් මහන්සිය විතරයි. ඒ මහන්සිය වුණත් මම නැවතුණ ගිමන්හල්වලදි මට ලැබුණ ප්‍රේමයත් එක්කම අතුරුදන් වෙලා ගියා. වෛරය, අවිද්‍යාව, මෝහය වගේ දූෂ්‍ය සත්කාරවලට වඩා මට මේ තාක් දුරට මේ ගමනෙදි ලැබුණෙම ප්‍රේමය. අනාගතය ගැන කියන්න මම දන්නෙ නැහැ.

ප්‍රේමයේත් විවිධ ස්වරූප සහ විවිධ ස්ථාන මට මුණ ගැහුණා. පරාර්ථකාමී ප්‍රේමය, දැඩි ආත්මාර්ථය හා බැදුණ ප්‍රේමය, මමත්වය නිසා මතුපිටට ඉල්පෙන්න බැරිව වේදනා විදින ප්‍රේමය මට නොයෙක් තැන්වලදි මුණ ගැහුණා. ප්‍රේමයට පැවතිය යුත්තේ එක් ස්වරූපයක් පමණක් ද කියන ප්‍රශ්නය මේ නොයෙක් ප්‍රේමයන් අත් විදින අතරෙ මම මගෙන්ම අහ ගත්තා. ඒ හැම අවස්ථාවකදිම නොයෙක් උපහැරණ සිදුවීම් අතරින් බයිබලයේ මම කැමතිම පරිච්ඡේදය මට මතක් වුණා.

“සියලු දීමනාවලට වඩා උතුම් දීමනාව ප්‍රේමයයි.”

“මම මනුෂ්‍යයන්ගේ ද දේවදූතයන්ගේ ද භාෂාවලින් කතා කරන්නෙමි. නමුත් මට ප්‍රේමය නැත්නම් හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමාන වී සිටිමි.”

“මා සන්තක සියල්ල දිළිදුන් පෝෂණය කරන පිණිස දෙතත් මාගේ ශරීරය දවන්නට භාර දෙතත් මට ප්‍රේමය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත.”

“ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. ගුණවන්තය.”

“ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. ”

“ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත. උඩගු වන්නේ නැත. අශෝබන ලෙස හැසිරෙන්නේ නැත.”

“තමන්ගේම කාරණා ගැන හොයන්නේ නැත.”

“සියල්ල දරා ගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය.”

“අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වන්නේය.”

“ප්‍රේමය කිසි කලෙක පහ වන්නේ නැත.”

මේ ප්‍රේමය - කරුණාව සහ තවත් බොහොමයක් දේ සමග බැදුණ ඉතාම ගැඹුරු ආධ්‍යාත්මික තත්ත්වයක්. බෞද්ධයන් පසුකාලෙකදි ග්‍රන්ථ පාඨවලට වහල් වෙලා තමන්ගෙම අධ්‍යාත්මයට සීමා පනවා ගත්තත් බුදුන් වහන්සේ ධර්මය බෙදා හැරිය ආකාරය සහ බයිබලයේ මේ පරිච්ඡේදයේ ප්‍රේමයේ හැසිරීම අතරෙ මට ලොකු වෙනස්කම් පෙනෙන්නෙ නැහැ.

මට මගේ මිතුරියක් සහ මිතුරෙක් අතර ඇති වුණ සංවාදයක් මතක් වුණා. ඇය ප්‍රේමයත් කරුණාවත් බෙදීමෙන් තෘප්තිමත් වන්නියක්. ඔහු දානයෙන් තෘප්තිමත් වන්නෙක්. ඔහු කුරුණෑගල ළමා නිවාසයක දරුවෙකුගෙ භාරකාරත්වය භාර ගෙන වියදම් දරනවා. දරුවාගේ අධ්‍යාපනික සහ අනෙක් සියලුම අවශ්‍යතා වෙනුවෙන් වියදම් දරන්නේ මොහු. ඇය සිය අධ්‍යාත්මික වටිනාකම් බෙදා හැරීමෙන් සතුටට පත් වන්නියක්. මේ නිසාම ඇය ඔහුට ලස්සන යෝජනාවක් කරනවා. ඒ අර කුරුණෑගල දරුවාගේ දෙමාපිය භාවය මේ දෙදෙනාට ලබා ගන්න. ඇය සැලසුම් කළේ ඔහුගේ මූල්‍යමය දානයත් ඇයගේ ප්‍රේමණීය දානයත් ඒ දරුවාට ලබා දෙන්න. නමුත් මමත් ඇයත් නොසිතූ පිළිතුරක් ඔහුගෙන් ලැබෙන්නෙ. ඒ ආකාරයට අනාථ දරුවෙක් භාර ගැනීමේ අවදානම පිළිබද ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරනවා. සමාජයෙන් එල්ල විය හැකි අපහාස පිළිබද කරුණු හුවා දැක්වීම දක්වා ඔහුගේ කතාව දික් ගැහෙනවා. මගේ මිතුරිය ඔහුගේ දානය පිළිබද පුදුමයට පත් වෙනවා.

“මා සන්තක සියල්ල දිළිදුන් පෝෂණය කරන පිණිස දෙතත් මාගේ ශරීරය දවන්නට භාර දෙතත් මට ප්‍රේමය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත.” කියලා බයිබලයේ තියෙන්නෙ මේ ගැටලුවට/විස්මයට පිළිතුර. අධ්‍යාත්මිය දානය පිළිබදව මනුෂ්‍යයා අවධානය යොමු කරන්නෙ නැහැ. මම දකින තරමින් මූල්‍යමය දානයටත් වඩා වැදගත් සහ දුෂ්කර වන්නේ ආධ්‍යාත්මීය දානය. ප්‍රේමය කරුණාව මෛත්‍රිය දානය කිරීම. මූල්‍යම දානය ලබා දෙන පුද්ගලයාට ලබා දීපු දේ නැවත ලැබෙන්නා වගේම මේ අධ්‍යාත්මිය දානයේ දානයේ නිරත වෙන පුද්ගලයාටත් නැවත ඒ ආධ්‍යාත්මිය හරයන් ලගා වෙනවා. මේ ගැන අත්දැකීම් ලබපු දවසක මම දිනපොතේ මෙහෙම සටහනක් තියලා තිබුණා.

ප්‍රේමය පිරුණ කාලවලදි ප්‍රේමය බෙදුවාම - 

ආත්මය ශූන්‍ය වෙන්න නියමිත පරිච්ඡේද ප්‍රේමයෙන් පිරෙනවා..!

ප්‍රීතිය පිරුණ කාලවලදි ප්‍රීතිය බෙදුවාම - 

දුක්ඛිතව ගෙවන්න නියමිත පරිච්ඡේදවලට කොතැනකින් හෝ ප්‍රීතිය ළගා වෙනවා..!

ප්‍රශංසාව පිරුණ කාලවලදි ප්‍රශංසාව බෙදුවාම -

නින්දිත වෙන්න නියමිත පරිච්ඡේදවල හැම පියවරක්ම ප්‍රශංසාවෙන් පිරෙනවා..!

සොබා දහම එහෙමයි ;

තමන්ගෙ ආත්මයේ තියෙන දේ ඉතිරියක් නැතිව අනුන්ට බෙදන මිනිස්සුන්ව හිගයක් නැතිව ජීවත් කරවන්නෙ...

Top