" හෙලෝ "
" කවුද මේ කතා කරන්නේ ? "
" අයාන් පුතේ මම සුමනා මැඩම්ගෙ මහත්තයා. මැඩම් නැතිඋනා පුතේ "
මගෙ හදවත එකපාරටම රිඳුම් දුන්නා. අම්මා ඇරුණු කොට මගෙ ජීවිතයට මුණගැහුන, මගේ ජීවිතය හරි මඟට ගත්ත මගේ දෙවෙනි අම්මා. හීන හඹායන්න පටන්ගත් දා පටන් මට බොහෝ දේවල් මඟ ඇරිලා තිබුණා. අද මට ජීවිත කාලය පුරාවටම මිල කරන්න බැරි වටින මතකයක් මගෙන් ඈතට ගිහින් තිබුණා. ආයෙම කවදාවත් මුණගැහෙන්න බැරිතරමට ඈතට ගිහින් තිබුණා. කඳුලක් රූරා වැටෙන ඇසිල්ලෙම මම ආයෙම පියවි සිහියට ඇවිත් කතාකලා.
" සර්, මම මේ දැන්ම එනවා. කවද්ද මිනිය ගන්නෙ සර් ?"
" ම්හ්හ්. උඹ පරක්කුයි පුතේ. මම කීප වතාවක්ම කෝල් කලා. ඒත් පුතා ආන්ස්වර් කලේ නෑ. හත් දවසෙ දානෙ තිබ්බෙත් ඊයේ. මම අද පුතාට ගත්තෙ මැඩම් ලියුම් කඩදහියක් ලියලා තිබුණා පුතාගෙ අතට දෙන්න කියලා. පුතාට ඉඩක් තියෙන වෙලාවට ඇවිත් යන්න එන්නකො. බුදුසරණයි !"
" ඔබේම ප්‍රියයන් ඔබේ ජීවිතයේ ප්‍රථම රාජකාරිය කරගන්න අමතක කරන්න එපා "
වෙලඳ දැන්වීමක් උනත් ඒ දැන්වීමෙන් දෙන පණිවිඩය මට එවෙලෙම සිහියට ආවා.හීන වලට පන දෙන්න ජීවිතය කැපකරන්න නෙමෙයි ඕනි, හීන වලට පනදෙන්න නම් ජීවිතය විඳින ගමන් ජීවත්වෙන්නයි ඕනි .
පුංචි කාලේ පටන් තිබුණ ආර්ථික ගැටලු නිසා ඉගෙනගන්න දේවල් මහ හුඟක් මඟ ඇරෙන වෙලාවක සුමනා මැඩම් තමයි මගේ ජීවිතය මට ගොඩනගාගන්න හයියක් උනේ. අමතර පන්ති වලට වියදම් දෙන්න මගේ අම්මට තාත්තාට වත්කමක් තිබ්බෙ නෑ.අඩුම තරමේ හරියට කෑමක් බීමක් ගන්න විදියක් තිබ්බෙ නෑ. හාමතේ හිටිය මගේ බඩගින්දර නිවන්න මැඩම් හැමදාම අනිත් ළමයින්ට හොරෙන් මට බත් මුලක් ගෙනත් දුන්න.ඒ ගෙනත් දුන්න බත් මුලේ සුවඳ මට තාම මතකයි. අමතර පන්ති වලට මාව යවන්න මගේ ඉගෙනීම් කටයුතු වලට මැඩම් හැම මාසෙකම මට මුදලක් දුන්නා. ඒ පිහිටෙන් මම මගේ ජීවිතයේ අමාරුම කොටස් ටික ගෙවාගෙන ආවා. ඒ වාරුව දුන්නෙ මැඩම්.
මම පෞද්ගලික අංශයේ ආයතනයක ඉහල නිලයක් දැරුවා. ඊට පස්සේ ඒ ආයතනයෙන් අයින් වෙලා මම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගත්තා.මේ ව්‍යාපාරය මගේ හීනයක්.මම ඉඩක් ලැබුණු හැමවෙලාවකම සුමනා මැඩම් බලන්න ගියා. ඒත් අවසාන වකවානුවෙ පිටරට සංචාර සහ පවුල් ජීවිතය නිසා මට මැඩම්ව මඟ ඇරුණා. අසනීපෙන් හිටිය මැඩම්ට නිතර දෙවේලේ මම කතා කලත් මුණගැහෙන්න යන්න වෙනදා තරම් ඉඩක් මට හම්බුනේ නෑ.
අද දවසෙ තිබුණ රැස්වීම් දෙක තුනම අවලංගු කරලා මම ගියා සුමනා මැඩම්ගේ ගෙදර. වෙනදා ගේට්ටුවෙන් ඇතුලට යනකොට හිනාව පුරවන් එන මැඩම්ගෙ රුව වෙනුවට අද ගෙදරින් එළියට ඇවිත් මාව පිළිගත්තෙ මැඩම්ගේ මහත්තයා.
" මට සමාවෙන්න සර් " මම දණගහල වැන්ඳා.ඒ කකුල් අල්ලලා වදිනකොට පපුවෙ තිබුන වේඳනාව කඳුලු එක්ක පොර බඳලා එළියට ආවා.
" ඒ ගැන හිතන්න එපා පුතේ. මැඩම් නිතරම ඔයා ගැන කතා කලා.අපි වදාපු දරුවො දෙන්නට වඩා අපිට ඕනිම කාලේ අපි ලඟ හිටියේ පුතානෙ.මැඩම් ඒක නිතරම කිව්වා.පුතාටත් වැඩ රාජකාරි වැඩියි නෙ. මම මැඩම් අන්ත්‍රා වෙනකොටම පුතාට පණිවිඩයක් දෙන්න කතා කලත් ෆෝන් එක වැඩ කලේ නෑ. මට ආරංචි උනා ඒ දවස්වල පුතා ලංකාවේ හිටියෙ නෑ කියලා. ඔහොම ටිකක් ඉන්නකො "
බිත්තියෙ එල්ලලා තිබුන සුමනා මැඩම්ගේ ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා තිබුනා. ඒ හිනාව ඒ ආදරය ලස්සන මතකයක් විදියට මගේ හිතේ කොනක තදින්ම ලියවිලා තිබුනා.
" මේ ලියමන මැඩම් නැතිවෙන්න සතියකට කලින් මගෙ අතට දුන්නේ පුතේ.මම තේ ටිකක් හදාන එනකන් පුතා ඕක කියවන්න"
" ඉන්න සර්.මමත් එන්නම්. මම සර්ටත් එක්ක තේ එක හදන්නම්. " සර්ට කුස්සියට යන්න ඉඩක් නොතියාම ගිහින් මම සර්ටත් එක්ක තේ හැදුවා. කුස්සිය මේ නිවස මට හරි හුරු පුරුදුයි.ඒ තරමට සුමනා මැඩම් මගෙ මතකයන් තුළ ලෙංගතුයි. සර් එක්ක කතාබහ කරලා අවසානයේ මම ගෙදර එන්න පිටත් උනා. ගේට්ටුව ලඟට එනකන් මට දැනුනෙම කවුද මගේ අතින් අල්ලගෙන වාරු අරන් මම ළඟින්ම එනවා වගේ. මට ඒ වාරුව පපුවටම දැනුනා.
ගෙදර ඇවිත් පර්ස් එක ඇතුලෙ නමලා තියාගත්ත ලියුම් කඩදහිය එළියට ගත්ත මම ඒ ලියමන කියවන්න ගත්තා...........................
අයාන්ට වගේම ඔයාටත් මේ වගේම වටින මතකයක් ඇති. ඒ මතකය ඔයාට අහිමිවෙන්න ඇති.ඒ නිසාම මේ ලියමන මම ඔයා එක්කත් බෙදාගන්නම්.හැබැයි අද මම ඔයාට හිතන්න වෙලාවක් තියලා මේ මතකය එක්ක සමුගන්නවා. මොකද මේ වගේම රිඳුම් දෙන , ආයෙම කවදාවත් මට මුණගැහෙන්න බැරි,මගේ අම්මා තරමටම වටින ගුරු මතකයක මඟ ඇරුණු වේඳනාවක් මටත් තියෙනවා.ඒ මතකය මගෙන් ඈතට ගිහින් අවුරුදු දෙකකට ලංවෙන්න එනවා.
දැනුවත්ව හෝ නොදැනුවත්වම අපෙන් මඟඇරෙන සමහර දේවල් වල වටිනාකමක අපිට දැනෙන්න ඒ මතකයන් අපිට සදහටම අහිමි වෙන්න ඕනි.මේ සතිය පුරාවටම හිතන්න.එහෙම මඟ ඇරුණු යුතුකමක් ඉටුකරන්න වෙලාව හදාන ලබන සතියෙ වචන එක්ක එකතුවෙන්න.අයාන්ට සහ මට මඟ ඇරුණු ගුරු මතකය ඔයාට පුළුවන් යුතුකමක් විදියට පරිස්සම් කරන්න.
අයාන්ගේ ලියමන අරන් ලබන සතියෙ එන්නම්.හිත හදාන වචන එක්ක මමත් මතක අස්සෙ ගුලි වෙන්නම්. මඟඇරෙන්නට නොදී ඉඩක් වෙන් කරන් ඔයත් එන්න.අපි බෙදාගමු. ජීවිතයට වාරුවක් උන ඒ ආදරණීය මතකයන්.