ගුරුමතක දින පොත - ගුරුවරයෙක් කියන්නෙම අඳුර තියෙන ජීවිත වලට ආලෝකයක් (534)

post-title

අද මගේ උපන්දිනය. වෙනදා වගේම සයුරි හැමදාමත් උදෙන් ම කිරිබත් හදලා පුංචි කැවිලි මේසෙකුත් ලෑස්ති කරලා මට කතා කළා.

" තේමිය, අද අපි වැඩිහිටි නිවාසෙට යන්න ඕනි දවල් දානේ හදාගෙන. ඔෆිස් නොගිහින් ඉන්න බැරිද මහත්තයෝ?"

" උදෙන්ම මීටින් එකක් සයූ. මම ගිහින් ඉක්මනින් එන්නම් " 

කිරිබත් කාලා කැවිලි පාර්සලෙත් අරගෙන ඉක්මනින් ලෑස්ති වෙලා මම ඔෆිස් එකට ගියා. රැස්වීම ඉවර උන ගමන් හැමෝගෙම සුබ පැතුම් වලට සමුදීලා ඉක්මනින් මම ගෙදර ආවා. ගෙදර එනකොට හැමදේම සයුරි ලෑස්ති කරලයි තිබුනෙ.

" මහත්තයා ඉක්මනින් ගිහින් වොශ් දාගෙන ලෑස්ති වෙන්න. මම කලිසමකුයි ෂර්ට් එකකුයි මැදලා ඇති. ඒකත් ඇදගෙන ඉක්මනින් එන්න "

 අම්මෙක් තාත්තෙක් නැතුව හැදුන මට සයූ කියන්නෙ ලෝකයක්. නාන කාමරේට ගිහින් ලෑස්ති වෙලා ඉක්මනින් මම පහළට ආවා. 

අපි දෙන්නම දානෙත් අරගෙන වැඩිහිටි නිවසට ගියා. දානෙ බෙදන්න ලෑස්ති කරලා සයූ මට කතා කළා. දානේ බෙදන අතරවාරයේ දී අහම්බෙන් දැකපු රුවක් නිසා මම නැවතුනා.

" තේමිය පුතා "

ඔව්. ඒ මගේ ටීචර්. අම්මෙක් නැතිව තාත්තෙක් නැතිව ඉස්කෝලේ ගිය මට අම්මෙක් උන ටීචර්. අකුරු සාස්තරේ වගේම ජීවත්වෙන්න ඕනි සාස්තරේ කියලා දුන්න ටීචර්.

" අනෝමා ටීචර් " 

" පුතාලා ඔක්කොම රට ගියා පුතේ. මහත්තයත් හදිස්සියෙම අන්ත්‍රා උනා. මට ඔය රට රාජ්ජවල යන්න පුළුවන් ද ? මම ඉතින් මෙහෙ ඇවිත් නතර උනා "

එක හුස්මට ටීචර් කියපු කතාව ඇතුළෙ ලොකු කතාවක් තියෙනවා කියලා මට දැනුනා. මම ටීචර්ට දානේ බෙදලා සයූ එක්ක ගිහින් නිවාසයේ පාලිකාව හම්බුනා.

" ගිය මාසේ එක්ක ආවෙ. බොහෝම හොඳ අම්මා කෙනෙක්. දරුවො ඔක්කොම රට ගිහින් නිසා තනියම ජීවත්වෙලා තියෙන්නෙ. පොඩි දරුවා හිටිහැටියෙ ම ලංකාවට ඇවිත් මේ අම්මගෙ ගෙදරයි වතුපිටි ඔක්කොම විකුණලා දාලා. මෙහාට ගෙනත් ඇරලුවෙ බොරු කන්දක් කියලා පුතේ "

මගේ ඇස්වලට කඳුලු ආවා. මගේ ජීවිතය හදපු අනෝමා ටීචර් මෙහෙම තැනක ඉන්නවා බලනා මම කොහොමද ඉන්නෙ. 

" මට පුළුවන් ද ටීචර්ව ගෙදර එක්ක යන්න ? "

ඒ අහලා මම සයූ දිහා බැලුවා. ඒ ඇස්වල හැමදාමත් වගේ මම ගැන ලියවිලා තිබ්බ ආදරේ ඒ විදියටම තිබ්බා.

" පුළුවන් පුතේ. ඒකට ටික කාලයක් යයි. මම ඒ දරුවන් දැනුවත් කරලා පුතාට පණිවිඩයක් දෙන්නම් "

මම දවසම ගත කලේ ටීචර් එක්ක. අපි ආගිය දේවල් අතීතේ දේවල් කතා කළා. හැමදේම එක්ක ටීචර්ට මම පොරොන්දු උනා ඉක්මනින් එනවා කියලා . ඒ එන්නෙ හැමදාමත් ටීචර්ව මගෙ ළඟ තියාගන්න කියලා. ටීචර්ගෙ ඇස්වලින් කඳුලු වැටුනා. එදා මම ටීචර්ට වාරු වෙලා කඳුලු හෙලුවා වගේ ටීචර් මට වාරු උනා.

" ඊළඟ ආත්මේ මගේම දරුවෙක් වෙයන් පුතේ "

රෑ වෙන්න කලින් අපි ගෙදර එන්න ඕනි නිසා ටීචර්ට පුංචි කාලෙකට සමුදුන්නා. මේ උපන්දිනය මට මහ විශේෂ එකක් උනා. සයූ හැමදාමත් වගේ මගේ ළඟින්ම හිටියා. මම හිටියෙ ලොකු හිතේ වේඳනාවක. ගුරුවරයෙක් කියන්නෙම අඳුර තියෙන ජීවිත වලට එළියක්, තරුවක්. එහෙව් එළියක් උන තරුවක් තනිවෙන්න ඇරලා මම කොහොමද හුස්ම ගන්නෙ.

කවදාවත් අමතක කරන්න එපා. ඔයාට අකුරු උගන්නපු ගුරුවරුන්ව. කවදාවත් තනිකරන්න එපා ඔයාගෙ ජීවිතයට එළියක් දුන්න ගුරුවරුන්ව. ඔයත් තේමිය කෙනෙක් වෙන්න ඇති. ඔයාටත් අනෝමා ටීචර් වගේ ගුරුවරු මහ හුඟක් මුණගැහිලා ඇති. පුංචි වෙලාවක් වෙන් කරන් ඒ හිත්වලට කතාකරන්න යන්න. මුණගැහෙන්න. ඒ සතුට හැමදාමත් ඔවුන්ගේ මතකයේ ශක්තියක් ලෙස ඉතිරි වේවි. තමන්ගේ දරුවන්ටත් වඩා සෙනෙහෙ පාන හුඟක් ගුරුවරුන්ගේ අවසාන කාලේ අත්වන මෙවන් ඉරණමට ඔබ නොදැනුවත්වම ඔබත් එදා හේතුවක් වන්න ඇති. අත් නොහැර අතින් අල්ලගන්න.

රෑ නින්දට කලියෙන් හැමදාමත් වගේ සයූ මම ළඟට ඇවිත් දණගහල වැන්දා.

" ආයෙම කිසිම ආත්මෙකදි මගෙ මහත්තයා තනි වෙන්නෙ නෑ. අනෝමා ටීචර් වගේ ආදරේ පිරුණු මිනිස්සු හුඟක් ඉන්නවා මහත්තයා වෙනුවෙන්. ඒ පිනම ඊළඟ ආත්මෙට අරන් යන්න. "

ජීවිත කාලය පුරාවටම මට මුණගැහුන හොඳම තෑග්ග." සයූ " 



මාස දෙකකට පස්සෙ අනෝමා ටීචර්ට තේමිය සහ සයුරිගෙ නිවහනට එන්න පුළුවන් වෙනවා. අනෝමා ටීචර්ගෙ ජීවිතේ අවසාන හෝරාව වෙනකන්ම ඇය ඔහුගේ ලෙයින් නූපන් ගෝලයාගෙ සහ බිරිඳගේ සෙනෙහස ආදරය මැද ජීවත්වෙනවා.

Top