ගුරු මතක දිනපොත : අද දළඹුවන් හෙට සමනලුන් කරන ආදරණීය ම ගුරුවරු (419)

post-title

හිත ඇතුළෙ ගැඹුරුම තැනක සදානන්දනීය විදියට තැවරිලා දැවටිලා වරින් වර ජීවිතේට හුස්ම පිඹින මතක අතරෙ ගුරුවරු පිළිබද මතක මොනතරම් නම් තියෙනවා ද? ජීවිතය වරද්ද ගන්න හදන කාලවල ජීවිතේ වැරදි කරන්න හදන කාලවල සුහුඹුල් හිත නොතලා ඒ වැරදිවලින් අපිව මුදවා ගත්ත ආදරණීය ගුරුමතකයක් අපි හැමෝගෙම හදවත්වල තියෙනවා. අද මං කියන්නෙ මගේ මතකයක් නෙවෙයි. මේ මං පහුගිය කාලෙ අහඹුවෙන් දැක්ක කතාවක්. මං හිතුවා ඒ කතාව ඔයාලටත් කියවන්න පරිවර්ථනය කරන්න. බලන්න මේ සුන්දර මිනිස්කම මොනතරම් නම් සුවදවත් ද කියලා. 

" සර්, සර්ට මාව මතකයිද? " 

" මම ගුරුවරයෙක් පුතේ. මගෙ ජීවිත කාලයෙන් වැඩිපුරම කාලයක් ගතකලේ ඉස්කෝලේ. ඒත් මේ වයසත් එක්ක මට එකපාරටම මේ දරුවව අඳුරගන්න අමාරුයි" 

" සර්ට මතකද දවසක් අපේ පංතියේ ළමයෙක්ගෙ ඔරලෝසුවක් හොරකම් කරලා තිබුණා ? ඒ ගැන හොයන්න සර් ආව අපෙ පංතියට. අපි හැමෝවම පෝළිමට තියලා අපිට ඇස්වහගන්න කියලා සර් අපි හැමෝගෙම කලිසම් සාක්කු බැලුවා. එහෙම බලාගෙන යනකොට සර් මම ලඟටත් ආවා. ඔව් සර් ! මට මතකයි මම හොඳටම බයවෙලා හිටියෙ. සර් මගෙ කලිසම් සාක්කුවෙන් ඔරලෝසුව අතට අරන් වෙනසක් නොකර මට පස්සෙන් හිටිය අනිත් හැම ළමයෙකුගේම සාක්කුත් බලලා ගුරු මේසෙන් ඔරලෝසුව තියලා අපි හැමෝටම ඇස් අරින්න කිව්වා. මම කියාගන්න බැරිතරමට අසරණ වෙලා බයවෙලා ඉන්නකොට සර් අපි හැමෝටම ඇවිත් ඉදගන්න කියලා ඔරලෝසුව අයිති ළමයට ඔරලෝසුව දීලා පාඩමකුත් හරි අපූරුවට කියලා දීලා පන්තියෙන් යන්න කලියෙන් ගියෙ මෙන්න මෙහෙම කියලා

' අපි හැමෝම උත්සාහ කරන්න ඕනි අපිට නැති දේවල් නරක විදියට හොයාගන්න කෙටි ක්‍රම පාවිච්චි කරන එක නෙමෙයි දරුවනේ. අපි ආසා දේවල් , අපිට නැතිදේවල් ලබාගන්න අපිම ඉගෙනගෙන මහන්සි වෙලා උපයගන්න ඕනි. කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් අහන්නෙ නැතුව ගන්න එපා.' 

එහෙම කියලා සර් අපෙ පන්තියෙන් එළියට ගියා. මගෙ ඇස්වල කඳුලු පිරිලා තිබුණා.

මම කතාව කියනකොට සර් මම දිහා බලන් හිටියෙ අදහන්න බැරි තරම් ආදරයකින්. සර් මාව එදාටත් වඩා අද පුදුම කළා.

" මට ඇත්තටම ආඩම්බරයි ඔයා අද ඉන්න තැන ගැන පුතේ. එදා ඔරලෝසුව ඔයාගෙ සාක්කුවෙන් එළියට ගන්නකොට මම හිටියෙත් ඇස් වහගෙන. "

මම එදාටත් වඩා මහ හයියෙන් ඇඬුවා. සර්ගෙ කකුල අල්ලගෙන මම මහ හයියෙන් ඇඬුවා. මම අද මේ තැන ඉන්නෙ සර් නිසා. එදා ඔරලෝසුව හොරකන් කළා කියලා සර් මාව පන්තිය ඉස්සරහම හොරෙක් කරන්න උත්සාහ කරේ නෑ. කොටින්ම සර් කරපු කරුණාවන්ත ක්‍රියාව නිසා මම මගෙ ජීවිතය හදාගන්න මටම පොරොන්දු උනා. ඒක අපූරු පාඩමක් සර්. අපූරු පාඩමක්. මගේ වැටෙන කඳුලු පිහිදන ගමන් සර් මාවත් එක්ක සර්ගෙ ගෙදරට ගියා.

" අපි එහෙනම් තේ කහට එකක් බීලම කතා කරමු " 

ගුරුවරුන්ගෙ මතකයන් ඇතුලෙ තියෙන ප්‍රේමණීයම හුස්මවල් වලින් අලුතින් ජීවිතය ලද දළඹුවන් අද සමනලුන් වෙලා හරි අපූරුවට ඉගිලෙනවා. මතකයන් ඇතුලෙ බෙදාගන්න හරි අපූරු මතකයන් දළු ලා වැඩෙන කාලෙක තවත් පුංචි නිමේශයක් අරන් ආයෙම කියවන්න. ඔයාට දැනෙයි ඔයාව සමනලයෙක් කරන්න ඔයාගෙ පුංචි හිතට එදා දැනුන ඔයාට වාරුවක් දුන්න ප්‍රේමණීය හුස්මවල් . ඒ ගුරු මතකයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් ඔයත් ඒ මතකයන් බෙදාගන්න ආදරෙන් ඔයාගෙ වචන එක්ක.


ලියන්න අපිට

ඔබට ලිවීම සම්බන්ධව හීනයක් තිබේ ද? ඒ හීනය විකසිත කර ගන්නට ඉඩක් අවශ්‍ය ද? තාක්ෂණය දියුණු ලෝකයක මුද්‍රිත පත්තර පිටුවලට වඩා දැන් ඩිජිටල් මාධ්‍යය වේගයෙන් දියුණුව ඇත. එබැවින් මෙතැන් සිට අපි ඔබට, ඔබේ හරබර සංස්කෘතික - කලා ලියැවිලි උදෙසා ඩිජිටල් අවකාශයේ ඉඩක් තනා දෙන්නට සූදානම් ය. ඉතින්, රහට ලියන ඔබ ට අපේ ඩිජිටල් අවකාශයේ ඒ ලියමන් පළකර ගන්නට අවැසි නම් පහත විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ අපට එවන්න. ඔබේ ලියමන් පිළිගන්නට වචන.lk කාර්‍ය මණ්ඩලයත් මේ ඩිජිටල් අවකාශයත් මගබලමින් ය.

Top