ගඟ දිගේ පරිසර සැරියේ අදත් ඇවිද යමු... (521)

post-title

පරිසරය සුරැකීම යන්නෙහි තේරුම යනු අපි අපිම ආරක්ෂා වීම යන්නයිග පරිසරය අපේ කලන මිතුරෙක් මෙන්ම උගත් ගුරුවරයෙක් ද වේග එසේම අපේ සෞුඛ්‍ය ආරක්ෂා කරන වෙදදුරෙකිග එය අපටට නිරතුරුවම හුස්ම ගැනීමට උපකාර කරන ඔක්ෂිජන් බඳුනක් හා සමාන ය. මෙය සිදු වෙන්නේ කෙසේ දැයි ඔබට ගැටලුුවක් ද? අපේ ළමා කාලය දෙස හැරී බැලීම තමයි හොඳම ක්‍රමයග කුඩා අවදියේදී චමත්කාරජනක ස්වභාවික පරිසරයක් ආශ්‍රිත ප්‍රදේශයක ජීවත්වීමට මට වාසනාව හිමිවිය. කඳුකර ප්‍රදේශයක් වූ එයණි මිහිදුම් ගලා යන ගිරි ශිකර, ගලන සිහිලැල් දිය පාරවල්, නොඉඳුල් වන ගහනයෙන් අඩුවක් නැති සුන්දර මිටියාවතක්. ගස් නැඟ පළතුරු කඩාගෙ කෑම, ඇළ දොළවල පැන දිය බුං ගසා නෑම, මඬ තවරාගෙන කෙටල ගාල් අස්සේ රිංගා මාළු පැටව් ඇල්ලීම මගේ නිරතුරු පරිසර සැරියක් විය. පරිසරයට හෘදයාංගම ලෙස නැඹුරුවීමේ මූලික පාඩම් මට කියාදුන්නේ මේ ළමා සිත තුළ ජනිත කළ කුතුහලය මුසු ක්‍රියාකාරකම් ය.

ගඟ දිගේ චාරිකාවේ ගියවර නැවැත්වූ තැනින් පටන්ගන්ට පෙර පහත පද්‍ය පන්තිය උපුටා දැක්වීමට කැමැත්තෙමි. මෙය රොබට් ෆොස්ට් (Robert Frost - 1874-1963) නම් කවියා පරිසරය පරිහරණය ගැන ලියූ සුප්‍රසිද්ධ පද්‍යයේ සිංහල පරිවර්තනයකි. මෙහි දැක්වෙන්නේ පරිසරය සංවේදී ලෙස පරිහරණයේ වැදගත්කමයි. මෙය අවධානයෙන් කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න.

යා යුතු මඟ

නිල්වන් නිසසල වන හේඩාවේ 

ගෙතුණු ගුල්ම අතරින් රිංගා

දෙපසට විහිදුන මංපෙත් යුගලකි

යන්න බැරි නිසා එකවිට ඒ මත 

නිහඬව මා සිත නතරවෙලා 

ඈත ඉසව්වේ පෙනෙන මානයේ 

නොපෙනේ කෙළවර ඒ මංපෙත යන 

වඩා ළෙංගතුය ඊළඟ මාවත

එහිද පා කරමි ඈතට දෙනුවන්

මා සිත සනසන සෙයකි දැනෙන්නේ

එහි වැතුරුණ නිලවන් පලසක් ඇත

පියමංකර එහි පහස විඳින්නට

යා හැක එලෙසම පැළඳ සිටී නම්

මං පෙත විසිරුණු වියළීගිය පත්

නැත පා පහසින් කිළිටිව පොඩිවී

කෙසේද මා එහි යන්නේ කියලා 

දැනගෙන ආපිට එන්න ලැබේවිද 

මම යමි ආපසු ඒ ළතැවිල්ලෙන් 

සාංකාව පිරි හිත කොඳුරන්නේ 

ආපිට යන්නට මේ මාවත් මත

කාලය කොතරම් ගත වී යාවිද

මංපෙත් යුගලය වනන්තරේ මැද

වැතිරී කිසිදා පෑහීමක් නැත 

කිසිවෙකු කිසිදා පා නොතැබූ මෙහි

කවදා හෝ යන්නේ මං තනියම

නුපුරුදු වෙනසක් දැනේවි එතකොට

පසුගිය පිටුවෙන් අප නතරවුණේ මාළු අල්ලන පිළිහුඩුවෙක් දිහා බලාගෙන සිටින තැන. දැන් එතනින් පටන් ගමු.

“අන්න තවත් එකෙක් අල්ලගෙන ඌ යන්ට යනවා. ඒ විදිහට අපිටත් ජීවත්වෙන්ට හැකි නම් කොච්චර හොඳ ද?” ඇය නිල්වන් අහස් කුස දෙස නෙත් සිසාරා යවමින් කෙඳිරුවා. සිහින් සුළං රැල්ලක් අප පසු කරමින් ගියේ අපූරු සුවදායක හැඟීමක් දනවමින්. එය තුරුවියන් උඩින්, යටින් සෙමෙන් රිංඟා ගියේ තුරු ලතාවල දලු, මල්, කොළ නළවමින් මෙතෙක් නොදුටු සැඟැවීගත් නන් වන් පාට රටා මතු කරමින්. ගඟ දිය ද තොල් පෙති විවර කරන්නාක් මෙන් සිහින් රැළි නංවා සිනාසුණාය. සිහින් සුළඟට හසුවී ඔබ මොබ සියුම් සළු පටක් නිලූ හැඳ සිටියා නම් හොඳ යයි මට සිතිණ. අතු අතර පිපී මැලවී ගිය ඇතැම් මල්වල පෙති සුළඟේ පාවී අවුත් ගඟ දිය මත පතිත වන්නේ නොරිදෙන තරම් මුදු මොළොක් විදිහට. 

“අපි ගඟෙන් එගොඩ වෙන විදිහක් බලමු” යි ඇය හදිසියේම කීවාය. එය වඩා සුදුසු යයි මට ද සිතිණ. බාහිර ආධාරයකින් තොරව ගඟ තරණය කිරීමට ඇත්නම් එය වඩා හොඳය. ඒ සඳහා නිසලව තැනිතලාවේ ගලන පහළ තීරුවට වඩා ගල්කුළු මතින් ගලා එන ඉහළ ගං තීරය සුදුසු යයි අපි දෙදෙනා එකඟත්වයෙන් තීරණය කෙළෙමු. 

 “ගඟ උඩහ පැත්තෙන් ද යන්නේ? ඒත් හරි අමාරුයි ගල් උඩින් ඇවිදින එක. කමක් නෑ නොතෙමී යන්ට හැකි නම්” 

 “හැම වැඩක්ම ලේසි නෑ නිලූ. අනිත් එක අපහසුවෙන් ජය ගන්න එක තමයි වඩා හොඳ. ආත්ම විශ්වාසය, තැනට සුදුසු නුවණ, නොපසුබට උත්සාහය, අරමුණ ජය ගන්ට අවශ්‍යම දේවල්. එන්න අපි උත්සාහ කරල බලමු.” 

“යමු.... ඉතින් මං බෑ කීවෙ නෑ නේද? එකින් එක අඩිය තියල යන්ට හැකි තැනක් හොයා ගන්ට හැබෑවටම මහන්සි වෙන්ට වෙයි” 

“ඔව්.... කැලෑවේ යනකොට කටු වැල්, සර්පයින් හමුවෙයි. ඒත් ගල් උඩින් යනකොට ලිස්සල වැටෙන්ට හැකියි. ඒක වඩා භයානකයි. බාධකවලින් තොර ජීවන ගමනක් නෑ නේ? ”

“එන්න. අවශ්‍ය නම් මගේ අතින් අල්ල ගන්න. හැම විටම මගේ අධාරය ඉල්ලන්ට එපා. තමන්ගේ ස්වාධීනත්වය බොහොම වැදගත්. අඩිය තියන්ට පෙර ගල්වල දිය සෙවෙල් බැඳිලද කියල බලන්න.” 

“ඕ හෝ... මෙතනින් පනින්ට අමාරුයි. මං වැටෙයි ද?”

“වැටෙයි ද කියන එක නොවෙයි ප්‍රශ්නය. නොවැටී යන්නේ කොහොමද කියල බලන එකයි වැදගත්. කෝ අත දෙන්න.ග ගංගා ගලන්නේ මුහුදට ඇති කෙටිම මඟින් නොවේ. යා යුතු නිවරැදිම මාර්ගයෙන් නේද?.”

“අර බලන්න.” ඇය දෑත් අහසට දිගු කරමින් කීවාය. සිය ගණනක කුරුලු රෑනක් නිල්වන් අහසේ රවුමට කැරකෙමින් රටාවක් මවමින් ලතාවකට පාවෙනවා. ඔවුන් පියාපත් සලන්නේ නෑ. සුළඟේ පාවෙමින් ඉන්නවා. දුරට පෙනෙන්නේනම් උන් කලු පාට බවයි. ඒත් ළං වුණොත් උන්ගේ නියම පැහැය දැකගන්ට හැකි වේවි. සුදු, දුඹුරු, අළු, දිලිසෙන රන්වන් බෙල්ල සහිත බෙලි කාවුන් රැසක් බව මට නම් හඳුනාගන්ට පුළුවන්.

උන් මොකක්ද කරන්නේ?” 

“හරියටම කියන්ට බෑ. සමහර විට මාළුවන් ගැවසෙන ඉසව්වක් හොයනවා වෙන්ට ඇති. නැතිනම් දුර පළාතකට පියාඹන්ට සූදානම් වෙනවා විය හැකියි. සමහර විට විවේක වෙලාවේ අහසේ පාවෙමින් පුංචි විනෝදයක් ලබනව වෙන්ටත් පුළුවන්. දැක්ක ද උන් කිසියම් එකඟත්වයක් ඇතිව සංයමයෙන් තමයි පියාඹන්නේ. නිසැකවම ඔය රංචුවට නායකයෙක් ඇති.” 

“අනේ.... අපිටත් එහෙම පියාඹන්ට ඇත්නම්.” ඇය මගේ උරහිසේ වෙළෙමින් කීවේ “ඔයාටත් එහෙම හිතෙනවා”දැයි නැවත අසමින්. “ඔව්... ඒත් ඒක සිහිනයක් පමණයි නේද?”

එකිනෙකට උස් පහත් වූ විශාල ගල්කුළු එක් ඉසව්වක පැතිරී ඇති අතර තවත් තැනක විවිධ හැඩයෙන් හා තරමින් යුත් ගල් කැබැලිවලින් ගංගාව වැසී ගොස්ය. ඇතැම් තැනක ගල් අතරින් පෙණ නඟමින් ගලන ජලය කිරි නදියක් මෙන් සුදෝ සුදු පැහැයෙන් බබළයි. ගල්පර අතර සැදි කුඩා දිය කඩිති වීදුරු කැබැලි සේ දිලිසෙන අපූරු දසුනකි. වරල් සලමින් ඔබ මොබ පීනන මාළුන්ට ගිමන් හැරිය හැකි කදිම නවාතැක් පොළකි එතැන. ගල් බොකුවල අඳුරු සෙවණ ළැදි මාළුන්ට සුරක්‍ෂිත නිවෙස් සදන්නේ මෙබඳු තැන්ය. රතු කළු පැහැයෙන් යුත් පියකරු මින් රැළ දෙස දෙනෙත් දල්වා බලා සිටින නිලූට අවහිර කිරීමේ සිතක් මට ද නැත.

“අපි මෙතන ටිකක් ඉම්මු. මේක ස්වාභාවික මින් මැඳුරක්. අනේ.. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ” 

“ඇත්ත. ඒත් අපට කාලය වැදගත්. අපේ අරමුණ වෙන දෙයක් නේද?. අපි හදන්නේ ගඟෙන් එතෙර වෙන්ට. ඒක අමතක ද?” 

 “අධිෂ්ඨානය නොමැති තැන බලාපොරොත්තුවල කිසිම බලයක් නැත. බලාපොරොත්තුවක් කඩ වීම නව බලාපොරොත්තුවක ආරම්භයයි.”

 “න්නෑ.. බලන්න. හැම ඉසව්වෙම පුංචි පුංචි දිය කඩිති, දිය ඇළි. ඇහෙනව ද සිරි සිරි සද්දෙ. නොනැවතී ගලා යන සංගීතයක් වගේ. කොච්චර අවහිර තිබුණත් වතුර පාර නවතින්නේ නෑ. හැම පැත්තටම කැරකි කැරකී පුංචි සිදුරු අස්සෙන් රිංගල ඉඩක් හොයා ගන්නවා යන්ට. මට හිතෙන්නේ දිය පාර නොපසුබට වීර්යය සංකේත කරන හොඳම නිදසුන කියල.” 

“ඇත්ත. ඔයා හරි. ඉදිරියේ බාධකයක් දුටු පමණින් පසුබට වීම නොවේ කළ යුත්තේ. ආත්ම විශ්වාසය ඇතුව අවස්ථා පාදාගෙන තමන්ගෙ අරමුණ ඉටුකර ගැනීම. යමු. වතුරෙන් පෙඟිච්ච ගල් උඩ පරෙස්සමෙන් අඩිය තියන්ට. ඒවා ලිස්සනවා. මේ ටික නම් එච්චර අමාරු නෑ. කෝ.... අත දෙන්න පරෙස්සමෙන් .. වැටුණොත් මට ඔයා උස්සන් යන්ට වෙයි” 

“එහෙනම් ඔන්න දැන්මම වැටෙනවා.” ඇය සිනාසුණා. 

“හැබැයි තුවාල වුණොත් විතරයි උස්සාගෙන යන්නෙ.” අපි දෙදෙනාම තරගයට මෙන් සිනාසුණෙමු. ගල්කුළු උඩින් යන ගමන අවසන් වූයේ කුඩා කැට ගල් තට්ටුවක් මත ගලන නොගැඹුරු පෑදි දිය තලාවකිනි. නිලූ අපමණ සතුටින් එය වැලඳ ගත්තාය. සුදු රතු පැහැයෙන් යුත් එකිනෙකට වෙනස් හැඩතලවලින් හා තරමින් සැදි රවුම් ගල් ඇතිරිල්ලකි ඒ. සිහින් දිය රැළි යටින් දිලිසෙන ගල් ඇතිරිල්ල සිත්තම් කළ සිනිඳු සළුවක් මඳ සුළඟේ සැලෙන්නාක් මෙනි. හිරු රැස් වැටී රිදී පැහැයෙන් නටන සිහින් දිය රැළිවල එළියෙන් ගල් ඇතිරිල්ල ද විටින් විට බබළන්නේ නියොන් විදුලි එළියෙන් ඒකාලෝක වූ විල්ලුද තිරයක් සේය. සිනිඳු ගල් තලාව මත පය ගැසූ සැණෙන් නිරාවරණ දෙපතුල් වලට කිතියක් දැණින. නිලූ තුළ ඇති වූ ආනන්ද ජනක ප්‍රමෝදය දෑසින් මෙන්ම මුව පුරා උතුරා යයි. ඇය නැමී දිය යට දෑස් කිමිඳුවේ සුමුදු ගල් ඇතිරිල්ල නිමකළේ කවුරුන් ද යන විස්මිත හැඟීමෙන්. ඇය එකිනෙකට අසමානවූ ගල් කැට කීපයක් දෝතින් ගෙන බැලුවාය. පාටින් මෙන්ම හැඩයෙන් ද වෙනස් ගල් කැට මෙතරම් සුමුදු සිනිඳු ලෙස කැටයම් කළෝ කවරහු ද? යන්න ඇගේ දෑසින් නැඟුනු පැනය විය. 

“කොහොමද මේ තරම් අපූරු හැඩයක්, සුමුදු බවක් ලැබුණේ?” 

“ඔයාම හිතල බලන්න. ස්වාභාවික පරිසර සංසිද්ධීන් තරම් නිපුණ මැවුම්කරුවෙක් තවත් කොයින් ද? මේක දවසක දෙකක වැඩක් නොවේ. මං හිතන්නේ ඔයා ඒ ගැන දැනගත්තොත් හොඳයි.” 

“එන්න අතන වාඩි වෙලා කතා කරමු.” 

“මේ ගල් කැට දිය ප්‍රවාහයට අසුවුණ සිරකරුවන් පිරිසක් වගේ. ගංගාව පටන් ගන්නේ කොතැනින් ද කියා හරියටම කියන්ට බෑ. ඈත කඳු මඳුන් මිටියාවත්වලින් උනන පුංචි දිය උල්පත්වලින් එකතුවන දිය දහරා ඇළ දොළ බවට පත්වී කෙමෙන් පහළ මිටියාවත්වලදී එකිනෙකා මුණගැහෙනවා. ඉන් පස්සේ තමයි වඩා ලොකු දිය පහරවල් හැදෙන්නේ. එතැනින නවතින්නෙ නෑ. ඒවා පහළ මිටියාවත්වලට ගලා බසිනවා. ගඟ නිර්මාණය වෙන්නේ එහෙමයි. මූදට යනකල්ම ගඟ දෙපස ඉහළ බෑවුම්වලින් එන දිය පහරවල් ගඟට එක්වෙනවා. එහෙම එන හැම දිය බිංදුවක්ම ගඟ සාදරයෙන් වැලඳගන්නේ හරියට අම්මා කෙනෙක් සිය දරු පැටියන් වැලඳගන්නවා වගේ. දිය පහර ගලන්නේ පහත්ම තැනින් කියල කතාවක් තියෙනවා නේ? කුඩා දිය වැල්වලට හසුවෙන පුංචි ගල් කැටවලට දිය පහරේ වේගය දරාගන්ට බැරි නම් ඒවා ජලයත් එක්ක එකතුවෙල පහළට පෙරළිල එනවා. දිය පහරේ විශාලත්වය, වේගය අනුව ලොකු ගල්කැටත් පෙරළෙන එක ස්වාභාවිකයි. අධික වර්ෂාව ඇති විට සැඩපහර ලොකු කුඩා ගල් පෙරළාගෙන එන්නේ වේගයෙන්”

ගඟ මූදට යාම වේලි බැඳීමෙන් වැළැක්විය නොහැක. එයින් සිදුවන්නේ එහි ගමන් මඟ වෙනස් කිරීම පමණි.

ගලන නදියට ඇළ දොළවලින් නව ජලය එකතුවන්නා සේ අලුත් අදහස් සහ සිතුවිලි නිතර සිතට ගලා ඒමට ඉඩ දිය යුතුය.

ගමනේ ඉතිරි කොටස ලබන සතියේ .....

Top