මතක මිහිර තීරු ලිපිය : "සිරිසේන මාමලා කියන්නෙ ආදර කඳු" (437)

post-title

අපේ ගමේ කෙළවරට වෙන්න කඳු දෙකක් තියෙනවා. ඔය එක කන්දක ගමේ මිනිස්සු ගෙවල් හදාගෙන හිටියත් අනිත් කන්දෙ මිනිස්සු ගැවසුනේ නැහැ, ඒ කන්ද අමු මූකලාන නිසා. ගමේ මිනිස්සු දර කෑල්ලක් කඩන්න ගියත් ගියේ ඒ කන්දේ පාමුලට විතරයි කැලේ ඇතුළට ගියෙ නැහැ. ඔය කඳු දෙකම දුර ඉඳලා බලනකොට හරිම ලස්සනට පේනවා. මිනිස්සු ඉන්න කන්දෙ ඉඳලා අනිත් කන්ද දිහා බැලුවහමත් හරි ලස්සනට ඒ කන්ද පේනවා. ඒ ලස්සන හොඳටම පේන්නෙ නම් සිරිසේන මාමලාගෙ ගෙදරට විතරයි.

අපි අහලා තියෙන විදියට ඔය කන්ද හොල්මන් තියෙනවා කියලා තමයි කටකතා වලට කියන්නෙ. එහෙම හොල්මන් වලට බය වුන මිනිස්සු ඉන්නවා කියලත් අහලා තියෙනවා. ඒ කතාවල ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ මොකද අපි දැකලා නැති නිසා. හොල්මන් දකින්න තියා අම්මලා ඔය කන්දේ පාමුලට දර කඩන්න ගියත් අපිව එක්කගෙන ගියෙ නැහැ ඔය කටකතා නිසාම.

ඔය ඉන්නවා කියන හොල්මන ගැන අපිට ගෙවල් වලින් කියලා තිබුණේ ගමේ හිටිය කෙල්ලෙක් ඔය කැලේදි මැරිලා ඒ කෙල්ල තමයි ඔය හොල්මන් කරනවා කියන්නෙ කියලා. ඒ කෙල්ල ගැන විස්තර ඇහුවහම කිව්වෙ කතා දෙකක්. එකක් තමයි..

ඔය හොල්මන් කරනවා කියලා කියන කෙල්ලගෙ නම කාන්ති. කාන්තිට ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා ඒ කාලේ. ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා තියෙන්නේ කාන්තිගෙ අයියලා දෙන්නා. ඔය විරුද්ධත්වය මැද කාන්ති තීරණය කරලා තියෙනවා ගෙදරින් පැනලා යන්න. පැනලා යන්න තීරණය කරපු දවසේ පාන්දර කාන්තිව අයියලට අහුවෙලා තියෙනවා. එදා කාන්ති ගෙදරින් ගුටි කාපු තරහත් එක්ක රෑ ආයෙත් ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. ඒ ගියේ කොහෙද කියලා කාටවත්ම දැනගන්න ලැබිලා නැහැ කාන්තිගෙ මිනිය සති තුනකට විතර පස්සෙ කාන්තිලගෙ අයියලටම අර කන්දෙ තිබිලා හම්බවෙනකන්. ඒ කාලේ මිනිස්සු කාන්තිගෙ මරණය ගැන විශ්වාස කරලා තියෙන්නේ කැලේදි සතෙක් දෂ්ඨ කරලා මැරිලා කියලා.

ඒ සිද්දියෙන් පස්සෙ කාන්තිලගෙ ඇස් පේන්නෙ නැති අම්මයි අයියලා දෙන්නයි අපේ ගම අතහැරලා වෙන පළාතකට ගියා කියලා තමයි කියන්නෙ. ඒ එක කතාවක්.

අනිත් කතාව තමයි. එදා පාන්දර ගෙදරින් පැනලා යන්න ගිහින් අයියලාට අහුවෙච්ච වෙලාවේ ගෙදරින් වැදුණු ගුටි පාරවල් නිසා ගෙදරදිම කාන්ති මැරිලා තියෙනවා. මැරිච්ච කාන්තිව අයියලා දෙන්නා කාගෙත් ඇස් වහලා අර කැලේ මැද්දට ගිහින් දාලා තියෙනවා කියලත් කටකතාවක් තියෙනවා. 

ඔය කතා දෙකෙන් මොන කතාවද හරි කියලා දන්නෙ කාන්ති විතරයි.

අපේ අහල පහල ගම් වලටත් අපේ ගමටත් හිටිය එක මාළු වෙළෙන්දා සිරිසේන මාමා. සිරිසේන කියන්නෙ මං මුලින් කිව්වෙ කැලේ කන්ද ලස්සනට පේනවා කියලා සිරිසේන මාමගේ ගෙදරට එන්න එයා තමයි අපේ ගම් වලට හිටිය එකම මාළු වෙලෙන්දා. අපි පොඩි උං සිරිසේන මාමා කියලා කතා කරාට ගමේ වැඩිහිටියෝ කතා කරේ මාළු සිරි කියලා. 

සිරිසේන මාමා ජිවත් වුනේ තනියම සිරි මාමට කියලා සහෝදරයෙක් අම්මා තාත්තා කවුරුත්ම අපි දන්න කාලේ ඉඳලා ඉන්නවද කියලා දන්නෙ නැහැ. සිරිසේන මාමා අපේ ගමේ කෙනෙක්ද පිට ගමක කෙනෙක්ද කියලවත් අපි දන්නෙ නැහැ. පොඩි අපිට එහෙම දැනගන්න උවමනාවක් තිබුණෙත් නැහැ.

මාළු සිරී කියන්නෙ අපේ ගමේ ඉන්න මිනිස්සුගෙන් මං ගොඩක්ම ආදරේ කරන මාමා කෙනෙක්. සිරි මාමට තිබුණේ අව්‍යාජ හිනාවක් කොහෙදි දැක්කත් පුංචි මහත්තයා කොහමද කියලා අර ලස්සන හිනාවෙන් අහනවා. මගේ ආසම කෑමක් තමයි ඉස්සො. ඉස්සර සිරි මාමා ඉස්සො අරගෙන එන දවස්වලට අපෙ ගෙදරින් ඉස්සො ගන්නෙ නැත්තම් මට විතරක් ඇති වෙන ප්‍රමාණයට හරි ඉස්සො ටිකක් නිකං දීලා යන්න පුරුද්දක් සිරිසේන මාමට තිබුණා.

ඔය අතරතුර තමයි සිරි මාමා අසනිප වුනේ. අපි දන්නෙ නැහැ සිරි මාමා අසනීප වෙලා කියලා. දවස් තුන හතරක් මාළු ගෙනාවේ නැති නිසා හොයලා බැලුවහමයි දැනගන්න ලැබුණේ සිරි මාමා අසනිප වෙලා කියලා. අසනීපෙත් එක්ක සති දෙක තුනක් ඉස්පිරිතාලෙ හිටපු සිරි මාමා යන්නම ගියා ආයෙත් නොයෙන්නම.

සිරි මාමගේ මරණ වැඩකටයුතු ඉවර වෙලා මාසයක් දෙකක් ගිහින් තිබුණේ ඒ වෙනකොට. දවසක් මට සිරි මාමව මතක් වෙලා මං තාතගෙන් ඇහුවා සිරි මාමට කවුරුත්ම හිටියේ නැද්ද කියලා. එදා තමයි මට තාත්තගෙන් සිරි මාමා ගැන විස්තර දැන ගන්න ලැබුණේ.

සිරිසේන මාමා කියන්නෙ අපේ ගමේ කෙනෙක් නෙවෙයි. අපේ ගමට ආවට පස්සෙ තමයි සිරිසේන මාමා මාළුසිරි වෙලා තියෙන්නේ. සිරිසේන මාමා අපේ ගමට එන්න හේතුව වෙලා තියෙන්නේ අර කන්දෙ හොල්මන් කරනවා කියලා කියන කාන්ති.

කාන්ති ආදරේ කරලා තියෙන්නේ සිරිසේන මාමට. කාන්තිගෙන් එක දිගට මාසයක් විතර යනකම් ලියුමක්වත් නැති හිංදා තමයි කාන්තිව හොයාගෙන මේ ගමට ඇවිල්ලා තියෙන්නේ. ඒ එනකොට වෙන්න නොතිබුණු ගොඩක් දේවල් වෙලා ඉවරයිලු

ඒ ආපු ගමන සිරි මාමා ආයෙත් එයාගෙ ගමට ගිහින් නැහැ. මුල් කාලේ අතන මෙතන මොකක් හරි වැඩක් කරගෙන ඉඳලා පස්සෙ කාන්ති මැරුන කන්ද ලස්සනටම පේන තැනකින් පොඩි ගෙයක් හදාගෙන මේ මාළු වෙළදාම පටන් ගත්තා කියලා තමයි මට තාත්තා කිව්වෙ. 

තාත්තා කිව්ව සිරිසේන මාමගෙ කතාවෙන් පස්සෙ හිතුනා ඒ කඳු දෙකේ වෙන වෙනම හිටිය කාන්තියි සිරිසේනයි දැං එකම ආදර කන්දක් වෙලා කොහේ හරි ඇති කියලා. 

"සිරිසේන මාමලා කියන්නෙ ආදර කඳු"

Top