මතක මිහිර තීරු ලිපිය: මතු පිටින් පේන යටිපතුල් ඉරි තැලුම් වලට වඩා ඉරිතැලුණ අප්පච්චිලාගෙ හදවත් (271 වන ලිපිය)

post-title

වරිච්චි බිත්ති වලින් හැදුන ගෙදර වහලට තිබුණේ ටකරං අතුරලා. රෑකට වහින වෙලාවට ඒ ටකරං වලට වැටෙන වතුර බිංදු වල සද්දෙට මම ගොඩක් ආස කරා. වැස්ස හිතුමතේ වැස්සත් ඒ වැටෙන වැහි බිඳු වල අමුතු තාලයක් තිබුණා ටකරං වලට වැටෙද්දි. පොළවටත් මැටි තිබුණ නිසා එහෙම වහින දවසකට සීතල ගේ ඇතුලේ රැඳිලා තිබුණ ට, ඒ පිටස්තර සීතලට වඩා උණුහුමක් මට අම්මා අප්පච්චිගෙන් එහෙම රැයවල් වලට ලැබුණා. 

අප්පච්චිට ස්ථිර රැකියාවක් කියලා එකක් නොතිබුණාට ස්ථිර දෙයක් විදියට අප්පච්චි කරේ තිබුණ කුඹුරු කෑල්ල අස්වද්දන එක. ඒ කුඹුරු කෑල්ල නිසා අපිට ගෙදර බත නැති වුනේ නැති තරම්. ගෙදර එදිනෙදා වියදම් දරාගත්තේ අප්පච්චි කුලී වැඩ කරලා හම්බකරන එකෙන්. කුලී වැඩ කියන්නේ අද තිබිලා හෙට නැති වෙන රස්සවක් නිසා එහෙම රස්සා කරන පවුල් වල ගෑනූ පුරුදු වෙලා ඉන්නේ අරපිරිමැස්මෙන් රහට නොකා බඩට කාලා පවුල නඩත්තු කරන්න. 

ඒ දේ අපිටත් පුරුදු වෙලා තිබුණේ. ඒ කියුවේ "රහට නොකා බඩට කන්න" කියනෙක.  අප්පච්චි ගෙදර රෑ වෙලා ආපු දවසට අම්මා අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් නිතර ඇහිච්ච දෙයක් තමයි "පොළවේ පය ගහලා ජිවත් වෙන්නනේ බං මේ හැමදේම කරන්නේ" කියනෙක. අප්පච්චි ඔය කතාව අම්මට කියනවා මට ඇහෙන වෙලාවට මගේ ඇස් ගිහින් නවතින්නෙ අප්පච්චිගෙ කකුල් දෙක ළඟ. මට එහෙම වෙලාවට හිතුන දෙයක් තමයි අප්පච්චිගෙ කකුල් දෙක මැටි පොළව උඩ තිබිලත් ඇයි අප්පච්චි එහෙම කියන්නේ කියලා. 

ඒත් ඒ කතාවේ තේරුම මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් වයසක නෙවෙයි මම ඒ වෙනකොට හිටියේ. අප්පච්චිගෙ කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් තිබුණේ නැහැ කොයි මොහොතකවත්. අප්පච්චි සෙරෙප්පු දෙකක් නොදා තමයි කොහේ ගියත් ගියේ. පිට තැනකට ගියා කියලා ගියානම් ගියේ ටවුමේ ඉස්පිරිතාලෙට විතරයි. ඒ කොහේ ගියත් අප්පච්චි සෙරෙප්පු දැම්මේ නැහැ. දාන්න අප්පච්චිට කියලා වෙනම සෙරෙප්පු දෙකක් ගෙදර තිබුණෙත් නැහැ. 

දවසක් අප්පච්චිගෙ කකුල් දෙකේ තෙල් ගාද්දි දැක්කා අප්පච්චිගෙ යටිපතුල් දෙක. ඒ යටිපතුල් හරියට මහ පෑවිල්ලට පොළවේ පැලිලා තියෙන ඉරි වගේ වේලිලා තිබුණේ. මම එදා අප්පච්චිගේ ඇහුවා ඇයි එහෙම යටිපතුල් පැලිලා තියෙන්නෙ කියලා. එදා අප්පච්චි මට කිවුවේ "පොළවේ පය ගහලා ජිවිතේ ගැටගහ ගන්නකොට එහෙම වෙනවා" කියලා. ඒ කතාවෙන් මට තේරුනේ අප්පච්චි සෙරෙප්පු නොදා වැඩ කරන නිසා එහෙම වෙන බවක් විතරයි. 

කාලය ගෙවිලා ගිහින් මාත් දරුවෝ තුන්දෙනෙකුගේ අප්පච්චි කෙනෙක් වුනහම මට දැනුන දෙයක් තමයි මතු පිටින් පේන අප්පච්ලගේ යටි පතුල් වල ඉරි තැලුම් වලට වඩා ඉරි තැලුම් අප්පච්චි කියන චරිතය ඇතුලේ තියෙන බව කාටවත් නොපෙන්නන!

Top