අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ (479)

post-title

" කෝ මෙහෙට දෙනවා අත. වෙලාවට ඉස්කෝලේ එන්න බැරිනම් නෑවිත් ඉන්නවා හොඳයි. ඔහොම්ම ඔතනට වෙලා ඉඳලා රැස්වීම ඉවර උනාම ග්‍රවුන්ඩ් එක වටේ වට තුනක් දුවලා එනවා. මාව හම්බෙලා මිසක් පන්තියට යන්නෙ නෑ " 

සීලවතී මිස් කාගෙවත් කීමකට ඇහුම්කන්දෙන්න සූදානම් නැති බව හේමලතා ටීචර් කලින් දවසෙ මට කියලා තිබුණ නිසා මම හෙමින් සීරුවට රැස්වීම දිහාවට ගියා. රැස්වීම ඉවර වෙනකන් බලන් හිටිය මට රැස්වීම අවසානයේ ටික වෙලාවකින් දඬුවමට ලක්වුණ දරුවා පිට්ටනිය දිහාවට එනවා දැක්කා. පිට්ටනියටත් වැඳලා ලොකුම ලොකු බෑග් එකත් කරේ එල්ලගෙන අර දරුවා පිට්ටනියේ වට තුනකුත් දුවලා ගේට්ටුව දිහාවට යනවා මම බලාන හිටියා. පපුවට දැනුන රිඳුම නවතාලන්න මට පුළුවන් කමක් නොතිබුන තැන මම හෙමින් සීරුවට ගුරු විවේකාගාරයට ගියා. අලුත් ඉස්කෝලේ මගේ කාලසටහනේ දෙවැනි කාලඡ්චේදයට තිබුණෙ අටේ පන්තිය. සිංහල පාඩම කරන්න මාරගහ යටට පුටු ටිකත් අරන් ළමයින්ට එන්න කියලා මම පණිවිඩයක් යැව්වා. පෝළිමට ළමයි ටික එනකන් බලාගෙන ඉදලා මමත් ගියා මාරගහ යටට. හරි ලස්සන මූණු ටිකක් මගේ ඉස්සරහට වෙලා ඉන්නවා. ඒ අතරින් කඩා වැටුණු මූණක් තිබ්බ හරි අහිංසක දරුවෙක් බිම බලාන ඉන්නවා.

ආව මුල්ම දවසෙම මේ පොඩ්ඩන්ගෙ ලෝකයට බරක් නොදී පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකක් කරන්න සූදානම් කරගෙන ආවත් නිසොල්මනේ හිටිය එක දරුවෙක් නිසා මගේ සූදානම මොහොතකට අමතක වුණා.

" ටීචර්, අහිංසා වැටුණා "

දරුවො හැමෝම කලබලෙන්. පන්ති නායිකාවට පන්තියේ වගකීම භාරදීලා මම තව ළමයි දෙන්නෙක් එක්ක අර දරුවව ගෘහ විද්‍යාගාරයට එක්ක ගියා. අවශ්‍ය ප්‍රථමාධාර දීලා දරුවගෙ ගෙදරට මේ බව දැනුම්දෙන්න කියපු පණිවිඩයෙන් පස්සෙ මට පුළුවන් උනා අහිංසා ගැන එක ගුරුතුමියකගෙන් තොරතුරු දැනගන්න.

" ඔය දරුවගෙ අම්මා නෑ නංගි. තාත්තා හිටියත් නෑ වගේ. ඔය දරුවා හැදෙන්නෙ ආච්චී ළඟ. මේ දවස්වල ඔය දරුවගෙ ආච්චී අසනීපෙන් ඉන්නෙ. ගෙදර වැඩ සේරම පුංචි වයසක ඉන්න ඔය දරුවා තමා කරන්නෙ. ටික කාලයක ඉඳන් ඔය දරුවා ඉස්කොලේ එන්නෙ පරක්කු වෙලා. ආවත් පන්තියේ වැඩවලට සම්බන්ධ වෙනවා හරි අඩුයි. නිතරම ගුරුවරුන්ගෙන් බැණුම් අහනවා. අනේ මන්දා. ඔය වගේ ළමයි ඉස්කෝලේ එන එකෙන් ඒ ළමයි වෙලාවකට තවත් පීඩා විඳිනවා කියලා හිතෙනවා නංගි " 

" ටීචර් , අහිංසගෙ ආච්චී ඇවිත් ඉන්නවා අහිංසා එක්ක යන්න " 

මම පණිවිඩය අරන් ආව දරුවා එක්ක ඔෆිස් එකට ගියා. පන්තිභාර ටීචර්ට විස්තරය කිව්වට මට ඕනි උනා ඒ ළමයා ගැන බලන්න. අහිංසගෙ ආච්චී දැක්ක මම එකපාරටම නැවතුනා. අහිංසව වාරුකරගෙන යන්න තියා ඇයත් හිටගෙන ඉන්නෙ හරි අමාරුවෙන් නේද කියලා මට තේරුනා.

" අටේ පන්තියට එළියට එන්න කිව්වෙ ටීචර් ද ? " 

සීලවතී මිස්ගෙ කටහඬ නිසා මම ආපිටම හැරුනා.

" ඔව් මිස් " 

" ඒ ළමයි ලඟට ටීචර් යන්න. මෙතන දැන් වෙන්න ඕනි දේවල් ටික කෙරෙයි " 

ගුරුවරයෙක්ට මේ තරමට නපුරු වෙන්න පුළුවන් ද ? මම මගේ හිතින්ම අහන ගමන් මාරගහ ළඟට ගිහින් දරුවන්ට පන්තියට යන්න උපදෙස් දීලා බලන් හිටියා. ඒ යන දරුවන් අතරින් එක දරුවෙක් මම ලඟ නැවතුනා.

" ටීචර් , අහිංසා පව් ටීචර් "

" ඇයි පුතේ ? "

" ටීචර් , මම අහිංසගෙ හොඳම යාලුවා ' සරසි ' . එයාගෙ ආච්චී සෙනසුරාදා හොස්පිට්ල් එකේ නවත්තලා හිටියෙ. මම අම්මා එක්ක බලන්නත් ගියා. අහිංසත් ආච්චී ළඟ හිටියෙ. ඒ ඉඳලා තමා එයා අද උදේ ඉස්කෝලේ ආවෙත්. ඒ එනකොට පයින්මයි ටීචර් ඇවිත් තිබුනෙ. ඒකයි අද එයා ඉස්කොලේ පරක්කු වෙලා ආවෙත්. පන්තියට ඇවිත් ඔලුව තියාන හිටියෙ ටීචර්. උදේ හරියට කෑමක්වත් අරගෙන නෙමෙයි අහිංසා හිටියෙ " 

සරසි මහ හයියෙන් අඬන්න ගත්තා. ඒ පුංචි හිත සනසලා ඇයව මම පන්තියට යැව්වා.

මේ මතකය කාගෙද කියලා මම කියන්නෙ නෑ. ඔයාගෙ හිතින් ඔයාම අහන්න. ඔයාගෙ ජීවිතයටත් ඕනි තරම් අහිංසා වගේ දරුවන් මුණගැහිලා ඇති. සමහරවිට පාසල් යනකාලේ ඔයත් එහෙම දරුවෙක් වෙන්න ඇති. ඒ නැතත් අනාගතේ දවසක ඔබට අහිංසා වගේ දරුවන් ඕනිවටත් වඩා මුණගැහේවි. මේ සමාජයත් එහෙව් දරුවන් තනිකරාවි. දරුවන්ගේ ලෝකය තනන්නට වරම් ලද අපි අතින් අහිංසා වැනි දරුවන් ගිලිහුනොතින් ඔවුන්ට වාරුවක් වීමට සමාජය ඉඩක් නොදේවි. සමාජය විසින් හෝ ලෝකය විසින් ගොඩනගනු ලබන බොහෝ තැන් ස්පර්ශ කිරීමට " ගුරුවරයා " මතකයක් ලෙස දරුවන්ගේ හදවතම සොරාගත යුතුයි. ගුරුවරයා දරුවන්ගේ හදවත් සොරාගන්නා සොරෙකු විය යුතුයි. යුතුමයි. 

කාලයත් එක්ක අපිට මඟහැරෙන්නට යන සමහර වටිනාකම් අපි රැකගමු. එසේ නොවුනහොත් මහින්ද චන්ද්‍ර සේකරයන් අතින් ලියවුණු, සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් අපේ ජීවිතයම ගීතවත් කළ අපි කවුරුත් ආදරේ කරන " පැනමඩ කඩති " ගීතය පමණක්ම ඉතිරිව ඒ ගුරු මතකයන් මතකයක් පමණක්ම වෙනු ඇත. 

" පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ

පෙන්වා මග නොමග නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ ..........."



ප්‍රේමණීයම මතකයන් වචන එක්ක බෙදාගන්න. එක හිතක් හරි නවත්තගන්න පුළුවන් නම් දිනවන්න පුළුවන් නම් ඔයයි මමයි දෙන්නම දිනුම්. එන්න අපි වචන එක්ක හරි පාරක් තනමු, මතකයන් වලින්.

Top