ගුරු මතක දිනපොත: මේ මට මුණගැහුන වටිනා ම, අමරණීය ම ගුරු මතකය.(435)

post-title

අද ශිෂ්‍ය නායක බැජ් පලඳන දවස. මම ටීචර් ළඟට වෙලා එයාගෙ මූණ දිහා බලාන ඉන්නවා. 

" ඔය ගවුම හුඟක් පරණයි දරුවො. ඕක ඇඳන් ඔයාව මම කොහොමද ස්ටේජ් එකට නග්ගන්නෙ ? " ටීචර් මම දිහා බලාන එහෙම කිව්වා. 

" මට තියෙන හොඳම ගවුම මම අද ඇන්දෙ ටීචර් " 

රම්‍යා ටීචර් නැටුම් කාමරේ කණ්ණාඩිය දිහා බලාන සෑහෙන වෙලාවක් කල්පනා කරනවා මම බලාන හිටියා.

පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව විදියට Top Board එකට තේරිලා අලුත් ඉස්කෝලෙදි මට ලැබුණු ඒ තනතුර දුෂ්කරතා ගොඩක් මැද මාව ඔසවලා තිබ්බා. ඒක මට නුපුරුදු අත්දැකීම් උනා. අනිත් ළමයි හැමෝගෙම අම්මා තාත්තා පවුලෙ අය ඇවිත් ඉස්කෝලේ සරසන අපූරුව දැක්කම මම හරි අසරණ විදියට ටීචර් ළඟ ඉදගෙන හිටියා. ගෙදර කරදර නිසා අම්මවයි අප්පචිවයි කොළඹ ගෙන්නන්න මම කැමති උනේ නෑ. අම්මා එන්න ලෑස්ති උනත් මම එන මඟ නැවැත්තුවෙ අම්මා තවත් කාටම හරි ණය වෙලා මේ ගමන එන්න ලෑස්ති වෙන බව මම දන්න නිසා. අප්පච්චිටත් එන්න ආසාව තිබ්බට කරගන්න දෙයක් නෑ කියලා මගෙ හිත මම දන්න නිසා මම හිතට දැනුන වේදනාව හරි අමාරුවෙන් තදකරගෙන හිටියා.

ටීචර්ට ආව කෝල් එකක් නිසා ටීචර් මාවත් එක්කරගෙනම ඉස්කෝලේ ගේට්ටුව දිහාවට ගියා. ටික වෙලාවකට පස්සෙ ගේට්ටුවෙන් ඇතුළට ආව රූපය දැක්කම මම පපුවෙ හිර කරන් උන්න වේදනාව කඳුලු කැට මහ ගොඩක් එක්ක ඇස්වලින් කඩා වැටුනා.

" අප්පච්චි "

අදටත් ඒ හැඟීම මගෙ පපුවට දැනෙනවා. ටීචර් මට නොකියම අප්පච්චිව කොළඹ ගෙන්නලා තිබ්බා. මම අප්පච්චිට වගේම ටීචර්ටත් දණගහල වැන්ඳා. ඒ ඇස්වලත් කඳුලු පිරිලා තිබ්බා. 

" මේ සල්ලි අරන් ගිහින් මේ කෙල්ලට අලුත් යුනිෆෝම් එකක් අරන් දීලා ඉක්මනින් එක්ක එන්න. " 

දෙහිවල පාලම පාමුල තියෙන සුදු ඇඳුම් විකුණන කඩේ ගැන විස්තර අප්පච්චිට කියන ගමන් ටීචර් මම දිහාවට හැරුනා.

" ඉක්මනින් එන්න පුතේ. "

මම අප්පච්චිගෙ අත අල්ලගෙන ඉස්කොලේ ගේට්ටුවෙන් එළියට යනකොටම සුනිල් අංකල් මම දිහාවට හැරිලා හිනාවෙලා මට කතා කලා.

" ඔයා හරිම වාසනාවන්ත දරුවෙක් පුතේ. ආයෙම ගේට්ටුවෙන් ඇතුළට එනකොට හිනාවෙලා එන්න ඕනි " 

 පාර දිගටම යනකන් මගේ ඇස්වලින් වැටුණ කඳුලු මුහුදු හුළඟත් එක්කම මහ මුහුදට එකතුවෙන්න ඇති. කඳුලු වල බරින් මුහුදෙන් නැගුන ඒ වේඳනාත්මක හඬ හුළඟ එක්ක කාලයක් යනකන් මගේ හදවතේ රැව් දුන්නා.

ගේට්ටුවෙන් ඇතුලට හිනාවත් අරන් එන්න මම දරපු වෑයම රම්‍යා ටීචර් දකිනකොටම අසාර්ථක උනා. මම මහ හයියෙන් ටීචර් බඳාගෙන ඇඩුවා.

" පරක්කු වෙනවා. අප්පච්චිව හෝල් එකට එක්ක ගිහින් ඔයා ඉක්මනට යාලුවො ටිකට එකතුවෙන්න "

ඒ මට මුණගැහුන ටීචර් අම්මා. මගේ ගුරු ජීවිතය පටන්ගන්න කලියෙන් මට පාර කියලා දුන්න මට ලොකු වාරුවක් උන ටීචර් අම්මා. මගේ අම්මගෙ අඩුව නොදැනෙන්න මාව ගෙදර තියාගෙන උගන්නලා ජීවිතයම අකුරු කරලා අලුත් ඉස්කෝලෙට උදේ හවා එක්ක ගිහින් මාව පරිස්සම්කල මගේ ටීචර් අම්මා.

පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස අත්පොලසන් නද මැද්දෙ අබිසෙස් ලබනකොට රම්‍යා ටීචර්ව ගුරුවරු හැමෝම මැද්දෙන් මට හරි අපූරුවට පෙනුනා. 

" නායකයෙක් විදියට පත්වෙන්න හැමෝටම බෑ. ඒකට කාටවත් නැති විශේෂත්වයක් තියෙන්න ඕනි. ඒ විශේෂත්වය ඔයාට තියෙනවා කියන්නෙ ලෝකයටම මඟපෙන්වන්න පුළුවන් චරිතයක් ඔයා ළඟ ඉන්නවා කියන එක. හැමදේකදිම වැටෙන කඳුල නෙමෙයි ලැබෙන අත්දැකීමයි වටින්නෙ "

අදටත් වේදිකාවක් උඩට නැගලා කතා කරන්න අවස්ථාවක් ලැබෙන හැමවෙලාවකම මගේ ටීචර් අම්මව මහ සෙනඟ ගොඩක් මැද මම දකිනවා. මට ඇයව පේනවා.

බොරපැහැ සුදු ගවුම වෙනුවට අලුත් සුදු ගවුමක් එක්ක මගේ අභිමානය වර්ණවත් කරපු , උසස්පෙල කරපු කාලය පුරාවටම මගේ ජීවිතයට යෝධ හයියක් වෙලා මට වාරුවක් උනු, ගුරුවරියක් විදියට මගේ හදවත අදටත් මතකයන්ගෙන් පෝෂණය කරන ආදරණීයම ගුරු මතකය..................

ගුරුතුමිය 

මමයි නුඹේ අල්තීනායි

අයිලයට වෙලා නුඹ එනකන් 

අදටත් බලන් ඉන්න 

සත්තයි සත්තමයි !

ගුරුවරයෙක්ට පුළුවන් හරි අපූරුවට ළමයා කියන සිතුවම වර්ණ ගන්වන්න. ඒ සිතුවමට ජීවය දෙන්න.පැසසුම් නොලබාම අපූරු සිත්තරෙක් ලෙස දරුවෙකුගේ හදවත තුළ මතකයක් වෙන්න. ඒ මතකයන් තුළ අමරණීය වෙන්න.

මිහිතලේ හිඳ සිනාසෙන ප්‍රේමණීය තරු

අහසේ ඉඳන් දිලිහෙන්නට 

හීන මවනවා

ලෝකයක්ම බබලන්නට 

සතුට බෙදනවා

හිතකට හිනාවක් ගේනා

එහෙව් මිහිතලේ තරු

අහසේ ඉඳන් පායන්නට

කාටත් කලියෙන් 

නොකියාම යන්නට යනවා

ඒ තරුව දිහා 

බලන් ඉන්න වරුවක්

දැනෙයි පපුවට 

ප්‍රේමණීය රිඳුමක්

සදාකාලික රිඳුමක්

ඒ තරුව දිහා 

බලන් ඉන්න 

හැමදාමත් 

දැනෙයි අහසට නෙමෙයි අයිති 

පොළොවටයි කියලා 

අපි හැමෝගෙම හදවත්වල අමරණීය ලෙස ජීවත්වෙන ගුරු තරුවල ආලෝකයෙන් අපේ ගුරු මතකයන් වඩ වඩාත් ප්‍රේමණීය වේවා !!!

ඒ මතකයන් වලට අපේ ජීවිත උපහාරයක්ම වේවා !!!

මේ මට මුණගැහුන වටිනම , අමරණීයම ගුරු මතකය. ඔයත් වචන එක්ක එකතුවෙලා බෙදාගන්න ඔයාට මුණගැහුන අමරණීයම ගුරු මතකය ගැන......

Top