පරිසර සැරිය ජීවන තක්සලාවකි -2: පරිසරය පූජනීයයි. එය අපට ජීවය දෙයි (386)

post-title

ඔබ ජීවත් කරවන්නේ ස්වාභාවික පරිසරය බැවින් එය ආරක්‍ෂා කිරීම යනු ඔබේ ජීවිතය ආරක්‍ෂා කරගැනීමයි.

පරිසරයේ සැඟවුණු චමත්කාරය ගවේෂණය කිරීම සඳහා ඔබට ඇල්මක් ඇතිකර ගැනීමට ගත හැකි සරල ක්‍රියාමාර්ග ගැන විමසා බැලීම වැදගත්ය. දැනට ඇති දේ වෙනුවට අලුත් යමක් ජීවිතයට එක් කළ නොහැකිද? වඩාත් කැමති විනෝදාංශ එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. එහෙත් සෑම පුද්ගලයෙකුම කිසියම් දෙයක් විනෝදාංශ ලෙස භාවිත කරන බව පෙනේ. තමා නිතැතින්ම උනන්දුවන දෙයක් විනෝදාංශයක් බවට පත් වීම සමහර විට ස්වාභාවිකය. ඔබ සතුටට පත්වෙන ක්‍රම අතර සමාජය බැහැර කරන ඇතැම් විනෝදාංශවල ඔබ ගැලී සිටින්නේද? අනුන්ට හිරිහැර කිරීමෙන්, අපහාස කිරීමෙන්, නැතිනම් රිදවීමෙන් සතුටුවෙන පුද්ගලයන් ද ඔබ දැක ඇතැයි සිතිමි. මෙය එක්තරා මානසික විකෘතියකි. එවැනි තත්ත්වයක් ඔබ තුළ තිබේ දැයි සොයා බලන්න. එය ඔබේ ජීවන කෙතේ පැළවී ඇති විපත්තිකාරී වල් පැළෑටියක් සේ සලකා වහා මුලිනුපුටා දමන්න. කෙනෙකුගේ දුර්වලකම්වලින් විනෝද වීමට වඩා කළ යුතු දේ කොපමණ තිබේද? 

අසල්වැසියාට, සමාජයට, පරිසරයට, හිරිහැරයක් නොවන ලෙස දැනුම, බුද්ධිය දියුණුකර ගැනීමට ආධාර වන දේවල් විනෝදාංශ බවට පත්කර ගැනීම හැම අතින්ම ප්‍රයෝජනවත්ය. ඉන් අදහස්වන්නේ ඔබ කිසිවිටකත් වටිනා කාලය අපතේ නොයවන බවයි. ඔබේ විනෝදාංශ ඔබට මෙන්ම සමාජයට ද යහපතක් මිස අයහපතක් නොකරයි. සාහිත්‍ය, චිත්‍ර, සංගීතය, ඡායාරූප ශිල්පය, මූර්ති කලාව පමණක් නොව ස්වභාව සෞන්දර්ය ආශ්‍රිත අධ්‍යයන කටයුතු වැනි බොහෝ දේවල් විනෝදාංශ බවට පත්කර ගත හැක. මෙහිදී අවශ්‍යවන්නේ තමා නිරතවන දෙය කිරීමෙන් තෘප්තිය මෙන්ම ප්‍රයෝජනයක් ද ලබාගත හැකි වීමයි. කිසියම් උනන්දුකාරී විෂයක් පිළිබඳව නිපුණත්වයක් ලැබීමට ඔබ කැමති නම් එය ඔබේ විනෝදාංශය මෙන්ම විශේෂ හැකියාවක් ද වේ. 

උදාහරණ වශයෙන් ගත හැකි සුවිශේෂ පුද්ගලයන් ඔබ අවට සමාජයේ ද සිටිය හැක. වෘත්තියෙන් දක්‍ෂ වෛද්‍යවරුන් අතර මහත් ප්‍රසිදධියට පත් ඡායාරූප ශිල්පීන්, සංගීතවේදීන්, පරිසර වේදීන් දැකිය හැක. ඔවුන් ගැන ඔබ නොදන්නවානම් සොයා බලන්න. සමහර විට මෙබඳු පුද්ගලයින් සමාජයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔවුන්ගේ විනෝදාංශ ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසාය. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ වයලින් වාදනයයි. ඔහු දක්‍ෂ විද්‍යාඥයෙක් පමණක් නොව සංගීත වේදියෙක් ද විය. ස්වාභාවික පරිසරයෙන් විනෝදාංශ අප්‍රමාණ සංඛ්‍යාවක් සොයා ගැනීම අපහසු නොවේ. ඔබේ කැමැත්ත අනුව විනෝදාංශයක් තෝරා ගැනීම සරල කාර්යයකි. උපතින්ම නොවුණත් ළමා කාලයේ අත්දැකීම් ඇසුරෙන් උපන් උනන්දුකාරක ඔබ තුළ ඇතිවාට සැකයක් නැත. ඔබ ගමේ උපන් කෙනෙක් නම් වත්ත, වෙල්යාය, ඇළ දොළ, වන වදුලු අතර සැරිසැරූ අපූරු අත්දැකීම් මතක් කරන්න. නගරයේ මුහුදු වෙරල ආශ්‍රිත ප්‍රදේශ, කඳුකර මිටියාවත් වැනි විවිධ ස්ථාන ඔබේ ළමා කාලයට සම්බන්ධනම් එම අත්දැකීම් ඔබට තිබේ. ඒ ඇසුරින් දැනටමත් ඔබේ උනන්දුව ඇදගත් විනෝදාංශයක් තිබිය යුතුය. යළි මෑත අතීතයට සිත යවා මෙනෙහි කරන්න. 

මිනිස් වර්ගයා කරන බරපතලම වැරැද්ද ස්වභාව සම්පත් අධි පරිභෝජනයයි.

කොපමණ සුන්දර දේවල් ඔබේ ජීවිතය වටා තිබේද? ඇළ දොළ ගංගාවල ඇති විවිධ හැඩයට ඔප මට්ටම් වූ ගල් කැට එකතු කරන්නෙක් ගැන මම දනිමි. අවුරුදු දහයේ සිට නොකඩවා කරන මෙම විනෝදාංශය නිසා වර්ෂ දහයකට පසු ඔහුගේ ගල් කැට කෞතුකාගාරයේ වටිනාකම ඩොලර් දහස් ගණනක් බවට පත්ව ඇත. එහෙත් එය අලෙවි කිරීමට ඔහුගේ බලාපොරොත්තුවක් නැත. දිය පහරවල් දිගේ පෙරළෙන ගල් කැට විවිධාකාර හැඩ තලවලට ඔප මට්ටම් වන ආකාරය ගැන සියුම් පර්යේෂණයක නිරතවන බැවිනි. හෙතෙම භෞතික විද්‍යාව සහ භූගර්භ විද්‍යාව හදාරන දීප්තිමත් අනාගතයක් ඇති විද්වතෙක් බවට පත්ව ඇත. ඔප මට්ටම් ගල් කැට සෙවීමේ ගවේෂණය නිසා ඔහු ලද තවත් වාසනාවක් නම් රුපියල් දශ ලක්‍ෂ ගණනක් වටිනා නිල් මැණිකක උරුමක්කාරයා වීමයි. කිසියම් දෙයක් නොවැදගත් වන්නේ එය පරිපූර්ණ ලෙස විශ්ලේෂණය කර අවබෝධ කරගන්නා තෙක් පමණි. ස්වභාව ධර්මයේ නිමැවුම් අතර භෞතික මෙන්ම නොවන දේවල් ද ඇත. 

ඔබ අවට ලෝකයේ සවන් දිය හැකි ශබ්ද කොපමණ තිබේ දැයි බලන්න. සිහිල් සුළං රැල්ලකට කොළයක් සෙලවීමෙන් පවා මොහොතකින් අපූරු සිත්තමක් ඇඳිය හැකියි.

කුරුල්ලන්, වෙනත් විවිධාකාර සතුන්, කෘමීන්, වාතය, වැසි, සුළං, ජලය සහ සැඟවුණු දේවල් කොපමණ ද? මේවා ගැන ඔබ සංවේදී නම් විනෝදය සහ දැනුම සොයා යාමට සාගරයක් මෙන් සුවිසල් ක්‍ෂේත්‍රයකි. පරිසරය විනෝදාංශයක් හා අධ්‍යාපන මාධ්‍යයක් කර ගැනීමට උනන්දුව ඇතිකර ගන්නේ කෙසේද? මේ ගැන ඔබ සරල ලෙස සිතා බලන්න. කිසියම් හෝ පරිසර සංසිද්ධියක් පිළිබඳව ඔබ තුළ අල්ප මාත්‍ර හෝ සැලකිල්ලක් තිබෙන්නට හැකියි. එතැනින් පටන් ගන්න. නැතිනම් එය කුමක් දැයි සොයා බලන්න. එය ඔබ කැමති හෝ අකැමැති දෙයක් විය හැකියි. 

සරල උදාහරණයක් ගතහොත් වන අලින් නැරඹීමට බොහෝ දෙනා තුළ කුතුහලයක්, ආශාවක් ඇත. ඔබත් එසේ කැමති නම් අලින් දැකිය හැකි වනෝද්‍යානවල සැරිසැරීමට අවස්ථාව ලබා ගන්න. ඉන් පසු ඔවුන්ගේ ඡායාරූප ගැනීමටත්, තොරතුරු එකතුකර ගැනීමටත්, වෑයම් කරන්න. විනොදාංශයක් ලෙස මෙවැනි කාර්යයකින් හොඳ ප්‍රතිඵල ලැබීමට ඒ ගැන අධ්‍යයයනය කිරීම වැදගත්ය. එම සතුන්ගේ ජීවන රටාව, බෝවීම, ගති ලක්‍ෂණ වැනි විවිධ තොරතුරු ගවේෂණය කිරීමෙන් ඔබ තුළ සතුටක් තෘප්තියක් ඇති වේ නම් එය වඩාත් ගැඹුරින් කිරීමට ඔබට හැකිවේ, විවේක කාලය නැතහොත් අලස කල්පනාවෙන් ගත කරන කාලය මෙවැනි දෙයකට යොදා ගැනීමෙන් ඔබ තුළ නව ජීවයක් ගොඩ නැගෙන අයුරු වටහා ගන්න. දක්‍ෂ ඡායාරූප ශිල්පියෙකූ වීම වැනි අතිරේක කුසලතා දියුණුකර ගැනීමට ද එයින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත. 

මීට විරුද්ධ පැතිකඩ ආශ්‍රයෙන් ද ඔබේ උනන්දුව උද්දීපනය කරගත හැකියි. මෙබඳු දෙයකින් එය ආරම්භ කළ හැකියි. වසර සිය ගණනක් පුරා වැඩී දසත අතු පතර විහිදා සිටින මහා ගසක් වටකර ගත් මිනිසුන් සමූහයක් ඊට පොරෝ පහර දෙමින් කපා හෙළන අයුරු ඔබ නිරීක්‍ෂණය කර තිබේද? නැතිනම් එබඳු අවස්ථාවක් දැකීමට ඔබට හැකිවේ යයි සිතමු. එවැන්නක් දැකීමෙන් ඔබ තුළ ඇතිවෙන හැගීම් කෙබඳුද? සමහර අය බොහෝ උනන්දුවෙන් එය නිමකිරීමට අත් උදව් දෙන හැටි මා දැක ඇත. ඉන් ඔවුන්ට කිසිදු සෙතක් හෝ ප්‍රයෝජනයක් නැතත් ඉන් කිසියම් තෘප්තියක් ලබනවා විය හැක. තවත් අය ඉන් තමාට වන පෞද්ගලික හානියක් නොවුණත් කම්පාවට පත්වී එය වැළැක්වීමට පවා ඉදිරිපත්වන අයුරු ඔබ දැක තිබේ ද? මෙබඳු අවස්ථාවක ඔබේ හැඟීම් ක්‍රියා කරන අයුරු ගැන සැලකිලිමත් වන්න. එය දැකීමෙන් ඔබ තුළ කලකිරීමක් උපේක්‍ෂා සහගත හැඟීමක් ඇතිවේ නම් නිසැකවම ඔබ වනාන්තරයට, ස්වාභාවික පරිසරයට ආදරය කරන්නෙකි. එතැනින් පටන් ගන්න. සක්‍රීය ලෙස පරිසර සංරක්‍ෂණ කටයුතුවලට සහභාගි වීමේ අවස්ථා ගැන විමසිලිමත් වී දායකත්වය ලබා දෙන්න. පරිසරයේ වෙනසක් වීම පරිසරයට අවශ්‍ය පරිදි සිදුවීමට ඉඩ දෙන්න. එය කෙසේවත් අප බාරගත යුතු නැත.

බිම්කඩ දර්ශන නැරඹීම ඉතා පහසු සිත චමත්තාරයෙන් පුරවන ක්‍රයාකාරකමකි. මුලින් ඔබේ නිවස අවට ප්‍රදේශය, ගම, රැකියාවට යන එන මාර්ගයෙන් ආරම්භ කරන්න. මෙවැනි ක්‍රියා මාර්ගයකින් පරිසරය ගැන උනනදුව වර්ධනය කර ගැනීමටත් ඒකාකාරී ජීවිතයට නව උද්දීපනයක් ඇතිකර ගැනීමත් අපහසු නොවේ. පරිසරයේ සැඟවුණු චමත්කාරය ගවේෂණය කිරීමේ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීම සරල කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැමැත්ත, විවේකය සහ සන්සුන් මානසික වාතාවරණය පමණි. දහසකුත් එකක් ගැටලු සිතේ තෙරපා ගනිමින් කාලය සමඟ සටනක යෙදී සිටින්නන්ට මෙය අනවශ්‍ය දෙයක් විය හැක. එබඳු මානසික තත්වයකින් සිටින විට අප ජීවත්වන්නේ සත්‍ය පරිසරයේ නොවේ. එවිට අපේ ඇසට යොමුවන්නේ සිතේ අරමුණු කරගත් ප්‍රස්තූථවලට අදාළ දේ පමණි. බොහෝ විට අපේ ඇස ගැටෙන අපූරු දේවල් ගැන කිසිදු අවධානයක් නොමැතිව දෙනෙතින් ගිලිහී යාම සිදුවේ. සිත එකඟ නොවූ විට හා දකින දේ ගැන ඇතිවන ආකල්ප හා හැඟීම් අනුව ද යම් දෙයක් සංජානනය කිරීමේදී වෙනස්කම් ඇතිවේ. මේ ගැන අත්දැකීම් ඔබට තිබිය හැකිය. 

ඔබ දිනපතා පාසලට හෝ රැකියාවට යන මාර්ගය ගැන සිතන්න. උදෑසන අවදිවී වේලාවට පාසලට රැකියාවට යාම පහසු කාර්යයක් නොවේ. බසයෙන් හෝ වෑන් රියකින් යන්නේ නම් වේලාවට සූදානම් විය යුතුය. ගෙදරදී කළ යුතු පාසල් වැඩ නිම කිරීමට නොහැකි වීම, ඇඳුම් හෝ පොත්පත්වල අඩුවක්, මිතුරෙකුට වූ පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකිවීම, මව්පියන්ගේ දෝශාරෝපණයට ලක්වීම වැනි කිසියම් හේතුවක් නිසා බොහෝ විට ඔබ තුළ අසහනයක් පසුතැවිල්ලක් ඇතිවිය හැකියි. එවිට ඔබ පියවි ලොවට වඩා අදාළ සිද්ධියට සම්බන්ධ පසුතලයේ සැරිසරන බව සිතුවාද? එවැනි අවස්ථාවකදී දෙනෙතට හසුවන බොහෝ දේවල් ගැන අවධානයක් ඔබ තුළ ඇති නොවේ. කිසි ගැටලුවකින් තොරව සරල මානසික තත්ත්වයකින් සිටින විට පරිසරය දෙස වඩා කුතුහලයෙන් බැලීමටත් විමසීමටත් හැකිය. එවැනි විටෙක ඔබකැමති ගීයක පද මුවගට නැගෙන්නේ නිතැතිනි. එබැවින් නිසල සිත පරිසර ගවේෂණයට අත්‍යවශ්‍ය මෙවලමකි. “දෙවේලේ දකින කුකුළාගේ කරමලය සුදුය” යන කියමන ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. මෙහි අපූරු ඇත්තක් තිබේ. අප නිතර දකින දේවල් අපේ ඇසට හුරු වූ පසු ඒ ගැන ඇතිවෙන කුහුල හා උනන්දුව ගිලිහී යයි. එවිට ඒ දෙස උනන්දුවෙන් නොබලන අතර අප තුළ ඇති චිත්ත රූපය එය දුටු සැනින් ආරෝපණය කර බැලීමක් සිදුවන නිසා එම වස්තුව හෝ දර්ශනය කොතරම් වෙනසකට ලක් වී තිබුණත් එය නොවැටහේ. මෙම දර්ශන ඇඳිරිය ඇතිවීම වළක්වා ගැනීමට උනන්දුවීමෙන් හැම විටම අලුත් දෙයක් දැකීමට මඟ පාදා ගත හැකිය. 

ඡායාරූප ශිල්පය ගැන ඔබ යමක් දන්නේ නම් මෙය හොඳින් අවබෝධ කිරීම පහසුය. එකම වස්තුවක් හෝ දර්ශනයක් විවිධ කෝණවලින් රූපගත කළ විට එම වස්තුව කොපමණ වෙනස් ලෙස දැකිය හැකිද? වස්තුවේ හැඩය, පිහිටීම පමණක් නොව අඳුර, ආලෝකය පවා වෙනස්වේ. යම් දෙයක චමත්කාරය නරඹා ආස්වාදය විඳීමට නම් එසේ විවිධ කෝණවලින් දැකීමට හුරු විය යුතුය. දෘෂ්‍ය තලය වෙනස් කර ගැනීම මගින් ඔබ නිතර දකින දේවල නොදුටු චමත්කාරයක් විඳීමට හැකි බව සමහර විට ඔබට අත්දැකීම් තිබිය හැකියි. ඔබ නිතර කාරයකින් හෝ එවැනි කුඩා වාහනයකින් කිසියම් මාර්ගයක යන්නේ නම් නිරතුරුවම ඔබ දකින්නේ මඟ දෙපස ඇති සීමිත බිම්කඩ, ගස් වැල්, ගොඩනැගිලි ආදිය පමණකි. නිතර සිදුවෙන මෙම දෘෂ්‍ය ක්‍රියාවලිය නිසා දකින වස්තූන් හා පරාසය තුළ ඔබේ නෙත් කිසියම් උගුලකට හසුවී ඉන් බාහිර දේ දැකීමට නොහැකි තත්වයට පත්වේ. මින් ගැළවීමට නම් දෘෂ්‍ය තලය වෙනස් කර ගත යුතුය. අදාල මාර්ගයේ බස් රථයකින් යමින් සුපුරුදූ වටපිටාව දෙස බලන්න. ඔබ කලින් නොදුටු උස් බිම්කඩ දර්ශන මියාවත්, තුරු ලතා, ගෙඩනැගිලි, පැතිකඩ කොතරම් නිරීක්‍ෂණය කළ හැකි ද? ඉන් ඔබ තුළ ජනිතවන සියුම් පහන් හැඟීම විඳ බලන්න. නැතිනම් එම මඟ පයින් ගමන් කරන්න. 

එවිට වඩා නිස්කලංක ලෙස අවට නිරීක්ෂණය කළ හැකි බැවින් පුළුල් දර්ශන තලයක් ඔබට ලැබේ. මින් පැහැදිලි වන්නේ නිතර දකින දේ වුව ද අපූරු චමත්කාරයක් ඇතිවන අයුරු දැකිය හැකි බවයි. මා වර්ෂ විස්සකටත් වැඩි කාලයක් සතිපතා ගමන් කළ මාර්ගයේ කිසිදා නොදුටු සුන්දර බිම්කඩ දසුනක් දැකීමට මෑතක දී හැකිවිය. එය මෙතෙක් කල් මඟ හැරුණේ කෙසේ දැයි තවම මට අදහාගත නොහැක. අප වටා ඇති පරිසරයට කොතරම් විවිධ හැඩතල තිබේදැයි නිශ්චිතව කිව නොහැක. පරිසරය දැකීම මෙන්ම ඇසීම ද සුන්දර අත්දැකීමකි. නෙත් හා කන් අවදියෙන් තබා ගැනීම කොහොමටත් ජීවන ගමනේ යෙදීමට අත්‍යාවශ්‍යය. 

පරිසරය පූජනීයයි. එය අපට ජීවය දෙයි

Top