ගෙවුණු අතීතයට මතකයෙන් පියාඹනකොට හිතෙන දෙයක් තමයි "සමහර දේවල් තව පරක්කුවෙලා උනානම් හොඳයි" කියලා හිතෙන එක. ඒවා මේ කාලේ බොළඳ වැඩ වුනත් ඒ දේවල් ඒ කාලේ අපිට මොකක්දෝ වින්දනයක් ගෙනත් දුන්නා.
අපි ඉස්සර ආව ගිය පාර තිබුණේ කුඹුරකට මායිම්ව නිසා මහ වැස්සකට කුඹුර වතුරෙන් පිරෙද්දි පාරත් ඉබේටම යට වෙනවා. පොඩි වැස්සකට වුනත් පාරේ තිබුණු වලවල් පිරෙනේ ගමේ මිනිස්සුන්ට යන එන ගමනක් හරියට යා ගන්න බැරි වෙන්න. ගමේ මිනිස්සු පාර හදලා දෙන්න කියලා කියන්න ඕන හැම තැනටම කිවුවත් පාර හදන වැඩේ වුනේ නැහැ කාලයක් යනකම්ම. ඒ දේවල් එහෙම වුනාට පොඩිවුන් වෙච්ච අපිට ඒ දේවල් ප්‍රශ්නයක් වුනේ නෑ. මොකද එහෙම පාරේ වතුර පිරිලා මඩ වෙලා තියෙනවනම් අම්මා අප්පච්චි අපිව වඩාගෙන යන එන නිසා.
වැස්ස නැති කාලෙට පාර හොඳට වේලිලා තියෙන දවස් වලට පොඩිවුන් වෙච්ච අපි කරන දෙයක් තමයි පුවක් ගහකින් කහ පාටට වේලිලා වැටෙන කොලපතේ කොල ටික අයින් කරලා හදාගන්න කොලපත් වාහනෙන් පාරෙ එහා මෙහා යන එක. ඒ හදාගන්න කොලපත් වාහනේ ඝනකම අනුව තමයි තීරණය වුනේ කොච්චර දවස් අපිට ඒ වාහනේ යන්න පුලුවන්ද කියලා.. අපිට කොලපත් වාහනෙන් එහා මෙහා යන්න ගැලපෙන ම පාරක් තමයි තිබුණේ. අපේ ගේ තිබුණෙත් පාර මට්ටමේ ඉඳලා පොඩි කන්දක් උඩ නිසා අපිට ලේසි වුනා කොලපත් වාහනේ පදින්න.
කොලපත් වාහනේ ටයර් වෙනුවට තිබුණේ අපේ මැටි පාරේ තියෙන පුංචි බොරලුකැට. ඒ බොරලුකැට උඩ තමයි අපේ කොලපත් වාහනේ එහා මෙහා ගියේ. බොරලුකැට පුංචි වෙන තරමට තමයි කොලපත් වාහනේට එහා මෙහා යන්න ලේසි වෙන්නෙ. එහෙම බොරලුකැට අපේ පාරේ තිබුණු නිසා අපිට කොලපත් වාහනේ පදින්න ලේසි වුනා. ඝනකමට තියෙන කොලපත බොරලුකැට උඩ දුවලා දුවලා තුනී වෙලා අපි වාඩිවෙලා යන තැන හිල් වෙලා කියලා පස්ස පැත්තට දැනෙනකම් අපි කොලපතේ එහා මෙහා ගියා, අලුත් කොලපත් වාහනයක් ආයෙත් හදාගන්නකම්.
අපිට කොලපත් පදින එක මඟදි නවත්තන්න වුනේ ගමේ මිනිස්සුන්ගෙ ඉල්ලීමට අපේ පාරත් හදන්න පටන් ගත්ත නිසා. පාර කුඹුරු මට්ටමෙන් උඩට පස් පුරවලා තව උස් කරලා පාර කොන්ක්‍රීට් කරේ අපේ කොලපත් පැදිල්ල නවත්තලම දාලා. කොන්ක්‍රීට් පාර උඩ අපි කොලපත් පදින්න හැදුවත් ඒක කරන්න බැරි වැඩක් වුනා. වෙනදා කොලපතට තිබුණු පුංචි බොරලුකැට වලින් හැදුනු ටයර් කොන්ක්‍රීට් වලට යට වෙලා ගිය නිසා. කොලපතේ එකෙක් වාඩිගෙන අනිත් කෙනා කොලපතේ කෙළවරෙන් ඇදගෙන ගිය කාලේ ආයෙත් අපිට ආවේ නෑ පාර හැදුවට පස්සෙ.
ඒත් ගමේ මිනිස්සු මහ වැස්සකට වුනත් පාරේ එහා මෙහා ගියා පාර හොඳට හැදුන නිසා. කොලපතෙ මම වාඩිගෙන ඉන්නකොට කෙනෙක් මාව ඇදගෙන ගියා වගේ කාලයත් මාව දැං වර්තමානයට ඇදගෙන ඇවිල්ලා තියෙනවා. එදා පාර හදන කොට අපිත් එක්ක සෙල්ලම් කරපු පුංචි බොරලුකැට පස් වලටයි කොන්ක්‍රීට් වලටයි යට වුනේ ආයෙ කවදාවත් මතු වෙලා අපිත් එක්ක සෙල්ලම් කරන්න බැරි විදියට. ඒ කොන්ක්‍රීට් වලට යටවුණු පුංචි බොරලුකැට වගේ ඒ මතකයත් මං ළඟ තියෙනවා පරිස්සමට, වර්තමානයෙන් යටවෙලා... ඒ මතක ලස්සන වැඩි නිසයි මම මුලින්ම කිවුවේ "සමහර දේවල් තව පරක්කුවෙලා උනානම් හොඳයි කියලා" මොකද පාර කොන්ක්‍රීට් කරන්න තව පරක්කු වුනානම් මට තව ඒ දේවල් එක්ක අතීතය ලස්සන කරගන්න තිබුණා...