පුංචිම කාලේ අම්මලා රත කල්කේ දීලා තිබ්බට මොකද යාන්තම් අවුරුදු දෙක තුන වෙද්දිම මට රථ ගාය හැදෙන්න ගත්තා. දැන් වගේ නෙවෙයි, ඒ දවස් වල වාහන සෑහෙන්න අඩුයි. ගමට ම ඕනෙ නම් කාර් දෙකක් තියෙන්න ඇති. අපිට කොහොමටවත් වාහනයක් තිබ්බේ නෑ. අනිත් එක දැන් වගේ ත්‍රීවීල් තිබ්බෙත් නෑ. ඉතිං බස් එකක් නොවන වෙනින් වාහනයක ගමනක් යනවා කියන එක සුවිශේෂි සිද්ධියක්. හැබැයි ඉතිං ඒ දවස් වල එහෙම ට්‍රිප් එකක් සෙට් වෙන්න නම් මොකක් හරි අලකලංචියක් වෙන්ඩ ම ඕනේ.
මට මතක තියෙන විදියට මම ඉස්සෙල්ල ම කාර් එකක ගියේ ඉස්පිරිතාලේට. මන් හිතන්නේ එතකොට වයස අවුරුදු තුනක් විතර ඇති. ඒ දවස්වල ඉතිං උයනකම් ආච්චම්මා පිටිපස්සේ දැවටෙන එක තමා මගේ රාජකාරිය. පොල් ගෙඩියක් බින්දම පොල් වතුර ටික බොනවා වගේ යටි අරමුණු ඒකේ තිබ්බා. ඒ දවස්වල තිබ්බ මතයක් තමා පොල් වතුර වලට සෙම ඇවිස්සෙනවා කියන එක. ඉතිං එදා මට සෙම ගතියක් තිබ්බ හින්දා ආච්චිඅම්මා පොල් වතුර දුන් නෑ. කොච්චර වලි දා ගත්තත් සාධාරණයක් ඉෂ්ඨ උනේ නෑ. ඉස්සර ඉඳන්ම කීකරු දරුවෙක් වෙච්ච මම මේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක උනා. කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉඳලා ලෙලි ගහලා තිබ්බ පොල් ගෙඩියක් ගත්ත මම ලොකු මන්න පිහියක කැපෙන පැත්තෙන්ම පොල් ගෙඩියට ගැහුව. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනේ. ඒ දවස්වල ඉඳලම ඉලක්ක ජය ගන්න පුදුම දක්ෂතාවයක් තිබිලා තියෙන්නේ. පොල් ගෙඩියට කිසිම හානියක් නෑ. ඒත් පොල් ගෙඩිය අල්ලන් හිටිය මගෙ වම් අතේ දබරගිල්ල පළවෙනි පුරුක ගාවින් කැපිලා යාන්තම් හමෙන් විතරක් එල්ලෙනවා. ඊට පස්සේ වෙච්ච සිද්ධි මත නෑ. හැබැයි කවුරු හරි හොයන් ආපු කලු පාට ගෙම්බා කාර් එකක ඉස්පිරිතාලේ යනවා හොඳට මතකයි. ඒ විතරක් නෙවෙයි, ආච්චිඅම්මා මන් ලව්වා පොල් බිඳ ගන්නවා කියලා ඩොක්ටර්ට බොරු කිව්වත් මතකයි. මැහුම් දාද්දි අල්ලන් හිටිය නර්ස්ලට පයින් ගහනවත් මතකයි.
ඊට පස්සේ මතකම සිද්ධිය නංගිව ඉස්පිරිතාලේ ඉඳන් එක්ක ආපු එක. එතකොට මට වයස අවුරුදු පහක් විතර ඇති. අප්පච්චි නංගිවයි අම්මවයි එක්ක එන්න ඉස්පිරිතාලෙට යද්දි කොහොම හරි මාවත් එක්කන් ගිහින් තිබ්බා. ඒකටත් හේතුව මට තිබ්බ රථගාය වෙන්ඩ ඇති. ඒ ගියේ කාර් එකක නෙවෙයි. වෑන් එකක. මට ඇත්තටම නංගි හිටපු හැටිවත් අම්මා හිටපු හැටිවත් මතක නෑ. ඒත් වෑන් එකේ වර්ගේ පාට පවා අදටත් මතකයි. ඒක ක්‍රීම් පාට ටොයොටා හයි එස් වෑන් එකක්.
මම එකේ දෙකේ පන්ති වලට එද්දි ඔන්න වාහන වල දුර ගමන් යන්න හම්බෙනවා. මොකද ඔය කාලේ වෙද්දි අප්පච්චිගේ පාවිච්චියට කම්පැනි එකෙන් වාහන දීලා තිබ්බා. අලුපාට ටොයොටා කැබ් එකක් සහ කලු පාට මිට්සුබිසි කැබ් එකක්. ඒ කැබ් දෙකෙන් එකක් අදටත් ගෙදර තියෙනවා සහ මම වැඩියෙන්ම ගමන් බිමන් යන්නේ ඒකේ. ඒ දවස් වල ඉස්කෝලේ නිවාඩු කාලෙට අප්පච්චි අපිව බදුල්ල, කොළඹ වගේ තිබ්බ සයිට් වලට එක්ක යනවා. එහෙ ක්වාටස් වල නැවතිලා සතියක් දෙකක් ඉඳලා එන්නෙ. ඒ දවස්වල අප්පච්චිලගේ කම්පැනි එකේ වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. නම සුනිල්. මතක විදියට ගම ඉබ්බාගමුවේ. හරිම ආදරෙන් පරිස්සමෙන් වාහන පාවිච්චි කරපු ඒ වගේ ම පොඩි ළමයින්ට හරිම ආදරේ මහත්මයෙක්. සුනිල් අන්කල් මගේ රථගාය හොඳටම දැන ගෙන හිටියා. ඒ හින්දාම ඔය ගමන් වලදි ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි වෙන්න, සුක්කානම එහෙට මෙහෙට කරකවන්න මට චාන්ස් එක හම්බෙනවා. ආයේ ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මගේ රාජකාරිය ඕවා ගැන පම්පෝරි ගහන එක. තව අතිනුත් දාලා තමයි ඉතිං කියන්නෙ. කොටින්ම අපේ පන්තියේ හිටපු ගෑනු ළමයි සෑහෙන ප්‍රමාණයක් මට වාහන එළවන්න පුළුවන් කියන එක තදින්ම විශ්වාස කරන තරමට ඒ පම්පෝරි දරුණුයි.
පස්සේ කාලෙක අයියා ශිෂ්‍යත්වය පාස් වෙලා නුවර ධර්මරාජෙට යනවා. ඔය ගිහින් ටික කාලෙකින් අප්පච්චිත් ඩ්‍රයිවින් ලයිසන් අරන් රාජකාරී වාහනය තනියම පාවිච්චි කරන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් අයියව බලන්න නුවර යන එක තමා ඊට පස්සේ අපේ ලොකුම චාරිකාව උනේ. අප්පච්චි ඩ්‍රයිව් කරනවා. අම්මා ඉස්සරහ සීටි එකේ.. මායි නංගියි පිටිපස්සේ සීට් එකේ. ගමන පටන් ගන්නෙ නම් වමනේ පෙති හෙම බීලා. මොකද කොච්චර රථ ගාය තිබ්බත් වංගු දෙක තුනක් වේගෙන් යද්දි මගේ බඩ කැලතෙන්න පටන් ගන්නවා. ගමන පටන් අරන් ටික දුරක් යද්දි නංගිගේ සිංදු කියවිලි කචබච ඔක්කොම නතර වෙනවා. ඒක බඩගිනි වෙලා කියන එකට සංඥාවක්. ඒ දවස්වල කොළඹ නුවර පාරේ කරඩුපන හන්දියේ හෝටල් දෙකක් තිබ්බා. ඔය එක හොටලේක උණු උණු වඩේ රෝල්ස් වගේ කෑම තිබ්බා. ඉතිං ඔතන නවත්තලා රෝල්ස් වඩේ අර ගන්නවා කියන එක ගැටඹෙදි පඩුරු දානවා වගේම චාරිත්‍රයක් වෙලා තිබ්බේ. ඔන්න ඊට පස්සේ ආයෙත් නංගිගෙ සිංදු පටන් ගන්නවා. ඔය ගමන් යද්දිත් මම කරන්නේ වඳුරු පැටියෙක් වගේ ජනේලේ එල්ලිලා පාරේ යන අනෙක් වාහන දිහා බල බල යන එක. විශේෂ දෙයක් දැක්ක ගමන් මම කෑ ගහනවා. ජීවිතේ ඉස්සෙල්ලම ගෑණු කෙනෙක් වාහනයක් පදිනවා මම දැක්කෙත් ඔය වගේ ගමනක නුවර ටවුන් එක මැදදි. මන් ඉතිං සුපුරුදු විදියට කෑ ගැහුව. “ ආන් ගෑනු කෙනෙක් වාහනයක් එළවනෝ..” ඒ වගේ වෙලාවට අප්පච්චි මට වඩා හයියෙන් කෑ ගහනවා. “ මොකක්ද චූටි පුතේ ජීවිතේට වාහනයක ගිහන් නෑ වගේ ජනේලේ එල්ලීගන කරන්නේ”
එක දවසක් මම අම්මලට හෙම වැඳලා නිදා ගන්නත් ගියාට පස්සේ එළියේ අප්පච්චියි අම්මයි බස් එකක් ගැන කතා වෙනවා. අප්පච්චිගේ සද්දේ හයියෙන් ඇහෙනවා. අලුත් බස් ජාතියක් යනවා දැන් පාරේ. අනිත් ඒවාට වඩා ලස්සනයි ඒයී. කහ පාට බස් වගයක්.. මට නම මතක නෑනේ.. ඔය විස්තර ඇහෙද්දි මට ඉන්න බෑ හිතවතුනි. නින්ද පැත්තකට දාන මම “ ආ.. ලටෙක් ද?” අහගෙන එළියට යනවා. අම්මයි අප්පච්චියි දෙන්නම මහ හයියෙන් හිනා වෙනවා. පස්සෙ බලද්දි අප්පච්චි ඔට්ටුවක් අල්ලලා මාව කාමරෙන් එළියට ගන්නවා කියලා. බලාගෙන ගියාම රටට ලෝකෙට විහිළුවක් වෙන එක පටන් අරන් තියෙන්නේ පවුලෙන්මයි.
යාන්තම් දහඅට සම්පූර්ණ වෙච්ච ගමන් ඩ්‍රයිවින් ලයිසන් ගන්නවා. ඊට පස්සේ එකිනෙකට වෙනස් විවිධ වාහන කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. හොඳම දේ ඒ එකක්වත් මගේ නෙවෙයි. අයියගේ කාර් එක මල්ලිගේ කාර් එක දෙකම සේල් වලින් අරගෙන එන්නේ මම. වැඩිපුර පැදලා ඇත්තෙත් මම. වාහන ගැන විවිදාකාර හීන තිබිලා තියෙනවා. හැබයි මොකක්දෝ අහේතුවකට අද වෙද්දි ඒ හීන උදාසීන වෙලා ගිහින්. ගොඩක් හීන පස්සේ හඹා යන එක මම දන්නෙම නැතිව අත ඇරලා. ඒක වෙලාවකට නිදහසක්. එත් සමහරක් වෙලාවට ඒක දරා ගන්න බැරි හිස් කමක්.