වෙන ළමයි වගේ අම්මගෙ තාත්තගෙ අතේ එල්ලිලා යන එන ගමනක් යන්න මට කැමැත්තක් තිබුණේ නැහැ. මට ඕන වුනේ එයාලගේ අතින් අල්ලන්නෙ නැතුව නිදහසෙ යන්න එයාලත් එක්කම. එහෙම නිදහසේ යන්න එන්න මට නිදහස ලැබුණා. ඒත් සමහර වෙලාවට ඒ නිදහස නොදි තදින් අත අල්ලගෙන ඉන්නවා. ඒක මට කරදරයක් වගේ දැනුනත් ඒ තදින් අල්ලගෙන ඉන්න නිසා මම ආරක්ෂා වුනා කියලා දැං මට හිතෙනවා.
ගොඩක් වෙලාවට යන එන ගමනක් බිමනක් යන්නේ තාත්තා එක්ක තමයි. මොකද අම්මා ගෙදර වැඩ එක්ක ඔට්ටු වෙන නිසා අම්මා වැඩිය කොහෙටවත් යන්න එන්න තියාගත්තේ නැහැ. අම්මට එහෙම කොහෙටවත් යන්න එන්න ඕනකමක් තිබුණෙ නැහැ කියලා කියන්නත් බැහැ. මොකද අම්මලා කොහොමත් පුරුදු වෙලා ඉන්නවා හැම තත්පරය ම පවුල වෙනුවෙන් කැප කරන්න. ඉතින් අපේ අම්මත් ඒ කැපකිරීම කරමින් හිටියා.
ඔය තාත්තා එක්ක යන ගමනක් බිමනකදි මං කරන වැඩක් තිබුණා පොඩි කාලේ ඉඳල පුරුද්දක් විදියට කරන. තාත්තා එක්ක පාරෙ කොහේ හරි ඇවිදගෙන යද්දි මම කරන දෙ තමයි තාත්තගෙ හෙවනැල්ල සෙල්ලමකට අරගෙන පාගන එක. තාත්තත් ඒක දන්න නිසා යන ගමනෙදි කකුල කෙලින් තියන්නෙ නැතුව ඇදේට තිය තිය යන්න පුරුදු වුනා. මගේ සෙල්ලමෙන් ම තාත්තාත් සෙල්ලමක් කරනවා වගේ හෙවනැල්ල මට පාගන්න නොදි මගේ කකුලේ අඩි වලින් හෙවනැල්ල බේරගත්තා.
එහෙම තාත්තගෙ හෙවනැල්ල එක්ක සෙල්ලම් කර කර යද්දි සමහර වෙලාවල් තිබුණා හෙවනැල්ල නැති. ඒ කළුවර වැටිලා තියෙන හැන්දෑවේ කොහේ හරි යන එන ගමනකදි. එහෙම වෙලාවට මම තාත්තගෙ අත අල්ලගෙන ගියා. ඒ ගියේ කළුවරට මොකක්ද බයක් තිබුණු නිසයි. ඒ බයට ආරක්ෂාව සදහටම තාත්තා ලඟ තියෙනවා කියලා දැනෙන නිසා තාත්තගෙ අත අල්ලගෙන හිටියා හෝ නොහිටියා කියලා වෙනසක් තිබුණේ නැහැ. තාත්තලා දරුවන්ව අල්ලගෙන ඉන්නවා කියලා දැනිලා තිබුණු නිසා.
එහෙම දරුවන්ව අල්ලගෙන ඉන්න සමහර තාත්තාලට දෛවය දොරවල් අරිනවා අහඹුවකින් හරි දරුවන්ව අතහැරලා දාන්න. ඒක මහ කාලකණ්ණි අවස්ථාවක්. කාට කොයි මොහොතේ මුහුණදෙන්න වෙයිද කියලා ඒ ගැන දන්නෙ දෛවය විතරයි.
ජිවිතේ සමහර අහිමිවීම් තියෙනවා මිනිස්සු කඩාවැටෙන වගේම නැගිටින්නත් හේතුව ඒ අහිමිවීම ම වෙන. මටත් එකම හේතුවක් ජිවිතයට අඩු වයසින් ලැබුණා කඩාවැටෙන්න වගේම නැගිටින්නත්. ඒ තාත්තගෙ අහිමිවීම. එහෙම අහිමිවීමකදි මම විතරක් නෙවෙයි ඕනම දරුවෙක් කඩා වැටෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා.
ජිවිතේ සමහර තැන් තිබුණා
තාත්තා ඉන්නම ඕනෙයි කියලා හිතුන
එහෙම වෙලාවට දැනුණා
තාත්තා මැරුණට
හෙවනැල්ල ළග ඉන්න බව හිතට