මතක මිහිර තීරු ලිපිය : පරාජයන් ගොඩක එකතුවකින් වුනත් ලස්සන දිනුමක් කරා යන්න පුළුවන් (392)

post-title

අප්පච්චිට පුරුද්දක් තිබුණා ලොතරැයි ගන්න එක. ඒ ගන්න ලොතරැයි වලින් තිබුණනම් තිබුණේ සීයට අඩු දිනුමක් තමයි. එහෙමයි කියලා අප්පච්චි ලොතරැයි ගන්න එක නැවැත්තුවෙ නැහැ. දවසට එකක් හෝ දෙකක් අනිවාර්යයෙන් අරගෙන එනවා. 

ඒ කාලේ අපේ ගෙදර තිබුණේ කලුසුදු ටීවී එකක්. ඒකේ පෙනුනේ චැනල් දෙකයි. එකක් ඔය ලොතරැයි දිනුම් අදින චැනල් එකයි තව එකකුයි විතරයි. අප්පච්චි රෑට ලොතරැයි දිනුම් අදින චැනල් එක දාගෙන ඉන්නවා ඒකේ ලොතරැයි දිනුම් අදින වෙලාව එනකම්. ඒක බලලා තමයි අප්පච්චි නිදා ගන්නෙත්

සමහර දවස් තිබුණා ලොතරැයි දිනුමක් තිබුණ නම් හොඳයි කියලා මටත් හිතුන. එහෙම දවස් වලට අප්පච්චි වැඩ ඇරිලා ආවහවම අප්පච්චිගෙ උඩ සාක්කුවේ තියෙන ලොතරැයි අරගෙන මම කරන්නෙ බුදු පහණ ලඟින් තියලා ප්‍රාර්ථනා කරන එක. එහෙම කරා කියලා කවදාවත් ලොතරැයික් නම් දිනුවේ නැහැ.

අප්පච්චිගෙ ඒ ලොතරැයි වල දිනුම් තිබුණත් නැතැත් අප්පච්චි ඒවා විසි කරේ නැහැ. වෙනම මල්ලක දාලා තියාගෙන හිටියා. ඉස්සරම අප්පච්චි එහෙම එකතු කරපු ලොතරැයි වගයක් අම්මා විසි කරලා අප්පච්චිට යකා ආවේස වෙලා හිටියා අම්මා එක්ක. එදැයින් පස්සෙ අම්මා ඒ ලොතරැයි මල්ලට අත තියන්න ගියෙ නැහැ. හේතුවක් දන්නෑ ඒත් අප්පච්චි ඒවා එකතු කරා. ඇහුවහම කිව්වෙ දවසක ඕන වෙයි කියලා විතරයි.

ඔය දේවල් ඔහොම වෙන අතරතුර තමයි අපිට ඉස්කොලෙන් කියලා එව්වෙ ප්‍රදර්ශනයක් තියෙනවා අපතේ යන දේවල් වලින් මොනවා හරි නිර්මාණයක් හදාගෙන එන්න කියලා. මං ගෙදර ඇවිත් අප්පච්චිට රෑ ඒක කිව්වහම අප්පච්චි කිව්වා නිවාඩු දවසට හදලා දෙන්නම් කියලා.

අප්පච්චි එදා නිවාඩු දවසේ ඉරටු වගයක් උදේම කපාගෙන ඇවිත් තිබුණේ මං උදේ ඇහෙරෙන්නත් කලින්. මාත් නැගිට්ට පස්සෙ අප්පච්චි වැඩෙ කරන්න පටන් ගත්තා ගෙයි ඉස්තෝප්පුවේ පැදුරක් එලාගෙන.. මාත් එතනට ගිහින් වාඩි ගන්නකොටම අප්පච්චි කිව්වා මගෙ පරන ලොතරැයි මල්ලයි කමිස සාක්කුවේ තියෙන බීඩි මිටියයි ලයිටරෙයි අරගෙන එන්න කියලා.

මාත් දූවලා ගිහින් ඒක අරගෙන ආවේ මට ඉස්පාසුවක් නැති නිසා අප්පච්චි මොකක් හදනවද බලන්න.

බීඩියක් පත්තු කරගත්ත අප්පච්චි බීඩිය කට කොනක තියාගෙන මට කිව්වා එක පාරයි මෙහෙම හදලා දෙන්නේ ඒ නිසා හොදට බලාගෙන මාත් එක්කම හදන්න කියලා.

අප්පච්චි අර පරන ලොතරැයි ටික මට දුන්නා ගැලපෙන පාට අනුව වෙන් කරන්න කියලා. එහෙම පාට හයකට විතර ලොතරැයි ගොඩවල් මං වෙන් කරා. 

මං වෙන් කරපු ලොතරැයි වලින් අප්පච්චි ලස්සන මලක් හැදුවා. ඒ මල දැක්ක ගමන් මටත් පුදුම හිතුනා ඒ මල මීට කලින් මං දැකලා නැති නිසා කවදාවත්ම. කොහොම හරි මාත් පුරුදු වුනා ඒ මල් හදන්න. ඒ වගේ පාට හයකින් මල් ගොඩාරියක් මායි අප්පච්චියි හදලා මල් ගහක් හැදුවා. හරියටම මල් ගහ දිහා බැලුවහම පේනවා මල් වල වෙනසක් මොකද මං හදපු මල් අප්පච්චි හදපු මල් වගේම නැති නිසා. ඒත් මල් ගහ ලස්සනට තිබුණා.

එදා ප්‍රදර්ශනයට ඒක ඉදිරිපත් කරහම මගේ මල් ගහ තමයි එතින් පළවෙනි තැනට දිනුවේ.. ඒකට සහතිකයකුත් මට ලැබුණා. ප්‍රදර්ශනයට පස්සෙ ප්‍රදර්ශනයට ආපු ආරාධිත අමුත්තො කිහිප දෙනෙක්ම ඒ මල් දෙක තුනක් මගෙන් ඉල්ලගෙනත් ගියා.

අප්පච්චි ලොතරැයි විසි නොකර තියාගත්තේ හේතුවක් ඇතුව කියලා මට එදා තේරුම් ගියා වගේම මට අප්පච්චි නොකියා කියලා දුන්නා..

"පරාජයන් ගොඩක එකතුවකින් වුනත් ලස්සන දිනුමක් කරා යන්න පුළුවන් බව"

Top