මතක මිහිර තීරු ලිපිය මනුසත්කම පිරුණු මිනිසෙකුගේ ආදරණීය ක්‍රියාව (328)

post-title

ඒක ලොකු පංසලක්. මිනිස්සු ඒ පංසලට යන්න එන්න ගත්තෙ ඒ පංසලේ තිබුණු හාස්කම් නිසා. ඔය තියෙනවා කියන හාස්කම් නිසාම පංසල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණේ. පංසලට යනඑන බැතිමතුන් පූජා භාණ්ඩ මල්, පහන් හැමදේම ගන්නෙ ඒ පංසල ළඟ තියෙන කඩ වලින් නිසා ගමේ මිනිස්සුන්ට යහමින් අතමිට සරුවුනා.

අපෙත් කඩ දෙකක්ම තිබුණා. පංසල ළඟ එකක් තිබුණා. පංසලට අවශ්‍ය පූජා භාණ්ඩ තියෙන, අනිත් කඩේ තමයි ඒ හරියට තිබුණු එකම සිල්ලර බඩු කඩේ. ගොඩක් වෙලාවට සිල්ලර බඩු කඩේ ඉන්නෙ අම්මා හරි තාත්තා හරි තමයි. මම හිටියේ පූජා බඩු කඩේ. පෝය දවසට අම්මලා පූජා බඩු කඩේට යන්න පුරුදු වෙලා හිටියේ එදාට සෙනඟ ගොඩක් පංසලට එන නිසා. එහෙම දවස් වලට මං හිටියේ සිල්ලර බඩු කඩේ.

පෝය දවසට විකුණන මල් ගොඩක් වෙලාවට මල් ආසන උඩ තිබුණේ ටික වෙලාවයි. එන හැමෝම මල් පූජ කරන නිසා පැයෙන් පැයට මල් ආසන උඩ තියෙන මල් අයින් කරා. ඒ අයින් කරන මල් කුණු කූඩ වලට දාලා අරගෙන ගියේ අපේ සිල්ලර බඩු කඩේ ළඟින්. එහෙම අරගෙන යන මල් දකිද්දි මට අනන්තවත් හිතිලා තියෙනවා ඒ මල් අරගෙන පිරිසිදු කරලා ආයෙත් විකුණන්න. ඒත් එහෙම කරන්න හිත ඉඩ දුන්නෙ නැහැ මට නම්. ඒත් එහෙම කරන වෙලෙන්දො හිටියා.

ඔය දේවල් වෙන අතරතුර තමයි හැම පෝය දවසකටම එක මනුස්සයෙක් සිල්ලර බඩු කඩේට ඇවිත් හාල් කිලෝ එකක් අරගෙන පංසලට යන්න පුරුදු වෙලා හිටියේ. මුලින් මුලින් මට ඒක එච්චර ගානක් වුනේ නැහැ ඇයි මේ මනුස්සයා පෝය දවසට හාල් අරගෙන පංසලට යන්නෙ කියලා.

ඒ ගැන මගෙ හිතට හරි අමුත්තක් දැනුන නිසාම මං පංසලේ වැඩ උන්න පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. එදා මට හාමුදුරුවෝ කිව්වා "පංසලට එන යන බැතිමතුන්ගේ ඒ මනුස්සයා මටත් විශේෂ කෙනෙක්" කියලා. '"ඔය ළමයා ඊලඟ පෝයට ඒ මනුස්සයා හාල් අරගෙන පංසලට එද්දි එයාගෙ පස්සෙන් ඇවිල්ලා මොනවද කරන්නෙ කියලා බලලම තේරුම් ගන්නකො!"

ඊලඟ පෝය එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ හිතේ තියෙන කුතුහලය නැති කරගන්න ඕන නිසා.

වෙනදා වගේම එදා පෝය දවසෙ අම්මලා උදේම පූජා බඩු කඩේට ගියා මං සිල්ලර බඩු කඩේට ආවා. ටිකක් දවල් වුනහම අර මනුස්සයා කඩේට ඇවිල්ලා හාල් කිලෝ එකක් අරගෙන පංසල පැත්තට ගියා. මාත් දඩිබිඩියේ කඩේ වහලා ඒ මනුස්සයගෙ පස්සෙන්ම ගියා. ටිකක් ඈතට වෙන්න ඉඳලා ඒ මනුස්සයා යන තැන බලාගෙන මාත් එතනට ගියා.

ඒ යද්දි දැක්කා කවුරුත් වැඩිය ගැවසෙන්නෙ නැති තැනක වාඩිගෙන පරවියොන්ට කන්න දෙනවා අර ගෙනාපු හාල් මිටෙන් මිට. ඒ මනුස්සයා වටේ පරවියෝ ගනන් කරන්න බැරි තරම් ගොඩක් පිරිලා හාල් වලට පොරකකා හිටියේ.

මං ටිකක් වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා බුදු මැදුර පැත්තෙන් එන්න ආවා. ඒ එනකොට දැක්කා අර මනුස්සයා වටේ පිරිලා ඉතිරිලා ඉන්න පරවියෝ වගේ බුදු මැදුර ඇතුලේ තියෙන බුදු පිළිමය වටේ පිරිලා ඉතිරිලා පොර කකා මල් පූජා කරන්න උත්සාහ කරන බැතිමතුන්ව.

Top