වැහි එක්ක මං තීරු ලිපිය - අව් වැසි සුළං සමගින් උගනිමු ජීවිතේ පාඩම් (250 වන ලිපිය)

post-title

මිහිරිතම මීවිත තැවරුණ 

සාද හා සම දිනවල

ක්ෂණයකින් හිරු ගිලෙන 

ගුප්ත අදුරුම සැදෑවල 

වෙනසක් නැතිව සසැලෙන

ප්‍රීතිමත් දෙතොල් පෙති මත

යළි යළිත් මැවෙන්නට ඉඩ හරින

ඔබේ මුදුතම මදහස 

කටුවක් ලෙසින් දවසක

ඉල්පෙන්න නියමිත වුවත් හද යට

කාලයේ යට ගිය තැනෙක 

තැන්පත් කරමි ආලය

ප්‍රියතම හෙයින් ඔබ මට....

අහසින් වැටෙන්න පටන් ගත්ත වැහි බිංදු එක දෙකට මුහුණ හරවා ගෙන මම දිනපොත වහලා දැම්මා. ඉවසන්න බැරි පෑවිල්ල මැද්දට ඉද හිටකවත් අනෝරා වැස්සකට කඩාපාත් වෙන්න පුලුවන් නම් හොදයි. මීට සතියකට කලින් ඒ වගේ අනපේක්ෂිත වැස්සක් හැලිලා අපේ පැත්තෙන් අහසට ලැබුණ ප්‍රතිචාර මට මතක් වුණා.

එදා උඩහ ගෙදර අක්කා රෙදි හෝදලා තෙත රෙදි වේලෙන්න අවුවට දාලා තිබුණෙ. අහස ගැන විශ්වාස තියලා ඇදට ගිය තත්පර කීපෙට නිදිමතක් ඇවිදින් ඇස් පියා ගෙන. නොහිතපු විදියට අනෝරා වැස්සක් කඩා පාත් වුණේ ඒ අතරේ. අක්කා ඇස් අරින කොට බාගෙට වේලිලා තිබුණ රෙදි හොදටම තෙත් වෙලා ඉවරයි. එයා වැස්සට ආඩපාලි කියනවා අපේ ගෙදරටම ඇහුණා. එතනින් නවතින්නෙ නැතුව පහුවදාක අපේ ගෙදටම ඇවිත් ඒ රෙකෝඩ් එකම ආයෙ ප්ලේ කළා.

“අපරාදෙ මගෙ මහන්සිය. රෙදි ටික දකිද්දි දුකයි. ඔක්කොම තෙමිලා.”

ටවුමට ගිහින් ආව අයියාත් වැස්ස නිසා ටවුන් එකේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තිබුණ සන්තෑසිය විස්තර කළා.

“අද එළවලු කඩවලට පාඩුයි. බිස්නස් නැහැ. චුට්ටෙගෙ කඩේ වහල වැස්සට ගැලවිලා ගිහින් එළවලු ඔක්කොම තෙමිලා. ඔක්කොම විනාසයි.”

“මදැයි ඉදලා ඉදලා වැස්සක් බිම හැලුණා. හානියක්ම තමයි ඒකත්” දෙන්නාම එකඟතාවෙකට ආවා.

මම නාගරික ජීවිතයෙන් ඈත් වෙලා ඈත ගම්මානයක මිනිස්සු අතරෙ ජීවිතය ගත කරපු අවධියක් මට මතක් වුණා. කුඹුරුවලින් විතරක් ජීවත් වුණ හේන්වලින් විතරක් ජීවිතය ගෙන ගිය බොහොමයක් දෙනා ඒ ගම්මානයේ ජීවත් වුණා. අනපේක්ෂිත විදියට එක දිගට දවස් ගණනාවක් ඇද හැලෙන මහා වර්ෂාවට තමන්ගෙ කුඹුරු හේන් පාලු වුනාම ඒ සොදුරු මිනිස්සු මීට වඩා යහපත් ප්‍රතිචාර දක්වපු හැටි මගේ ඇස් දෙකට මැවිලා පේන්න ගත්තා. වැස්ස නිසා පොල් අතු හෙවිල්ලපු මැස්ස ඇතුළට වතුර වැක්කෙරෙද්දිත් එයාලා පුංචි පැටවු එක්ක තුරුලු වෙලා වර්ෂාවේ සීතලයි ශරීර උණුසුමයි සමසේ බෙදා ගත්තා.

ධර්මය අනුව සොබා දහමේ ක්‍රියාකාරිත්වය සම සිතින් භාර ගැනීම ගැන පැය ගණනාවක දේශනාවක් වුණත් පවත්වන්න මට පුලුවනි. මේ ගම්මානයේ මිනිස්සු ධාර්මික ජීවිතයක ප්‍රතිඵල අත් වින්දත් ධර්ම මාර්ගයේම ගමන් කළා කියන තර්කයට එළැඹෙන්න මම ඉක්මන් වෙන්නෙ නැහැ. සිත කෙළෙස්වලින් මුදවා තබා ගැනීම කියන අවෙබා්ධයට වඩා ඔවුන්ට වෙනත් යමක් පැවතුණා කියලයි මම දැක්කෙ. මේ සුන්දර මිනිසුන්ට තමන්ගෙ භෞතික හානි මකා දමලා බඩගින්න රෙදි පිළිවල අවශ්‍යතාව වගේ සාමාන්‍ය කරුණු යටපත් කරවන තරමට ප්‍රබල ආත්මීය බැදීම් සමුදායක් පැවතුණා. භෞතික ලෝකයට වඩා හැගීම් සෑහෙන ඉදිරියකින් පැවතුණා. ඒ නිසාම වැස්සෙන් අවුවෙන් සිද්ධ වුණ හානි සිනහ වෙලා දරා ගත්තා. සම සිතින් බෙදා හදා ගත්තා. සොබා දහමට තමන්ගෙ ක්‍රියාකාරිත්වය සිදු කරන්න අවසර ලබා දීලා සොබා දහම එක හිතින්ම පිළිගත්තා.

දින පොත තවමත් මගේ ඔඩොක්කුවෙ. වැස්ස ටිකින් ටික තද වෙනවා. නාගරික අපි ධර්මයටත් පා පහර දීලා බැදීම්වලටත් පයින් පහර දීලා කොයි අතකට දුවනවද කියන කලකිරීමත් එක්ක මම ගේ ඇතුළට යන්න නැගිට්ටා.



Top