සොබා දහම කියන්නෙ ම ආදරයෙන් සුරැකිය යුතු දෙයක් - වැහි එක්ක මං තීරු ලිපිය (153 වන ලිපිය)

post-title

කුරුල්ලන්ට ගී හදන්න

ගහට වැලට පාට එන්න

වීසි කළෙමි හදේ තියෙන

ආදරයයි කරුණාවයි

කාටවත් නොදී....

මම රෑ අහස බලා ගෙන වික්ටර් රත්නායකගෙ ගීතයක් මිමිණුවා. කදු මුදුනකදි අපේ ඇස්වලට දර්ශන දෙකක් අහු වෙනවා. එකක් අපිට ඉහළින් තියෙන තෙරක් නොපෙනෙන අහස. අනෙක අපිට පහළින් තියෙන සමස්ත ලෝකය. ඉහළින් - පහළින් දිස් වෙන ලෝක දෙක දිහා බලං හිටපු මට බුදුන්ගෙ ධර්මයේ මධ්‍යම ප්‍රතිපදාව මතක් වුණා.

මේ අවුරුදු විසිපහේ දි මම ජීවිතය ඇතුළෙ රස්තියාදු ගැහුවා. විවිධ මිනිස්සුන්ව ආශ්‍රය කළා. අධ්‍යාපනය නිසා සමාජයේ ඉහළින් වැජඹුන - වැජඹෙන්නට නියමිත මිනිසුන්ව මුණ ගැහුණා. වරක් නාසා අධ්‍යාපනය සදහා තේරී පත් වුණ කෙනෙකුත් තවත් වරක් කාව්‍යාලංකාර යෙදීම නිසා සම්මානයට පාත්‍ර වුණ අයෙකුත් මා ඉදිරියේ අභිමානයෙන් ස්වයං ආත්ම ප්‍රකාශනයක යෙදුණ ආකාරය තවමත් මගේ මතකයේ තියෙනවා. ත්‍රිපිටකය ධම්ම පදය බයිබලය කටපාඩමින් දේශනා පවත්වපු ගිහියන් සහ මහණුන් මට මුණ ගැහිලා තියෙනවා.

මගේ දැනීමේ ප්‍රමාණයට විද්‍යාව වේවා කලාව වේවා වෙන ඕනිම විෂයක “දැනුම” කියලා කියන්නෙ නිතර වෙනස් වෙන ප්‍රපංචයක්. ඊයෙ සත්‍යයක් කියලා හදුනා ගත්ත විද්‍යාත්මක කරුණ අද අසත්‍යයක් කියලා අඳුර ගන්නවා. හෙට අලුත් කරුණක් ඉදිරිපත් වෙනවා. මේක හැමදාටම සිදුවන්නක්. කිසිම දේශපාලනික හෝ සමාජයීය න්‍යායක් සියයට සියයක් නිවැරදියි හෝ වැරදියි කියලා කිසිම ඉතිහාසයක හදුනා ගෙන නැහැ. මිනිස්සු දක්ෂයන්ව අධිතීරණය කරන්නෙ මමත්වය වැළද ගන්නෙ මේ අස්ථිර දැනුම මත පදනම් වෙලා. දැනුම නෙවෙයි නම් වෙනත් අස්ථිර නිර්ණායකයක් මත පදනම් වෙලා.

එක අතකින් මනුස්ස වාසය ගැන කලකිරීමකුත් අනෙක් අතින් බිදුණ ප්‍රේමයකුත් දරා ගෙන මම පලා යාමක් ද නෙවෙයි ද කියලා පැහැදිලිව හඳුන ගන්න බැරි ගමනකට මුල පිරුවා. සොබා දහම එක්ක ජීවත් වෙන්න හිතාගෙන මම නකල්ස් කදු මුදුනට නැග්ගා. මගෙ වටේටයි කන්ද වටේටයි හිස් අවකාශය විතරයි. ඒ නිසාම ඉහළ තියෙන තරු රටා පැහැදිලිව පේනවා. ඉස්සර මාත් එක්ක හැමදාම තරු රටා ගණන් කරපු තරු ගැන කියලා දීපු මිතුරෙක්ව මට මතක් වුණා. බරපතල සිත් රිදවීමකුත් එක්කම ඔහු අතුරුදහන් වුණාට පස්සෙ මාස ගණනක් මම අහස බලන්නෙ නැතුව ජීවත් වුණා. ඒ වුණත් නකල්ස් අහස මගේ ඇස් ආකර්ෂණය කර ගත්තා. අහස හරියටම හදුනා ගන්න නම් අහස තරමටම හිස්වුණ - හිස් අවකාශයක හිට ගන්න ඕනි. තරහ වෙන්න බැරි තරමේ සුන්දරත්වයක් ඒ වගේ අවකාශයක මේ වගේ අහසක දැනෙන්නෙ. සොබා දහම කියන්නෙ දානය පමණක්ම ප්‍රගුණ කරපු තැනක්. තමන් තුළින්ම සුන්දරත්වය නිෂ්පාදනය කරන නිසා තමන් විසින්ම පරිපූර්ණ වන නිසා පිටතින් ලබා ගන්න දෙයක් එයාට නැහැ. එයාට කල්පනා වෙන්නෙ තමන්ගෙ උතුරා යන සුන්දරත්වය බෙදා හැරීම ගැන විතරයි. රෑ අහසවත් මේ අවකාශයවත් පහළින් පේන වනාන්තරයවත් කිසිවක් කරන්නෙ නැහැ. ඔවුන්ගෙ එකම ක්‍රියාව “නොකිරීම”. රෑ අහස මගේ ඇස් ඉස්සරහින් පෙනී ඉන්නවා විතරයි. මට අවවාද දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. මේ නොකිරීම හරහා ජීවය බෙදා හැරෙනවා. සියලුම සතුන්ට පැවැත්මට මග කියනවා. මගෙත් ආත්මය සුවපත් කරනවා.

අවසාන විග්‍රහයෙදි මිනිස්සු කියන්නෙත් සොබා දහමේ කොටසක්. ඔයයි මමයි අයිති සොබා දහමට. ඔයාටයි මටයි කල්පනා කරන්න ශක්තිය තියෙන නිසා අපි දානයෙන් එහාට මෙහාට ගිහින් ලබා ගැනීමක් ගැනත් හිතනවා. සල්ලි දීලා පින් ලබා ගන්න හිතනවා. හිනා වෙලා හිනාවක්ම බලාපොරොත්තු වෙනවා. හිතවත් කමක් ප්‍රේමයක් දීලා සිත් නොරිදවීමක් බලාපොරොත්තු වෙනවා. ඔයයි මමයි සොබා දහමේ පාර්ශවකරුවන් කියලා අපි පිළිගන්නව නම් සොබා දහමේ අසීමිත දානමය ක්‍රියා මාර්ගය අනුගමනය කිරීම අපි දෙන්නටම අපහසු නැහැ. ඒ ක්‍රියාවලිය හැම සත්වයෙකුගෙම ජීවිතවල සහජයෙන් රෝපණය වෙලා තියෙනවා. අපි ඒවා උඩට මතු වෙන්නවත් ප්‍රායෝගිකත්වය පත් වෙන්නවත් ඉඩ නොදී බාහිර හේතු කාරණා රාශියක් මුලට දාලා හිර කර ගන්නවා.

ආයෙමත් මම හිමිහිට වික්ටර්ගෙ ගීතය මිමිණුවා.

කුරුල්ලන්ට ගී හදන්න

ගහට වැලට පාට එන්න

වීසි කළෙමි හදේ තියෙන

ආදරයයි කරුණාවයි...

අන්තිම වාක්‍යය නොකියා මම නිශ්ශබ්ද වුණා. ටික වෙලාවක් පහළ කදු දිහා බලා ගෙන ඉදපු මම නකල්ස් කදු මුදුනෙ ජීවත් වෙන අතරෙම - ඔයාටයි මටයි ආදරය බෙදා ගන්න ආයෙමත් පල්ලම් බහින්න තීරණය කළා..

Top