මට හුරු නැති රන්කිරි

post-title

 ඒ සද නැති රැයක්, පේරාදෙණිය විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ ඉදිරිපස අසුනකට වී වේදිකාව දෙස බලා උන්නෙමි.

        ‘‘හැමදේම දරාගෙන

        හැර නොයා නිසල වූ

        හුදී ගැහැණියක් වෙමි මම

        නුඹේ හදට උමතූ“

 

සියලු ගැහැණු හදවත් තුළ වූ කිසිවෙකුට නොකී ශෝකාලාපයෙන් බිදක් ඇය ගයා අවසන් කළාය. දෙකොපුල් දිගේ හීනියට ගලා ගිය තුනී කදුලු බිදුවක් ඔහේ ගලායන්නට ම ඉඩ දී මම ඔහේ බලා උන්නෙමි.

 

       " ටී....." ඇය කියන්න ගිය දෙය දෙතොල් අතර සගවාගෙන 

 

       "අම්මා ''  යැයි මගේ දෙපා නමැද පපුතුරේ මුහුණ හොවා ගත්තාය. 

 

       මගේ පපුවට දැනුණු ඒ සුසුම් වල හඩ වසර විසිදෙකක එහා අතීතයේ සියනැ අහස යටට මා කැන්දාගෙන ගියාය.

 

                                                   *          *          *        *         *         *         *        *     *

 

හාත්පස සිසාරා බැලුවෙමි. දුම්රිය වේදිකාව මත කඩිගුලක් ඇවිස්සුනා මෙන් ඔහේ එහේ මෙහෙ දුවන මගීන්‍ ය. මේ නාඳුනන ගම්පහ දුම්රියපොළ තුළ මා සිටියේ ජීවිතේ මා සන්තක සියල්ල බෑග් දෙකක පටවාගෙන  මගේ ළබැදි මිතුරියගේ පැමිණීම බලාපොරොත්තුවෙන්‍ ය.

"උත්තරා" ඒ හඩින් මම පිටුපස බැලුවෙමි

"අපූර්වා" මගේ දෙතොල් අතර සිනහවක් රැදුනේ දැන් ය.

" ඉතිං  හැමදේම අමතක කරලා දාලා ගම්පහට පය තියපන් උත්තරා " මා සතු වූ එක් ගමන් මල්ලක් අතට ගන්න ගමන් ඇය පැවසුවාය.

"ජීවිතේ හරි පුදුමයි අපූ, මගෙ මුලු ජීවිතේම දන්නෙ උඹ, උඹත් හිටියෙ නැත්තම් මට මොනවායින් මොනවා වෙයිද දන්නෙ නෑ අපූ"

" පහුගිය දේවල් ගැන හිතුවයි කියලා උඹට ලැබෙන දෙයක් නෑ උත්තරා. ජීවිතේ අලුතින් පටන් ගනින්.උඹට වරදින්නෙ නෑ."

"මොන දේ අමතක කරත් මට වාගීශගෙ මතකය අමතක කරන්න හරි අමාරුයි අපූ... එයාට මං ආදරේ කලේ ඇත්තටම " 

අපූර්වා මා දවා අලු කරන බැල්මකින් මදෙස බැලුවාය.

" උඹ තවත් ඒ කොන්ද පණ නැති පිරිමියා ගැන හිතනවාද උත්තරා, හිතපන් අවුරුදු දෙකක් හරියටම, ඒ අවුරුදු දෙක ඇතුලත එකම එක තත්පරේකටවත් උඹව මතක් උනාද එයාට. උඹ මෙතන වැලහින්න වගේ වැලපියන්"

කවුරු කොහොම කිව්වත් මට වාගීශගෙ ඇස් අමතක කරන්න නොහැකි බව කිසිවෙක්ට වැටහෙන්නෙ නැත. ඒ ආදරය මියයන්නෙ නැත.

ඒත් ඔහු මා හැර දමා ඇත යන කටුක සත්‍ය පමණක් මම දැන උන්නෙමි. අපූර්වාගේ වදන් හමුවේ මා යළිත් වාගීශගෙ මතක ගොන්නෙ  සැරිසරන්නට විමි.

"දන්නවාද උත්තරා මේ ලෝකේ මං දැකපු ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට, කවදාවත් මං මේ අල්ල ගත්ත ඔයාගෙ අත අතහරින්නෙ නෑ ප්‍රොමිස්"

උයන් කෙළවර බංකුවක හිද ඔහු මට දුන් පොරොන්දු සිහි විය.ඉතිං ජීවිතයෙ සුන්දරම කාලය එය බව මම ඇදහුවෙමි.  වසර තුනක ප්‍රේම කතාවට කණකොකා හඩන්නට පටන් ගත් දවස තරම් අමිහිරි දිනයක් ජීවිතේ මම අත් නොවින්දෙමි.

"හැමදේම දැනගෙනත් ඇයි උත්තරා ඔයා ඔය දේවල් මගෙන් හැංගුවේ" වාගීශ ගිගිරුවේය.

"මොකක් ගැනද  වාගීශ ඔයා ඔය කියවන්නෙ"

"කියවන්නෙ  රට්ටු කියන කතා උත්තරා"

"කියන දෙයක් තේරෙන්න කියන්න වාගීශ "

"මොණරතැන්න වළව්වෙ පුංචි හාමු  අම්මෙක් අප්පෙක් නැති එකියක්ව කසාද බදින්න යනවා කියලා ගම්මු කියනකොට මං කොහොමද උත්තරා ඔයාව කැන්දගෙන ගිහින් අපේ අම්මාට මේ වළව්වෙ පුංචි කුමාරි හාමි කියලා හදුන්වලා දෙන්නෙ උත්තරා "

මගේ දෙපා මුළ අකුණක් පිපිරුවා සේ විය.

" වාගීශ ඔයා මොන සිහියෙන්ද කතා කරන්නෙ , මට ගෙයක් දොරක් තියනවා, ඒ ගෙදර මට මගෙ අම්මයි තාත්තයි ඉන්නවා මට අයියෙක් ඉන්නවා"

"ඔයා මොනවද මේ කියවන විකාර"

" උත්තරා මාව තවත් රවට්ටන්න හදන්නෙපා උත්තරා . ඔයා ඔයාගෙ තාත්තාගෙන් ගිහින් අහලා බලන්න ඔයා කව්ද කියලා, අඩුම තරමෙ ඔයාට මේ ලෝකෙ ඉන්නෙ කව්ද කියලාවත් අහලා බලන්න උත්තරා."

"ඉතින් මට අම්මාට විරුද්ධ වෙන්න බෑ උත්තරා, අම්මා කැමති නෑ ඔයා වගේ කාත් කවුරුත් නැති කෙනෙක් අපේ ගෙදර ලේලි වෙනවට."

"අනික දේවාලෙ බස්නායක තනතුරට මං ඉල්ලන්න ඉන්නෙ, ඒකට මට ඔයා වගේ  පරම්පරාවක් නැති කෙල්ලෙක් කසාද බැදගෙන ඒ දේවල් කරන්න බෑ"

වාගීශ කියවන මේ දේවල් වල ඇත්තේ මොනාවද , ඒවායේ සත්‍ය කුමක්දැයි මම නොදැන උන්නෙමි.

" වාගීශ මාව තනිකරන්න එපා" 

මට කියන්න තිබුන එකම දේ එයම පමණි. එහෙත් ඔහු නොනැවතී යන්න ගියේය.

ජීවිතේ යළි කිසිදිනක මා මුණ නොගැහෙන පොරොන්දුව පිට වාගීශ නුවර වැව රවුමේ රොබරෝස ගසක් පාමුළ මා තනිකර දමා යන්න ගියේය. වළාකුළු බැම්ම මත සිටි දිය කාවයියා පවා මාදෙස ඔච්චමට බලා වැව් දියේ සැගව ගියේය. දෑසින් වැටෙන කදුලු සමග තනියට සිටියේ ඉදහිට හීන් සුළගට වැටුනු රොබරෝස මලක් දෙකක් විතරමය. වාගීශගේ සම්බන්ධය නවතා දැමූ බව කන වැකුණු අම්මා පරළ විය.

"මොණරතැන්න වළව්වට පය ගහන්න තිබ්බ අවස්තාව නේද උඹ ඔය නැති කර ගත්තෙ උත්තරා. බලපන් පරම්පරාවකට ගොඩ යන්න තිබ්බ අවස්තාව"

"කොහෙද   ,කොහෙද ඉතින් උපතින්ම ගෙනාව කාළකණ්ණිකම  නැති කරන්නෙ කොහොමද"

අම්මාගෙ වදන් හමුවේ මම සසළ විමි. අම්මෙක්ට කියන්න පුලුවන්ද ඒ වගෙ කතාවක් .

"අම්මා" මම කෑ ගැසුවෙමි.

" අම්මෙක් අප්පෙක් නැති උඹ මට තවත් අම්මා කියන්න එපා.  මං උඹේ අම්මා නෙවෙයි"

 දෙපා මුළ අකුණු දහසක් පුපුරා ගියේය.

"වත්සලා......" තාත්තාගෙ හඩින් මම පිටුපස් බැලුවෙමි.

"අනේ තාත්තා .... මොකක්ද මේ අම්මා කියන්නෙ" මට වාගීශ සිහිවිය.

"ඔයාගෙ තාත්තාගෙන් අහලා බලන්න ඔයාට කවුද ඉන්නෙ කියල, ඔයාට මේ ලෝකෙ කවුරුත් නෑ උත්තරා "

"අනේ තාත්තා වාගීශ මට කීවෙත් ඔය කතාවම. ඇයි දෙයියනේ අම්මාත් ඒ කතාව කියාන්නෙ. අනේ මං කව්ද , ඔයා මගෙ තාත්තා නේද දෙයියනේ" තාත්තා  වදනකුදු නොදොඩයි.

"අනේ තාත්තා කතා කරන්නකො"

"දැන් හැංගුවයි කියලා තේරුමක් නෑ අමරනාත්, මේකි අපේ කවුරුත් නෙවෙයි කියලා දැන් කියන්න වෙලාව ඇවිත්"

 "අනේ අම්මා ඔයා මොනාද මේ කියන්නෙ"

"උත්තරා, ඔයා අපේ දරුවෙක් නෙවෙයි" අම්මාගෙ කටින් පිටවූ වදන් හමුවේ මම ගල්ගැසුනෙමි.

"අම්මා මොකක්ද ඒ කතාව මං ඔයාලාගෙ නෙවෙයි නම් මං කාගෙද "

" ඔයා කාගෙ කව්ද කියලා අපිවත් දන්නෙ නෑ උත්තරා , ඒත් ඔයා පන්සලේ දාලා ගිහින් තිබුනා කවුරු හරි, ඒත් උත්තරා  මායි වත්සලායි ඔයාව හදා ගත්ත දවසේ ඉදන් ඔයා මගෙ චූටි දූ,"

"අනේ තාත්තා "

මම තාත්තා ගෙ පපු මත්තට වාරු උනෙමි.

"උත්තරා" අපූර්වාගේ ඇමතුම් හමුවේ අතීතාවර්ජනයෙන් මිදුනෙමි. අපූ මගෙ යෙහෙළිය තේ කෝප්පයක් අතැතිව මා ඉදිරියේ සිටියාය.

"කොහෙද ගිහින් හිටියෙ"

"අම්මායි තාත්තයි නැති උනාට පස්සෙ මේ ලෝකෙ මට ඉන්නෙ උඹ විතරයි අපූ" මම අපූර්වාව තදින් වැළද ගත්තෙමි.

ගෙවුන අවුරුදු දෙක ඇතුලත මට උරුම වූයේ විරහව පමණි, වාගීශ ගෙ හැරයාම අභිමුව අම්මා මා කෙරෙහි දක්වන සැලකිල්ල අඩු වූ බවක් දැනුනද, තාත්තාගෙ කිසිදු වෙනසක් නොවීය.ඒ කෙසේ උවත් ඔවුන් දෙදෙනාගෙ හදිසි වියෝව මා මෙළොව තවත් තනි විය. අයියා මගෙ වගකීම  බාර ගත්තේ ද නැත.

වාගීශ ඒ දවස් වලම ඔහුගේ අම්මාට ගැළපෙන පරිදි ලේලියක් කැන්දාගෙන ආවේය. ඔවුන්ගෙ තතු එතැන් පටන් මම සොයා නොබැලුව නමුත් ඔහුගේ මතකයන් ළග තවත් හිතකට ආදරය දෙන්න මට හැකි වූවේ නැත. මා ජීවත් කළ ආදරයම මා මරා දමාය. අවසානයේ මා නතර වූයේ සියනෑ අහස යටය. ඒ පුංචි උන්ගේ නැණස පාදන පුංචි ගුරුතුමියක් ලෙසය.

"උත්තරාට මේ ජොබ් එකට ඕනිවටත් වඩා කොලිෆිකේශන් තිබ්බට අපිට දෙන්න වෙන්නෙ නම් ප්ලේ ගෲප් එකයි ඩේ කෙයාර් එකේ ඩියුටියි තමයි" ඒ මගේ සේවාස්ථානයේ ප්‍රධානීයා.

"කමක් නෑ  මැඩම් චූටිම චූටි ළමයි එක්ක දවස ගෙවන එක කොහොමත් හොදයි" මම කැමැත්තෙන්ම රාජකාරිය බාර ගත්තෙමි. ඉතින් එතැන් පටන් දහසක් දරුවන්ගේ මව් වන්නට විවරණ ලැබුවෙමි.

ඒ මගේ සේවයේ දෙවන දවසයි.  

උදෑසන එදිනට නියමිත පාඩම් වලට අවශ්‍ය දේ සූදානම් කරමින් සිටින අතරතුර මහා හැඩුම් ශබ්දයක් ඇසුනයින් කව්ලුවෙන් පිටත් බැලුවෙමි. අවුරුදු  එකාහාමරක හුරතල් කෙළිපොඩිත්තක් අනද්‍යන කාර්‍ය මණඩලයේ කමලා අත හඩමින් උන්නාය. ඒ ඩේ කෙයාර් බබෙක් වෙන්නම ඕනි. දරුවාගෙ බෑග් මලු සමග දරුවාව මේච්චල් කර ගැනීමට කමලාට කිසිසේත්ම නොහැකිය. දුවගෙන ගොස් ළදැරිය වඩා ගත්තෙමි.

"අලුත් එක්කෙනෙක්ද කමලා"

"නෑ මිස් බබාට සනීප නැතුව ගිය සතියෙම ආවේ නෑ"

"අනේ පව්" මම ඇයව වඩා ගත්තෙමි. ඇඩුමේ නැවතීමක් නොවීය.

"හැමදාම ඔහොම තමයි මිස්" ඒ කමලාය. මම ඇයව ගෙන ගොස් තොටිල්ල මත තබා සුරතල් බෝනික්කකු අතට දුන්නෙමි. ඇඩුම මදකට නැවතිනි.ඒ කෙල්ල සුරතල් ය. ඇගේ ඇස් අද්දර මගේ හදවත නැවතිනි. ඒ ඇස් මට හුරුපුරුදු වාගීශගෙ දුඹුරු ඇස්මය.

"මං නම් ආස දවසක අපේ පැටව්න්ගෙ  ඇසුත් ඔයාගෙ වගේ දුඹුරු ඇස් වෙනවනම්" අතීත සිහින යළි සිහිවිය. සියල්ල අමතක කරන්නට උත්සහ කලත් එය කළ නොහැක්කකි.

ඉතින් දවස් ගෙවුණි. ආදරණීය දුඹුරු පැටික්කි මගේ ආදරණීයම දරුවා විය. ඇය බුවනි ආකර්ශාය. මං හුරතලයට ඇයව බූනි නමින් ඇමතුවෙමි. බූනි දැන් හුරතල් ය .මට ලෙංගතුය. හැඩීමද දැන් නවතා දමා පාසල් එන්නීය. නාවන කවන පොවන සියල්ල මගේ දෑතින් ඉටු කරම්. දෑසින් කදුලු පනිනාකාරයෙන් ඇය බහතෝරන්නට විය.

"ච්..චීච්ච......" මගේ සාරි පොට අල්ලා හුරතලයට කියූ පළවෙනිම වචනය එය විය..

"කෙල්ල අම්මා කියන්න කලින්  ටීචර් කීවෙ මැඩම්" වීරසිංහ මැඩම්ට මා එය සැලකලේ හදපිරි සතුටිනි. එහෙත් ඒ සතුට මා ළග තබාගන්නට මට වරම් නොවීය.

"ඒ දරුවාට ඉන්නෙ එයාගෙ තාත්තා විතරයි උත්තරා" මම දැවුණෙමි.

"අනේ මැඩම්"

"ඔව් උත්තරා ඒ දරුවාට මාස 6න් අම්මා වෙන කෙනෙක් මැරි කරලා තියෙන්නෙ, තාත්තාගෙ ගෙ රාජකාරිය නිසා තමයි පුංචි කාලෙ ඉදන් ඩේ කෙයාර් ඉන්නෙ එයා "

අනේ දෙවියනේ, අසරණ බුවනිටත් දිනෙක මගේ ඉරණම ම අත්වේදැයි මම  බිය උනෙමි, ඇයට මට හැකි අයුරින් මවක් වීමට මම ඉටා ගතිමි. ජීවිතේ ඉරණම විසදන්නේ අපි හිතන පතන ආකාරයටම නොවේ, එදා ඉර පෑයූවෙ මගේ ඉරණම මේ සා වෙනස් කරන්නටයැයි මම කිසිදිනෙක නොසිතුවෙමි.

"උත්තරා"

"මැඩම්" 

"මේක රාජකාරියෙන් පිට වෙන්න ඇති. ඒත් මානුශීය අතින් මේක ගොඩක් වටින දෙයක්. "

"අනේ ප්‍රශ්නයක් නෑ මැඩම් මං යන්නම්" වීරසිංහ මැතිණියගේ ඉල්ලීම මා භාර ගත්තේ හදපිරි සතුටිනි. මගේ පුංචි කෙල්ල යළි අසනීප වී රෝහල්ගතකරය. ඇයගේ පියාට ඇය සමග ළමා වාට්ටුවක රැදීමට නොහැකි නිසාවෙන් මට එය ඉටු කිරීමට සිදු විය.

"බුවනිගෙ තාත්තා දැන් එයි උත්තරාව ගන්න" ඉදින් ඔහු ආවේය. මගේ ඉරණම දෝතින්ම රැගෙම ආවේය. සැප පහසු ග්‍රේස් කාරය මා ඉදිරියේ නතර විය. ශටරය පහත් විය.

"උත්තරා" ඈත ලොවකින් ඇසුන ඒ හුරුපුරුදු ආත්මීය කටහඩ ඇසී මම හිස ඔසවා බැලිමී. මේ හීනයක් නොවන වග ඉදුරාම කිව හැකිය. දෙපා පණ නැතිය.

"ව්..... වාගීශ " කටහඩ අතපය වෙව්ලයි.

ඒ දුඹුරු ඇස් වාගීශගේය. කිසිවක් අදහාගත නොහැකි ලොවක මා තනිවිය. මේ තරම් කාලයක් නොදැනුවත් කමින් මා මව් වී ඇත්තේ ආත්මගත බැදීමකට වග මට පසක් විය. ඉදින් තවත් වැල්වටාරම් අවැසි නැත.ඒ දුඹුරු ඇස් මගේ ප්‍රේමය යළි මා වෙත රැගෙන ආවාය.

"ඔයාට කරපු අපරාධයට මගේ පුංචි කෙල්ල දඩුවම් වින්දෙ උත්තරා, ඒකිටත් අම්මාගෙ රැකවරණයක් නැතිව ගියා උත්තරා"

"ඔයාගෙන් සමාව ඉල්ලන්න පවා මං සුදුසු නෑ"

"මං ඔයාට සමාව දෙන්න මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ , වාගීශ"  මම කියාදැම්මෙම්.  මගේ බූනි මැණික රෝගාතුර වී රෝහලේය. දවස් හතරක් මා ඇය අසලය.

"උත්තරා සහේලිවත් ඔය තරම් ලෙංගතුව බුවනිට ලං වෙලා නෑ" දිනක් වාගීශ කීවේය.

සහේලි යනු වාගීශගේ වලව් පැලැන්තියට ගැලපෙන්නට ඔහු ගෙන ආ මනමාලියය. බූනිගේ උපතින් සය මසකට පසු ඇය වාගීශ හැර දමා වෙනත් විවාහයක් කරගෙනය.

"වලව්කාරකම ඉහට ගහගෙන උඹට කරපු අපරාදෙට ඌට ඔහොම වෙලා මදි" ඒ අපූර්වාගෙ දෙස් දොවොල් ය.

එහෙත් මම තවමත් වාගීශ කෙරෙහි ආදරෙන් අන්ධ වී උන්නෙමි.

"සහේලි ගියාට පස්සෙ මට තවත් නුවර ඉන්න බැරි වුනා උත්තරා, මොක්ක්දෝ හාස්කමකට මාත් ගම්පහ ට ඇවිත්, ඔයත් ඇවිත්"  වාගීශ කියවාගෙන යයි.

මම නිසොල්මන්‍ ය.

"උත්තරා" ඔහු මගේ සුරතින් අල්ලාගෙනය.ඒ ඇස් වල ඇත්තේ අසරණ පාටය.

"බුවනිට ඔයා තරම් හොද අම්මා කෙනෙක් නෑ උත්තරා" ඔහු මේ නොකියා කියන්නෙ කුමක්ද.ඔහු කෙරෙහි වූ ආදරය මා ඕනෑම දෙයක් කිරීමට පෙළඹවීමට සමත්‍ ය.

ඉදිං ආදරණීය බූනි, නුඹේ කටේ රන්කිරි කටගාන්නට මගේ තණපුඩු අගිස්සට ලේ කිරි ඉනුවේ නැති බව සැබෑය. නමුත්  නුඹේ පියාට මසිත ඇති අසීමානිතික ආදරය නුඹව මගේම දියණිය ලෙස මගේ ලෝකයේ කිරුළ පළන්දන්ට මට හැකිය.

අවසානයේ ඇයගේ  "ටීචර්  අම්මා "  මා විය.

ඒත් තවත් බොහෝ දුර ඉතිරිව තිබියදී යළිත් මේ ජීවන මග යළිත් වතාවක් වාගීශ මා තනිකලේය.

රන්කෙන්දෙන් අතැගිලි නොබැන්දාට නීතිය ඉදිරියේ අපි ආයෙමත් අපේ විය. පෝරු නැත. සාද  නැත. නෑදෑ පිරිවර සනුහරේ නැත. එහෙත් අප විවාහයෙන් බැදුණි. එය බූනි කෙරෙහි වූ අපරිමිත සෙනෙහස හා  වාගීශව අමතක කිරීමට හිත සාදාගත නොහැකි තැන අපූර්වාගේ විරුද්ධතවය මැද මා ගත් තීරණයක් විය.

එහෙත් තවදුරටත් වාගීශ ට පතිනියක් වන්නට වරම් මට නොතිබුණි. අපි රෙජිස්ට්‍රාර් ළග විවාහයට අත්සන් තබා යළි  වාගීශගේ නිවසට පැමිණියෙමු.

වාගීශ සතුට සැමරීමට අවශ්‍ය කළමනා  රැගෙන ඒමට ගිය ගමන යළි ආවේ ඔහුගේ යහලුවන්ගේ කරමතිනි. කොහේදෝ සිට පැමිණි ටිපර් රියක් වාගීශගේ මෝටර් රථයේ ගැටීමෙන් ඔහු සදහටම මට අහිමි කරන්නට කරුණු යෙදුණි. විවාහා වූ දවසේම ස්වාමියාගෙ අවසන් ගමන දකින්න තරම් මම අවාසනාවන්ත ගැහැණියක් විමි.

අවසානයේ  ඒ සොහොන් කොත මත තවත් එක කදුලක් විතරක් වාගීශ ගේ තනි නොතනියට තබා , තවත් බොහෝ දුර යන්නට බුවනිගේ සුරතින් අල්ලා ගත්තෙමි. 

ඉදින් ඇයට මව්ත් පියත් මම ම විමී. ඇය සමග බොහෝ දුර පැමිණියෙමි. ඇය අද විසිතුන් හැවිරිදි තරුණියකි. මම ඇගේ මවම විමි. ඇය අද ගායනා කළේ ඇයගේ මවගේම ජීවිත අන්දරය යැයි මට සිතුණි.

මගේ ළමැදට තුරුලු වී සිටින මගේම දියණියගෙ හිස යළිත් වාරයක් සිප ගත්තේ අපරිමිත වූ දයාවකිනි.

සමාප්තයි

Top