(නො) මළ මිනිසෙකුගේ කතාව (616)

post-title

වෙලුනු තණකොළ, ගල් බොරළු පාරදිගේ දිගටම ආපු මම, ගේට්ටුව ඇරගෙන කොටු සිමෙන්ති ගල් අතුරපු පාරට ඇතුළු වුනා. කාලෙකට පස්සේ බොහොම කිට්ටු නෑයෙක්ගේ ගෙදර ආවා වගේ හුරුපුරුදු හැඟීමක්.. කෙලින් පාර පුරාම සිමෙන්ති කොටු.. ගණන් කරන්න බැරි තරම් ටයර් පාරවල්, දස දහස්ගානක අඩි පාරවල් වලටම අවුරුදු ගානක් මැදිල සුමට වෙලා.. 

ඒ පාරේ දෙපැත්තේ හුඟක් තිබ්බේ වයසට ගියපු, උස මහත අරලියා ගස්.. ඒවායේ මල් පිපිලා.. හුඟක් උසින්.. සුදු අරලියා, රතු අරලියා, කහ අරලියා.. ඈතට මිසක් ලඟට පෙන්නේ නැති තරම් උසකින්, අත පොවලා කඩාගන්න බැරි දුරකින් පිපුණු නිසාදෝ පිපිච්ච මල්වල සුවඳ හැමතැනම.. මිනිස්සු මහා ගොඩක් හිටියට කිසිම හාවක් හූවක් නැති නිස්කලංකයක්.. එයාලත් සමහරවිට අරලියා සුවඳ විඳිනව ඇති.. මැරුණු මිනිස්සුන්ට කොහෙද සුවඳ දැනෙන්නේ..මටම හිනාගියා.. 

ඔව්.. මම හිටියේ අපේ ගමේ කනත්තේ...

මගේ ආච්චි තමයි මාව මෙතනට හුරුකලේ.. හුරුකලාම නෙවෙයි.. ආච්චි කියන්නේ මට මහා ගොඩක් ආදරේ දීපු කෙනෙක්. හැදුනෙත් අම්මා තාත්තාට වඩා ආච්චි එක්ක නිසා මම ආච්චිට ලෙන්ගතුයි. ආච්චි මැරුණේ මම දහය පංතියේදී.. ආච්චිව ගෙනාවේ මේ කනත්තටමයි.. කනත්තේම තිබුන ලොකු සුදු අරලියා ගහක් යට ආච්චිව සැතපුවා. එදා ඉඳල මගේ හුඟක් නිවාඩු දවස්වල හවස්වරු ගෙවුනේ ආච්චිගේ සොහොන ළඟ.. සොහොන් ගලේ හිනා මූණෙන් කවදත් හිටපු ආච්චි.. මම හිතෙන් කතා කරපු හැමදේම අහන් හිටියා කියල මම විශ්වාස කළා.. 

ආච්චිගේ වල ළඟින් නැගිටලා ගෙදර යන්න කලින් කනත්ත වටේම ඇවිදලා බලන එක මට පුරුද්දට ගියා.. පුංචි සොහොන් කොත්, විසාල සොහොන් කොත්, ඇලවේච්ච සොහොන් කොත්, ලස්සන සොහොන් කොත්, සොහොන් කොතක් නැති වළවල් අතරින් මම ඇවිද්දා.. ඒ කොත් වල තිබුණු පින්තූර බැලුව. එයාලගේ නම ගම, උපත විපත බැලුවා.. මේ කිසිම දෙයක් මට බයක් ඇති කලේ නෑ. ඇත්තටම බය වෙන්න ඕනේ මැරුණ මිනිස්සුන්ට නෙවේ.. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට…

මැරුණ මිනිස්සුන්ට ගඳ සුවඳ නොදැනෙන එකට හිනා ගිය එකනම් හරි මදි.. ඒක හරියට අවුරුදු ගාණකට පස්සේ එයාලව බලන්න ඇවිත් උපහාස කළා වගේ.. මගේ හිත මටම දොස් කිවුවා.. ඔව්.. අවුරුදු ගානකට පස්සේ.. ඒ ලෙවල් වලින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට විදේශ රටකට යන්න මට අවස්ථාවක් ලැබුනා.. මම මේ ආවේ අවුරුදු හතරකට පස්සේ..

මම හෙමින් ආච්චිගේ වළ ලඟට ගියා.. වළට උඩින් තණකොළ වැවිල.. ඒත් සුදු අරලිය මල්, වල උඩට වැටිලා තිබුනා.. හරියට “උඹ නැති වුනාට ආච්චිව අපි තනිකලේ නෑ..” කියන්නා වගේ.. කොතේ හිටපු ආච්චිත් වියපත් වෙන්න පටන් අරන්.. පින්තුරේ තැනින් තැන බොඳ වෙලා... කාට හරි සල්ලි දීලා වළ සුද්ද බුද්ද කරවන්න ඕනෑ කියල මට කල්පනා වුනා.. සාමාන්‍යයෙන් නම් කනත්තේ මුරට ඉන්න කෙනෙකුට සල්ලි දීපුවාම එයාලා ඒ කටයුත්ත කරලා දෙනවා.. මම වට පිට බැලුවේ අහලක මුරකාරයෙක් ඉන්නවනම් අඬ ගහගන්න හිතාගෙන...

ටිකක් හොඳට බලන කොට මට ටිකක් එහාට වෙන්න තිබුන වැටක් කප්පාදු කරන.. පරණ තොප්පියක් දාපු, ටිකක් විතර කුදු ගැහුණු කාකි කෝට් එක මට පෙනුනා.. මම අත්පුඩියක් ගැහුවා.. බැලුවෙ නෑ.. තව අත්පුඩියක්.. ම්හ්හ්.. මම නැගිට්ටේ පොඩි අමනාපෙකුත් එක්ක.. පුදුම ලොකුකමක්නේ... 

මම මුරකාරයා ළඟටම ගියා. උරහිසට තට්ටු කලාම ලොකු උන්නැහේ හැරුනා.. 

ඔහ්... මේ අර මම ඒ කාලේ එද්දිත් මුරට හිටපු වයසක අංකල් නේද..? 

මට අඳුන ගන්න බැරි වුනේ නෑ.. මගේ ආච්චි වගේම එයත් වියපත් වෙලා.. මම කවදාවත් එයත් එක්ක වචනයක් වත් කතා කරලා නම් තිබුනේ නෑ. හැබැයි ඒ කාලේ ඉඳන්ම හොල්මනක් වගේ කනත්ත වටේම සැරිසරපු මුරකාරයව මට මතකයි.. වෙලාවකට උදැල්ලක් කරේ තියන්.. තවත් වෙලාවක කොහේ හරි මුල්ලක රේක්ක ගානවා.. එක්කෝ අතුගානවා.. එහෙමත් නැත්තන් අරලියා හෙවනක ඉඳගෙන බුලත් විටක් හපනවා.. හැමදාම දැක්කට කවදාවත් වචනයක් කතා කරන්න ලැබුනෙ නෑ.. කොත් අස්සේ කාර්‍යබහුල වෙච්ච නිසාම කාලාන්තරයක් දැක්කත් මට ඔහුව මග ඇරිලා

මේ.. අංකල්.. මට පොඩ්ඩක් වළ සුද්ද කරගන්න ඕනේ..” මම කිව්ව දේ නොතේරුන ගානට මුර උන්නැහේ මගේ මූණ දිහා ටිකක් බලන් ඉඳල ඔලුවෙන් ආපහු ඇහුවේ මට මොනවද උවමනා කියල.. මට තේරුනා කන් ඇහීම පොඩ්ඩක් අඩුයි කියල. ඒ නිසා මම ටිකක් සද්දේ වැඩි කළා.. “ වළක් තියෙනවා.. පොඩ්ඩක් සුද්ද කරගන්න ඕනේ..”

මුර උන්නැහේ හැරිලා ලොකු බුලත් කෙළ පාරක් ගැහුවා.. ඒ බුලත් කෙළ පාරෙන් ඉතිරි වෙච්ච බිංදු දෙකතුනක්..අර කාකි කෝට් එකටත් වැටුනේ කට කොනෙත් ටිකක් ඉතුරු කරලා.. මට පොඩි අප්පිරියාවක් දැනුනා.. ඊටත් පස්සේ මුර උන්නැහේ මගේ දිහා බලල කටටම ඉතුරුවෙලා තිබ්බ කහට බැඳුනු දත් දෙක තුන පෙන්නලා ලොකු හිනාවක් පෑවා.. “

යමු මහත්තයා..” මම ඉස්සරවුනා...

ආච්චිගේ වළ තිබුන තැනට ඇවිත් මම පෙන්නුවා.. “මහත්තයෝ මම උදැල්ල අරගෙනම එන්නම්...” ඔහු ආපහු හැරුනා.. මම අරලියා කඳට බර දුන්නා.. විනාඩි පහක් ගෙවුනා.. දහයක් ගෙවුනා.. මුර උන්නැහේ තාම නෑ.. මගේ හිතේ අප්‍රසාදය දළු දැම්මා.. තවත් විනාඩි ගණනාවකට පස්සේ විල්බැරෝවක ඉදලක් උදැල්ලක් දාගෙන ඈත එන මුර උන්නැහේව පෙනුනා. ඉබ්බෙක් උනත් ඔයිට වඩා ඉක්මනට එයි.. මට තරහකුත් දැනුනා...

විල්බැරෝව අරලියා හෙවනෙන් තියපු මුර උන්නැහේ හති ඇරියා.. තවත් ටිකකින් උදැල්ල අතට ගත්ත ඔහු සොහොනේ කෙළවරක ඉඳන් උදලු ගාන්න පටන් ගත්තා. අරලියා කඳට බරවෙලා ඒක දිහා බලන් හිටපු මට පාළුවක් දැනුනා.. වැඩේ ඉවරවෙන්නත් තව පැය කාලකට වඩා යාවි.. මුර උන්නැහේ එක්ක වචනයක් දෙකක් කතා කරන්න මට හිතුනා.. 

“මම සීයව මිට කලිනුත් දැකල තියෙනවා..” වටේ පිටේ කවුරුත් නැති බව සැක ඇරලා දැනගත්තට පස්සේ මම හයියෙන් කිව්වා.. හුඟක් වයස මුර උන්නැහේට වෙන විදියකට කතා කරන්න මට හිත දුන්නෙ නෑ

උදළු ගාන එක නවත්තපු මුර උන්නැහේ මට හිනාවක් පා කළා..

“මට නම් එච්චර නිච්චි නෑ මහත්තයෝ..”

“මම ඉස්සර ඉඳන්ම මෙහෙ එනවා යනවා..” මම කිව්වා 

“මෙහෙට්ට ඉතින් දවස ගානෙම කීදාහක් නං එනවද මහත්තයෝ.. පණ නැති එක්කෙනෙක් ඇරලින්න පණ ඇති පනහක් හැටක් කී වාරයක් නං යනෝ එනෝද....” උදළු ගෑම නවත්තන්නේ නැතුවම මුර උන්නැහේ උත්තර දුන්නා..

“සීයා දැන් කොච්චර කල්ද මෙහෙ වැඩ? 

මුර උන්නැහේ රැවුල අතගගා කොහේදෝ ඈතක් බලන් කල්පනා කළා..

“මම මෙහෙට්ට එද්දින් මගේ වයසම අවුරුදු විසිහයක් වගේ ඇති.. දැන්නම් හැත්තෑවටත් කිට්ටුයි මාහිතේ..”

මම හිතින් ගණන් හැදුවා.. “ ඒ කියන්නේ දැන් අවුරුදු හතළිහකටත් එහානේ සීයේ?”

මුර උන්නැහේගේ කටේ තිබ්බ දත් දෙක තුන ආපහු හිනාවුනා..

“ දැන් හරිනම් රිටය වෙලා නේද ඉන්න ඕනේ සීයේ..” 

“ඒ කිව්වේ මහත්තයෝ?

“නෑ මම කිව්වේ විශ්‍රාම ගිහින් ඉන්න ඕනේ නේද කියලා”

ඒ වෙලේනම් හිනාවක් වෙනුවට මහා බර සුසුමක් පිටකරපු මුර උන්නැහේ “මට මොන විස්රාමද මහත්තයෝ..” කියල ඇහුවා.

“ඇයි සීයා ගෙදර ඉන්න කැමති නැද්ද..?’’ මට දැනුනේ පුදුමයක්.. මට මතක් වුනේ මගේ සීයා ජිවතුන් අතර හිටි කාලේ.. හාන්සි පුටුවට වෙලා පත්තර කියව කියව, තේ බිබී කෑම වෙලාව එනකල් විවේකෙන් හිටපු හැටි.. කෑමෙන් පස්සේ පැයක් දෙකක් නිදිසුව විඳපු හැටි..

“ මට ගෙයක් නෑ මහත්තයෝ..” ඔලුව නොඋස්සාම මුර උන්නැහේ උත්තර දුන්නා..

“එතකොට ඉන්නේ කොහෙද? සීයාගේ පවුලේ අය? මට මතු වුනේ ප්‍රශ්න කන්දක්..

උදැල්ල පැත්තක තියපු මුර උන්නැහේ සරමේ ගැටෙන් පත්තර ගුලියක් අතට අරගෙන අරලියා හෙවනේ ඉඳගත්තා.. එවෙලේනම් මට තරහක් අප්‍රසාදයක් දැනුනේ නෑ.. ඒ පත්තර ගුලියෙන් විටකට පහේ එක්කාසු කරගත්ත මුර උන්නැහේ විටක් ඒදුව..

“මම ඉන්නේ කනත්තෙමයි මහත්තයෝ.. මට යන්න එන්න තැනක් නෑ. ඔය මුර මඩුවට වෙලා ඉන්නවා..”

මට දුකක් මෝදු වේගෙන ආවා.. “සීයාගේ පවුලේ අය?

කටේ තිබ්බ හපේ විසික්කරපු මුර උන්නැහේ අලුත් විට කටට දාගත්තා..

“පවුලකුත් නෑ මහත්තයෝ..”

“ඒ කියන්නේ සීයා කසාද බැඳලා නෑ..?”

“මම බැන්ද මහත්තයෝ.. එතකොට මට අවුරුදු විසි දෙකක් තුනක් විතර ඇති. බඳිනකොට මම කඩේක තමා වැඩ කලේ.. බැඳලා මාස කීපෙකින් කඩේ මුදලාලි පපුවේ අමාරුවකින් මැරුණා. මුදලාලිට දරුවෝ හිටියෙ නෑ. මුදලාලි නෝනා කැමති වුනේ නෑ කඩේ කරන් යන්න. සේරම විකුනලා ගමේ යන්න ගියා. ඉන් පස්සේ තමා මට මේ මුර රස්සාව හම්බ වුනේ.. “

මම හූමිටි තියන් අහන් හිටියේ පුදුම කැමැත්තකින්..

“මුලදි මුලදි කැමැත්තෙන් හිටියට මොකද කාලයක් ගෙවෙද්දී ගෑණි කියවන්න තියාගත්තා මහත්තයෝ.. කටක් ඇරලා කාටවත් කියන්න පුලුහන් රස්සාවක්ද.. කනත්තක මුර කරනවා කියල කියත හැකිද.. ගෙවල් වලින් උනත් අකමැතිය.. ඒ නිසා ගෙදර එන්නත් අදි මදි කරනවය ඔන්න ඔය වගේ ප්‍රස්න.. වෙන රස්සාවල් හෙවුවට හම්බ වුනෙත් නෑ.. අනික කනත්ත මුර කරන්න එන්න වැඩිය මිනිස්සු කැමති නැති නිසා හොඳ ගතමනාවකුත් ලැබුනා..”

ඉතින් ඊට පස්සේ?

මුර උන්නැහේ ආපහු බුලත් කෙලපාරක් විද්දා.. ඒ වෙලෙත් කට කොනින් පැනපු කෙළ බින්දු කීපයක් පාට පිච්චුනු කාකි කෝට් එකේ බතික් රටා මැවුවා.. ඒත් මේ පාර මට අපුලක් වෙනුවට දැනුනේ මොකක්දෝ අනුකම්පාවක්..

“ කියවලා විතරක් ගෑණි නැවතුනේ නෑ මහත්තයෝ. වැඩ ඇරිලා එන මාව මග අරින්න.. ගණන් නොගෙන අරින්න.. කොටින්ම මගේ කෝට් බෑය සරොම වත් හෝදලා දෙන්න ඒකි උනන්දු උනේ නෑ.. ඒකි මට බනින්නේ කනත්තේ අවතාරේ කියල.. මිනි සැන්ට් වල පුසුඹ එනවලු.. වෙලාවකට මළ පෙරේත ගඳයිලු.. මම ගෙදරින් පිටමං වෙනකල්ම ගෑනි ඔය බෙරේම පලු යනකන් ගැහුවා මහත්තයෝ..”

“ඒ කිව්වේ සීයා හිටියේ නෝනගේ ගෙදරද.. එතකොට සීයාගේ පවුල..?”

“මට ගෙවල් තිබ්බේ නෑ මහත්තයෝ.. මගේ අපුච්චාව නම් මම දැකලම නෑ.. අම්මා හිටියා.. අපි හිටියේ ගමේ මාමන්ඩිලගේ අහ..ඒ කිව්වේ අම්මගේ අයියලයි අහ.. අම්මා මළාට පස්සේ ගමෙන් ආවාමයි ආයේ ගියෙ නෑ.. මම තනිවෙච්චි මිනිහා මහත්තයෝ.. ගෑනිගේ ගෙදරින් අහක් වෙලා ආවැයින් පස්සේ මම කනත්තේම නතර උනේ සුමනේ අයියගේ කැමැත්තට. සුමනේ අයියා තමා ඒ කාලේ මේ කනත්තේ ලොකු මුර උන්නැහේ.. උන්දැටත් පහසු හන්දා මටත් ඔය මුර මඩුවේම ලගින්න ඉඩදුන්නා..”

“එතකොට සීයට දරුවෝ හිටියෙ නෑ..” 

“පලවෙනි ගෑනිට නං නෑ මහත්තයෝ..” 

“ඒ කියන්නේ සීයා දෙවෙනි වතාවටත්...”

“කසාද නම් බැන්දෙ නෑ මහත්තයෝ.. කාන්ති කලින් කසාද බැඳපු එකියක්.. ඒකිගේ මිනිහා බීලම ලේ වමනේ කරලා මැරුණේ.. මිනිය වල දැම්මේ මේ කනත්තේ. මිනියේ කටයුතු කතා කරගන්න කනත්තට ආපුදා තමයි මං කාන්තිව ඉසිස්සෙල්ලම දැක්කේ. නාවර පෙරාගත්තු පොඩි පැටියෙක් අතේ.. චීත්තෙ එල්ලිලා තව දෙන්නෙක්. ඒ වුනාට හැඩ ගෑනි. මිනිය කනත්තට ගෙනා දවසේ ඒකී විලාප තිබ්බෙම මටයි දරුවන්ටයි කාගේ පිහිටක්දෝ කියල.. මිනිය පිච්චුවයින් පස්සේ අළු ගෙනියන්න ආපු දවසේ මම ඒකිගේ අතින් ඇල්ලුවා.. “ගෙදරට එන පාර කියාපන්.. මම බලාගන්නම් උඹවයි පැටවු ටිකයි..”..එච්චරයි මහත්තයෝ.. පහුවදා හිට මම රෑ පහන් කලේ කාන්තිගේ ලෑලි ගෙදර..”

මුර උන්නැහේ ආපහු උදැල්ල අතට ගත්තා. ඉවරකරපු තැන ඉඳන් කොටන්න පටන් ගත්තා.

“කාලයක් යනතුරු අපිත් හොඳට උන්නා මහත්තයෝ.. ඒ දවස්වල තමා සුමනේ අයියා ලොරියකට අහුවෙලා එක්තැන් වුනේ. අලුතින් කෙනෙක් දෙනකල් මට දිවා රෑ දෙකේම මුර කරන්න වුනා මහත්තයෝ..කෙනෙක් හොයා ගැනිල්ල ලේසි උනේ නෑ.. මට මාස දෙක තුනක්ම මුරේ අදින්න වුනා. මම ගෙදර ගියේ දවල් දවසට විතරයි.. ඔය කාලෙම කාන්ති ආපහු වංගියක් බඩ වුනා..

ඒ උනත් මට රෑට ගෙදර යන්න ලැබුනෙ නෑ. දරුවා හම්බවෙලත් මම ගෙදර ගියේ දවල් විතරයි.. “

උදැල්ල පැත්තකින් තියපු මුර උන්නැහේ හති ඇරියා. ඔලුවේ තිබුන පරණ තොප්පිය අයින් කරලා එකෙන් හුලං ගහගත්තා.. කළු කෙස් රොදක් ආසාවකට නැති හිස.. නළලේ ඉඳලම කකුල වෙනකල් මුහුද වගේ රැලි.. කොන්ද ටිකක් කුදුයි.. පරණ පිච්චුන කබායට යටින් පේන පපුවේ කෙස් ගස් දෙක තුන පවා කිරි සුදුයි.. මුර උන්නැහේ බොහොම වයසයි.. ඒ වගේම එයාට දැන් වෙහෙසයි.. මට දැනුනේ පුදුමාකාර දුකක්.. හිතේ තිබ්බ තරහ, අප්‍රසාදය කොහෙද අතුරුදහන් වෙලා..

“ඉතින් සීයේ..”

“ඉතින් දවසක් මට රෑක ගෙදර යන්න ලැබුනා. එදා මම හිතන්නේ රෑ දහයත් පහුවෙලා තමා මම ගෙදරට ගියේ. ගේ ළඟටම යද්දී මට කෙඳිරියක් ඇහුනා.. මම හිතුවේ දරුවා හම්බ වෙලත් වැඩි කල් නැති නිසා කාන්තිට අමාරුවක් ඇති කියලා. කලබලේට දොර තල්ලු කල වේගෙටම දොරට හේත්තු කරලා තිබ්බ වංගෙඩි කබල බිම පෙරලුනා.. කාන්ති සාලේ කෑල්ලට එබුනේ හැට්ටේ බාගෙට ඇඳ ඇඳ. මම හිතුවේ කිරි දිදී ඉන්න ඇතිය කියල.. ඒත් කාන්තිගේ අවුල් වෙච්චි කොන්ඩේ.. දාඩිය වැක්කෙරෙන මූණ දැක්කම මට මොකක්දෝ අමුත්තක් දැනුනා. මම ගිහින් කාමර කෑල්ලට එබුනා මහත්තයෝ..”

මම අරලිය කඳෙන් මෑත් වෙලා මුර උන්නැහේ ලඟට කිට්ටු උනා.. මුර උන්නැහේ කබා කොණක් උස්සලා මූණේ දාඩිය පිහිදලා දැම්මා.. එතකොටයි මම දැක්කේ මුළු වලම සුද්ද වෙලා ඉවරයි කියල. ඒත් කතාව ඉවරවෙනකල් මට යන්න හිත දුන්නෙ නෑ..

“සීයා කැමති නම් ඉතුරු ටිකත් අහන්න මට වෙලා තියෙනවා..”

මුර උන්නැහේ ගිහින් අරලියා ගහට පිට දීල වාඩි වුනා.. බුලත් කෙලපාරක් ගහල උගුර පෑදුව 

“මහත්තයෝ.. මුර කාරයෙක් නැති වුනාම කනත්තටත් හොරු පනිනවා.. වලවල් හාරලා මිනියේ කනේ තියෙන තෝඩු දෙක පවා හොරු ගන්නවා. ගෙවලුත් එහෙමයි මහත්තයෝ. රැකගන්න මිනිහෙක් ඕනේ. මිනිහා රෑට ගෙදර නැති වුනාම ගෑනිගේ තනි රකින්න, ඇඳේ පාලු මකන්න වෙන පිරිමි ගෙට වදිනවා..මමෙයි කියලා මොනවා කරන්නද මහත්තයෝ.. මුර රස්සාව දවල් විතරක්ම කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි. රෑට කනත්ත රකින්න, ගෙවල් පාලු කරන්න වෙනව මහත්තයෝ. ගෑනුන්ට විතරක් දොස් කියල වැඩක් නෑ...”

වෙනදට කනත්තේ තිබ්බ නිහඬත්වයට වඩා මහා මූසල පාළුවක් හතරවටෙන්ම මට දැනුනා. 

“ඊට පස්සෙද සීයා දිගටම කනත්තේ පදිංචි වුනේ..”

“ කාන්තිගේ අහ යන්න කලිනුත් මම හිටියේ කනත්තෙනේ මහත්තයෝ.. ඔය ප්‍රස්නෙන් පස්සේ මට ආරංචි වුනා හැමදාම රැට ගෙදර පාලු කපන්න මිනිහෙක් ආව ගිය බව. ඒ හම්බ වුන දරුවත් මගේ නෙවේ කියලයි මිනිස්සු කිව්වේ. ඒක නම් මම හරියටම දන්නෙ නෑ මහත්තයෝ.. හැබැයි ඒ සිද්දියෙන් පස්සේ මම කිසිදාක ආපහු කාන්තිගෙ ගෙදර ගියේ නෑ. ඒත් අවුරුදු ගානක්ම ඒ පොඩි එකා වෙනුවෙන් පඩියෙන් කොටහක් මම යැවුවා.. එදා හිට මේ තාක් මගේ නිවහන මේ කනත්ත තමා මහත්තයෝ..”

“ඒ කියන්නේ එදා ඉඳල සීයා තනිවුනා..”

“මට මොන තනියක්ද මහත්තයෝ.. දවසට මිනී කීයක් නම් මේ කනත්තට ගේනවද. ඒ ගේන මිනි පස්සෙන් එන මිනිස්සුත් යන්නේ පැයක් දෙකක් කනත්තේ ඉඳලමයි. පරණ මිනී වළවල් වලට මල් පොකුරු ගේන, ඉටිපන්දම් පත්තු කරන්න එන මිනිස්සු දවස ගානෙම එනවා. රෑටත් කියල මට තනියක් නෑ මහත්තයෝ. මේ මැරුණ මිනිස්සුන්ගෙන් මට කිසි කරදයක් හානියක් නෑ.. මම මැරුණ දවසකට මේ කනත්තේම මගේ මිනියත් වළලාවී..මේ කනත්ත මට මගේ ගෙදර මහත්තයෝ..මේ හැම මල් ගහක්ම ඉන්දුවේ මම.. ඒවට සාත්තු කරන්නේ මම.. ඒ හැම මලක්ම පිපෙන්නේ මං වෙනුවෙන් කියල මට හිතෙනවා මහත්තයෝ.. උන් හරියට මට මගේ දරුවෝ වගේ.. “

මුර උන්නැහේ උන් තැනින් නැගිටලා උදැල්ලයි ඉදලයි විල්බැරෝවට දාගත්තා... කියාගන්න දෙයක් නැතුව ගොළු වෙලා හිටපු මම පර්ස් එකෙන් රුපියල් දාහක් අතට අරන් මුර උන්නැහේට දෙන්න ගියා..

“මට සල්ලි එපා මහත්තයෝ.. මැරුණ මිනිස්සු වුනත් මේ හැමෝම මගේ මිනිස්සු.. මගේ දුකට සැපට මට හැමදාම හිටපු මගේ මිනිස්සු. මට කිසිම ආපත්තියක් නොකරපු මිනිස්සු.. එහෙම මිනිස්සුන්ගේ වළක් සුද්ද කලාම සල්ලි ගන්න පුරුද්දක් මට නෑ. ඉස්සරවගේ හයි හත්තිය නැති නිසා කෙනෙක් ඉල්ලුවොත් මිස වලවල් සුද්ද කෙරෙන්නෙ නෑ.. එහෙම කලත් මම සල්ලි ගන්නෙත් නෑ මහත්තයෝ...


දිළිසෙන ඇස් දෙකින් අවසන් වතාවටත් මා දිහා බලපු මුර උන්නැහේ විල්බැරෝව තල්ලු කරන් ඉබි ගමනින් යන්න ගියා. ආපහු හැරුනාම සොහොන් කොතේ හිටපු ආච්චි මට හිනාවෙනවා මම දැක්කා..

Top