නිකරගුවා ලේඛක සර්ජියෝ රමිරේස් විසින් රචිත කෙටිකතාවක පරිවර්තනයකි
සැර විදුලි පන්දම් එළිය, සිරකරුවන් එකිනෙකා මතට එල්ල වූයේ ඇඳක් මත නිදා හුන් මනුස්සයකු වෙත යොමු වී නතර වන තුරාය. ඔහු නිදා උන්නේ දොරට පිටුපා ගෙනය. ඔහුගේ නිරුවත් උඩු කය ඩහදියෙන් දිලිසුනේය.
“ මිනිහ තමයි, දොර අරිනව” රැකවලා පැවසුවේ යකඩ කූරු අතරින් එබෙමිනි.
සිර කුටි භාරකරුගේ යතුරු කැරැල්ල එල්ලෙමින් තිබුණේ, ඔහු පටියක් සේ භාවිතා කළ විදුලි කේබලයක් අග්ගිස්සේ ය. සිර කුටිය තුළට වන් රැකවල්ලු, නිදා සිටි මිනිසා දනි පනි ගා නැගිටින තුරු සිය රයිපල් කඳින් ඇඳ විට්ටමට තඩි බෑවෝය. මිනිසා ආලෝකයෙන් වහංගු වන්නට මෙන් දෑස් වසා ගත්තේය.
“ නැගිටිනව, තමුසෙ අපට ඕන කරනව”
රෑ මුළුල්ලේම රස්නය දරා ගත නොහැකි වුවද, ඔහු සිය කමිසය සොයා පහුරු ගාද්දී සීතලෙන් ගැහුණේය. මේ හේතුව නිසාම සමහරක් සිරකරුවන් නිදා උන්නේ එක්කෝ යට ඇඳුම් පිටිනි; නැතහොත් සම්පූර්ණ නිරුවතිනි. බිත්තියේ තිබි එකම විවරය තිබුණේ සෑහෙන උසකිනි. මේ නිසා, වාතය සීලිම අවට කැරකුනා හැර පහළට ගලා ආයේ නැත. ඔහු සිය කමිසය සොයා ගෙන දෙපා ලේස් රහිත පාවහන් යුවළ තුළට රිංගවීය.
“ හනික” රැකවලා කීය.
“ මං එනව, තමුසෙට පේනවනෙ?”
“ මාත් එක්ක හපන් වෙන්න එපා- නැත්නම්...”
“නැත්නම් මොකද?”
“තමුසෙ දන්නවනෙ මොකද කියලා”
ඔහුට සිර කුටියෙන් ඉවතට එන්නට හැකි වනු පිණිස රැකවලා පැත්තකට විය. “ යනව, කතා කරන්න එපා” ඔහු විධාන කළේ රයිපලයෙන් ඉල ඇට වලට අනිමිනි. මිනිසා, සීතල යකඩ උලෙන් මුවා වනු වස් වකුටු විය.
ඔව්හු මැද මිදුල කරා ආවෝය. එහාට වන්නට, තාප්පය අබියස, ආමන්ඩ් තුරු පෙළේ අතු පතර සඳ එළියේ දිලිසුනේය.මේ වන විට, මධ්‍යම රාත්‍රිය වූයෙන්, යාබද සත්ව ඝාතනාගාරයේ සතුන් මරා දැමීම ඇරඹුණේය. මඳ පවන, ලේ හා ගොම දුගඳ හාත්පස ගෙනායේය.
මේ, බේස්බෝල් ක්‍රීඩාවට කෙතරම් කදිම පිටියක්ද? සිරකරුවන් එක්කො තම තමන් අතර ක්‍රීඩා කණ්ඩායම් තනා ගත යුතු විය. නැත්නම්, රාජකාරියෙන් මිදෙන රැකවලුන් හා සෙල්ලම් කළ යුතු විය. ක්‍රීඩාගාරය, තාප්පය වනු ඇත. එහි සිට ක්‍රීඩා පිටියේ මධ්‍ය ලක්ෂ්‍යය තෙක් අඩි තුන්සිය විස්සක තරම ඉඩ හසර ලබා දුන්නේය. සැර පහරක් අල්ලා ගනු සඳහා ආමන්ඩ් තුරු පෙළ තෙක් පසු පසට දිව යා යුතු විය. බෝලය රඳවා ගත් විට දියමන්ති කඩොල්ල බොහෝ දුරය. බෝලය දමා ගසන්නැයි කරනා හඬ ගෑම්, දුර නිසාම වියැකී යයි. පහර දෙන්නා දෙවන කඩොල්ල පසු කර යත්ම, මම ඉදිරියට දිව විත් අත්තක් අල්ලා ඉහළට එසවෙන්නෙමි. ඉදිරියට නැමී, තප්පය මත සවි කළ බිඳුණු බෝතල් පරෙස්සමින් මඟ හරිමින්, දෑත් තබා, දෙපා ඊ මතට සීරුවෙන් ගන්නෙමි. ඉන්පසු, මා පහළට පනින්නේ, කැළි කසල, ඇට කටු, අං කැබලි, කැඩුණු පුටු, බෙලෙක්ක, වැරහැලි, පත්තර හා මී කුණු ගොඩ මත පතිත වන විට දැනෙන වේදනාව අමතක කරලමිනි. ඉන්පසු මම, කටු පඳුරින් පා ඉරී යද්දී, දිගටම දුවන්නෙමි; දුගඳ හමනා මඩ වලකට වැටුනද යළි දුවන්නෙමි. ඒ අතරේ, රයිපල් උණ්ඩ වල වියළි හඬ මා පසුපසින් බොහෝ ඈති ඇසේ.
“නවතිනව, තමුසෙ යන්නෙ කොහෙද දන්නවද?”
“ මුත්‍රා කරන්න-එච්චරයි.”
“ තමුසෙ බය වුනා නේද?
මේ චතුරශ්‍රය, නිවෙස අසල තිබි එවැන්න වාගේමය; දේවස්ථානයේ පඩි පෙළ අසලම රබර් ගස් වවා ඇත. හරි හමන් රබර් අත් වැසුම් යුවළක් තිබුණේ මට පමණි. සෙසු අය, බෝලය ඇල්ලුවේ අවරණය නොකළ දෑතිනි. හරියට බෝලය නොපෙනෙනා , හවස හයේ අඳුරේ වුව මම, පන්දු රැක්කෙමි. ඒ, අතට ආ පරෙවියන් අල්ලන්නා සේය. හඬ පමණක්ම අනුව යමිනි.
“ මෙන්න මෙයා කපිතාන්” රැකවලා හඬ ගෑවේ අඩක් විවට දොර තුළින් හිස ඇතුළට දමමිනි. ඇතුළතින් මෝදු වී ආයේ වායු සමනය යන්ත්‍රයේ හඬ ය.
“ මිනිහ ගේනව. ඒ කරල තමුසෙ යනව”
ඔහු, එක්වරම, මේ සුනු පිරියම් කළ, හිස් කුටියේ තනි විය. මැද තිබි පුටුවත්, එහා කොණේ තිබි කපිතාන්ගේ මේසයත් හැර කුටියේ දක්නට ලැබුණේ , රන් පැහැ රාමුවකින් යුතු ඡායාරූපයක් හා නිල් හා රතු පැහැ දින දැක් වුණු දින දර්ශනයකි. අළුත කරන ලද කපරාරුව හැඟ වූයේ වායු සමනය මේ ළඟකදී පමණක් සවි කරන ලද්දක් බවය.
“ තමුසෙ අල්ල ගත්තෙ කීයට ද?” කපිතාන් ඇසුවේ හිස ඔසවන්නේ නැතුවය.
ඔහු පිළිතුරක් දී ගත නොහැකිව බලා උන්නේ, මේ පැනය යොමු කරන ලද්දේ වෙනකකු වෙත- බාගෙදා, මේසය යට සැඟවී ගත් කිසිවකු- නොවන බවට මුළු හදින්ම ප්‍රාර්ථනා කරමිනි.
“ තමුසෙ බීරිද? මං කතා කරන්නෙ තමුසෙට. තමුසෙ අත් අඩංගුවට ගත්තෙ කීයටද?”
“ මං හිතන්නෙ හයට පස්සෙ” ඔහු කෙඳිරුවේ කෙතරම් සෙමෙන්ද යත්, කපිතාන්ට තමා පවසන දේ නෑසෙන බව පසක් කරමිනි.
“ තමුසෙ මොකද හයට පස්සෙ කියන්නෙ? තමුන්ට බැරිද නියම වෙලාව මට කියන්න?”
“ මං ගාව ඔරලෝසුවක් නැහැ සර්, ඒත් මං කාල උන්නෙ. මං කොහොමත්, හය වෙනකොට කනව.”
“ඇවිල්ල කන්න” මගේ මව, නිවස පිටත පදික වේදිකාවට විත් හඬ ගායි.”තව එක ඉනිමක් විතරයි” මම පවසමි. “ඒක ඉවර කරල එන්නම්” “ඒත් පුතා, දැං හොඳටම කළුවරයි. මේ කරුවලේ කොහොමද සෙල්ලම් කරන්නෙ?”. “මං එනව, තව එක ඉනිමයි” අන්තිම ක්‍රීඩකයා දවා ගන්නට පන්දුව මා අත සුරැකිව රඳවා ගන්නා විට පල්ලියේ දිව්‍ය පූජාව සඳහා වයලීනය හා හාමෝනියම සුසර කෙරෙනු ඇත. ඉතින්, අපි යළිත් ජයග්‍රහණය කරන්නෙමු.
“ තමුසෙගෙ රස්සාව?”
“මං සපතේරුවෙක්”
“තමුසෙ කඩේක වැඩද?”
“නෑ. මම රෙපයාර් කරන්නෙ ගෙදරම”
“තමුසෙ බේස්බෝල් ගැහැව්ව. එහෙම නේද?”
“ඔව්. කලකට ඉහත”
“ ඒ එක්කලා තමුසෙට කිව්වෙ කස පහර පැරලේස් කියල?”
“ ඔව්. මට එහෙම කීවෙ මං පන්දුව විසි කරපු අයුරුවට”
“ ඒ වගේම තමුන් කියුබාවට ගිය ජාතික කණ්ඩායමේ උන්න?”
“ එක හරි. අවුරුදු විස්සකට ඉහත. මං ගියේ මැද පෙළ ක්‍රීඩකය හැටියට”
“ ඒත්- ඒ ගොල්ලො තමුසෙව එලෙව්ව?”
“ අපි ආපහු ආවට පස්සෙ
මා කෙදිනක හෝ කළ හොඳම පන්දු රැකීම අපේ ගම් පියසේදීය. මම ඉහළින් ආ පන්දුවක් පල්ලියේ පඩි පෙළ මත දී අල්ලා ගතිමි. මා එය අල්ල ගත්තේ කඩුළු වලට පිටිපස හරවා සිටියදීය. එහෙත්, මුනින් අතට වැටුණු මගේ දිව පැලී ගියේ ය.කොහොම උනත් අප තරඟය දිනූ අතර, මගේ කණ්ඩායම මා ඔසවා ගෙන නිවෙසට ගෙන ගියහ. මගේ මව ටෝටිල්ලා රොටි මෝලිය පසෙක ලා මගේ තුවාලයට සාත්තු කරන්නට වූවාය. ඇය, එක පැහැර කණගාටු ද සාඩම්බර ද වූවා ය. “ තමුං හොඳ සෙල්ලක්කාරයෙක් කියල පෙන්නන්න මොලේ කොලොප්පම් කරගන්න ඕනෙද?’
“ මොකද තමුසෙ කණ්ඩායමෙන් පැන්නුවෙ?”
“එක උඩ පන්දුවක් අතෑරල තරඟයක් පැරදුනු හන්ද”
“කියුබාවෙදි?”
“ අපි අරුබාවෙ සෙල්ලම් කළේ. මං ඒක අතෑරියා. ඒ ගොල්ලො ලකුණු දෙකක් ගත්ත. අපි පැරදුනා”
“ තමුසෙල කීප දෙනෙක්ම එලවලා දැම්ම. එහෙම නේද?”
“ කියන්නෙ අපි බීව. ගොඩක්. බේස් බෝල් වලදි එහෙම කරන්න බෑ”
“අහා”
සිය විලුඹ ඇදුම් දෙන නිසා වාඩිවෙන්න දැයි අසන්නට ඔහුට අවශ්‍ය විය. එහෙත්, ඔහුට අඟළකුදු එහා මෙහා වන්නට දිරියක් තිබුණේ නැත. ඒ වෙනුවට ඔහු ඉද්ද ගැසී උන්නේ හරියට තම පාවහන් පොළොවට ඇලී ගියාක් සේය.
කපිතාන් තතනමින් යමක් ලීවේය. ඔහු අවසන, හිස එසවීය. ඒ සමග ඔහුගේ හිස් වැස්ම මත, නළලත, රතු පැහැ ලාංචනයක් පැරලේස් ට දැකිය හැකි විය.
“ ඒ ගොල්ලො තමුසෙව අත් අඩංගුවට ගත්තෙ මොකද?”
ඔහු සිරුර හකුළුවා හිස් බැල්මෙන් බලා උන්නේය.
“හොඳා මොකද?”
“නැහැ” ඔහු පිළිතුරු දුන්නේය.
“මොකක්ද නැහැ?”
“ නැහැ. මං දන්නෙ නැහැ”
“අහා! දන්නෙ නැහැ..?”
“නැහැ”
“ මං ගාව තමුසෙගෙ ෆයිල් එක තියෙනව.” කපිතාන් පැවසුවේ ලිපි ගොනුවක් ඉහළට ඔසවමිනි. “ මං ඒක කණින් කොණින් කියවන්නද තමුසෙට තමුන් ගැන දැන ගන්න”
ඔබට, ක්‍රීඩාංගනය මැද සිට , පන්දුව පන්දු රකින්නාගේ අත් වැස්ම තුළට යන හඬ ඇසිය නොහැකිය. එහෙත්, පන්දුවට පහර දෙන්නා පන්දුව හා පිත්ත ගටන කල, හඬ පැහැදිලිව නින්නාද වන අතර, ඔබේ ඉන්ද්‍රියයන් පන්දුව හඹා යයි. එය, ඈත ඉම ඔස්සේ මගේ සොඳුරු දෑත කරා පියාසර කරද්දී, මම සන්සුන්ව බලා ඉන්නෙමි.අවසන, ඒ වටා කුරුළු කූඩුවක් තනන්නා සේ අල්ලා ගන්නා තුරු රඟන්නෙමි.
“ ජූලි 28 වෙනිදා කොළ පාට කැන්වස් රෙද්දක් ගැසූ ජීප් රථයක් ඔබේ නිවෙස අසළට ළඟා වුනා. මිනිස්සු දෙන්නෙක් ඉන් බැස්සා.එක් කෙනෙක් අඳුරු හම තිබ්බ හාදයෙක්. කාකි කලිසමක් ඇඳල අව් කණ්නාඩි දාල උන්න. අනිකා, ටිකක් එළලුයි. නිල් පාට ජීන්ස් ඇඳල පිදුරු තොප්පියක් දාල උන්නා. අව් කණ්නාඩි දාපු හාදය අතේ Panam ගමන් මල්ලක්. අනික් හාදය අතේ හමුදා ගමන් මල්ලක්. දෙන්නම තමුන්ගේ ගෙදරට ගොඩ උනා. දහය වෙන තුරු ගෙදරින් පිට උනේ නැහැ. ආපහු එද්දි අර ගමන් මලු අතේ තිබ්බෙ නෑ.”
“ කණ්නාඩි දාල උන්නෙ....... ඒ මගේ පුතා”
“ මං ඒක දන්නව”
නැවතත් නිහඬතාවය විය. පැරලේස්ගේ දෙපා පාවහන් තියදී වුව ඩහදිය දමන්නට විය.හරියට, ඔහු මේ දැන් ඇලකින් එගොඩ වූ කලක සේය.
“අර මල්ලෙ සවි කරපු මැෂින් තුවක්කුවකට උණ්ඩ තිබ්බ. උර මල්ලෙ ෆියුස් ගොඩාක්. තමුං ඊට කළින් පුතා දුටුවෙ කවදද?”
“මාස ගණනාවකට දැක්කෙ නෑ” ඔහු කොඳුරන්නට විය.
“ හයියෙන් කතා කරනව. මට ඇහෙන්නෙ නෑ”
“මාස ගණනාවකට ඉහත. මට නිනව් නෑ කීයක්ද කියල. නමුත්,මාස ගණනාවක්. දවසක්දා එයා කඹ කම්මලේ රස්සාවෙන් අස් වුනා. ඉන් පස්සෙ අපි එයාව දැක්කෙ නෑ”
“තමුසෙ මිනිහ ගැන වද උනේ නැද්ද?”
“ නැතුව? මොනව උනත්, ඒ මගේ පුතා.අපි හොයා බැළුව. නිල වශයෙනුත්. ඒත්, පලක් උනේ නෑ” පැරලේස්, සිය බොරු දත් කුට්ටම, දිවෙන් පසු පසට ගෙන සකස් කලේ, එය ගැලවී වැටෙතැයි බියෙනි.
“තමුසෙ දැනන් උන්නද එයා කැරලිකාරයො එක්ක කඳුකරේ උන්නු වග?”
“ඔව්. එහෙම ආරංචි තිබ්බා”
“ඉතින්, මිනිහ ජීප් එකෙන් ආපහු ආපු වෙලේ තමුන්ට මොනවද හිතුනෙ?”
“ මං හිතුව එයා ආපහු ගෙදර එනව කියල. ඒත්, එයා කළේ හලෝ කිව්වා විතරයි. පැය කීපයකට පස්සෙ එයා ආපහු ගියා”
“එයාගෙ අඩුම කුඩුම ටික තමුන්ට බලා ගන්න කීව?”
“ එහෙමයි.එයා කීව එව්ව ගෙනියන්න කෙනෙක් එවන්නම් කියල”
“ ඇත්තට? එහෙම කිව්වද?”
කපිතාන් තවතවත් දම් පාට කඩදාසි ලිපි ගොනුවෙන් ඉවතට ගත්තේය.ඒ සීරුවෙන් පිරික්සා, ඉන් එකක් මේසය මත තැබීය.
“මේකෙ තියෙනව තමුසෙ මාස තුනක් තිස්සේ උණ්ඩ, තුවක්කු, ඒත් එක්කලා කුමන්ත්‍රණකාරී පොත පත අත ගෑව කියල. ඒ එක්ක, තමුන් රාජ්‍ය විරෝධීන්ට තමුන්නෙ ගෙදර නිදා ගන්න ඉඩ දුන්නා”
පැරලේස් කිසිවක් පැවසුවේ නැත. ඔහු, නැහැය හූරනු සඳහා ලේන්සුවක් අතට ගත්තේය. ලාම්පු එළියේ ඔහු දිස් වූයේ දිරා ගිය, වැහැරුණු විලාසයකිනි. හරියට, ඇට සැකිල්ලක් බවට පත්වූ කලක සේය.
“ඉතිං තමුසෙ මේ මොනවත් දැනං උන්නෙ නෑ?”
“ඔහේ දන්නව පුත්තු කවුද කියල”
“බැල්ලිගෙ පුත්තු. තමුසෙ කියන්නෙ ඒ ගැන වෙන්න ඇති”
පැරලේස්, විවට වූ සිය පාවහන් අතරින් දිස් වූ දිව හා මඩ තලිය දෙස නෙත් දැල් වීය.
“ තමුසෙ අන්තිමට පුතා දැකල කොච්චර කලක් ද?”
ඔහු, කපිතාන්ගේ මුහුණ දෙස එක එල්ලේ බැලීය.”ඔහේ දන්නව එයා මරල දාල කියල. ඉතින්, මගෙන් අහන්නේ මොකටද?”
අරුබා කණ්ඩායම සමග සෙල්ලම් කළ අවසන් තරඟයේදී ලකුණු පුවරුව, බිංදුවට බිංදුව විය. දෙදෙනෙක් දැවී ගොසිනි.මා, දෑත් විදහා බලා උන්නේ සුදු පැහැති පන්දුව මගේ අතට සුවසේ පතිත වන තුරාය.අප එසේ එක් වන්නට පෙරුම් පුරා සිටියදී, එය මගේ අත පසු පස ගැටුණේ ය. මම එය අල්ලා ගන්නට දත කෑවෙමි. එහෙත්, එය පොළෝ මත වැටුණේ ය.ඈතින්, මා දුටුවේ පිතිකරුවා ලකුණක් සම්පූර්ණ කළ බවය. සියල්ල් එසේ කම්මුතු විය. අම්මෙ, මගේ තුවාල වලට උණුසුම් ජලය අවශ්‍යයි. ඔබ හැමදාමත් දැන උන්න වගේ මම හැම විටම පිටිය මැද වීරයෙක් වගේ උන්නෙ.මැරෙන්න හරි ලෑස්ති පිට.
“පංගුවක් වෙලාවට මම කැමතියි කාරුණික වෙන්න. ඒත්, ඒක කරන්න බෑ” කපිතාන් පැවසුවේ මේසය ඉදිරි පිටට එමිනි. ඔහු, ලිපි ගොනුව පෙරළා ලාච්චුවට විසි කොට, වායු සමනය ක්‍රියා විරහිත කරන්නට හැරුණේ ය.කුටිය, නැවතත් නිහඬතාවයක ගිලුණි. බෝල කූඩුවක තිබි තුවායක් අතට ගත් ඔහු එය උරහිස මත දවටා ගත්තේය.
“සාජන්ට්” ඔහු කෑගෑවේ ය.
සාජන්ට්වරයා එළිපත්ත මත සීරුවෙන් හුන්නේ ය.ඔහු, සිරකරුවා ඉවතට ගෙන ගොස් එසැණින්ම වාගේ පෙරළා ආයේ ය.
“ රිපෝට් එකේ මං කොහොමද දාන්න ඕනෙ?”
“ මිනිහ බේස් බෝල් ක්‍රීඩකයෙක්. ඉතින්, තමුසෙ කැමති දෙයක් ලියනව. මිනිහ අනිත් හිරකාරයො එක්ක සෙල්ලම් කළා. එයා, මැද පෙළ ක්‍රීඩකය- පන්දුවක් පස්සෙ තාප්පෙ ගාවටම දිව්ව. ආමන්ඩ් ගහට ගොඩ වෙලා තාප්පෙන් පැන්න.මිනිහ ඝාතකාගාරෙ මිදුල දිගේ දුවද්දි- වෙඩි තිබ්බ කියල දානව.”
පරිවර්තනය: කේ.ඩී.චන්ද්‍රසිරි
සර්ජියෝ රමිරෙස්(1942-
නිකරගුවාවේ මෙන්ම සෙසු ලතින් අමෙරිකානු රටවලද සම්භාවනාවට පත් ලේඛකයකු වන සර්ජියෝ රමිරෙස් වඩා හොඳින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 1985 සිට 1990 දක්වා පැවති සැන්ඩිනිස්ටා රජයේ උප ජනාධිපති වරයා ලෙසය. අනස්ටාසියෝ සොමෝසාගේ ඒකාධිපති පාලනය පෙරලා දමන්නට බිහිකල සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණට සහාය පළ කරමින් 1979 දී බිහි වූ බුද්ධිමතුන්, කලාකරුවන්, පූජකවරුන් හා සමාජ ක්‍රියාධරයන්ගේ එකතුවක් වූ දොළොස් දෙනාගේ කණ්ඩායමේ(Group of Twelve) නායකත්වය දැරුවේ ඔහු ය. පසු කලෙක මතවාදී තළයක සිටිමින් සැන්ඩිනිස්ටා වරුන්ගේ ඇතැම් කටයුතු විවේචනය කළ ඔහු පසුව වෙනත් දේශපාලන ගමනක ගිය මුත් දැන් සිය කාලය කලා කටයුතු කෙරේ පමණක් යොමු කරයි. කෙටිකතා හා නවකතා රැසක්ම ලියා ඇති රමිරෙස් ට ස්පාඤ්ඤ බස වහරන ලෝකයේ ඉහළම ලේඛක සම්මානය වන Cerventes Prize 2017 දී පිරි නමනු ලැබීය.