ඔහේට ඇහුනද? නෝර්වේ රජ්ජුරුවො ඊයෙ රාත්තිරි මළා (177 වන ලිපිය)

post-title

නෝර්වේ රජ්ජුරුවෝ

ඊශ්‍රායල ලේඛක අමොස් ඔස් ගේ The King of Norway කෙටිකතාවේ පරිවර්තනය

කිබුට්ස් යෙකාට් නම් වූ අපේ කිබුට්සියේ ( ඊශ්‍රයල පුරෝගාමීන් විසින් බිහි කළ සාමූහික ජනාවාස) නමින් ස්වි ප්‍රොවිසෝර් නම් වූ, හතළිස් පස් වියැති, මිටි, ඇස් පිල්ලම් ගැසීමේ හැකියාවක් තිබි හාදයකු විය. ඔහු, අසුබ ආරංචි සන්නිවේදනය කරන්නට කැමැත්තක් දැක් වීය. ඒ අතර, භූමි කම්පා, ගුවන් යානා ඝට්ටන, නිවැසියන් මත කඩා වැටෙන ගොඩනැගිලි, ගිනි ගැනීම් හා ගංවතුර විය. ඔහු පුවත්පත් කියැවූ අතර,මහ පාන්දර පුවත් ප්‍රකාශ සියල්ලටම සවන් දී, ලක ලැහැස්ති වූයේ භෝජන ශාලාව අබියසදීම අප අල්ලා ගෙන, චීනයේ කිසියම් තැනක ගල් අඟුරු පතලක හව්හරණක් නැතිව සිරවූ ආකර කම්කරුවන් දෙසිය පණස් දෙනා හෝ කැරිබියන් මුහුදේ සුළි සුළඟට අසුව දියබත් වූ යාත්‍රාවේ හුන් හය සිය දෙනෙකුගේ මළගම පවසා අප මවිතයට පත් කරන්නටය. ඔහු අවමගුල් නිවේදන කටපාඩම් කරන්නටද පුරුදු විය. මිය ගොස් තිබුණේ කුමන ප්‍රසිද්ධ පුද්ගලයාද යන්න මුලින්ම දැන ගන්නා ඔහු, ඒ බැව් මුළු මහත් කිබුට්සියටම දන්වයි. එක් උදෑසනක ඔහු මා සායනය ඉදිරිපස පටු මාවතේදී නතර කළේය.

“ විස්ලවුස්කි කියල ලේඛකයෙක් ගැන අහල තියෙද?”

“ඔව්. ඇයි?”

“ මිනිහ මළා”

“ කණගාටුයි ඒ ගැන”

“ ලේඛකයොත් මිය ඇදෙනව”

තවත් වතාවක මා භෝජන ශාලාවේ සේවා මුර ක්‍රමයේ ඉඳිද්දී ඔහු මගේ අතින් අල්ලා ගත්තේය.

“ මං මරණ දැන්වීම් වල දැක්ක ඔයාගෙ සීය මැරුණු වග”

“ ඔව්”

“ ඒ එක්කලා, අවුරුදු තුනකට ඉහත, අනික් සීයත් මළා?”

 ඔව්”

“ ඒ කියන්නෙ මේ අන්තිම එක”

ස්වි ප්‍රොවිසෝර්, කිබුට්සියේ උයන් පාලකයා විය. හැම දිනකම පහට අවදි වන ඔහු, දිය විදිනයන් සකස් කොට, මල් පාත්ති වල පොළොව කොටා, පැල සිටුවා, අතු පැස, දිය වත් කොට, සද්ද බද්ද තණකොල කපනයෙන් තණකොලද කපා, කෘමි නාෂක ඉස, කාබනික හා රසායනික පොහොරද යෙදුවේය. ඔහුගේ ඉණ පටියේ සවි කර තිබි කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රය, ඛේදවාචක පිළිබඳ නොනවතින විස්තරයක් ඔහුට සැපයීය.

“ ඇහුවද ඒ ගැන? ඇංගෝලාවෙ ලොකු මනුෂ්‍ය ඝාතනයක්” නැත්නම්, “ ආගමික කටයුතු ඇමති තුමා මළා. මේ දැන් විනාඩි දහයකට කළින් කීවෙ.”

අනෙකුත් කිබුට්ස් සාමාජිකයෝ ඔහු මග හැරියෝය. ඔවුන්, භෝජන ශාලාවේදී ඔහු හා අසුන් ගත්තේ කලාතුරකිනි. ගිම්හාන සන්ධ්‍යාවන්හිදී ඔහු, භෝජනාගාරය ඉදිරිපිට සුවිසල් තණ බිමේ එපිටහ අයිනේ කොළ පැහැති බංකුව මත තනිවම වාඩි ගෙන, කුඩා දරුවන් තණ ගොල්ලේ ක්‍රීඩා කරනු බලා උන්නේය. පවන් රොද, ඔහුගේ කමිසය සොලවමින්, ඩහ දිය වියලා දැම්මේය.උස සයිප්‍රස් තුරු ගොමුව තුළින් මතුවූ උණුසුම් ගිම්හාන සඳ රත් පැහැයෙන් දිළිසුනේය. එක් සන්ධ්‍යාවක, ස්වි, යාබද බංකුවක තනිව වාඩි ගෙන හුන් ලූනා බ්ලාන්ක් නම් කාන්තාවක හා සමාචාර කළේය.

“ ඔබ ඇහුවද? “ ඔහු දෙඩුවේ ශෝකී ස්වරයකිනි. “ ස්පාඤ්ඤයෙ අනාථ නිවාසයක් ගිනි අරන් ළමයි අසූවක් දුම ආශ්වාස කරළ මැරිල වග?”

හතළිස් පස් වියැති, වැන්දඹු ගුරුවරියක වූ ලූනා, නළලත නැඟි ඩා බිඳු ලේන්සුවකින් පිසදා, මෙසේ පැවසුවාය.

“ හරි භයංකාරයි”

“ තුන් දෙනෙක් විතරයි බේර ගත්තෙ, ඒ තුන් දෙනත් අසාධ්‍ය තත්වයෙ” ස්වි පැවසීය.

තම රාජකාරි පිළිබඳව ඔහු තුළ වූ කැපවීමට අප හැමම ගරු කළෙමු. ඔහු කිබුට්සියේ දිවි ගෙවූ වසර විසි දෙක පුරාම, පැමිණීමේ සටහනෙහි එකද අසනීප නිවාඩු දිනයක් වාර්තා නොවීය. ඔහුට පින්සිදු වන්නට කිබුට්සිය මලින් බරව තිබුණේය. භාවිතයට නොගත් හැම බිම් තීරුවක්ම, උචිත මලින් වගා කොට තිබුණේය. අතන මෙතන නිර්මාණය කළ සෙල්මුවා පත්තිවල විවිධාකාර පතොක් ප්‍රභේද වගා කෙරුණි. මිදි වැල් සඳහා ආධාරක ලෙස දැව පන්දලම් තනා තිබි අතර, භෝජනාගාරය ඉදිරිපස නිමවූ, ගලා යන දියෙන් පිරි තටාකයක රන් මසුන් හා ජලජ පැළෑටි පිරී තිබිණ. ඔහු සතු සෞන්දර්‍යකාමී සිතැඟි හැම කෙනෙකුගේම පිළි ගැනීමට ලක් විය.

එහෙත්, අප ඔහු නැති තැන හැඳින් වූයේ ‘මරණයේ දේවදූතයා’ ලෙසිනි. එමෙන්ම, අපි ඔහු පිළිබඳ නානා ඕපාදූපද පැතිරවීමු. අප කීයේ ඔහුට සහකාරියක් නොසිටි බවත්, ඒ ගැන කිසිදු අදහසක්වත් නොමැති බවත්‍ය. රෝනි ෂින්ඩ්ලින් නම්වූ එක් තරුණ පහේ හාදයෙක් ස්විගේ සොබාව කදිමට රඟ පා පෙන්වූයේ අප හැම සිනා සයුරක ගිල්වමිනි. සවස් යාමයේ, බොහොමයක් කිබුට්ස් සාමාජිකයන් තම තමන්ගේ ආලින්ද තුළ වාඩි ගෙන, කෝපි පානය කරමින් හෝ සිය නිවෙස් ඉදිරිපිට කුඩා ගෙවත්තේ දරුවන් හා සෙල්ලම් කළ අතරවාරයේ, ස්වි ප්‍රොවිසෝර් සමාජ ශාලා ගොඩනැගිල්ලට වී, තමා බඳු තවත් හතර පස් දෙනෙක්- පොත් ගුල්ලන් හා විවාදකරුවන්, වියපත් තනිකඩයන්,වැන්දඹු පුරුෂයන් හෝ දික්කසාද වූවන්- සමගින් පුවත් පත් කියවීමෙහි නිරත විය.

එක් කොණක උන්, විසල් වවුලකුගේ බඳු සවන් යුවළක් හිමිව තිබි, කුඩා තට්ටය පෑදුනු එකකු වූ රෙව්කේ රොක්. මුමුණමින් පැවසුවේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා පළි ගැනීමේ ප්‍රහාර එල්ල කිරීම, ප්‍රකෝපකාරී කටයුතු තව තවත් ඉහළ නංවන බවත්, පළිගැනීම පසු පස පළි ගැනීමම හඹා එන බවත්‍ ය.

සෙස්සෝ, එක පැහැර ඔහුගේ මතයට පහර දෙන්නට පටන් ගත්තෝය. “ මොනවද මේ කියන්නෙ? අපට පුළුවන්ද ඇහැ කණ පියා ගෙන ඉන්න? වැඩි පරෙස්සම වගේම සාමකාමී ප්‍රති ක්‍රියා තුළින් සිද්ද වෙන්නෙත් අරාබි කාරයො වඩ වඩා ප්‍රචණ්ඩ වෙන එකයි”

ස්වි ප්‍රොවිසෝර්, මෙහිදී ඇහැක් ගසා මෙසේ පවසයි. “ අන්තිමට මේ සේරම යුද්දයක් වේවි. බොහොම විනාශකාරී යුද්ධයක්”

ඒ සමග, ගොත ගසනා, එම්මානුවෙල් ග්ලොස්මාන් උද්‍යෝගී ලෙසින් මෙසේ පවසයි.” යු-යුද්දෙ හ-හරි හ්-හොඳා. අ-අපි දි-දිනනව. ඉ-ඉඩම් සෙ-සේරම අ-අල්ල ග-ගන්නව.ජෝ-ජෝර්දානෙට ය-යනකං”

රෙව්කේ රොක්, මහ හඬින් සිතන්නට පටන් ගනී.” බෙන් ගුරියන් කියන්නෙ දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. මිනිහ ඉත්තෙක් අදින්න ඉස්සෙල්ල පියවර පහක් ඉදිරියට බලනව. හැබැයි, මිනිහ හැම දේම කරන්නෙ බලෙන්”

මේ විෂය පථයට ආ කළ, ස්වි ප්‍රොවිසෝර්, අශුභ පෙර නිමිති පවසන්නකු බවට පත්වේ. “ අපි පැරදුනොත්, අරාබි කාරයො අපිව ඉවරයක් කරාවි. අපි දින්නොත්, රුසියන් කාරයො ඇවිදින් අපට බෝම්බ දායි”

එම්මානුවෙල් ග්ලොස්මාන් මෙහිදී කාරුණික ඉල්ලීමක් කරයි.” යා-යාළුවනේ, නි-නිශ්ශබ්ද වෙ-වෙන්න. ම-මට පා-පාඩුවේ ප-පත්තරේ කි-කියවන්න දෙ-දෙන්න”

මෙහිදී, මිනිත්තු කිහිපයක් නිහඬව ඉන්නා ස්වි, මෙසේ පවසයි. “ ඇහැව්වෙ නැද්ද තවම, මේ තියෙන්නෙ- නෝර්වේ රජ්ජුරුවන්ට අක්මාවෙ පිළිකාවක්. ඒ එක්කලා, අපේ ප්‍රාදේශීය කවුන්සලේ ලොක්කටත් පිළිකාව”

රෝනි ෂින්ඩ්ලින් හෙවත් කවටයාට, සපතේරුවාගේ දොරකඩ හෝ ඇඟළුම් ගබඩාවේදී ස්වි මුණ ගැසුනොත් ඔච්චමට මෙන් මෙසේ අසයි.” ඉතින්, මරණයේ දේව දූතයා, අද කඩන් වැටුනෙ මොන ගුවන් යානය ද?”

ස්වි ප්‍රොවිසෝර් හා ලූනා බ්ලාන්ක්, එක් ලතාවකට හුරු වූවෝය. ඔව්හු, හැම සන්ධ්‍යාවකම මුණ ගැසී කතා බහ කළහ. ඔහු, තණ පිටිය කෙළවර, වම් පස බංකුවේ දකුණු පස නෙත්තියේ වාඩි ගන්නා අතර, ඇය, දකුණු පස බංකුවේ වම් පස කොණේ වාඩි ගන්නීය. ඇය හා දොඩනා විට ඔහු ඇසි පිය ගැසූ අතර, හැඩකාර, අත් රහිත, උණුසුම් සමයට ගැළපෙන ඇඟළුමක් හැඳ උන් ඇය, සිය ලේන්සුව අතැඟිළි අතර පොඩි කළාය. ඔහුගේ ශ්‍රමයේ අග්‍ර ඵලය වූ කිබුට්ස් ගෙවත්ත පිළිබඳව ප්‍රසාදය පළ කළ ඇය, ඔහුගේ උත්සාහය නිසාම අප දැන් දිවි ගෙවන්නේ හරිත තණ බිමක, පල දරනා පළතුරු ගස් සෙවණේ, මලින් පිරි පාත්ති අතර බැව් පැවසූවාය. තුන් වැනි ශ්‍රේණියට උගැන්වූ ගුරුවරියක් වූ ඇය, අපේ කුඩා තට්ටු නිවාසයන්හි බිත්ති ලස්සණ කළ, කදිම, සියුම් පැන්සල් සිත්තම් මැව්වාය. ඇගේ වටකුරු මුහුණ සිනාසුණු අතර, ඇහි බැම දිගු විය. එසේ වුවද, ගෙල මඳක් වැහැරී ගොස් තිබුණේය. දෙපා සිහින් වූ අතර, ළැමක් තිබුණේම නැත. ඇගේ සැමියා වසර කිහිපයකට පෙර මිය ගොස් තිබුණේ ගාසා තීරයේ සහායක යුද සේවයේ නිරතව සිටියදීය. ඔවුන්ට දරුවන් උන්නේ නැත. කිබුට්ස් සාමාජිකයෝ අය, දැකුම් කළු චරිතයක්-සිය ඛේදවාචකය මැඩ පවත්වා ගෙන , මුළු මහත් ජීවිතයම උගැන්වීම වෙත යොමු කළ එකියක- ලෙස සැළකුවෝය. ස්වි, ඇය හා දෙඩුවේ විවිධ රෝස වර්ග පිළිබඳවය. ඇය ඔහුගේ හැම සඳහනකටම හිස සලා එකඟ වූවාය. ඉන්පසු ඔහු, සුඩානය හාත්පස විනාශ කරනා පළඟැටියන්නේ වසංගතය පිළිබඳව විස්තරාත්මක හැඳින්වීමක් කළේය.

“ ඔයා හරිම සංවේදී කෙනෙක්.”ලූනා කීවාය.

කඩිනමින් ඇසි පිය ගැසූ ස්වි,” සුඩානෙ එච්චර කොළ පාටක් ඇත්තෙ නැහැ” යි පැවසීය.

“ ඔයා මොකද ලෝකෙ තියෙන හැම කණගාටුවක්ම කරපිට පටව ගන්නෙ?” ලූනා ඇසුවාය.

ස්වි මෙසේ පිළිතුරු දුන්නේය.” මං හිතන විදිහට, ලෝකයෙ තියෙන කෲරත්වයට ඇස් පියා ගෙන ඉන්න එක මෝඩකමක් වගේම පාපයක්. අපට ඒ ගැන කරන්න පුළුවන් දේ ටිකයි. ඉතින්, අපි අඩු ගානෙ එහෙම දෙයක් තියෙනව කියලවත් පිළිගන්න ඕන”

එක් ගිම්හාන සැඳෑවක ඇය කෝපි පානයට සිය නිවෙසට එන්නැයි ස්විට ඇරයුම් කළාය. ඔහු ආයේ සිය පශ්චාත්-රාජකාරි ඇඳුම් කට්ටලයෙන්- කාකි දිග කලිසමක් හා ළා නිල් පැහැ කමිසයකින්ද සැරසී ගෙනය. ගුවන් විදුලි යන්ත්‍රය බඳ පටියේ දවටා තිබුණු අතර, ඔහු රාත්‍රි දහයේ ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අසනු සඳහා මඳක් ඉඩ හසර ඉල්ලා ගත්තේය. ලූනා බ්ලාන්ක්ගේ කුටියේ බිත්ති මත එල්ලා තිබුණේ, සරල රාමු මත සවි කළ ඇයගේ පැන්සල් සිත්තම් - සිහින ලොවක සරනා තරුණ දැරියන්,භූමි දර්ශන, කඳු පෙත් හා ඔලිව් යාය- කිහිපයකි. කවුළුවට මොබින් තිබුණේ පෙරදිග කොට්ටා සහිත ද්විත්ව ඇඳකි. සුදු පැහැති පොත් රාක්කය තුළ පොත් තැන්පත් කොට තිබුණේ උස අනුවය.ඒ, වෑන් ගෝ, සෙසාන්,ගොගෑන්ගේ සිත්තම් පිළිබඳ කලා පත පොත, කුඩා කැසුතෝ බයිබලය හා අවසන හසිප්‍රියා ලෙයාම්ගේ කුඩා නවකතාද ලෙසිනි. කුටිය මැද, දෙපස චාම් ඇඳි පුටු දෙකක් තබා තිබි රවුම් මේසයක් විය. එය, එම්බ්‍රොයිඩරි කළ මේස රෙද්දකින් සරසා, ඊ මත කෝපි බඳුන් යුවළක් හා විස්කෝතු දීසි තබා තිබුණි.

“ ඔයාගෙ කාමරේ හරිම ලස්සණයි” ස්වි ප්‍රොවිසෝර් කීය.” පිරිසිදුයි, පිළිවෙලයි”

මින් අපහසුවට පත් ලූනා මෙසේ පැවසුවාය.

“ස්තුතියි ඔබට. මට සතුටුයි”

එහෙත්, ඇයගේ ස්වරයේ සතුටක් නොවීය. එහි වූයේ විකාර සහගත ආතතියක් පමණකි.

ඉන්පසු ඔව්හු කෝපි පානය කරමින් හා බිස්කට් සපමින්, විසිතුරු පැල හා පලතුරු ගස් ගැනද, හැම දෙයකටම අවසර තිබි මෙසමයේ පාසැලේ විනය හා කුරුල්ලන්ගේ සංක්‍රමණය ගැනද දෙඩුවෝය.

“ මං පත්තරේක කියෙව්ව හිරෝෂිමාවෙ බෝම්බෙට අවුරුදු දහයකට පස්සෙත් තවමත් කුරුල්ලො දකින්න නෑ කියල” ස්වි කීය.

“ ඔයා ලෝකෙ තියෙන ඔක්කොම කරදර පිටේ දා ගන්නව” ලූනා යළිත් පැවසුවාය. “ පෙරේදා මම මගේ කාමරෙන් එහා පාත අත්තක කෑඳැත්තෙක් දැක්ක”

ඉදින් ඔවුන් මේ අන්දමින්, සන්ධ්‍යාවේ මුල් යාමයේදී නිතර නිතර හමු වන්නට පටන් ගත්තෝය. ඒ, තණ පිටියේ බංකුවක, සුවිසල් බෝගන්විලා වදුලක් යට හෝ ලූනාගේ කුටියේ කෝපි පානය කරමිනි. හවස හතරට රාජකාරි නිමවී නිවසට පැමිණෙන ස්වි, නා කියා ගෙන, කැඩපත ඉදිරියට වී හිසකේ පීරා, සිය මැදපු කාකි කලිසම හා ළා නිල් පැහැ කමිසය හැඳ, ඇය හමුවන්නට ගියේය. සමහර විටෙක ඔහු ඇගේ කුඩා ගෙවත්තේ පැල කරනු සඳහා වාර්ශික බෝග පැලයක්ද ගෙනායේය. වරක්, ඔහු ඇයට යාකොව් අයික්මාන්ගේ කවි එකතුවක් පිරිනැමීය. ඇය, කවරයක දැමූ පොපි ඇට බිස්කට්ද සයිප්‍රස් ගස් දෙකක් හා බංකුවක පැන්සල් චිත්‍රයක්ද පිරිනැමුවාය. එහෙත්, රත්‍රී අට හෝ අටහමාර වෙද්දී සමු ගත් අතර, ස්වි, තනිකඩ බවේ සුවඳ හාත්පස බරට දැනුණු තම කුටිය කරා පෙරළා පැමිණියේය.

රෝනි ෂින්ඩ්ලින් භෝජනාගාරයේදී කීයේ මරණයේ දේව දූතයා සිය පියාපත් කළුවන් වැන්දඹුව මත පහත් කර ඇති බවය. පසුව, සමාජශාලාවේදී ස්වි මුණ ගැසුණු රෙව්කේ රොක්, ළබැඳි ලෙසින් විහිළු කළේ” එහෙනම් ඉතින්, අත ග්ලවුස් එකක් හොයා ගත්ත ඈ?” කියමිනි.

එහෙත්, ස්වි හා ලූනා මෙකියනා ඕපාදූප හා උපහාස තුළින් සැලුනේ නැත. ඔවුන් දෙදෙනා අතර සබඳතාවය දිනෙන් දින වර්ධනය වන සෙයක් පෙනෙන්නට තිබිණ. තමා සිය විවේක කාලයේදී පෝලන්ත ලේඛක ඉවාස්කියේවිස්ගේ නවකතාවක් හීබෲ බසට පෙරලන බව ඔහු ඇයට පැවසීය. මේ පොත සුමුදු බවින් මෙන්ම දෝමනස්සයෙන් පිරී ගත්තකි. ඉවාස්කියේවිස් සිතුවේ මිනිස් ස්වභාවය විකාර රූපී වුවද සිත් බඳනා බවය. ලූනා, සිය හිස මඳක් ඇල කොට, දෙතොල් විවර කරමින් ඔහුගේ කෝප්පයට කෝපි වත් කරමින් මේ තතු අසා උන්නේ, කෝපි, ඉවාස්කියේවිස්ගේ මෙන්ම ඔහුගේ ශෝකයටද කිසියම් සහනයක් වූ කලක සේය.ඔහු හා සමාගමය අගනා බවද, එය මෙතුවක් කලක් වියළි හා ඒකාකාරී වූ සිය දිවි සැරිය පුරවා ලන්නට ඒ කළ මෙහෙවර ඇගයිය යුතු බවද ඇය සිතන්නට වූවාය. එක් රාත්‍රියක ඇය සිහිනෙන් දුටුවේ ඔවුන් දෙදෙනා එක් අසකු පිට නැග ඉන්නා බවය. ඇය, සිය ළැම ඔහුගේ පිටිකයට තද කරමින් බඳ වටා දෑත් යවමින් උන් අතර දෙදෙන දෙපස උස් කඳු යාය මැද, පෙණ පිඬු නංවමින් දඟර ගැසෙනා ගං නිම්නයක් ඔස්සේ ගමන් ගනිමින් උන්නෝය. ඇය, සෙසු සිහින විස්තරාත්මක ලෙස ඔහුට පැවසුවද මේ සිහිනය ගැන නොපවසන්නට වග බලා ගත්තාය. මේ අතර, ස්වි ඇසි පිය ගසමින් ඇයට කීවේ යාකොව් නම් පෝලන්ත නගරයේදී ඔහු ශිෂ්‍යයකු වන්නට සිහින මැවූ බවය. ඒ වෙනුවට, ඔහු චලුට්ස් නම් ඒ අළුත බිහිවූ තරුණ ව්‍යාපාරයට බැඳී, අධ්‍යාපන සැලසුම් ඉවත දැමීය. එසේ වුවද, ඔහු ඉගෙනීම අත් හළේ නැත. මේස රෙද්ද මත වැටුණු අහර බිඳිති පරෙස්සමින් ඇහිලූ ලූනා,” ඔයා බොහොම ලැජ්ජකාර කොළු ගැටයෙක් වෙන්න ඇති, තවමත් ඔයා ලැජ්ජකාරයනෙ” යි පැවසුවාය.

“ ඇත්තම කියනව නම්, ඔයා මං ගැන දන්නෙ නෑ” ස්වි පැවසීය.

“ ඉතින් කියන්නකො, මං අහගෙන ඉන්නෙ” ලූනා පැවසුවාය.

ඉතින්, ස්වි දොඩන්නට විය. “ අද රෑ මම රේඩියෝ එකෙන් අහපු විදිහට චිලි රටේ ගිනි කන්දක් පුපුරල, ලාවා ගලල, ගම්මාන හතරක් විනාස වෙලා. ගමේ මිනිස්සුන්ට බේරෙන්න වත් වෙලාවක් තිබිල නෑ”

එක් සන්ධ්‍යාවක ඔහු ඇයට සෝමාලියාවේ සාගතය ගැන හද කකියවන විස්තරයක් කළෙන්, ඉන් ඇය කෙතරම් කම්පනයට පත් වූවාද කිවහොත්, එක් වරම ඔහුගේ අත ගෙන සිය ළැමට තබා තුරුළු කර ගත්තාය. ස්වි, වෙවුලමින් සිය අත වහාම ගස්ස ඉවතට ගත්තේ බොහෝ කොට ප්‍රචණ්ඩ කාරී ලෙසිනි. ඔහුගේ ඇසි පිය වේගයෙන් සැලෙන්නට විය. ඔහු, සිය වැඩිහිටි ජීවිතයේ කිසිදාක තවත් අයෙකු හිතා මතා ස්පර්ශ කළේ නැත. යමෙක් එසේ ස්පර්ශ කළේ වී නම් ඔහු දරදඬුව ගියේය. ඔහු බුරුල් පසේ ස්පර්ශයට හා ළපටි දඬුවල සුමුදු බවටද ප්‍රිය කළ මුත්, මිනිසුන් හා ගැහැණුන්නේ ස්පර්ශය , ඔහුගේ මුළු සිරුරම, ගිනිගත් කලක සේ දරදඬු කොට සංකෝචනය කරලීය. ඔහු හැමවිටම තැත් කළේ අතට අත දීම්, පිටිකයට තට්ටු කිරීම් හා භෝජනාගාර මේසයේදී නිරායාසයෙන් වැලමිටි ගැටීම් වළකා ලන්නටය.

ඔහු, මඳ වේලවකින් පසු, නැගිට, නික්ම ගියේය.

ඔහු ඊළඟ දිනයේදී ලූනා හමුවන්නට ගියේ නැත. මේ සම්බන්ධය, තමන් පිවිසෙන්නට අකමැති, පිළිකුලින් බැහැර කරනා කිසියම් විනාශකාරී ඉසව්වක් කරා සේන්දු වන්නේ යැයි ඔහු සිතන්නට විය. ලූනා සිය සංවේදීතාවය විදහා පාමින්, තමා කොයිමක්කාරියකින් හෝ ඔහු තරහ ගැන් වූවා යැයි අනුමාන කළායැය, සමාව භජනය කරන්නැයි ඉල්ලන්නට සිතුවද ඒ කුමක් නිසා දැයි නොදත්තාය.ඇය, අසන්නට අනුචිත කිසියම් පැනයක් නැගුවා වීද? නැතහොත්, ඔහුගේ වදන’තර සැඟවුණු කිසියම් වැදගත් අරුතක් වටහා ගන්නට අසමත් වීද?

දෙදිනකට පසු, ඔහු කුටියේ නොසිටි මොහොතක ඇය දොරට යටින් පණිවිඩයක් ලියා තැබුවාය.” මට කණගාටුයි ඔබ අපහසුවට පත් කළාට.අපට හමුවී කතා බහ කරන්න පුළුවනිද?”

ස්වි, සිය ප්‍රතිචාරයද පණිවිඩයකින් ලබා දුන්නේය.” වඩා හොඳයි අපි එහෙම නොකරනවා නම්. මේක නරක විදිහට කෙළවරක් වෙන්න පුළුවනි.”

එසේ වුවත්, ඇය රාත්‍රි අහර කිසෙන් පසු, භෝජනාගාරයේ පිවිසුම අසල තිබි ගහ මුල ඔහු එනතුරු බලා හිඳ, ලැජ්ජාශීලී ලෙසින් මෙසේ ඇසුවාය.

“මං මොකක්ද කරපු වරද?”

“මුකුත් නැහැ”

“ඉතින්, ඇයි මාව මග අරින්නෙ?”

“ඒක තේරුම් ගන්න. ඒක අර්ථයක් නැහැ”

ඔවුන් ඉන්පසු කිසිදාක හිතාමතා හමු වූයේ නැත.මං පෙතක හෝ කුඩා ගබඩා කාමරයක ඉඳහිට මුණ ගැසුණේ වී නම්, හිස් සෙලැවීම් හුවමාරු කොට, මොහොතක් එකෙල මෙකෙල වී සිය ගමන් මග ගියෝය.

දිවා ආහාරය ගනිද්දී, රෝනි ෂින්ඩ්ලින් සිය මේස සගයන්ට කීයේ මරණයේ දේව දූතයා සිය මධු සමය හදිසියේ නතර කොට ඇති බවත් ඒ නිසාම තමන් යළිත් වතාවක් අනතුරට පත්ව ඇති බවත්‍ ය. කිව්වත් වගේම, එදා හවස් වරුවේම, ස්වි සමාජ ශාලාවේ උන් සිය තනිකඩ මිතුරන්ට කීයේ, තුර්කියේ විශාල පාලමක් කඩා වැටී ඇති බවය. ඊට අලගුවට එය සිද්ද වී ඇත්තේ ජනාකීර්ණ වෙලාවකය.

මාස දෙක තුනකට පසු, ලූනා බ්ලාන්ක්, ශාස්ත්‍රීය සංගීත කණ්ඩායමේ කටයුතු සඳහා සහභාගි නොවූ බවද ගුරු රැස්වීම් කිහිපයකටම නොආ බවද නිරීක්ෂණය කෙරුණේය. ඇය , සිය කෙහෙවලිය තඹ-රතු පැහැයකින් වර්ණ ගන්වා, තද රතු තොල් සායම් ආලේප කළාය. ඇය, ඉඳහිට රාත්‍රී ආහාරය මග හැරියාය. සුකොත් නිවාඩු දිනයදා ඇය, දින කිහිපයක්ම නගරයේ නතරව හුන් අතර, පෙරළා ආයේපැත්තකින් දිගු කැපුමක් සහිත, අප මඳක් සාහසික යැයි සිතූ, ඇඟළුමක් හැඳ ගෙනය. හේමන්තයේ මුල් දිනවල ඇය, විසල් තණ පිටියේ බංකුවක, ඇයට වඩා වසර දහයක් තරම බාල එකකු වූ පැසි පන්දු පුහුණු කරුවකු සමග වාඩි ගෙන සිටිනු දුටුවෙමු. ඔහු, සතියකට දෙවරක් කිබුට්සියට ආ අතර, රෝනි ෂින්ඩ්ලර් පැවසුවේ ඇය බාගෙදා රෑ පානේ පැසි පන්දු පුහුණු වන බවය. සති දෙක තුනකට පසු, පැසි පන්දු පුහුණු කරුවා අමතක කළ ඇය, වසර විසි දෙකක් වයසැති, පුරෝගාමී තරුණ බලකායේ, කිබුට්ස් ඒකකයේ අණදෙන නිලධාරියා හා සමාගමයේ සිටිනු දැකිය හැකි විය. මේ සංගෙදිය කෙසේවත් බැහැර කළ නොහැකි වූ හෙයින්, එහි වෘත්තීය බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්නට, අධ්‍යාපනික කමිටුව හොර රහසේ රැස් විය.

මේ අතර, ස්වි ප්‍රොවිසෝර් හැම සන්ධ්‍යාවකම, තමා තම දෑතින් තැනූ වතුර මලට යාබද බංකුවක් මත නිසලව, තණ පිටියේ කෙළි දෙලෙන් ඉන්නා කුඩා දරුවන් දෙස බලා උන්නේය. ඔබ එතැන පසු කර යද්දී, “ශුභ සන්ධ්‍යාවක්” යැයි පැවසුවොත්, ඔහු පෙරළා සුබ පැතුම් එක්කොට, ගිණිකොණ දිග චීනයේ ජල ගැල්ම ගැන ඔබට පවසයි.

ඒ හේමන්තයේ අවසන් හරියේදී, කිබුට්ස් ලේකම් කාර්‍යාලයට කිසිදු දැනුම් දීමක් නොකළ, ඉන් අවසරයක් ලබා නොගත් ලූනා, තමන්ට ගුවන් ටිකට් පතක් එවා තිබි සිය සොහොයුරිය හමු වනු වස් ඇමරිකාව බලා පිටත්ව ගියාය. එක් උදෑසනක, ඇය බස් නැවතුම් පළේදී දැක තිබුණේ, අර කී සාහසික ඇඳුම හැඳ, වර්ණවත් හිස් පළඳනාවක්ද පැළඳ, විසල් ගමන් බෑගයක් රැගෙන අඩි උස පාවහන් පැළඳ, අසීරුවෙන් පා තබනා අතරය. “දැනටමත්, හොලිවුඩ් එකට ගැළපෙන්න ඇඳල” රෝනි ෂින්ඩ්ලින් පැවසීය. “කළු වැන්දඹුව, මරණයේ දේවදූතයගෙන් බේරිලා යනවා” ලේකම් කාර්‍යාලය තීරණය කළේ, වැඩිදුර පරීක්ෂණ වලට යටත්ව, ඇගේ කිබුට්ස් සාමාජිකත්වය අත් හිටුවන්නටය.

මේ අතරවාරයේ, ලූනා බ්ලාන්ක්ගේ කාමරය, අගුළු දමා, අඳුරේ තිබුණි. ඒ, කිබුට්සියේ නිවාස හිඟය මැද නිවාස කමිටුවේ ඇතැම් සාමාජිකයන් ඒ දෙස ඇහැ ගහ ගෙන ඉඳිද්දීය. ජෙරනියම්, පතොක් බඳු සාමාන්‍ය පැළ කිහිපයක් කුඩා ආලින්දයේ ඉතිරිව තිබි අතර, ස්වි ප්‍රොවිසෝර් ඉඳහිට එහි ගොස් වතුර දමා ඒ බලා කියා ගත්තේය.

ඉන්පසු, සීත සමය පැමිණියේය. විසිතුරු පැළ මතින් නූස් වළාකුළු පා විය.ගැඹුරු මඩ, කුඹුරු හා පළතුරු වතු අයිනේ ඉම් හිම් සලකුණු කළේය. පළතුරු නෙලන්නෝ සහ ගොවියෝ කම්හලේ සේවය සඳහා ගියහ. අළු පැහැ වැස්ස අතෝරක් නැතිව වැස්සේය. රෑ කළ වැහි පීලි හඬ නංවා සෙලැවුණු අතර, කවුළු පියන්පත් විවර තුළින් සීතල පවන් රොද හමා ආයේය.

ස්වි ප්‍රොවිසෝර්, හැම රැයකම ප්‍රවෘත්ති විකාශනයන්ට සවන් දුන්නේය. ඒ අතර තුර, ඉසුඹුවක් ලත් මොහොතක ඔහු, සිය මේසය වෙත නැඹුරු වී, පාත්ත ගෙල මේස ලාම්පුවේ ආලෝකය යටින් ඉවාස්කියේවිස්ගේ වේදනාවෙන් පිරි පොතේ පිටුවක් දෙකක් හීබෲ බසට නැගීය. ලූනා ඔහුට තෑගි කළ පැන්සල් සිත්තම- සයිප්‍රස් ගස් දෙකක් හා බංකුවක්-ඇඳට ඉහළින් එල්ලා තිබුණේය. ගස් දිස් වූයේ පාළු විලාශයකිනි. බංකුව හිස්ව තිබිණ. දහය හමාරට සිරුර වටා යමක් දවටා ගන්නා ඔහු, හිස් කොන්ක්‍රීට් මං පෙත් හා වීදි ලාම්පු වල කහ පැහැති එළියේ දිළිසෙන තෙත පොළොව දෙස බලා උන්නේය. පතිත වන මහ වැසි අතර විරාමයක් වී නම්, ඔහු රෑ පානේ පොඩි පහේ සවාරියක් ගොස් ලූනාගේ ආලින්දයේ මල් පැළ හොඳින් තියෙනවාදැයි සොයා බැලීය. බිම වැටුණු පළු පත් ඒ වන විටත් පඩි පෙළ වසා ගෙන පැතිර තිබි අතර, තමාට වැසුණු දොර පියන් තුළින් මෝදු වන සබන් හා ෂැම්පු වල මුදු සුවඳ දැනෙතැයි ස්වි සිතුවේය. ඔහු මේ හිස් මං පෙත් අතරේ මොහොතක් දෙකක් ඒ මේ අත ගොස්, තුරු වියන යටින් පෙරී ආ වැස්ස සිය නිරාවරණ හිස මත පතිත වෙද්දී, පෙරළා සිය කුටියට ගොස්, විවට දෙනෙත් ඇසි පිය ගසද්දී, දිනයේ අවසන් ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දුන්නේ ඝන අඳුර මැදය. එක් උදෑසනක,සෙසු පටු සියල්ලන්, තෙත, හිරිගඩු පිපෙනා අඳුරේ, තවමත් පොරෝනා අතර ගුලි වී හිඳිද්දී, ඔහු, දෙනුන්නේ කිරි දොවන්නට යන කිරි ගිවියකු අතරමඟ නතර කොට,සොවින් බරව, මෙසේ පැවසීය.

“ ඔහේට ඇහුනද? නෝර්වේ රජ්ජුරුවො ඊයෙ රාත්තිරි මළා. අක්මාවෙ පිළිකාවක්”

Top