ලෝකඩ නලඟන (277 වන ලිපිය)

post-title

ශිෂ්ටාචාරයේ මුල් ම කෙළවරට වී ඒ අතටත් මේ අතටත් වැටෙනු නොදී තම සිරුරෙහි බර පාලනය කරමින් සිටි ඇයව කුදලාගෙනවිත් ගුහාවට දමා කටට පුළුන් ඔබන ලද්දේත්, මව් කෙනෙකු වන සිහිනය විනා වෙන සිහින නොදකින්නට ගුහාවැසියන් තරයේ තරවටු කරන ලද්දේත්, සියලු වේදනා ප්‍රවාහ ඉවසීමට දෙන ලද්දේත්, තමාත් මාතෘ දෙවඟනක බවට පත්කරනු සඳහාදැයි ඇගේ සිත, ඇය අද්දරටවිත් නිතර නිතර කුටුකුටු ගෑවේය. ඒ සිත කෙසේ-කුමක් කීවද, ඇය ඇයට ම කියාගත්තේ අනෙකකි.

* * * * * *

‘ඉවසන්න පුරුදු වෙන්න එපැයි ගෑනු ළමේක් වුණාම’

අගනුවරට නුදුරු රෝහලක, වාට්ටුවකින් මෙවැන්නක් ඇසෙනවිට ඊට මුහුණදුන් තැනැත්තිය සිටියේ වෛද්‍යවරිය අසළ රෝගීන් වාඩිගෙන සිටින පුටුව පාමුල බිම වැටී අඩපණ සිරුරෙනි. දාරවල නොමැකුණු කුණු දූලි රාමුවට සිරවූ ටයිල් කැටවලට අඩිය ඉක්මන් කරමින් ස්කෑන් කාමරයෙන්, බෙහෙත් විදින කාමරයට යන අතරේදී ඇගේ නාසාපුඩු බෙහෙත්ගඳට හැකිළිණි. කුණපයක් කැවුණු කලෙක මෙන් විටින්විට වේදනා ගෙන දුන් යටි බඩ, ගෝත්‍රිකයන් සියගණනක් ඉහළට ඔසවා හෙළු හෙලි තුඩුවලට කැපීයමින් තිබිණි. 

කරකැවෙන විදුලි පංකාවක් අසළ සිය ආසනයට බරව සිටි කොණ්ඩය කොටට කැපූ වියපත් වෛද්‍යවරියක රෝගියකුගේ ලෙඩ අඳෝනාවකට සවන් දෙමින් සිටියාය. වෛද්‍යවරුන්ගේ කුටිය අසළින් රෙදි මූස්නයක් සහිත බාල්දියක් ඔසවාගත් කාන්තාවක් පැත්තක් පාත්ව සිටින සේ තීරුවක් දිගේ ඉදිරියට යමින් සිටියාය. ඇය ඇඳ සිටි නගර සභා කමිසයේ වූ වැකියේ අකුරු දුර්වර්ණ වෙමින් තිබුණද, රෝගීන්ගේ පෝලිමේ සිටි තරුණයන් කිහිපදෙනෙකුට එය කාලය ගෙවාගැනීමට උචිත මාතෘකාවක් විය. බිම හුන් තැනැත්තිය වෙතට නැඹුරු වූ වෛද්‍යවරිය මීළඟට කාමරයට පැමිණීමට නියමිතව සිටි මැදිවියේ කත දෙස ද නෙත් යොමා, ඇය ඇඳ සිටි බ්ලවුසය ගන්නට ඇතැයි සිතූ සාප්පුව අසවල් එක වියයුතු යැයි අනුමාන කරමින් කල් යල් බලා, නැවත පියවි සිහියට පැමිණ, ‘ගෑනු ළමේක් ඔයිට වඩා හයිය වෙන්න ඕන’යි තොල්පිට හරවා කියා ආසනයේ නැවත හරිබරි ගැහුණාය.

ගෑනු ළමේක්

ගෑනු ළමේක්

ගෑනු ළමේක්..

කල්ප කාලාන්තරයකට පසු ඇගේ හිසේ ඒ ගැහැනු ළමයා නැවතත් දෝංකාර දෙන්නට පටන්ගත්තේය. ශිෂ්ටාචාරය ආරම්භයේ සිට ම දහස්වර, දසදහස් වර, කෙළකෝටි ගණනින් ඇගේ හිස වටා භ්‍රමණය වූයේ සෞරග්‍රහ මණ්ඩලය නොව එම වචන ය. ඇය සිතුවා වැරදිය. ඒවායින් ගැලවීමට තවමත් නොහැකි වී තිබේ. ඒවා තවමත්, දූවිලි සුළඟක්ව අර තරම් දුර ඈත සිට පැමිණෙමින් තිබිණි. ඒ කුණාටුවෙන් ඒකාලයේදී ද ගැලවිය නොහැකිවිය.

හරප්පා ජනාවාසයට නුදුරුව අං ඇති දෙවියකුට දාව ශුෂ්ක කැලෑවක උපත ලද මොහොතේ පටන් ශුද්ධ වූ ගංගාවන්ට බැස උඩුබැලි අතට පිහිනායමින් ද, පාවහන් නොලෑ දෙපතුල්වලින් නොයෙක් ජනාවාස පසුකරමින් ද, විවිධ ගොපල්ලන්ගේත් එළු අඩි සලකුණු ඔස්සේත් ඇය දිගු දුරක් පැමිණ තිබිණි. ඇතැම්විට ගැලෙහි පැමිණෙද්දී විවිධ ගැල්කරුවන්ගේ අතවරයට ලක්වීමට ගිය අවස්ථාවලදී ඇය ගෑනු ළමයාව පසෙක තබා දෘඩ ආත්මයක්ව නැගී සිටියාය. තමා ගෑනු ළමයෙක් යැයි කියමින් විවිධ විච්චූර්ණ එල්ලාගන්නැයි අත පතා පැමිණි කොයියම්ම වූ ඉඩම් හිමි රදළයකු හෝ ප්‍රවේණි දාසයකු වුණි නම් ඇය ඔවුන්ව දූරස්ථ කර දැමුවේ ඒ එල්ලීමට ගෙනා කම්බිලි, සලුපිලි, හිස් පළඳනා, අංජන ආදිය ද බිම ගසා දමමිනි. සේද මාවත දිගේ ආ වණික් තරුණයන් ඇයට දුන් මාල, වළලු බිඳ ඒවායේ පබලු බිම දිගේ ගලායන්නට සල්සවන ඈ පසුව ඒවා එකිනෙක ඇහිද හැඩ බලන්නට ගනී. කුඹල් කරුමාන්තයෙන් ඉපිද, රාජ්‍යතාන්ත්‍රික සේවයක නිරතවූ සැමියකු ලැබ සිටි ඥාති සොයුරියක තමාට පෙරහර බලන්නට ගොස් එද්දී පොඩි මැටි වළං ගෙනැවිත් දුන්නද, පාලු ගෙයි වළං බිඳින්නා සේ ඒවා තලා පොඩිකර මැටි කුඩු එකතු කරගත් ඇය ඒවායින් ඉණට අතක් තියා සිටියා වූ මොහන්දොජාරෝ ලෝකඩ නළගනගේ රුව හුණු ගෑ ගෙයි බිත්තියේ ඇන්දාය. ඇගේ ලෝකයේ වීරවරිය අම්මා නොවීය, එම නිළිය විය. සෙලු කයෙන් වළලු පමණක් අතැතිව සිටින සිහින් සිරුරැති ඇගේ රුව අබිබවා උහුළාගැනීමේ එඩිතරබවක්ද ඈ කෙරෙහි වීය. ඒ සෑම තැනකදී ම ඇයට දහස් ගණන් මන්තර මැතිරිලි අතරින් තමා ගෑනු ළමේක්ය යන අදෝනාව ඇසෙන්නට වූ අතර, පසුව ඇසීලා ඇසීලා ම ඒවා කන් අසළ නතර වී කලාදුරු මෙන් ගුලි වී තිබිණි. 

එහෙත් ඈ නගරයේ සිහින ඇකඩමියාවට පැමිණි විගස ඒ කලාදුරු ගලවා දමා කන් දෙක ගසා දැමූයේ ඇගේ අස්වයා කන්පට සලන්නාක් මෙන් ප්‍රීතියෙනි. මෙහි සිටින්නේ ප්ලේටෝලාය, සෝර්බාලාය, සන්තියාගෝලාය. තාරාලාය, කැරනිනාලාය, බෝවාරිලාය, අයේෂලාය. එහෙයින් ඇයට නැවතත් වළං බිඳීමට සිදු වනු නැතැයි ඈ දැඩිතරව අපේක්ෂා කළාය.

* * * * * *

සියවසක් පුරා, කල්යල් බලමින්, මග කොනිති ගසමින්, සැමතැනම අවුලුවමින් කළු අම්මණ්ඩිලා, දැඩිතර නැන්දලා, පෙම් සබඳතාවක් මව්පියන් හොයොදෙනතුරු පන්සලට මිස ගෙයින් පිට නොගිය පුංචිලා, සැමියා පඩි ගෙන දෙන තෙක් බලා ඉන්න අක්කලා මහ රෑ හීනෙන් පැමිණියහ. දුම්මල වරම් අතින් ගත් ඔවුහු ඇගේ ඉඟටිය වටාත් ගෙල වටාත් සුර පළඳවන්නට වූහ. හිසේ සිට දෙපතුල දක්වා දෙහි කපා මතුරන්නටත් වූහ. ඇස්වහ කටවහ පුච්චන්නට සෙනසුරාදා දින එනතෙක් බලා සිටින්නට වූහ. ඇඟ සිසිල් කරන, ඔප කරන ආහාර සකසා ගෙනෙන්නට වූහ. සියලු කලිසම් ඉවත් කර, ගවොම් අන්දවන්නට වූහ. අඳුරු කාමරයකට දමා තනිකරන ලද ඇය ඔවුන් කියනා ලෙසට, අතින් ගැනිය නොහැකි කලක් ඔවුන් විසින් ම ඔබ්බවන ලද, ගුහා කටෙහි නැවත නැවතත් සිරවී සිටියාය. ඇය ගුහා කෙළවර අඳුරේ ලැග සිටියේ, පුෂ්ටිමත් හොඳ වර්ගයේ බලු කුක්කෙකු සිය හිමියා තමාව බැඳ දැමූ රැහැනෙන් ගැලවී අවුත් සර්වාංගයේ මඩ තැවරෙන බව දැන දැන මඩවළෙහි ම ලැග සිටින්නාක් මෙනි. 

‘රෑට රෑට නාට්ටි බලලා බෝඩිමට එන්න හොඳ ද ඔහොම?’

‘මොනවද ළමයො මේ ගෑනු ළමයි බලන පොත්ද’

‘ගෙයක් දොරක් වුණාම මෙහෙම ඉදලා බැහැනේ ගෑනු ළමෙක්නෙ’

‘මේ බලන්න අල්මාරියක හැටි ගෑනු ළමේක්ගේ’

මෑනිවරුන්, අක්කාවරුන්, නැන්දාවරුන්, අත්තම්මාවරුන් නිතර දෙවේලේ කියකිය ආ අතීත සෝබාවේ ගැහැනු වත්කම් ඇගේ කටට පොවන්නට වූයෙන් ඇයට ඒවා ඔක්කාර වීය. ඇගේ දෑත්, දෑස් බයිසිකල් සෙව්වේය. නැග බලන්නට ගෙවල්වල පියසි සෙව්වේය. කරක්ගසන්නට වන්නතර සෙව්වේය. දූවිලි පිරුණු නගර පීරමින් මනුස්ස ප්‍රාණ සෙව්වේය. පොත්හල්වල අඳුරු අහුමුලුවල සැඟවී තිබෙන යටි තට්ටුවලට ගිලා බැස තිබෙන දූලි පිරුණු පොත් සෙව්වේය. ජීවිතයෙන් ගලා ආ ප්‍රමෝදය කාන්දු නොවනු වස්, ඇගේ දෑත් දෙපා සොයන දෑ වෙත ඇයව ගෙන යන ගොපලු කොලුවකු සෙව්වේය. ඒ ගොපලු කොලුවා වුව, ගොපලු රැහෙන් මිදී තමා වෙත එනු ඇතැයි ඇය කල් බලමින් සිටියේය. 

මග බලමින් සිටි ඒ ගොපලු කොලුවා දිනක් ගුහාවට පැමිණියේය. යහපත, පැහැපත, රූපත. ඇවිත් සදහට සිටිනු බැරියෙන් වුවද, නෑවිත් මගතොට ම හිඳිනු නොබැරියෙන් පැමිණියේය. 

* * * * * *

‘මම හිටියේ අපේ පොඩියැයිගේ රෙදි හෝද හෝද. දන්නවනේ මහත්තයො අපිත් ගෙයි ඉන්නේ ඉරිදාට විතරයි. සෙනසුරාදාත් වැඩට ගිහින් ආවේ. මේ ළමයාට කිව්වට අහන්නෑ තමන්ගෙ රෙදි ටික හෝදගන්න කියලා අපිම එපැයි හෝදන්න ඉතිං. අපේ මනුස්සයා වැඩට යනවා එනවා යනවා එනවා. ඉරිදා දවසටවත් රහට කියලා මුකුත් ඒ මිනිහාට තියෙන්න එපැයි. ඒගමන මම රෑට උයන්න එළවළු ටිකක් කඩෙන් ගෙනත් තිව්වාම මතක් වුණා, මේකිගේ රෙදි ටික එහෙම්මමයි නේද කියලා. ඔන්න ඒටික හොදන කොටයි අපේ එක්කෙනා දුවන් ආවෙ කඩේ ගාව කෙල්ලෙක් වැටිලා සනීප නැතුව කියලා. කඩේ කිව්වට ඒක තාත්තගේ කඩේ මහත්තයො. තාත්තා දැන් වයසයි. ඒත් කඩෙන් ගලවගන්න බෑ උන්දෑව. කරන්න වැඩකුත් නැති එකේ ඔන්න ඔහේ ඒක බලාගන්න දෙන්න කියලා මහත්තයා කිව්ව නිසා මිසක් මුලදි මුලදි මම ඒක ගන්න තමයි හැදුවේ. ඔව් ඔව් මහත්තයො ඒක කියන්න තමයි හැදුවෙ. මම යද්දි ඒ ගෑනු ළමයා බිම වැටිලා හරිම අමාරුවෙන් හිටියා. තාත්තයි තවත් මිනිස්සු වගේකුයි එතැනට වෙලා එයාට අලියා බීම එකක් කඩලා පොවන්න හදනවා දැක්කා. මම යද්දි ඒ ළමයාගෙ මූණට දාඩිය දාලා කලන්ත හැදිලා වගේ හිටියේ. ඒ අස්සෙ මෙහෙ කැරකෙන රස්තියාදුකාරයෙක් ඕන නැති එක එක එව්වා කියන්න ගත්තා. අපි සේරම ඒ ළමයාව උස්සගෙන ගෙදෙට්ට එක්කං ගියා. මොර දීම ඉවර වුණේ නැහැ. ඒගමන වතුර රත් කරල තැව්වම අඩු වුණේ. අසනීපෙ ද? අසනීපෙ කියන්නෙ මහත්තය, අර ගෑනු අපි කාටත් තියෙන්නෙ.. මේ... මහත්තයට තේද හොඳ, නැත්නම් අලිය බීම එකක් ම දෙන්නද?

* * * * * *

සිය පට්ටියේ වූ එළුවකුගේ පිටේ ඇයව තියා සිහින ඇකඩමියාවට පැමිණි ගොපලු කොලුවාගේ අත අතෑරිණි. ඇය පැමිණ සිටියේ තවත් දහස් ගණන් ගොපලු කොලුවන් පැමිණ සිටි තැනකටය. ගොපල්ලන් පමණක් නොව එහි ප්‍රවේණි දාසයන් ද, රදලයන් ද, පැලැන්තිකාරයන් ද, කම්කරුවන් ද, ගෝත්‍රිකයන් ද වූ බැවින් ඇගේ නලගන ආසාව මදක් යටපත් විය. එයින් කිහිපදෙනෙකුගේ සන්තියාගෝ සිහින අසා බලා සිතේ ඔබා තියාගනු පිණිස දැනගැනීමට, ඇගේ සිත මුරගෑවේය. බැමි වටා පැල් බැඳ සිටි ගෝත්‍රික තරුණ ගැට මුළු ඇදෙස බලා මුරුමුරු ගෑහ. ඈ වටා කොළඅතු එල්ලමින් නටන්නට වූහ. ඔවුන්ගෙන් ගැලැවෙන්නට ගොසින් ඇයට පඹගාලක පැටලෙන්නට වූවද, ඒ අතර සැඟවී සිටි කොල්ලෙක් දෙන්නෙක් ඔවුන්ගේ කතාන්දර කියනු වස් ඇයව තෝරාගත්හ. 

ඇකඩමියාව පුරා වූ නැවුම් ලියමඩුලු ඇය දෝතින්ම බදා වැළඳගත්තේ, ඔලිව් ගස් යට ඉතාකාවේ නැගුණු අදහස් වියළෙන්නට ඉඩනොදෙමිනි. සංවාද මඩුලු අරා, ඉහළට නැගුණු වාග්ප්‍රහාර ගොපල්ලන්, ගෝත්‍රිකයන්, ආදි මානවයන් සියල්ලන්වම එකම මාතෘ දෙවගනක හා සසගව, එකම තුරුලක, එකම හදපණක ගැටෙන්නට සැලස්වීය. යාදිනි, යාතිකාවලින් ගිගුම් ලත් ඇකඩමියානු අහස වැසී ගිය විසල් ග්‍රීක කුළුණු මත ඇයව ලුහුබඳිමින් ආ ඉතිහාසයේ පවන් රැළි ගෑවි ගෑවි එතෙමින් පැවතිණි. ගොපල්ලන්ගේ ගී හඬෙන් මිදී ඇය පියවි සිහියට පැමිණි විට හරප්පා ශිෂ්ටාචාරයේ බලගතු අං ඇති දෙවියා නැවතත් ඇය ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේය. අං තට්ටුවේ බරින් පීඩිත ඒ මුහුණේ කම්මුල් අලු රේඛාවලින් හැඩ දමලාය. කැපුම් පහරවල්වලින් පීඩිත දෑතත්, දෝංකාරමය ගිගිරුමත්, රංග භූමියෙන් නැගි දුමාරය මැදින් මතුවවිත් ඇයව උස්සා පොළොවේ ගැසීය.

‘ගෑනු ළමේක් නේද?’

ඇගේ ලෝකඩ නලඟනගේ රුව බිත්තියේ සිට කොකම්පානු ඇයට සිහිනෙන් පෙනිනි. එයින් දිරි ලැබූ ඈ ක්ෂණිකව අහසට පිම්මක් පැන යළි පතිතවූයේ අං ඇති දෙවියාගේ කම්මුල පිපිරෙන පහරක් එල්ල කරමිනි. 

* * * * * *

ශිෂ්ටාචාරයේ මුල් ම කෙළවරට වී ඒ අතටත් මේ අතටත් වැටෙනු නොදී තම සිරුරෙහි බර පාලනය කරමින් සිටි ඇයව කුදලාගෙනවිත් ගුහාවට දමා කටට පුළුන් ඔබන ලද්දේත්, මව් කෙනෙකු වන සිහිනය විනා වෙන සිහින නොදකින්නට ගුහාවැසියන් තරයේ තරවටු කරන ලද්දේත්, සියලු වේදනා ප්‍රවාහ ඉවසීමට දෙන ලද්දේත්, තමාත් මාතෘ දෙවඟනක බවට පත්කරනු සඳහාදැයි ඇගේ සිත, ඇය අද්දරටවිත් නිතර නිතර කුටුකුටු ගෑවේය. ඒ සිත කෙසේ-කුමක් කීවද, ඇය ඇයට ම කියාගත්තේ අනෙකකි.

Top