කෙටිකතාකරුවාගේ කතාව නොහොත් කවිසේකරගේ අත්දැකීම(792)

post-title

අල්ලපු ගෙදර බණ්ඩාර දොරමඩලාව මහතාගේ කෙටිකතා පොත එළිදැක්වීමේ උළෙලට ගොස් එන ගමනේදී චාන්දනී කී කතාව කවිසේකරගේ සිතට මහත් වදයක් ගෙන දුන්නේ ය. පාවිච්චි නොකරන ලද පරණ දිනපොතක් සොයා ගත් ඔහු තම සිතට එන දේ අකුරු කරන්නට වෙහෙසුණේ කෙසේ හෝ කෙටි කථාවකට මුලපිරීමේ අදහසිනි. මේ වන විට දිගට හරහට ඉරි ඇඳ කපා දැමූ පිටු ගණන කොතෙක්දැයි ඔහු ම නොදනී. හරබර වචන වලින් පටන්ගත් කථාවක සෑම ආරම්භයක් ම මැද සහ අග ගළපාලීමට ඔහුට නොහැකි වූයේ තමා ලිවීමට දක්ෂ‍ අයකු නොවන බව ඔහුට ම අවබෝධ කර දෙමිනි.

"ඔයත් පොතක් ලියන්ට කෝ අනේ. බලන්ට අර කණමදයා වගේ බීගෙන ගෙදර පිස්සු නටන බණ්ඩාරට අද තිබ්බ ගුණ වර්ණනා ටික. රම්‍යලතා හිටියේ හරියට එයා පොතක් ලිව්වා වගේ උජාරුවෙන්."

"එහෙම හැමෝට ම පොත් ලියන කලාව පිහිටන්නෙ නෑ චාන්දනී. ඕව ඔය ඇඟෙන්ම එන දේවල්. ඔයා මට පොත් ලියන්ට කියන එක හරියට ඉබ්බගෙන් පිහාටු ඉල්ලවා වගේ වැඩක්." කවිසේකර කීවේ චාන්දනී දෙස උපේක්ෂාවෙන් බලමිනි.

"අනේ බොරු කියන්ට එපා කවී . එහෙනම් කොහොමද ඔයා මට ලව් ලෙටර් වල අච්චර ලස්සනට නිසදැස් ලියලා එව්වේ. ලියුම් වලින් මාව ඇඬෙවුවේ. ඔයා බැන්දට පස්සේ දැන් හරි කම්මැළි වෙලා. අනේ කවී.. එක කතාවක්වත්, ප්ලීස්... "

චාන්දනී කී කතාවට කවිසේකරට සිනහ යන්නට ආවද ඔහු එය ආයාසයෙන් මැඬගත්තේ ඇය ඔහුගෙන් ඒ ගැන අසා ප්‍රශ්න කරනු ඇතැයි සිතූ නිසාය. රංගට පින්සිදු වන්නට පිටු ගණන් ආදර වදන් සහිත ලිපි ද , ඒවායේ වූ නිසඳැස්ද කියූ පමාවෙන් තමා අතට පත්වූයෙන් කවිසේකරට චාන්දනී ආදර ලෝකයේ සොදුරු වදන් වලින් කුල්මත් කිරීමට කිසිදු අපහසු නොවීය. ඔහුට කිරීමට සිදු වූයේ ඒවා තම අත් අකුරෙන් පිටපත් කිරීම පමණි.

කවිසේකර සමඟ එකට බෝඩිමේ සිටි රංග රැකියාව කළේ ඔහු සේවය කළ ආයතනයේ ම ආරක්ෂක නිලධාරියකු ලෙසය. සිංහල විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණදී සිටි ඔහු විශ්වවිද්‍යාල වරම් ලැබීමට තරම් වාසනාවන්ත නොවූයෙන් සුදුසු රැකියාවක් සොයා රටවටේ ගියේ තව දුරටත් තම මාපියන්ට බරක්වීමට අකමැතිවීමහේතුවෙනි. සුදුසු රැකියාවක් නොලැබූ රංග අවසානයේදී නතර වූයේ ආරක්ෂක අංශයේ නිලධාරියකු ලෙස කවිසේකර සේවය කළ ආයතනයේ ම ය . නඟරයෙන් බොහෝ දුර පිටිසර ගමක විසූ රංග අඩු මුදලකට නවාතැනක් සොයමින් සිටි විටෙක කවිසේකරගේ අනුකම්පාවට ලක්ව, ඔහු නවාතැන්ගෙන සිටි නිවසේ තම කාමරයේ ම කොටස් කරුවෙකු කරගැනීමට තරම් කාරුණික විය. මේ වන විට විවාහ වී කුලී නිවසක සිටි කවිසේකර නිවසේ සිට රැකියාව කරා ගියද, රංග තවමත් සුපුරුදු නවාතැනේ සිට ම රැකියාව කළේ තම සේවා ආයතනයට එහි සිට යාමේ ගමන් පහසුවත්, සාධාරණ නේවාසික ගාස්තුවත් නිසාය.

"ඔයා අර කතාව පටන් ගත්තා නේද?” කෝපි කෝප්පයක් අතැතිව කාමරයට ඇතුළු වූ චාන්දනී තමා සිටි ලියන මේසය දෙසට එනබව දුටු කවිසේකර ක්ෂණිකව තමා කුරුටුගාමින් සිටි දිනපොත මුණින් අතට හැරවීය.

“තාම හරියට පටන් ගත්තේ නෑ. මොනවද ලියන්නේ කියලා හිතාගන්ට බෑ.”

“ඔයා බොරු කරනවා. කෝ බලන්ට..?”

"එහෙම පෙන්න පෙන්න කතා ලියන්ට බෑ. මම ලියලා ඉවර වෙලා ම ඔයාට පෙන්නන්නම්." තමා කිසිවක් ලියා නැති හිස් කොළ ඇයට පෙන්වීමට මැළි වූ කවිසේකර කණපිට හැරවූ දිනපොත තම අතින් තදකර ගත්තේ චාන්දනී එය අතට ගෙන කියවා වි යන සැකයෙනි.

"හරි හරි මම බලන්නෙ නෑ. ඔයාට ඕනෙ මාව පුදුම කරවන්ට නේද? මට නම් ඕන අර රම්‍යලතාට පෙන්නන්ට අපිටත් පුළුවන් කතා ලියන්ට කියලයි. අද උත්සවයෙදී හිටියෙ හරියට අපි එයාලා දන්නෙ අඳුනන්නේ නෑ වගේ. ඔක්කොටම වැඩිය මගෙන් ඉල්ලගත්ත සාරියත් ඇඳගෙන රඟපු රැඟිල්ල...."

පෙරදින සවස බණ්ඩාර තමාගෙන් ටයි පටියක් ඉල්ලාගත් බව චාන්දනී දන්නේ නම් එයටත් කුමක් හෝ කියනු ඇතැයි කවිසේකරට සිතුණි.

"මේ හිඟන රස්සාවෙන් ලැබෙන සොච්චමෙන් ටයි එකක් ගන්ටවත් ඉතිරියක් නෑ මචං. උඹට පිං සිද්ධවෙයි කරපු උදව්වට." බණ්ඩාර කවිසේකර දුන් ටයිපටිය පරිස්සමට නමා සාක්කුවේ දමාගත්තේ වට පිට බලමිනි.

"ඕක හිමිහිට උත්සවේ ඉවරවෙලා මට ම ගෙනත් දීපං. චාන්දනී අතට දෙන්ට එපා." කවිසේකර නොකියා කීවේ ඇයට හොරෙන් මෙය දෙන බවකි.

"මොනවද අනේ ඔය කෝප්පෙ අතේ තියාගෙන කල්පනා කරන්නේ? කෝ භාගයක්වත් බීල නෑනේ." නැවතත් කාමරයට ආ චාන්දනී කියද්දී කවිසේකරට මතක් වූයේ තමා මේ කතාවක් ලිවීමට වෙරදරමින් සිටින බවකි.

"චාන්දනී ඔයාට බැරිද මට කතා තේමාවක් හිතල කියන්ට. මගෙ ඔළුවට අදහසක් එන්නෙ ම නෑනේ."

"ඈ... ඒ කියන්නෙ ඔයා මෙච්චර වෙලා මොනවද ලීවේ? මම හිතුවේ ඔයා මට පෙන්නන්නේ නැතිව ලස්සන කතාවක් ලියන්ට පටන් අරන් ඇති කියලයි. ඔයා ඒ කාලෙ ඉඳලම දන්නවනේ මට ඔයවගේ වැඩ බෑ කියලා." නෝක්කඩුවක් කියන්නාක් මෙන් චාන්දනී කියාගෙන යද්දී කවිසේකර සිටියේ ජනෙල් කවුළුවෙන් පිටත බලාගෙන ය. ඇය කී දෙයට ඔහුට එකවර ම සිනහවක් ආව ද ඔහු ඇයට පිටුපා සිටිනිසා චාන්දනී එය නොදැක්කා ය. කතා ලිවීම කෙසේ වෙතත් කතා ගෙතීමට ඇය අතිදක්ෂ බව නම් රම්‍යලතා දවසක් ඇයගේ මූණට ම කී හැටි කවිසේකරට මතක් විය. එදින සුළු හේතුවකට ඇතිවූ ඒ බහින්බස් වීම සමනය වූයේ බණ්ඩාර එදින සවස තම නිවසට පැමිණ රම්‍යලතා වෙනුවෙන් සමාව ඇයද සිටි විටය. කවිසේකරත්, බණ්ඩාරත් එලෙස කරමු යැයි කතා වූයේ රම්‍යලතාටත් හොරා බව කවිසේකරට සිහිවි ය.

"මට දැන්නම් හිතෙනවා මේක අතහැරලා දාන්ට. මට මේ වගේ වැඩ බෑ කියලා ඔයාට කීවනේ මුලදි ම. ඔයා අහලා නැද්ද අර කියමනක් තියනවා 'ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමථ' කියලා."

"ඔයාගෙ විකාර..., මම රම්‍යලතාට කෝල් කරලත් කීවා ඔයත් පොතක් ලියන කතාව. ගෑනි එක පාරටම ෂොක් වුණා වගේ මගෙ නිව්ස් එකට. ආදර කතාවක් ද අහනවා. මම කීවා ඔයා ඒක තාම මටවත් පෙන්නුවෙ නෑ කියලා."

"ඔයා තමා මේ හැම ලෙඩක් ම දාන්නේ. අද නිවාඩු දවසේ මටත් වැටිච්ච මරාලයක්."

"එහෙම කියලා බෑ අනේ. අපි මේක කොහොම හරි කරමු."

"කොහොම හරි කියන්නේ...?"

"බැරිද ඔය කොහේ හරි තියන කතාවක් කොපි කරලා නම් ගම් වෙනස් කරලා ඔයාට කතාවක් ලියන්ට?"

"මම හිතන්නෙ නෑ. ඒක නීති විරෝධි වැඩක් නේ. අනික ඔයාට ඕන පොතක් පබ්ලිෂ් කරන්ටනේ. එහෙම කරොත් කොහෙන් හරි අහු වෙයි. අන්තිමට මට තමා ලැජ්ජාව."

"අනේ ප්ලීස් කවී.., මොනව හරි කරන්ට. ඔයා දන්න කවුරු හරි නැද්ද ඔය කතා, කවි එහෙම ලියන? මම කීවේ.. කුලියට ලියන."

"ඒක මොන ලැජ්ජ් නැති වැඩක්ද!" කවිසේකර කියවුණ ද ක්ෂණිකව ම ඔහුට සිහි වූයේ රංග ලවා තමා ආදර හසුන්, නිසදැස්, කවි ලියවා ගත්තේ එලෙස නොවේ ද බවය. ඒත් ඒ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බව සිතා තම සිත හදාගන්නට වෑයම් කළේ ය.

"දැන් ඉතින් එහෙම නොකර හිටියොත් තමා ලැජ්ජා වෙන්ට වෙන්නේ. අනේ කවී, ඔයා මේක නොකර හිටියොත් මම කොහොමද අර ගෑනිට මූණ දෙන්නේ?"

ගණකාධිකරණ අංශයේ රැකියාවක් කරන තමාට, නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස වෘතියේ නියැළි බණ්ඩාර සමඟ මේ කාරණයේ දී තරඟකල නොහැකි බව කවිසේකර හොඳිමන් ම දනී. ප්‍රාදේශීය පුවත් සපයන්නෙකු ලෙස මෙතෙක් කලක් 'ලක් උරුමය' සති අග පුවත්පතට සේවය කළ ඔහු කෙටි කතා ලිවීමට යොමු වූයේ ළඟකදී බව බණඩාර ම කවිසේකරට කියා තිබුණේ යහළුවෙකුගේ මත්පැන් සාදයයකදී ය. එලෙස ඔහු ඉඳහිට 'ලක් උරුමය' පුවත්පතේ පළ කළ කෙටිකතා එකතුවක් පොතක් ලෙස එළිදැක්වූයේ මීට දින කීපයකට පෙර ය. ඔහුගේ ලිවීමේ හැකියාව විශ්වාස කළ නොහැකි ලෙස වර්ධනය වී තිබූ බව එදින උළෙලට සහභාගී වූ කීප දෙනෙකු ම කියනු කවිසේකරට ඇසුණේ ය.

"පොඩි පොඩි නිවුස් අයිටම් ලිය ලියා හිටපු බණ්ඩාරයා මෙහෙම පොතක් ලියයි කියලා මට නම් හිතාගන්ටවත් බෑ. මොනවා වුණත් කතා ටික නම් නියමෙට ලියලා තියනවා." බණඩාර පුවත් සපයන 'ලක් උරුමය' පුවත්පතේ සේවයේ නියුතු උප සංස්කාරවරයෙකු වූ ජයරුවන් කවිසේකරට කීවේ ය. එදින උත්සව ශාලාවේදී දැනහැඳින ගත් ජයරුවන් තමාට බණ්ඩාර ගැන එලෙස කීවේ ඇයිදැයි කවිසේකර කල්පනා කළේ ය. කියවීමට රුචිකත්වයක් නොදැක් වූ කවිසේකර පොතක් තබා පුවත්පතක් කියෙව්වේ ද විශේෂ ප්‍රවෘතියක් ඇස ගැටුණු විටකදී ය. එනිසා බණ්ඩාරගේ ප්‍රාදේශීය ලිපි හෝ ඔහු පළ කළ කෙටි කතා කිසිවක් කවිසේකර කියවා තිබුණේ නැත.

"ඔච්චර කල්පනා කරන්ට දෙයක් නෑනේ. අපි කුලී ලේඛකයෙක් සල්ලිවලට ගමු කවී. මම දන්නවා ඔයා ළඟ සල්ලි නෑ කියලා. මගෙ මඟුල් මාලෙ උකසට තියමු. පොත ගහලා එන ආදායමෙන් බැරියෑ පස්සෙ ඒක අරවාගන්ට."

"එහෙම කරලා කොහොමද චාන්දනී. ඔයාට මාලෙකට කියලා තියෙන්නෙත් ඔච්චරයි නේද?"

"ඔයා නොදන්නවට මගෙ ළඟ ඒ වගේ ම ඉමිටේෂන් එකක් තියනවා. ඒක තමා මම වැඩිපුර ම දාගෙන යන්නේ, කවුද දන්නේ හොරෙක් හතුරෙක් කඩා ගත්තොත් අච්චර වටින මාලයක්."

"හරි බලමුකෝ..." රංග ගැන සිතාගෙන කවිසේකර කීවේ බලාපොරොත්තු සහගතව ය. රංග ගැන චාන්දනීට නොකියා සිටීමට ඔහු පරිස්සම් වූයේ තමාගේ ආදර හසුන් හුටපටය ට රංග සම්බන්ධ නිසා ය.

"බලමු නෙවෙයි, එහෙම කරන්නම් කියන්ට කවී. ඔයානෙ ඉතින් මගෙ හැමදාම ගැලවුම් කාරයා." හැම දෙයක් ම නූල් බෝලයක් ලෙස පටලවා ගත් කල තමා සොයා එන චාන්දනී ගේ සුපුරුදු බැගෑපත්වීම කවිසේකරට නම් අරුමයක් නොවීය.

කාර්යාලයේදී කතා කිරීමට සුදුසු මාතෘකාවක් නොවූ හෙයින් මෙය නිදහසේ කතා කරගත යුතු දෙයක් වූ නිසා කවිසේකර එදින සවස ම රංග සොයා ඔහුගේ බෝඩිමට ගියේ කෙසේ හෝ ඔහු තමාගේ යෝජනාවට කැමති කරගැනීමේ අදහසිනි.

"හෙලෝ සේකර මහත්තයා. මොකෝ මේ පැත්තේ?"

"රංග හම්බවෙන්ට ම යි ආවේ. ලොකු උදව්වක් ඉල්ලගෙන ආවේ."

"ඕන දෙයක්. කියන්ට මහත්තයා. ඔය මහත්තයා මට කරලා තියන උදව් වලට මගෙ පණ වුණත් දෙන්නම්."

"ඇතුළට ගිහින් කතා කරමුද?" වටපිට බැලූ කවිසේකර කියද්දී රංගට සිතුණේ කවිසේකරට යම්කිසි රහසිගත දෙයක් තමා සමඟ කතා කිරීමට ඇති බවකි.

"යමු මහත්තයා." රංග ඉස්සර වූයෙන් ඔහු පසුපස වැටුණු කවිසේකරට මීට පෙර තමා නැවතී සිටි මේ ගොඩනැගිල්ලේ කිසිදු නවීකරණයක් සිදුවී නොමැති බව දුටුවේ ය.

"රංග ඇයි අලුත් තැනක් හොයාගෙන ගියේ නැත්තේ? මෙතන දැන් හරියට ජරාවාස වෙලා නේද?"

"ඔව් මහත්තයා. ගෙවල් අයිතිකාරයා වෙලාවට කුලිය නං ගන්නවා. අනික ලොකු කුලියක් ගෙවන්ට තරම් ඉතිරියක් මාසෙ අන්තිමට ඉතිරිවෙන්නේ නැති එකේ මෙතන මට හොඳයි කියලා හිතුණා."

"ඒක නං ඇත්ත. මමත් මාසෙ රෝල් කරගන්නේ අමාරුවෙන් තමා."

"ඒක නෙවෙයි සේකර මහත්තයා, මොකක්ද මගෙන් වෙන්ට ඕන උදව්ව?"

කවිසේකර තමා මුහුණදී සිටින ප්‍රශ්නය රංගට විස්තර කරද්දී, මුලින් ම ඔහුට උපහාසාත්මක සිනහවක් මුවඟට ආවද, පසුව කවිසේකර වැටී සිටි ප්‍රශ්නය ටිකෙන් ටික අවබෝධ කරගත්තේ ය.

"මට පොත් ලියන්ට ඕන නෑ රංග මලයෝ. මගෙ නෝන දාගත්ත ප්‍රශ්නයෙන් ගැලවෙන්ටයි ඕන. පුළුවන්නම් මට කෙටි කතාවක් ලියලා දෙන්ටකෝ."

"ලියල දෙන්ට නම් බැරිකමක් නෑ සේකර අයියේ. ඒකෙන් ඔයාගෙ ප්‍රශ්නෙ විසඳෙයි ද?"

"මලයෝ, ඔයා ඒ දවස්වල කරපු උදව් නිසා තමා අපි දෙන්නා එක වහලක් යටට ආවේ. දැන් ඉතින් ඒක නොකැඩී ගෙනියන්ටත් ඔයාගෙ උදව් ම තමා ඕන වෙන්නේ." කවිසේකර විහිළුවට මෙන් කීවේ රංගගේ උරහිසට තට්ටු කරමිනි.

රංග සිටියේ බර කල්පනාවක බව දුටු කවිසේකර සිතුවේ තමා නොමිලයේ ම ඔහුගෙන් මෙම උදව්ව ලබාගැනීමට පැමිණ ඇති බවකි.

"මම සාධාරණ ගාණක් දෙන්නම් මල්ලී කරන සේවයට. ඒත් ඔයා වරදවා හිතන්ට එපා මම ඔයාව කුලී ලේඛකයෙක් ගානට දාන්ට හදනවා කියලා."

"නෑ සේකර අයියේ, මම ඔයා දන්නේ මම රස්සාවට ආව කාලේ ඉඳලා. මට දුන්නු උදව් කවදවත් අමතක කරන්ට බෑ. එහෙව් එකේ මට සල්ලි ගන්ට බෑනේ. මම හිතුවේ වෙන කාරණයක්."

"ඒ මොකක්ද මල්ලී...?"

"සේකර අයියා මේක කාටවත් කියන්ට එපා. විශ්වාස කරලයි කියන්නේ."

"කියන්ට මල්ලී..., ඔයාට මගෙ ඉල්ලීම ප්‍රශ්නයක් නම් මේක අමතක කරලා දාමු."

"නෑ අයියේ..., ඔය බණ්ඩාර දොරමඩලාව මහත්තයාගේ මුළු කතා පොතම ලීවේ මම. එයා ඒකට මට හොඳට ගෙවන්නම් කීවා පොත විකුනුණාම. ඇඩ්වාන්ස් එකක් ලැබුණා. අනික් මුදල් නම් තාම ලැබුණේ නෑ."

රංග කියූ දේ කවිසේකරට අදහාගත් නොහැකි විය. ඔහු පුදුමයෙන් රංග දෙස බලා සිටියේ ය. එදා කෙටිකතා පොත දොරටවැඩීමේ උළෙලේදී බණ්ඩාරගේ මිතුරෙකු තමාට කී දේ සිහිනයෙන් ඇසෙන්නක් මෙන් කවිසේකරට දැනෙන්නට විය.

"සේකර අයියා ඒ ගැන එච්චර හිතන්ට එපා. මම කාලෙක ඉඳලා ලියපු කෙටිකතා ගොඩක් මා ළඟ තියනවා. තව නව කතාවකුත් තියනවා. එක එක්කෙනාගෙ කීමට අච්චු කන්තෝරු කීයකට නම් ගියාද, පත්තර කීයකට නම් තැපැල් කරාද. ඒ කිසිම කෙනෙක් මගේ කතා වලට සාධාරණයක් කරේ නෑ." රංග කීවේ යම් කලකිරීමක් සිත තුළ තද කරගෙන බව කවිසේකරට තේරුම් ගියේ ය.

"මල්ලිට මෙහෙම අසාධාරණයක් වෙලා තියෙද්දි මමත් අද ඇවිත් කරේ ඊට නොදෙවෙනි දෙයක් නේද? අනේ රංග මල්ලියේ මට සමාවෙන්ට."

"පිස්සුද අයියේ. මම ඒව එච්චර හිතන්නෙ නෑ. අනික මම මේව ලියන්නේ මගේ ආත්ම තෘප්තියක් වෙනුවෙන්. අනික මගේ කතා ටිකක් වෙන කෙනෙකුගේ නමින් හරි පොතක් විදිහට එළි දැක්ක කියලා ආරංචි වෙලා එදා මම ගොඩක් සතුටු වුණා. ආර්ථික අමාරුකම් තිබ්බ මට ඒකෙන් සහනයකුත් ලැබුණා."

"කොහොම වුණත් මට නම් දැන් ඔයාගෙන් මේ උදව්ව ඉල්ලන්ට ම බෑ. මගෙ හිතට හරි නෑ."

"හරි අයියේ අපි මෙහෙම වැඩක් කරමු. ඔයා කතාවක් ලියන්ට. මම උදව් කරන්නම්. ඔයාගෙ මේ අද්දැකීම ම ඒකට පාදක කරගන්ට පුළුවන්නේ."

"ඒ කීවේ රංග මලයෝ."

"මනඃකල්පිත චරිත ටිකක් දාලා ඔයාගෙ මේ කතාව ලියන්ට. මට හිතෙනවා ඒක හොඳ කතාවක් වෙයි කියලා. ප්‍රශ්නයක් නම් අන්වර්ථ නාමයකින් පත්තරේක පළ කරන්ට."

"එතකොට මම චාන්දනීට කියන්නේ මොකක්ද? අනික රම්‍යලතා කොහොම වෙතත් බණ්ඩාර දැන ගනීවි මම එයාගෙ රහස දන්නවා කියලා."

"බණ්ඩාර මහත්තයාගේ නෝනා මේක දන්නේ නෑ. ඒ මහත්තයා ඒක මට කීව්වා. සේකර මහත්තයත් චාන්දනී නෝනට කියන්ට, මේක ලීවේ මහත්තය ම කියලා. අපි පස්සේ හිමිහිට තව කතා ටිකක් ලියමු. මම උදව් කරන්නම්."

"ඒක නම් හොඳ අදහස."

"අනික බණ්ඩාර මහත්තයා සැක කරවි, සේකර මහත්තයා කොහොමහරි විස්තර දැනගෙන කියලා. ඒකෙන් එයාට මගෙ ඉතිරි මුදල් නොදී මඟ අරින්ට හිත හදාගන්ට බැරි වෙයි."

කවිසේකර රංග සමඟ තම කුළුදුල් කෙටිකතාව දළ සටහනක් ලෙස පෙළගැස්වූයේ නැවත් දිනෙක ඔහු සමඟ හිඳ අවසන් නිර්මාණයක් ලෙස පිළියෙළ කිරීමේ අදහසිනි. ඉන්පසු රංගට සමුදුන් කවිසේකර තම නිවස බලා ගියේ රංග වැනි සැඟවුණු කලාකරුවන් කොතෙකුත් මෙලොව ඇතිදැයි සිතමිනි. චාන්දනීට මෙන් ම තමාට ද අද දින සුවසේ නින්දක් යනු ඇතැයි කවිසේකරට සිතුණේ ඇය පහුගිය දින කීපයේදී ම තමා සමඟ කංකෙඳිරියක් ලෙස කී දේවල් සිහිවීමෙනි.

Top