“ පුංචි..... ඔයා කොහේද ? ”
පුංචි කියා ගෙන මා සොයාවිත් මා ගෙළ වැළද ගත්තේ මාගේ වැඩිමහල් සහෝදරියගේ එකම පුතණුවන්ය.
“ පුංචි, අනේ පුංචි මටත් ඕනි අහස්කූරක් අර සද්දයක් දාගෙන ගිහින් ඩෝං ගාලා පුපුරන්නෙ. අනේ මටත් එකක් ගෙනල්ලා දෙන්නකෝ. ”
“හරි පුතේ. හරි අත්තම්මා දැන් කැවුම් උයන්නනේ හදන්නේ. ඉතිං අපි අත්තම්මටත් ටිකක් උදව් කරලා හවස කඩේට ගිහින් නිලා කූරුයි, අහස් කූරුයි අරන් එමු හොදද? ” මා පුතාව අස්වැසුවේ එසේ කියමිනි.
“පුංචි එහෙනම් මාත් එනවා පුංචි එක්ක කැවුම් උයන්න. මට උණුවෙන් කැවුමක් ඕනි. ”
“හරි හරි යං. හැබැයි ඔන්න මට අත්තම්මාගෙන් බැණුම් අහන්න වෙයිද දන්නෙ නෑ මං ඔයාව ළග තියාගෙන.”
“ඇයි අත්තම්මා බනින්නෙ පුංචි? ”
“ඉතිං පුතේ කැවුම් තාච්චියට දාද්දී කැවුම් හට්ටියට බාද්දි එහෙම තෙල් විසික්වෙන්න පුලුවන්නෙ. එතකොට පුතාගේ ඇගට යයි කියලා තමයි අත්තම්මා කැමති නැත්තෙ ඔයාව ළගින් තියා ගන්නවට...”
“අනේ පුංචි...”
කෙසේ හෝ පුතාගේ ඇවිටිල්ල නිසාම පුතා ළගින් තියා ගන්නවාට අම්මාගෙන් ද බලවත් විරෝධයක් එල්ල නොවුණි. කුඩා බංකුවක් තබා මා අසලින්ම පුතු ද වාඩි විය. පළමු මුං කැවුම් ගෙඩිය තෙලේ බැදෙන විට පුතා සතුටින් අත්පුඩි ගැසුවේය.
“පුංචි මට ඔයා ඔය කැවුම් ගෙඩිය කන්න දෙනවා නේද? ”
“හරි හරි පුතේ රස්නෙ පොඩ්ඩක් අඩු උනාම දෙන්නම්කො ඔයාට කැවුම් ගෙඩිය. ”
කැවුම් ඉවීමෙහි නිරතව සිටි මගෙත් පුතාගේත් ඒකාග්‍රතාව බිදී ගියේ අසළ අඹ ගසෙහි වැසූ කොවුලෙකුගේ හඩෙනි.
“පුංචි, මොන කුරුල්ලද ඔය ලස්සනට කෑ ගහනවා ඇහෙන්නෙ. මං මීට කලින් අහල නැති ඒ සද්දෙ. ”
එවදන් සවන් වැකුණු මගේ මුවේ ඇදුණේ නිරාමිස හසරැල්ලකි.
“එයාට තමා කොහා කියන්නේ. එයා අවුරුදු කාලෙට තමයි ලස්සනට කෑ ගහන්නෙ. අවුරුදු ළග එනවා කියලා මුලින්ම ගමට පණිවිඩේ අරන් එන්නෙ එයා තමා. පුතාට මතකද අර මං පුතාගේ රූප පොතෙන් දවසක් පෙන්නුවෙ කුරුල්ලෙක්ව කපුටා වගේම කෙනෙක්. අන්න එයාට තමයි කොහා කියන්නෙ. ”
“ඒ උනාට එයාලා අපේ ගෙදරට එන්නෙ නෑ. එයාලා අපි එක්ක තරහා වෙලාද? පුංචි අපේ ගෙදර එන්නෙ නැත්තේ.”
මගේ මුවට නිරායාසයෙන් නැගුණු හිනාව මා වළකා ගත්තේ මහත් ආයාසයකිනි.
“නෑ, නෑ පුතේ එයාලා ඔයාලගේ ගෙදරටත් ඒවි. ඔන්න බලන්නකො අවුරුදු දවසට අනිවාර්යයෙන්ම ඔන්න ඇවිත් පුතාට ඇහෙන්න කෑ ගහයි හොදද ”
කාලය කෙමෙන් ගෙවී හිරු අවරට යමින් තිබිණි.
“පුතේ එහෙනම් අපි දෙන්නම කඩේට ගිහින් නිලයි අහස් කූරුයි අරන් එමුද? ”
“හරි පුංචි යං....”
පුතා මා සමග බයිසිකලයට නැගුණේ සතුටෙන් ඉලිප්පෙමිනි. කඩයට ගොස් පුතාට නිලා හා අහස් කූරු ගෙන දී ආපසු නිවසට එන විට මා දුටුවේ අවුරුදු තුනක දරුවෙකු ද කරපින්නාගෙන කීයක් හෝ ඉල්ලා ගන්න අපේ ගෙදරට පැමිණ සිටින ගැහැණියකි. මගෙ හදවතට කදුළක් එක් වූයේ එවෙලෙහි මගෙ මතකයට නැගුණේ ඇය මීට පෙර වතාවකදී අපෙ ගෙදරට විත් හෙළි කළ පුවතය.
“මගෙ මනුස්සයා කෝච්චියෙන් වැටිලා කොන්ද කැඩිල දැන් මුකුත් වැඩක් පළක් කරන්න බෑ නෝනා. මං මේ කිරි සප්පයා එක්ක ඇවිදලා හොයා ගන්න පිච්චියෙන් තමයි අපේ බඩ වියත රැකෙන්නෙ. ”
මගේ කල්පනා ලෝකය බිදී ගියේ පුතුගේ හඩෙනි.
“පුංචි, පුංචි අනේ මාව බයිසිකලෙන් බිමින් තියන්නකො. මට මේවා අත්තම්මාට පෙන්නන්න ඕනි. ”
මම ඔහුව රැගෙන බිමින් තැබුවෙමි.
“අම්මා, අම්මා මටත් මටත්... ”ගැහැණිය අත සිටි දරුවා හඩ නගන්නට විය. ඇය මා දෙස බැලුවේ අසරණ දෙනයනෙනි. මගෙ ළය දැවී ගියේ නිරායාසයෙනි.
“පුංචි ඇයි ඒ මල්ලිලා ඇවිත් ඉන්නෙ. ඇයි අත්තම්මා එයාලට සල්ලි දුන්නෙ? එයාලට සල්ලි නැද්ද? ”
මගේ සහෝදරියගේ පුතණුවන් ප්‍රශ්න වැලක් මා වෙත දිග හැරිණි.
“පුතේ ඒ නැන්දලාට සල්ලි නෑලු. ඒකයි අත්තම්මා එයාලට සල්ලි දුන්නෙ. ”
“පුංචි එහෙනම් මේ නිලා පෙට්ටිය මං ඒ මල්ලිට දෙන්නද? පව්නේ එයා. ”
මට මගේ සහෝදරියගේ පුතු ගැන දැනුණේ අසීමිත සෙනෙහසකි. මා ඔහුගේ හිස සිඹ “ යන්න පුතේ ගිහින් දෙන්න. මගෙ හොද පුතා. එහෙම තමයි හොද ළමයි. ”
පුතා ගොස් නිලා පෙට්ටිය දිගු කරද්දී අවුරුදු තුනක් වයසැති අර දරුවා නිලා පෙට්ටිය බදා ගන්නේ දෝතින් සතුටෙන් හිනා වෙමිනි.
ඒ දසුන මගේ සිතේ නොමැකෙන සිතුවමක් සේ සිත්තම් විය. දරුවා වඩා ගත් ඒ මව් තොමෝ මා වෙත පෑවේ ස්තූති පූර්වක බැල්මකි. මා ඇයට හදපිරි දයානුකම්පාවෙන් හසරැල්ලක් තිළිණ කළෙමි.
සොයුරියගෙ පුතුව ළයට කරගත් මා ඔවුන් නොපෙනී යනතුරු බලා සිටියේ අවුරුදු සැමරුමක් නොමැති මෙවන් දරුවන් තවත් කෙතරම් ඇත්ද යන සිතුවිල්ලද පෙරදැරිවය.