පොත්ගුලට ආ ජෙනරාල් (370)

post-title

ඉතාලෝ කාල්විනෝ ගේ A General in the library නම් කෙටිකතාවේ පරිවර්තනය

පන්දූරියාව නම් විභූතිමත් රාජ්‍යයේ උසස් නිලදරුවන්ට එක දිනක සැකයක් පහළ විය. එනම්, ආරක්ෂක හමුදාවන්ගේ බුහුමනට එරෙහි මතවාද පතපොතෙහි අඩංගු වන බවය. සෙන්පතියන් ඇත්ත වශයෙන්ම වැරදි සිදුකරනා සහ එවැනිම බියකරු විපත්ති බිහිකරනා පුඟුලන් බවටද, යුද්ධය, හැමවිටම උත්කර්ෂවත් අවසානයක් කරා නොයනා බුහුටි සටනක් නොවන සංගෙදියක් බවටද වූ මේ මතවාදය, අළුත් හා පැරණි, එමෙන්ම විදෙස් හා සිය දෙස් පොතපත බර ගණනක සඳහන් වූ බව නඩු විභාග හා පරීක්ෂණ තුළින්ද සනාථ වූ කරුණක් විය.

පන්දුරියාවේ ඉහල පෙළේ නිලදරුවෝ මේ තත්වය කිරා මැන බලන්නට රැස්වූහ. එහෙත්, මේ කාරිය ඇරඹිය යුත්තේ කෙසේදැයි ඔවුන් අතර කිසිවෙකුත් දැනෞන්නේ නැත. මේ එකෙකුදු පතපොත ගැන ඒ හැටි දැනගෙන හුන් කෙංගෙඩියක් නොවූ නිසාවෙනි. මේ නිසා බරසාර නිලදරුවකු වූ ජෙනරාල් ෆෙඩිනා උන්නැහේගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිසමක් පත් කෙරුණේය. කොමිසමට බාර දුන් කාරිය වූයේ පන්දුරියාවේ විශාලතම පොත්ගුලේ පතපොත සියල්ල පිරික්සීමය.

පොත්ගුල, කුළුණු හා පියගැටපෙළ රැසකින් සැදුම්ලද ඉපැරණි ගොඩනැගිල්ලක් විය. එහි බිත්ති අතන මෙතන, බදාම ගැලවී දිරාපත්වෙමින් තිබුණේය. ඊ තුළ වූ උල්දිය නැගි කුටි පොතපතින් පිරී ඉතිරී ගොස් තිබි අතර, ඇතැම් ඉසව් කරා පියනැගිය හැකිව තිබුණේ මීයනට පමණි. දරාගත නොහෙනා ආරක්ෂක හමුදාවක බරින් වෙලී හුන් පන්දුරියාවට ඒ වෙනුවෙන් කිසිදු බරපැනක් දැරිය හැකි වූයේ නැත.

ඉල්මහේ එක් වැහිබර උදාසනක සපැමිණි හමුදාව, පොත්ගුල සිය භාරයට ගත්තේය.ජෙනරාල් උන්නැහේ සිය අසුපිටින් බිමට බටුයේය. මිටි, බෙරි හාදයකු වූ ඔහුගේ පුළුල් ගෙල රෝම බා තිබුණේය. නැහැයට ඉහළින් සිරවූ උපැස් යුවළ මතින් ඇහිබැම රවා බැලීය. නිකට කෙළින් රඳවා, දෑස් පියන්පත් ඉහලට රැලි ගැන්වූ හීන්දෑරි පහේ ලුතිනන්වරු සිව් දෙනෙක් මෝටර් රියකින් බිමට බැස්සෝය. සිව්දෙනම හම් බෑග් සුරතින් දරා උන්නෝය. ඉක්බිති සපැමිණියේ සොල්දාදුවන් කණ්ඩායමකි. කොටළුවන්, පිදුරු මිටි, මඩු කූඩාරම්, හැලි වලං, ගුවන් විදුලි උපකරණ හා සඥා නගන්නට භාවිතා කරන පතාකද රැගෙන ආ ඔව්හු, ඉපැරණි අංගනයේ වාඩි ලා ගත්තෝය.

දොරකඩ තැන තැන රැකවල් ලනු ලැබීය. එහිම, “ දැනට පවත්වා ගන යනු ලබන මහා පරිමාණ මෙහෙයුම් කම්මුතු වන තුරු ඇතුල්වීම තහනම්” බවට පුවරු එල්ලනු ලැබීය. මේ උපාය තුළින් පෙර කී පරීක්ෂණය හොර රහසේම කරගෙන යාම යටි අදහස විය. හීතෙලෙන් මිදෙනු වස් බරැති ලොම් කබා හා කරපටි පැළඳ, හැම උඩයකම පාහේ පොත්ගුලට පිවිසි පඬිවරුන්ට හිසතින් පෙරළා නිවෙස් කරා එන්නට සිදු විය. විමතියට පත් ඔව්හු, “ මේ පොත්ගුල ඇතුළෙ කරන මෙහෙයුම අහවල් එකක්ද?”, “ මේ සංගෙදියෙන් වටපිට මහ අවුලක් නොකරයිද?” “ අශ්වාරෝහකයො ගෙනාවෙ ඇන්නෑවකටදැයි” ඈ ලෙසින් උනුනුන් අතර පිළිවිසියෝය.

පොත්ගුලේ සේවක පිරිස අතරින් රඳවා ගත්තේ ක්‍රිස්පිනෝ උන්නැහේ නම් වූ වියපත්, කුඩා මිනිසකු පමණකි. පොතපත අඩුක්කර තිබුණේ කුමන අයුරින්දැයි නිලදරුවන්ට වටහා දීම ඔහුගේ රාජකාරිය විය. මිටි මිනිසකු වූ ඔහු සතුව තිබුණේ කෙස් පෑදුනු හිසක් හා උපැස් යුවළට යටින් අල්පෙනෙත්ති තුඩක් සේ දිස්වූ දෙනුවනකි.

ජෙනරාල් ෆැඩිනෝ උන්නැහේ නමෝවිත්තියෙන් සැළකිලිමත් වූයේ මේ මෙහෙයුම් ක්‍රියාදාමයේ සැපයුම් පිළිවෙත් ගැනය. ඔහුට ලැබී තිබුණු අණ වූයේ, පරීක්ෂණය අවසන් වන තුරා පොත්ගුලෙන් බැහැර නොවිය යුතු බවය. මේ වූ කලී විමර්ෂණ බුද්ධිය අවශ්‍ය වූ පරීක්ෂණයක් වූ අතර, කිසිදු බාහිර බලවේගයකට අවනත නොවිය යුතු විය.

මේ අනුව, භාණ්ඩ තොගයක් ඇණවුම් කරන ලද අතර, ඒ හැම අංගනයේ ගොඩ ගසා තිබිණ. ඒ අතරේ, බැරැක්ක උදුන් කිහිපයක්, දර තොගයක් හා සාමාන්‍යයෙන් එතරම් වැදගත් ‍යයි නොසැළකුණු පරණි වාර සඟරා මිටියක්ද විය. පොත්ගුල ශිශිරයේදී කිසිදාක උණුසුම් නොවීය. ජනරාල් උන්නැහේ හා ගෝලබාලයන් සඳහා යහන් පනවා තිබුණේ මී කතුරු වලින් රැකවල් ගැන්වූ අහුමුළු වලය.

ඉක්බිතිව රාජකාරි පංගාර්තු කෙරුණි. එක් එක් ලුතිනන්වරයාට කිසියම් විෂය කාණ්ඩයක් හෝ එක්තරා ඓතිහාසික යුගයක් වෙන්කරනු ලැබීය. මේ වෙළුම් වෙන් වෙන් වශයෙන් තේරීම, ජෙනරාල්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු විය. මෙසේ තෝරාගත් පසු, එක් එක් පොත පිළිබඳව වූ විනිශ්චය මත, එය නිලධාරීන්ට, සුළු මුලාදෑනීන්ට හෝ සාමාන්‍ය සොල්දාදුවන්ට කියවීමට සුදුසුද නොඑසේනම්, හමුදා අධිකරණයට රපෝර්තු කළ යුතුද යන්න හඟවනු වස් අදාල වන පරිදි රබර් මුද්‍රාවක් ඊමත තැබිය යුතුවිය.

මේ අන්දද්මට කොමිසමේ රාජකාරිය පටන් ගනු ලැබීය.සෑම සැන්දෑවකම, කඳවුරේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු උපකරණය ඔස්සේ ජෙනරාල් උන්නැහේගේ දෛනික වාර්තාව මූලස්ථානයට යොමු කෙරුණි. ඒ මෙපරිද්දෙනි. “ පොත් මෙපමණ සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇත. මෙච්චරක් අත් අඩංගුවට ගෙන තිබේ. නිලධාරීන්ට හා සෙබළුන්ට කියවීමට සුදුසු පොත් අච්චරක් තෝරාගෙන ඇත”

මේ නීරස සංඛ්‍යා ලේඛන සමග කිසියම් සුවිශේෂ පණිවිඩයක් යොමු කෙරුණේ කලාතුරකිනි. විටෙක, අවිදුර දෘෂ්ටිතාවයෙන් පෙළුනු බිඳීගිය උපැස් යුවල වෙනුවට ආදේශකයක් ඉල්ලනු ලැබීය. තවත් වරෙක, සිසෙරෝගේ පැරණි දුලබ වෙළුමක් කොටළුවකු විසින් උලා කනු ලැබූ බව දන්වනු ලැබීය.

එහෙත්, මෙයට වඩා වැදගත් යමක් සිදුවෙමින් තිබුණේය. මේ පිළිබඳව කඳවුරේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය කිසිවක් සඳහන් කළේ නැත. පොත් ගහනය කෙමෙන් තුනී වී යනවා වෙනුවට වඩා විශාලෙට වැඩෙමින් තිබුණේය. ක්‍රිස්පිනෝ උන්නැහෙගේ උදව් පදව් නොවන්නට නිලදරුවන්ට ඒ තුළ මං හසර සොයා ගන්නටද අසීරු වන්නට ඉඩ තිබුණි.උදාහරණයක් ලෙස ලුතිනන් අබ්‍රගෝටි තමා කියවමින් උන් පොත මේසය මතට විසි කොට කෑමොර දුන්නේය. “ මේක වස වැරැද්දක් නේ. කාතේජියන් වරුන්ගේ හොඳ කියලා රෝමන්වරු විවේචනය කරනවා. මේක වහාම වාර්තා කරන්න ඕනෑ” ( මෙහිදී කිවයුත්තක් ඇත. තමන් රෝමන්වරුන්ගෙන් පැවත එන බව පන්දූරියාවේ අය විශ්වාස කළහ. එය ඇත්තක් හෝ නැත්තක් විය හැක) වියපත් පොත්ගුල් භාරකරු නිහඬව ඔහු වෙත පිය නැගීය. 

“ ඒක එච්චර ගැම්මකට ගන්න එපා” ඔහු පවසයි. “ දැන් බලන්න මෙතන ඒ ගැන කියන දේ. ඔබට පුළුවන් වාර්තාවෙ ඒ ගැනත් සඳහන් කරන්න. ඒ එක්කම මෙව්වා ගැනත්” ඔහු ලුතිනන්වරයාට පැරණි වෙළුම් රොත්තක් පිරිනැමීය. ලුතිනන්වරයා ඒ දෙස උඩින් පල්ලෙන් බැළුවේ විමතියෙන් මෙනි.

ඒ සමග ඔහු වශීවූ කලක සේ කියවන්නටද වරින්වර සටහන් කරගන්නටද පටන් ගත්තේය.ඒ සමග, යළි යළිත් හිස කසමින්, මුමුණන්නටද විය. “ මල ඉලව්වේ. මෙව්වයෙ තියෙන දේවල්. කවුද හිතුවේ මෙහෙම දේවල් තියේවි කියලා” යි පවසන්නට විය. ක්‍රිස්පිනෝ උන්නැහේ, කිසියම් පොතක් මහ හඬින් වසමින්, “ නරක නැහැ මේ ලියල තියෙන දේවල්. කුරුස යුද්ධා ගැන මේ විදිහට සැකකරල ලියන්න තියෙන උජාරුව. කුරුස යුද්ධ ගැන” යයි මුරගානා, ලුතිනන් ලුෂෙටි වෙතටද නැඹුරු විය. “ ඒ වුනත් ලුතිනන් උන්නැහේ, ඒ ගැන වාතා කරනව නම් මෙන්න මේ ගැනත් සඳහන් කරන්න” යැයි පවසමින්, පොත් රාක්කයෙන් අඩක වූ වෙළුම් බිම හෙළීය. ලුතිනන් ලුෂෙටි ඉදිරියට නැවී, පොතක් ඇහිඳගෙන කියවන්නට විය. ඉන්පසු, සති කිහිපයක් තිස්සේ, ඔහු තලු මරමින්ද, කොඳුරමින්ද ඒ කියවනු දැකිය හැකි විය. “ මං කියන්නේ මේ කුරුස යුද්ධත් බලං ගිහාම හරිම රසවත් නේ”

කොමිසමේ සන්ධ්‍යා වාර්තාවන්හි පරීක්ෂනයට ලක් කෙරෙන පොතපත ප්‍රමාණය කෙමෙන් වැඩුනද, ධන හා ඍණ අගයන් ගැන කිසිදු සඳහනක් කෙරුණේ නැත. ජෙනරාල් උන්නැහෙගේ රබර් මුද්‍රාව අලස ලෙසින් පැත්තකට දමා තිබිණ. සිය සහායක නිලධාරීන්ගේ රාජකාරි පිළිබඳව විපරමින් ඉන්නා බව හඟවනු වස් විටෙක, “ හරි. ඉතින් ඇයි තමුන් මේ නවකතා පොත හොඳයි කියල අනුමත කළේ? සොල්දාදුවො හොඳා. නිලධාරියො අරහං. මේ ලියන්නා නිලතල ගැන කිසි ගරුසරුවක් නැහැ” යි පිළිවිසියේය.

ලුතිනන්වරා සිය මතය තහවුරු කරනු වස් වෙනත් පතපොත හා ලේඛන පිළිබඳව උධෘත සැපයුවෙන්, සියල්ල ඉතිහාසය හා බැඳුණු, දාර්ශනික හා ආර්ථික මතවාද ගොහොරුවක පැටලී නන්නත්තාරව ගියේය. මේ නයින්, හෝරා ගණන් දිගින් දිගට ඇදුණු විවෘත වාද විවාද පැන නැංගේය. සිය අළු පැහැ කබාය පැළඳ, අදිසි ලෙසින් එහා මෙහා පාවූ ක්‍රිස්පිනෝ උන්නැහේ, රබර් මිරිවැඩි පය ලා සීරුවෙන් පා නඟමින් විත් තීරණාත්මක මොහොතේදී විවාදයට පැටලෙන්නේ ප්‍රස්තුත විෂය ගැන වැදගත් මතවාදයක් ගැබ්වූ පොතක් හඳුන්වා දෙන්නටය. ක්‍රිස්පිනෝ උන්නැහේගේ මතය, හැමවිටම පාහේ ජෙනරාල් ෆෙඩිනාගේ මතය බොඳ කිරීමට හේතුවිය.

මෙ අව් අස්සේ සාමාන්‍ය සෙබළුනට කරන්නට දෙයක් නුවූයෙන් ඔව්හු ඈනුම් අරිමින් කල්ගත කළහ. ඔවුනතර මැනවින් උගත් තැනැත්තකු වූ බරබසෝ, කියවන්නට පොතක් ඉල්ලමින් පිංසෙන්ඩු විය. ඔවුන් මුලදී තීරණය කළේ සාමාන්‍ය සොල්දාදුවන් සඳහා අනුමත කළ පොතක් ඔහුට දෙන්නටය. එහෙත්, තවදුරටත් පිරිස්සන්නට ඉතිරිව තිබි පොත් කන්දරාව ගැන සිහිපත් කළ ජෙනරාල් ෆෙඩිනෝ, බරබසෝ සෙබළා පොත් කියවන්නට ගතකරන කාලය තුළින් ඔහුගේ රාජකාරි කටයුතු වලට කරනා වින්නැහිය කිරා මැන බැලීය. එහෙයින් ඔහු කළේ පිරිසීම සඳහා පොතක් බරබසෝට බාර දීමය. ඒ, ක්‍රිස්පිනෝ උන්නැහේ විසින් රෙකමදාරු කරනු ලැබූ සරල නවකතාවකි. බරබසෝ පොත කියවා ජෙනරාල්වරයාට වාර්තා කළ යුතු විය. සෙසු සෙබළුන්ද මේ ඉල්ලීම කලෙන්, ඔවුන් අතරද පෙර කී ලෙසින් පොත් බෙදා දෙනු ලැබීය. තොමසෙනේ නම්වූ සෙබළා, පොතක් ගෙන, ලියන්නට හා කියවන්නට නොදත් සොයුරු සෙබළෙකු වෙනුවෙන් ඒ හඬ නංවා කියැවීය. නූගත් සෙබළා ඒ අසා හිඳ සිය අදහස් පළ කළේය.විවෘත වාද විවාද පැවති අවස්ථාවන්හිදී, සාමාන්‍ය සෙබළුද ඊට එක්වූහ.

ඉනික්බිතිව එළැඹි කාලය තුළ, කොමිසමේ ප්‍රගතිය ගැන කිසිවක් දැනගත නොහැකි විය. ශීතතුව තුළ පොත්ගුල තුළ සිදුවූ දෑ පිළිබඳව කිසිදු වාර්තාවක් නොවීය. ඒ පිළිබඳව අප දන්නා එකම කරුණ නම් ජෙනරාල් ෆෙඩිනෝ විසින් අණදෙන මූලස්ථානයට යැවිය යුතුව තිබි වාර්තා යලට මහට යැවුණු බව හා පසුව ඒ සහමුලින්ම නතර වූ බවත් ය.

ප්‍රධාන අණදෙන නිලධාරී කලබලයට පත්විය. පරීක්ෂණය හැකිතරම් කඩිනමින් නිමාකොට සවිස්තර වාර්තාවක් වහාම සැපයිය යුතු බවට ගුවන් විදුලි පණිවිඩයක් යැවීය.

මේ අණපනත් හේතුකොට ගෙන පොත්ගුල තුළ උන් ෆෙඩිනා හා ගෝලබාලයෝ එකිනෙක නොපෑහෙන සිතැඟි අතර විපිලිසර වූහ. ඔව්හු එක් අතකින් සිය සිත් සනහාලන නව දැනුම නිරතුරු අත් විඳිමින් උන්නෝය. ඔව්හු, තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස පතපොත කියවීමෙන් හා පරිශීලනයෙන් හැබෑවටම උද්දාම වූහ. අනෙක් අතට සිය කාරිය හමාර කොට සුපුරුදු ලෝකය වෙත පෙරළා පිවිසීම සඳහා කල්මරමින් උන්නෝය. එහෙත්. මේ ලොව තමන් කලින් අත්දුටුවාට වඩා සංකීර්ණ බව ඔවුනට වැටහුණේය. ඒ, ඔවුන් ඇස්පනා පිට දළුලා වැඩුණාක් සේ විය. අනෙක් අතට පොත්ගුල හැරපියා යායුතු දිනය කල් නොයවාම එළඹෙන්නේය යන හැඟුම, ඔවුම් සිත් සසල කළේය. මක්නිසාද කිවහොත්, ඔවුන් සිය කාරණාකටයුතු පිළිබඳව වාර්තාවක් සැපයිය යුතුව තිබි බැවිනි. සිය මනස් තුළ පොදිකන නා නා හැඟුම් හා මතවාද නිසාවෙන් මේ අබග්ගයෙන් ගැලවී ගත හැකි මඟක් ඔවුන්ට නිනව් නගාගත නොහැකි විය.

සැදෑයාමයේ, ඔවුන’තර එකෙක් කිසියම් කවිපොතක් හඬගා ගයනා අතරතුරේ සෙස්සෝ කවුළු පියන්පත් වලින් ඔබ්බේ රාසිගේ අව්වේ දිදුළන පළුපත් හා නගරයේ ගිනිකණා එළි දෙස බලා උන්නෝය. ෆෙඩිනා ජෙනරාල් උන්නැහේ ඔවුන් හා එක් නොවීය. අවසන් වාර්තාව කෙටුම්පත් කරනු වස්, තමා හුදෙකලාව සිටිය යුතු බවත්, කිසිවෙකුදු තමන්ට බාධා නොකළ යුතු බවටත් අණ පනවා තිබුණේය. එසේවුවද, විටින් විට සීනුව නද දෙනුද,”ක්‍රිස්පිනෝ” යැයි ජෙනරාල්වරයා කෑමොර දෙනුද ගෝලබාලයනට අසාගත හැකි විය. වියපත් පොත්ගුල්පතිවරයාගේ පිළිසරණක් නැතිව ඔහුට කිසිවක් කරකියා ගත නොහැකි විය. අවසන, දෙදෙනාම එක්ව, තනි මේසය දෙපස ඇඳිගෙන වාර්තාව සකස් කරන්නට වූහ.

එක් පැහැබර උදෑසනක, පොත්ගුලින් පිටවූ කොමිසම ප්‍රධාන අණදෙන නිලධාරියාට වාර්තා කරණු පිණිස නික්මුණෝය. ජෙනරාල් ෆෙඩිනා සිය පරීක්ෂණයේ ප්‍රතිෆල රැස්ව හුන් නිලධාරි ගොල්ලට හෙළිදරව් කළේය. ඔහුගේ දේශණය, මානවයාගේ ප්‍රභවයේ සිට වත්මන දක්වා මිනිස් වරිගයේ ඉතිහාසය පිළිබඳ කුළුගැන්වීමක් විය. ඒ, පන්දුරියාවේ පියවි සිහියක් ඇති මිනිසුන් විසින් සාකච්ඡාවටද නොතරම් යැයි තහංචි පැනවූ මතවාද පිළිබඳ විග්‍රහයක් විය.මේ අදහස් තුළින්, ජාතියේ ව්‍යසනයට වගකිව යුත්තේ පාලකයනැයි හැඟවුණේය. රටේ පොදු ජනතාව අනවශ්‍ය ආලෝලන හා වරදවා වටහාගත් ප්‍රතිපත්ති නිසා කබලෙන් ලිපට වැටුණු පිරිසකැයි හැඳින්විණ. කිසියම් නව අදහසක අළුතින් එල්බ ගත්තන් තුළ දිස්වන විපිලිසරයෙහි විය. ඇතැම් අදහස් එකිනෙක පෑහුණේද නැත. එහෙත්, වාර්තාවේ මූලික හරය හා අරුත පිළිබඳව කිසිදු සැකයක් නොවීය. රැස්ව හුන් ජෙනරාල්වරු තුෂ්නිම්භූතව සිය දෑස් අයා ගත්තෝය. නැවත සිහි එලවාගත් කළ ඔව්හු කෑමොර දෙන්නට පටන් ගත්තෝය. ජෙනරාල් ෆෙඩිනාට සිය වාර්තාව කෙලවරක් කළ නොහැකි විය. ඔහුට එරෙහිව යුද්ධාධිකරණයක් ගැනද තනතුරින් පහත හෙළීමක් ගැනද තැන තැන හඬ නැංවිණ. එහෙත්, එබන්දක් තවත් කම්මැල්ලයකට හේතු වේයැයි බිය වූ ඔව්හු, ජෙනරාල්වරයා හා ලුතිනන්වරුන් සිව්දෙන අයහපත් සෞඛ්‍ය තත්වය- රාජකාරි මද හටගත් බරපතල ස්නායු ආබාධයක්- මත විශ්‍රාම ගන්වන්නට තීරණය කළහ.

මෙසේ ඉසිඹුලත් නිලධාරීහු පස් දෙන, සිවිල් ඇඳුම්- බරැති හිම කබා හා ලොම් ඇඟළුම්- පැළඳ නිතර නිතර පැරණි පොත්ගුල කරා පියමං කරනු දැකිය හැකිවිය. ක්‍රිස්පිනෝ උන්නැහේ ඔවුන් එනතුරු, පොත් ගොන්නල් මැද පොරොත්තුව උන්නේය.


ඉතාලෝ කාල්විනෝ

නවකතාකරුවකු හා පුවත්පත් කලාවේදියකු වූ ඉතාලෝ කාල්විනෝ 1923 දී කියුබාවේ උපත ලැබ ඉතාලියේ සැන් රෙමෝ නගරයේ හැදී වැඩුණේය. ඔහු, දෙවන ලෝක යුද සමයේදී උතුරු ඉතාලියේ ජර්මන් ආධිපත්‍යයට එරෙහිව සටන් වැදුණු කැරලිකරුවන් හා එක් විය. ඒ අත්දැකීම් මත ලියැවුණු Into the nest of spiders න් අවකතාව, විචාරකයන්ගේ අපමණ පැසසුමට ලක් විය. ඔහුගේ සෙසු ප්රබන්ධ අතර, Invisible cities(1974), Castle of crossed Destinies(1976) යන කෘති කැපී පෙනේ.

මෑතකාලීන ඉතාලි සාහිත්‍යධරයන් අතර කැපී පෙනෙන පුද්ගලයකු වූ කැල්විනෝ 1985 දී මිය ගියේය.

Top