සැරිසරන මෝඩයෝ - කියුබානු කෙටිකතාකරුවකු වන සනෙම් නීන්ඩා ගේ කෙටිකතාවක පරිවර්තනයකි

post-title

මගේ පිය පාර්ශ්වයේ උන් උදවිය එක් එක් ආකාරයේ උම්මත්තකයෝ වූහ.

මගේ මී මුත්තකු වූ පන්චිටෝ 1934 දී කොමියුනිස්ට් පක්ෂයට එක්වූයේ එය සිහින දකින්නන්ගේ පක්ෂයක් මිස අන් යමක් නොවූ කාලයේය. 1965දී ඔහු ඉන් ඉවත් වූයේ පක්ෂය ඔහුට හඳට පියා සරන්නට නිල අවසරය නොදුන් අවස්ථාවේදීය. රහසිගත රැස්වීම් හා දේශානුරාගී ගීත හා ගත කල ඒ මුලු මහත් කාලය ඔහුට ඵලදායී යමකට හරවා ගැනීමට ඉඩ හසර තිබුණේය. ඔහුට යමක් කමක් හොයා ගෙන, පවුලටද කිසියම් උදවුවක් කල හැකිව තිබුණි. ඒ වෙනුවට ඔහු කලේ රුසියන් කාරයන්ට මැක්කන්ගෙන් පිරුණු බැල්ලක අභ්‍යවකාශයට යැවිය හැකි නම්, කියුබානුවන්ට සත්තකින්ම බැලුවොත් පක්ෂපාතී වඳුරකු යැවිය හැකි නොවේදැයි තර්ක කරමින් සංචාරක හා සංස්කෘතික අමාත්‍යංශය වෙත සැර පරුෂ ලිපි යැවීමය. ඔහු සිය ඤාති දුවගේ තට්ටු නිවසේ කුලී කාමරයක අවසන මිය ගියේ , තමා ගෙදර දොරම හැදූ රම් පානයට ඇති අයිතිය පිලිබඳව ඇය හා දිගින් දිගටම හබ කරමිනි. අවසන, පක්ෂය ඔහුගේ දේහය දේශප්‍රේමීන්ගේ සුසාන භූමියේ මිහිදන් කිරීමටවත් අවසර දුන්නේ නැත.

මගේ ඤාති සහෝදරයකු වූ සැවරිනෝ එක් වසන්ත උදයක නුග ගසක ගෙල වැල ලා සියදිවි නසා ගත්තේ, එමග ගිය සංචාරකයකු කන්දේ එහා පැත්තේ වල දා ඇති නිධානයක් ගැන පැවසුවාට පසුවය.සැවරිනෝ, වගුරෙන් එපිටට වත් කිසිදා පා තබා තිබුණේ නැත.කුඩා දරුවකුව සිටි සන්දියේ ඔහු සතුටින් කල් ගත කළේ ඇලක් අසබඩ හෝරා ගණන් ගෙවමින් කඩදාසි ඔරු පා කරමිනි. ඔහු මේ හැමෙකක්ම ඇල පහලින් අතුරුදන් වනතුරු බලා උන්නේ ඊළඟ බෝට්ටුව පා කරන්නටය. වසර ගණනාවකට පසු, පතල්කරුවන් කඳුවැටියේ තද රිදී ඉල්ලමක් පාදා ගත් මොහොත වන තුරාමත් අර කී සැරිසරන්නා ගැන කවුරුවත් දෙඩුවේ නැත. එසමයේ පැවති චාරිත්‍රය අනුව යමින් නගරයේ ඇත්තෝ, පතල, සැවරිනෝ නමින් හැඳින්වූවෝය.

ඒ සමගම, මේ මෑතක උන් මගේ මුත්තා සොලමන් ගැනද මතක් වෙයි.මියාමි නුවර සරණාගතයකු ලෙස හුන් ඔහු ශිශිරයේ එක් ශීතල දවසක , ඇසිලියා මල් ගොමුව යටින් උමගක් හාරන්නට පටන් ගත්තේ කවදා හෝ දිනක හවානා නුවරින් මතු වන අපේක්ෂාවෙනි.

කලින් සඳහන් කල කතන්දර දෙක මට පරම්පරාවෙන් උරුම වූ ඒවා නිසා මට ඒවායේ සත්‍යතාවය පිළිබඳව සහතික විය නොහැක. අවසන් සිදුවීම මා දෑසින්ම දුටු නිසා , මට කියන්න ඇත්තේ සිහිනයක් හිසින් දරා ගත් ඇඟේ කමිසයක් වත්නැති මහළු මනුස්සයකුට සම කළ හැකි කිසිවක් නැති බවය. මගේ මුත්තා මේ සියල්ල මැනවින් සැලසුම් කළේය.එය ඇත්තය. ඔහු තර්ක විද්‍යාව හා විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව බුහුමන් දැක්වූ පුද්ගලයෙකි. හාරන්නට පටන් ගන්නටත් පෙර, ඔහු සටහන් පොත් විශාල සංඛ්‍යාවක පිටු පිරවූයේ, මේ කාරිය සඳහා දූවිලි සවල් කොපමණ අවශ්‍ය වේද, විවරය කොපමණ පළල් විය යුතුද හා අනෙක් පැත්තෙන් මතු වන්නට කොපමණ අවුරුදු සංඛ්‍යාවක් ගත වේද යනාදී කරුණු කාරණා වලින් ය.

මා ඒ වන විට අට හැවිරිදි වියේ වුවද, සමහර විටෙක පාසැල් ඇරී අවුදින්, ඔහුගේ මේ හෑරීම් කටයුතු වලට උදව් වූයෙමි. මගේ මුත්තාගේ මේ හෑරිල්ල අපේ ඉඩමේ කෙළවරට යාන්තමින් එත්ම, ඔහුගේ ව්‍යාපෘතිය හිටිඅඩියේ අතරමඟ නතර විය. පෙනෙන්නට තිබූ කාරණය නම්, යාබද නිවසේ මහළු මනුස්සයා, සමූහ මිනී වලක් සේ පෙනී ගිය යමක් හාරන බව අසල්වැසියන් පොලිසියට පණිවිඩයක් දුන් බවය. මින් මතුවූ සංකීර්ණතාඑකලාසයක් කරන්නට දින කිහිපයක්ම ගත විය.එහෙත්, මගේ මුත්තා ඔහුගේ අභාග්‍යයෙන් කිසිදා ගොඩ ආයේ නැත. ඔහු දැඩි ශෝකයක් තුලට ගිලී ගිය අතර, ගණන් හිලව් පිළිබඳ ලැදියාවක් දැක්වූ මගේ පියා, ඔහුගේ ගණන් මිමි අතර අත් වැරැද්දක් පෙන්වා දුන්නද එම තත්වය සමහන් වූයේ නැත. මපියාගේ ගණන් මිමි අනුව හවානා නුවර තෙක් උමග හාරන්නට වසර 16,742 ක් ගත වෙයි.

එනමුත්, මෙකී මානසික විප්‍රකාර අතර, බෙහෙවින්ම ශෝකී නෛපුණ්‍යය විදහා පෑයේ, මගේ මවගේ නෑදෑකම මත, පියගේ තුන්වැනි ඤාති සොහොයුරකු වූ මතියාස් පැද්‍රොන් ය. මේ පවුල් සබඳතාවය ඒ හැටි ශක්තිමත් එකක් නුවූ බව ඇත්තකි. එහෙත්, මතියාස් අපේ එකෙකුය යන කරුණ කෙරේ මා තුල කිසියම් සාඩම්බරයක් ඇත. මක්නිසාදයත්, ඔහුගේ කතාව, කියුබාව නම් දිවයිනේ පුරා වෘත්තයට ඇතුලත් ව තිබෙන නිසාය. ඔහුගේ කතාව, අපේ කතාව ය.

කතාවට කියන්නේ මතියාස් ඒ හැටි ඇඟපත තිබූ අයෙකු නොවූ බවය. මගේ පිය පාර්ශ්වයේ බොහොමයක් පිරිමි සම්බන්ධයෙන් මේ වූ කලී සත්‍යයකි.  එහෙත්, උස ප්‍රමාණයේ අඩුව, හරහට පිම්බීමෙන් මඟ හරවා ගන්නට යත්න දරනා සෙසු අය මෙන් නොව, මතියාස් සමස්තයක් ලෙස කෙංචි අයකු විය. ඔහු, සිය බිරියටද වඩා කුඩා, සිහින් පුද්ගලයකු විය.බිරිය, තමන් ලද මේ වාසිය, ස්වභාවයෙන්ම කුලෑටි, ඒ හැටි හඬ නගා කතා නොකරන අයකු වූ මතියාස් අවනත කර ගැන්මට අනිසි ලෙස භාවිතා කළ බව, හැමෝම දැන සිටි සං සිද්ධියක් විය. මතියාස් මේ පිලිබඳව වද වූයේ නැත. ඔහු එය විහිළුවෙන්ම බාර ගත්තේ, මිනිසකුගේ පෞරුෂය මැනෙන්නේ පොළොවේ සිට හිස තෙක් ඇති උස අනුව නොව, හිස හා දෙවියන් අතර ඇති දුර මත යැයි තමන් අස්ස තිබි ඉපැරණි පිරුළක් ද පුනරුච්ඡාරණය කරමිනි. ඒ හැටි හිතා නොබලන ඇත්තෝ, මෙයද දුර්වලතාවයක් හැටියට සැළකූහ. එහෙත්, මතියාස් තමා මේ කතා කරන්නේ කුමක්දැයි මැනවින් දැන උන්නේය.

තමාට වයස දහ අට සම්පූර්ණ වූ දා සිට මතියාස්, සන්තියාගෝ දේ කියුබා නගරයේ තැපැල් කාර්‍යාලය පවත් වා ගෙන ගියේය. වයස හතළිහ වතම ඔහු, එල් එන්කැන්ටෝවේ නත්තල් දීමනා පොත් පිංච විසි දෙකක් හා පෙම් හසුන් සිය ගණනක්ද කියවා තිබුණේ ය. මේ අතර බොහොමයක්, අඹු සැමියන්ගේ සෙනෙහෙ කොල නොවීය. එහෙත්, ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් භාවිතා කෙරුණේද, ඔහු  සියල්ල ගත් කළ බෙහෙවින් ආසා කළේද කාලගුණ අනවැකි පවසන්නටය.  මෙසමයේ, ප්‍රාදේශීය විදුලි පණිවිඩ කාර්‍යාලයේ කරණා කටයුතු ඉටු කළේද තැපැල් ස්ථානාධිපතිවරයා විසිනි. මෙහි අරුත වූයේ, තැපැල් මහතා, විදුලි සංදේශ නිලධාරියා වීමට අමතරව, කිසියම් ආකාරයක අවිධිමත් කාලගුණ විද්‍යාඤයකුගේ  භූමිකාවද ඉටු කල බවය. මක්නිසාදයත්, මේ කැරිබියන් කලාපයේ ටෙලිග්‍රාෆ් පණිවිඩය, මුහුදින් ඔබ්බේ කුනාටු පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීම් විධි ක්‍රමයක් ලෙස භාවිතා වූ බැවිනි. මේ වූ කලී හිටපු තැපැල් මහත්වරුන් විසින් බරපතල ලෙස සැළකිල්ලට ගන්නා ලද රාජකාරියකි. එහෙත්, ඒ කිසිවකුත්, මතියාස් විසින් විදහා පෑ ලාලසාව හා සමග ළං විය හැකි උද්‍යෝගයක් දැක් වූයේ

මතියාස් හා ඔහුගේ බිරිය දිවි ගෙව්වේ තැපැල් කාර්‍යාලයට ඉහළින් තිබි තැපැල් මහතා හා ඔහුගේ පවුලට පරිහරණය කරගනු වස් සම්ප්‍රදායක් ලෙස නගර සභාව විසින් බර පැන දරා නඩත්තු කළ නිවසකය.දෙමහල් සුවිසල් නිවසක් වූ එහි හතර පැත්තටම විහිදුනු සඳළු තලයක් විය. එහෙත්, මතියාස් හා ඔහුගේ බිරියට දරුවන් නොසිටියෙන්, නිවස පැවැත්තේ අඳුරු හා පාවිච්චි නොකළ තත්වයකය. මතියාස් කුඩා කාර්‍යාලයක් පවත්වා ගෙන ගියේ මෙබඳු එක් වැසූ කුටියකය. අනෙක් අයවළුන්ගේ ලිපි කියවමින් හා ලොව හතර අත අළුත්ම තොරතුරු පිලිබඳ විදුලි පණිවිඩ බාර ගනිමින්, පහත මාලයේ තැපැල් කාර්‍යාලයේ නොසිටි අවස්ථාවන්වල ඔහු උන්නේ මේ කුඩා කුටියට වී කාලගුණ අනාවැකි පළ කරන්නට උත්සාහ දරමිනි. ඔහු බැරෝමීටර්, ආර්ද්‍රතාව මාපක සහ උෂ්නත්වමාන රැගත් තෙල් පීප්ප තරම් විශාල බැලුම් අහසට යැව්වේය.මේ සියල්ල, රැහැනකින් ගුවන් විදුලි යන්ත්‍රයකට සම්බන්ධ කර තිබි අතර, එමගින් කුඩා කුටියේ උන් මතියාස් හට දත්ත සන්නිවේදනය කෙරුණේය.

හැම සිකුරාදාවකම, ඔහු මේවායේ ප්‍රතිඵල තැපැල් කාර්‍යාලයේ ඉදිරිපස දොරෙහි අලවා ප්‍රසිද්ධ කළ අතර, ඊළඟ සතියේ කාලගුණය කෙබඳු එකක් වේද යන්න පිලිබඳව කෙටි ඇගයීමක්ද එහි විය. ඔහුට වැරදුනාට වඩා වැඩි වාර ගණනක් නිවැරදි වූ අතර, පොඩි පොඩි අඩුපාඩුකම් - උදාහරණයක් හැටියට  “ඊයේ වර්ෂාපතනය සෑහෙන්න අධික විය”(මේ වූ කලී තමන්ගේ මතකය හැර අන් කිසි උපකරණයක පිහිටක් නොමැතිව නගර වැසියනට දැනගත හැකි වූ කරුණකි.) නොතකා වුව, මිනිස්සු ඔහුගේ අනාවැකි විශ්වාස කරන්නට පුරුදු වූවෝය.

මේ කාල සීමාව තුළ කියුබාව වත් පොහොසත් කමින් ආඪ්‍ය වූ අතර, ඒ සමග සන්තියාගෝ නුවරද, නගරය හා සමග මතියාස්ද ආඪ්‍ය විය. සාගින්නේ මතකය වියැකුණු අතර, ළමෝ තරබාරු වන්නට ගත් හ.ඒ සමග, මතියාස් මැදි වියට එළඹුනේ සෞඛ්‍ය සම්පන්නවය.ගත වූ දශකය තුළ කියුබාවට එල්ල වූ සැඩ කුණාටු පවා වියැකී ගිය අතර, හැමකකුම පාහේ තෘප්තිමත්ව හා සැනසිල්ලේ දිවි ගෙවුවෝය. හරියට, ලෝකයට බලපානා අනිටු ප්‍රතිවිපාක අවසන කියුබාව හැරපියා ගියා සේය.

මතියාස් හැම සවස් යාමයකම සිය කාර්‍යාලයට පිවිසීම දිගටම කර ගෙන ගිය අතර, හැම සිකුරාදාවකම ඊළඟ සතියේ කාලගුණ අන්නවැකිය සමග එළි පහළියට ආයේය. කිව්වත් වාගේ ඔහු බැලුන් අහසට යවීම දිගටම කර ගන ගිය අතර, ඒ හැමෙකක්ම කලින් යැවූ බැලුනයට වඩා විච්චූරණ සහගත විය. කාළගුනය, හැමවිටම කදිම නොවුවද අනාවැකි පළ කළ හැකි මට්ටමක තිබුණේ ය.හැම කෙනෙකුම පාහේ කල් නොයවාම වටහා ගත්තේ, වැස්ස අගෝස්තු මාසයේ එළඹෙන බවය; බරපතලම අකුණු අත් දකින්නට වන්නේ සවස් යාමයේ අවසන් භාගයේ දී බවය; ඒ හිරු අහසේ අස්තංගත වද්දී ය; ඔක්තෝබරය වන විට, අහස පැහැදිලිව, නිල්වන් දවස් එළඹෙනු ඇත. මතියා ප්‍රකාෂ කලත් නැතත්, ශීත ඍතුව සාමාන්‍යයෙන් වියළි හා ප්‍රසන්න විය.

සමහර රාත්‍රියක, සක්මනෙහි යෙදෙන යුවළකට, තැපැල් කාර්‍යාලයට ඉහළින් අඳුරු සේයාවක් දක්නට හැකි විය. ඒ සඳළු තලයේ ගරාදි වැටට බර දී, අහස දෙස නෙත් යොමනා මතියාස් විය.ඒ හැර සෙසු අය මතියාස් ට හෝ ඔහුගේ අනාවැකි වලට ඒ හැටි අවධානයක් නොදුන්නෝය. ඔවුහු සතියකට වරක් මතියාස් හමු වූහ; ඔහු ඔවුන්ට තම තමන්ගේ ලියුම් භාර දෙද්දී අතැඟිලි එකිනෙක ගැටුනේය; එපමණකි. තවදුරටත් වද විය යුතු යමක් නොතිබුනා සේය.

+++++++++++++++++++++++

ඉතිහාසය එකට මුණ ගැසෙනා තැන් වල, කාලයත් සමග මතු වෙනා වක්කලම් ඇත. මෙබඳු ප්‍රවාහයකට ගොදුරු වන අයට, තමන්ට තනිව ක්‍රියාත්මක වන්නට අසීරු බව හදිසියේම වැටහෙයි. බගෙදා, මතියාස්ට සිදු වූයේ මේ අබග්ගය ය. සමහර විට, ඉන්පසු එළඹි සිදුවීම්, ඉතිහාසයේ නියතය විය යුතු ය. මට මෙවන් ප්‍රකාශ කරන්නට සිදු වන්නේ සිදු වන්නට නියමිත දේ ගැන හේතු පැහැදිළි කිරීමක් නැති බැවිනි. අර කී පවුල් සබඳතා හැර, මතියාස්ගේ චරිතයේ ඔල්මාදයක් හැඟවිය හැකි කිසිදු අනුමානයක් නොවීය. පසු කාලීනව මතු වූ වාර්තාවන්හි වුව, කළකිරීමක ඉතිහාසයක් නොවීය. මේ සිද්ධියට පෙර දින කිහිපය, මතියාස් හදිසි මානසික අවපාතයකට පත් වීයැයි කිසිදු සාධකයක් ගෙන හැර පෑයේ නැත.මෙයට අමතරව, කාලගුණය කිසිදු හැල හැප්පීමකින් තොරව, ප්‍රසන්න ලෙස පැවති අතර, මතියාස්ම නිරීක්ෂණය කළ පරිදි, වසන්තයට අසාමාන්‍ය ලෙස ප්‍රභාමත් දින ගණන් සුලභ විය.

එසේ තිබියදී වුව, සත්‍යය මෙපරිදිය: එක් උදෑසනක, මතියාස් කොන්සියුලෝ පෙරෙස්ට ලියුම් මිටියක් බාර දෙමින් උන්නේ ය.  ඊළඟ මොහොතේ ඔහු සන්තියාගෝ නගරයට ඉහළින් පාවෙමින් උන්නේ ය. ඔහු වාඩි ගෙන හුන් කාර්‍යාල පුටුව, ඔහුද සමගින්, යෝධ බැලුන් හතරක් යටින් එල්ලෙමින් තිබුණේ ය.

සෙසු පටු කැරිබියන් කලාපය සමග විදුලි පණිවිඩ මගින් සම්බන්ධ වූමුල්ම කියුබානු නගරය සන්තියාගෝව විය. යුද සමයේ නිරීක්ෂණ බැලුම් භාවිතයෙහි ලා පුරෝගාමිත්වය දැරුවේද සන්තියාගෝව ය.ටෙලිග්‍රාෆ් සේවය, කියුබාව ලෝකය හා සම්බන්ධ කළත්, අවසන වටහ ගත්තේ තනිව නැගී සිටිය නොහැකි බවය. එහි සෞභාග්‍යය හා සෞඛ්‍යය, ඉතිහාසය හා භූගෝලයට සදාතනිකව ඈඳා තිබුණේ ය. මතියාස්ට මේ බව හැගුණේද? ඔහු, මෙකියනා අවසන් කාල සීමාවේදී විවිධ අදහස් එකිනෙක සම්බන්ධ කර ලීමේ පුරුද්දක් වර්ධනය කර ගෙන තිබුණි. ඒ, සිදු විය නොහැකි දේ පවා පාලනය කරනා, විශ්වය තුළ රජයන නෛසර්ගික නියාමයක් පවතින බව වටහා ගන්නා තුරා ය.අවසන, ඔහුගේ මනස බැම්මෙන් මිදුනු විට, එය පියාසර කළේ කොයිබට ද?

මතියා නික්ම ගිය බව මුලින් ම වටහා ගත්තේ ඔහුගේ බිරිය ය.ඇය නිරීක්ෂණ මැදිරියට දුව ගොස්, ඔහු පොල් රුප්පාව උඩින් මෑත් වනු දුටු මොහොතේ, මුර ගාන්නට පටන් ගත්තාය. “ අහංකාර පිස්සා. පියාඹන තකතිරුවා” ඇගේ ගෝරනාඩුව, තවත් අය කැඳවා ලූ අතර, ඔවුන්ගේ කචබචය තව තවත් පිරිස් එක් රැස් කර ලීය. මඳ වේලාවකින්, මුළු නගරයම අහසට ඇඟිලි දිගු කරමින් හුන්නේ විටෙක ඉහළට නැගෙමින්ද, තවත් විටෙක අහසේ එල්ලී සිටිමින්ද, තුරු වියනට යාන්තමින් උඩින් පැත්තෙන් පැත්තට පැද්දෙමින්ද, හැම තත්පරයක්ම පාසා ඈතින් ඈතට කුඩා වෙමින්ද පාවෙන මතියාස් දෙස ය. පිරිමි ටික දෙනෙක් ඔහු යන මග ඔස්සේ යන්නට පටන් ගෙන, තමන් මතියාස්ගේ පියාසැරියට හරි කෙළින් පහළින් සිටි මොහොතේ, ගෞරවනීය කියුබානු සම්ප්‍රදායට අනුව ඔහුට උපදෙස් හඬ ගෑවෝය. “ එක බැලුමක් කපල දාන්න. දැන් පනින්න. ගස් වල අතු වලින් පිම්මේ වේගය බාල වෙයි.වගුරට ඉහළින් යද්දී, හීලියම් ටික බොහොම හෙමින් මුදා හරින්න”.  මතියාස් පෙරලා නොඑන බව සහසුද්දෙන්ම දැනගත් පසුව වුව, ඔව්හු දිගටම දුවන්නටද, ඔහුට කෑමොර දෙන්නටද වූවෝය. එක් හාදයෙක් පැවසුවේ, හඳුනා ගත නොහැකි තරම් කුඩා වූ කළ, මතියාස් පහළ උන් අය දෙස බැළුම් හෙළූ බවත්, ඔහුගේ මුහුණත, පුළුල්, ප්‍රසන්න හිනාවක් වූ බවත් ය. ඔහු, සාන්තුවරයකු හෝ දිවි පුද දුන් විරුවකුගේ බඳු විලාසයක් දැරී යයි මේ හාදයා කීය. ඉදින්, දින කිහිපයක් ගත වන තුරාමත් මේ හාදයාට සන්තියාගෝ නුවරින් සදහටම පාවී යද්දී මතියාස්ගේ මුහුණේ දිස්වූ නිසල, ප්‍රීතිමත් බැල්ම හැර, අන් යමක් ගැන දෙඩිය නොහැකි විය.

තමන් මේ යන්නේ කොයිබකදැයි මතියාස් දැන හුන් බව පෙනෙන්නට තිබුණේ ය.මේ සා වසර ගණනාවක් මුළුල්ලේ කළ සුළං රටාවන් පිළිබඳ අධ්‍යයනය, ඔහුට ගුවන් නැවියකුගේ ආත්ම විශ්වාසය ගෙන දී තිබිණ. එය, සුළං නැගෙනහිර සිට බටහිරට හමනා අප්‍රේල් මාසය විය. හෝරාවක් ගත වන්නට පෙර, ඔහු මුහුදට ඉහළින් තිබි කුඩා තිතක් පමණක් වූ අතර, ඉන්පසු මීදුම අතරින් ඡායාව වත් හඳුනාගත නොහැකි විය. මඳ වේලාවකට පසු, බොහොමයක් මිනිස්සු, මතියාස් සොයා අහස පීරා බැලීම හමාර කොට,පෙරළා නිවෙස් බලා පිය නැඟුවෝය. ටික දෙනෙක් තැපැල් කාර්‍යාලය පිටත, නිහඬව රැස් වූහ. ගෙතුල දොරගුළු ලා ගත් මැටිල්ඩේ, දෙසතියකට පසු, ආණ්ඩුකාරයා වාර්තාවක් ලබා ගැනීමට එන තුරු පිටතට ආයේ නැත. පොලිසිය, දින කිහිපයකට පසු පැමිණියේ මතියාස්ගේ ලිපි ගොනු රැගෙන යාමට ය. ඔවු, තේරුම් ගත නොහැකි රූ සටහන් හා වීජ ගණිත ගණනයන් අඩංගු සටහන් පොත් සිය දහස් ගණනක් පටවා ගෙන ගියෝ ය. ඔහු සතු වූ කුහුල දනවන සුළු බඩු බාහිරාදිය අතර, පුළුන් පිරවූ බකමුහුණෙක් හා පෝමලීන් බෝතලයක් තුළ සුරක්ෂිත කියුබානු ටර්න් පක්ෂියෙක්ද විය.

අද පවා, දුරවබෝධ හාදයකු පිලිබඳව කියුබානුවෝ මෙසේ පවසති. “ එයා මතියාස් පද්‍රොන් වගේම අතුරුදහන් උනා”

++++++++++++++++++++++++++

මම ඉඳහිට මතියාස් පිලිබඳ සිතන්නෙමි. මම ද සංචාරකයෙක් මි.           මෙසමයේ, මගේ පාවහන් ගලවා යළි පැළඳ ගන්නා විට, වැහුම් අරින ලද ලැප් ටොප් පරිගණකය ඉවත් කර ගන්න කල,මුදල් පසුම්බිය විවර කොට පිරික්සූ කල, ආරක්ෂිත කුටියෙන් ඔබ්බට සුරක්ෂිතව සපැමිණි කල, මා ආසා කරන්නේ කවුළු වලට ළං ව අසුන් ගෙන ගුවන් යානා නගිනු, බසිනු බලා හිඳීමය. ගුවන් තොටුපොල ගෘහ නිර්මාණ ශිල්පීන්, මෙවන් යෝධ කවුළු නිර්මාණය කිරීමෙහි ලා කෙතරම් පරිත්‍යාගශීලී වීද? ඒ, මෙතරම් පැහැදිලි හා සුපිරිසිදු ලෙසින් තබා ගන්නට නඩත්තු සේවකයන් කොපමණ අගනා අය විය යුතුද?

මම, ගුවන් තොටුපලේ මුදු, පහසු අසුනක වාඩි ගෙන, ගුවන් යානා බිමට පාත් වෙන අයුරුද පොළොවින් අහසට නැගෙනා අන්දමද බලා සිටින්නෙමි. මේ හැම වතාවකම, මට එය හැඟෙන්නේ ප්‍රාතිහාර්‍යයක් ලෙසිනි. විවිධ ඉසව් කරා යනෙනා ගුවන් යානා රාශියක්ම ඇති බැවින් එක් යානාවක් කෙරේ අවධානය යොමු කිරීම අසීරු ය. බොහෝ විට, ඒවායේ පියා සැරිය මගේ දෘෂ්ටි පථයෙන් ඔබ්බට විහිදෙයි. එහෙත්, ඉඳහිට, ගුවන් යානයක් අප හැම බලා සිටියදී කෙළින්ම අහසට නැඟී, අප අනන්තය යැයි පොදුවේ පවසන මුත්, ඇත්තෙන්න කිවහොත් අපේ ප්‍රත්‍යක්ෂයේ ඉම පමණක් වන ලක්ෂ්‍යයෙන් නොපෙනී යයි.

මම, එකී ගුවන් යානය, ශුන්‍යයක් වන තුරු බලා හිඳ, තව මොහොතකින් මමද එවැන්නක ගුවන් ගත වන බව වටහා ගන්නෙමි. ඉදින්, මම සිතිවිලි අතර කිමිදෙන්නෙමි. කඳුවැටියෙන් ඔබ්බේ ඇත්තේ කුමක්දැයි සිහින මැවීම කෙබන්දක් දැයි අප තවදුරටත් දන්නේද? යමෙක්, අමතකව යාමේ මුදුන පසු කර යන්නේ කුමන ලක්ෂ්‍යයකදීද? මා, මතියාස් ගැන- එහා පැත්තේ සුදු පැහැයෙන් දිලෙන නගරය ගැන, නෙතග බැල්මක් මිස අන් යමක් නැති මේ දසුන දකින්නට අවකාශය තරණය කළ- මතියාස් ගැන- සිතන්නේ ඒ නිමේෂයේ දී ය.

සනෙම් නීන්ඩා 1974 දී උපන්නේ මියාමි නුවර දී ය. ඇයගේ මව, ඔටෝමන් අධිරාජ්‍යයේ කඩා වැටීමත් සමග අයර්ලන්තය හරහා පළා ආ ලෙබනන් ජාතික කතක් වූවා ය. ඇය සිය පියාගේ පාර්ශ්වයෙන් ජොනි ඇල්ඩෝ නම් ගායකයාට ඤාතිත්වයක් දක්වන්නීය.

Top