" ඔහේ හිටු වඳුරු තඩියා.."
වරක ගහේ දවස් කීපෙක ඉඳල සුවඳට සුවඳේ පැහිල තිබුන වරක ගෙඩිය තැරි ගහන වඳුරු තඩිය දැකපු බේබි ආච්චිට අහ අහ හිටිය බණ ටිකයි දණිස් අමාරුවයි දෙකම එක වංගියටම අමතක වෙලා ගියා. අතට අහුවෙච්චි ගල් කැට වලින් අහුරක් අරන් පුළුවන් තරම් වේගෙන් දමලා ගැහුවට මොකෝ ගල් සේරෝම වගේ වැටුනේ රත් කෙහෙල් පඳුරු ගොන්නට. කෙහෙල් කොළවලට ගල් වැටෙන "පොහ්" සද්දෙට පොඩියක් එහෙට්ට උනාට වඳුරු තඩියා දැන් නම් කීයටවත් වරක ගෙඩිය අත නාරින බව තේරුන් ගත්ත බේබි ආච්චි ගහ යටින් මෑත් උනේ වඳුරු තඩියා සෙල්ලක්කාරයා වග දන්නා නිසයි..
දවස් කීපයක් තිස්සේ සුවඳ ගගහ තිබ්බ වරක ගෙඩිය කාටවත්ම කඩන්ට ඉඩනොදුන්නේ අර්නොලිස් ගේ දානේ දොහේ කැඩුවොත් හොඳ වරක පළුවක් පන්සලේ පොඩි හාන්දුරුවන්ටත් ගෙනියන්ට ඇහැකි නිසා. ඒ උනත් දැන් ඉතිං ඒ ආසාව කොහොම ඉස්ට කරගන්නදැයි හිත හිතා විස්සෝප වේවි ගෙට ගිය බේබි ආච්චි රේඩියෝ කබල වහල දැම්මේ අහන් හිටපු බණත් එපා වෙච්ච නිසා....
අර්නොලිස් මැරිලත් දැන් අවුරුදු දහයකට කිට්ටු වෙන්ට එනවා. කොළ අත්සන්, ආණ්ඩු රාජකාරි මොකුත් නැතුව බේබි නෝනව ගෙදර කැන්දාගෙන ආපු අර්නොලිස් අප්පු හාමි දරුවෝ තුන් දෙනෙක්ගේම අපුච්චා වෙද්දී වැඩ කොලේ ටවුමේ සමූපකාරේ.. ජීවිතෙන් බාගයක්ම උදේ හවා රැලේ බයිසිකලේ ගමෙන් ටවුමටයි ටවුමෙන් ගමටයි පාගපු එකයි.. සමූපෙ බඩු මුර කොරපු එකයි ඇරෙන්ට වෙන දේකට උන්දැ කොලා නම් ඒ දරුවෝ තුන් දෙනයි බේබි නෝනයි දිහා බලල හිත ඇතුළෙන් සන්තෝස වෙච්චි එක විතරයි..
නැටුම් තෙල් කටේ තොලේ නොගාපු, බීඩියක් නොබිපු අර්නොලිස් අප්පුහාමිට ගමේ ඇත්තෝ කීවේ ආරි ආතා කියල. ඇඟ පත හයිහත්තිය තියෙන කාලේ ආරි මාමා, කෙස් ගස් ඉදිලා කොන්දෙන් පාත් වෙද්දී ආරි ආතා උනා. ඒ උන්දැ මැරෙද්දි ඉතුරු වෙලා තිබ්බේ උන්දැගේ අප්පගෙන් ලැබිච්ච ඉඩමේ සරුවට වැවුණු ගහ කොලයි වත්ත මැද්දේ තිබුන ගේ කෑල්ලයි විතරයි. ඒකත් දැන් ගේ කෑල්ලට වඩා පැල් කොටයක් ගානයි.
ඇහේ මූනේ තියාන හදාපු වදාපු දරුවොත් දීග ගිහින් වෙන දිහස් වල ඉන්නා නිසා වැඩිමනත් අම්මා අපුච්චා දිහා බලන්ට උනේ නෑ. අර්නොලිස් මැරුනේ දරුවො නිසා හිතේ දුකින්ය කියාලත්, ඒ හන්දා හොඳ ආත්මෙක නොඉපදී තාමත් එහෙ මෙහෙ හක්කලන් කරනවාය කියාලයි බේබි ආච්චිගේ හිතුවා..
බාල පුතණ්ඩියා සිරිසෝම නම් වරද්දන්නෙම නැතුන් මාසෙකට දවසක් ගෙදර එන්නේ අම්මා බලන්ටත් වඩා අපුච්චගේ පිං පඩියෙන් කීයක් හරි ඉල්ලන් යටි මඩි ගහගන්ට තමා. උදේ හවස නැටුම් තෙල් බොන සිරිසෝම බදාම අනන්ට වාගේම පිං පඩි දවසට අම්මට කනිපින්දම් කියාලා බොරු බේගල් ඇද බාලා පිං පඩියෙන් බාගෙටත් වඩා ගලවා ගන්ටත් හරි හපනා... හාල් තුනපහ බූමිතෙල් ගන්ටයි බේත් ගන්න දිස්පැන්සරියට යන්ටයි කියාලා කීයක් වත් හැඹිලිය අස්සේ ගහගන්න බේබි නෝනා අනිත් සේරෝම පුතණ්ඩියාගේ මිල මෙලෙව්වට කුස්සියේ ලිප් ගල එහා හංගල තියෙන විස්කෝතු ටිං එකටත් කොළයක් දෙකක් උණ්ඩි කරලා හොරෙන් එබුවා. ඔය විස්කෝතු ටිං එකට දැන් අවුරුද්දක් තිස්සෙම බේබි ආච්චි පිං පඩියෙන් කීය කීය හරි කාටත් හොරා එක්කාසු කරන්නේ අවුරුදු ගානක්ම හිතේ බරි ගැහුණු එකම ආසාව ඉස්ට කරගන්ට..
අර්නොලිස් මතක් කොරලා ගමේ පන්සලට ඇහැකි ඉහල ආකාරෙන්ම දානයක් පිරිනමන්ට කාලයක් තිස්සේ බේබි ආච්චි පෙරුම් පිරුවේ හිතේ වැක්කෙරෙන සර්දාවෙන්. ඒ උනත් හිතේ හැටියටම දානේ වේලක් පිරිනමන්ට ඕනෑ කරන කළමනා ගන්ට කිසිම දවසක ඇහැකි නොවුනේ සිරිසෝම නිසාමයි. මේ වග ඉඳහිට යන එන අනිත් දරුවෝ දෙන්නාටත් කීවට මොකෝ, ආපු දාට ගහක ගෙඩි ටික දල්ලේ හිටම හූරන් යන්ට උන්ට තිබ්බ උනන්දුව අපුච්චගේ දානේ ගැන නම් තිබ්බේ නැතුවා...
කියාලාම වැඩකට නොවුන තැන පිං පඩියෙන් කීයක්වත් එක්කාසු කරාල වත් දානේ දීගන්ටයි බේබි ආච්චි කල්පනා කොලේ.. අව්රුද්දක් විතර තිස්සෙම එක්කාසු කරලා යම් කිසි ගාණක් එකතු වෙලයි තිබුනේ. විස්කෝතු ටිං එක ඇරලා සල්ලි කොළ එකතු කරලා ගණන් බලන එක තමා බේබි ආච්චිගේ එකම සන්තෝසේ.. මාසෙන් මාසේ වැඩෙන ටිං එකේ සල්ලි කොළ අතගාපු හැමවාරේම ටිං පියන වහන්ට කලින් දෝත් මුදුන් දීලා සාදු කාරයක් දෙන්ටත් බේබි ආච්චි අමතක කලේ නෑ. ඒ සාදු කාරය අඩු සද්දෙන් දෙන්ටත් උන්ද අමතක නොකොලේ වටේ පිටේ උන්ට ඇහිලා එබුනොත් ටිං එකත් එක්කම සල්ලි කොළ පෙළහර පාලා අතුරුදහන් වේය කියාලයි..
ඕන්න ඉතින් ඔහොම ගිහින් පහුනු දොහක ටිං එකේ සල්ලි කොළ ගණන් බලාපු බේබි ආච්චි තීරණේ කළා ළඟ එන පෝයට දානේ දෙන්ට ඕන කියාලා. මාසේ පෝය එන්නෙත් පිං පඩියෙන් පස්සෙන් පහු නිසා වැඩිපුර කීයක් හරිත් දමාල ජය පහටම දානේ දෙන්ට ඕනි කියල තීරණය කොරාපු තැන ඉඳන් බේබි ආච්චි හීන රාසියක් දැක්කේ දානේ ගැනමයි. තමුන් මියැදෙන්න කලින් හිතේ සර්දාවෙන් මෙහෙව් දානයක් දීලා පන්සලේ ලොකු හාන්දුරුවන්ට කියල අර්නොලිස් මතක් කොරල හොඳට පිං පමුනුවන්නයි බේබි ආච්චිගේ ආසාව.. එතකොටවත් අර්නොලිස් හොඳ ආත්මෙක උපදිවී කියල ඈ හිතුව.
ලොකු හාන්දුරුවෝ මස් මාළු කන එක ගැන එච්චරෝම පැහැදීමක් බේබි ආච්චිට තිබුනෙ නැ. කන්දේ පන්සලේ හාන්දුරුවරු බණ බාවනා කරන සිල්වත් හාන්දුරුවෝ නිසා දානේ එහෙට පිරිනැමුවොත් වැඩියෙන් පිං ලැබෙයි කියල දෙතුන් ගමනක් හිතුනත් ඒ වග ගමේ පන්සලේ ලොකු හාන්දුරුවන්ට ආරංචි උනොත් හතර පොහොයටම අටසිල් ගන්නා පන්සලේ ලොකුම දායිකාවක් වසයෙන් හිත නොහොඳ කරනා එක පවු හන්දා දානේ ලොකු හාන්දුරුවන්ට ඕනෑ හැටියටම දෙන්ට තමයි හිතුවේ..
ඕන්න ඔය දානේ දවසට පන්සලේ පොඩි හාන්දුරුවන්ට කන්ට අරන් යන්ට ගහේම තියා තියපු වරකා ගෙඩිය තමා වඳුරු තඩියා ටිකකට කලින් තැරි ගහල දැම්මේ.. බේබි ආච්චි පිලේ ඉඳන් කල්පනා කලේ ඒක ගැන.. හැබැයි අල්ලපු ගෙදර යසෝගේ කොල්ල නම් කිවුවේ අයිස් කිරිං පෙට්ටියක් අරන් යමු කියල. පිං පඩි ගන්ට ටවුමට ගියදාක යසෝගේ කොල්ලා කාපු අයිස් කිරීම උගේ බලේටම රස බලන්ට කොනකින් චුට්ටක් ලොවලා බැලුව දවස බේබි ආච්චිට මතක් වුනා. කටටම තිබ්බ දත් දෙක තුනත් හිරි වැටුනට මොකෝ ඒකේ රහ නම් හාමුදුරුවෝ කියන දිවිය ලෝකේ අමුර්තේ තරම් රසයි කියලමයි බේබි ආච්චිටත් හිතුනේ.. අවුරුදුම හැත්තෑ පහකට විතර කිට්ටු කරාල හිටි ආච්චිටත් ඒ රසට එදා නම් හිතුන තමා මේවා දානෙට පූජා කරන්ට තිබුන නම් කොයි තරමක් නම් පිං ද කියාලා
දානේට ඕනෑ කරන අඩුම කුඩුම ගේන්ට තනියම යන්ට බැරි නිසා එකට යමුයි කියල යසෝට බේබි ආච්චි දැනුම් දුන්නේ මීට මාස දෙක තුනකටත් කලියෙන්මයි. ඕනෑම දුකකට සැපතකට තමුන් වෙනුවෙන් දුවන් එන යසෝයි යසෝගේ මිනිහා ධර්මෙයි තමයි බේබි ආච්චිට ලඟම හිටි එකම නෑයෝ. දානෙට උයන වෑංජන කලින්ම හිතන් හිටපු බේබි ආච්චි ඒක ගැන යසෝ එක්ක නිතර නිතර කතා බස් කලේ ඒවා අමතක වෙලා යයි කියාලා බයෙන් වගේ.. බේබි ආච්චි දානේ ගැන නිතර කොරාපු කතා වෙලාවකට කන්දොස්කිරියාවක් වගේ උනත් කරන්ට දේකුත් නැතුව ඔහේ ගෙදරටම වෙලා ඉන්න බේබි ආච්චිට ඔන්නොහෙ කියවන්ට ඉඩ දෙන්නයි කියල ධර්මේ යසෝට කිව්වේ හිනාවෙවී. වැංජන ගැන කතා කරද්දී මාළු ඇඹුල් තියලකුත් තියමු කියාලා යසෝ කියාපු වෙලාවේ නම් බේබි ආච්චිට කම්මුලට අත ගොහින් "අපොයි පවු" කියවුනේ ඉබේමයි. මාළුත් කන හාන්දුරුවෝ ඉන්නවාදැයි ඇහුවාම "දැන් කොයි හාන්දුරුවොත් එහෙම තමා" කියාලා ධර්මේ කියාපු නිසා මාළු උයන පව, දානේ දුන්නම ඇරෙයි කියල හිතන් බේබි ආච්චි ඒකට කැමති උනා... ලොකු හාන්දුරුවන්ටත් දානේ ගැන කිහිපවිටක්ම මතක් කොලත් පෝය කිට්ටු කරල ආයෙත් වාරයක් මතක් කරලා එන වැඩෙත් ධර්මෙට පැවරුණා..
ඔහොම ගොහින් පිං පඩි දවසත් ආපි.. උදෙන්ම යසොගේ කොලුත් ඇන්න පිං පඩි ගන්ට ගිය බේබි ආච්චි ඒ එන ගමන්ම මාරකැට්ටුවෙන් හොඳ හාලුත් ඇන්නම ආවා. ඉතුරු බිතුරු ටික යසෝ එක්ක ගොහින් ගන්ට බැරුවය..
සිරිසෝමත් අතපසුවක් නැතුවම වැනි වැනි ගෙට ගොඩ උනේ බේබි ආච්චි පිලේ මහන්සි අරිද්දි.. දැක්ක හැටියේම කලබලේ හැඹිලිය ඇදපු බේබි ආච්චි සිරිසෝමගේ ගතමනාව අත මිට මෙලෙවුවේ " මාත් දැන් නාන්ට යන්ට ඕනෑ. උඹ එහෙනම් මේකත් අරන් පිටවෙයන්කෝ.." කියාලයි. කනිපින්දම් කියන්ට කලියෙන්ම කවදාවත් නැතුන් සල්ලි දීපු එක ගැන පොඩි කොස්සක් ඇති උන නිසා සිරිසෝම යන්ට හදිස්සි උනේ නෑ. වෙනදාට ආඩපාලි දාහක් දෙදාහක් ඉතර කියලම කීයක් හරි දෙන එක අද අමුත්තක්..! කොහොමින් කොහොම හරිම සිරිසෝම වැට පනිනකල් හිටි බේබි ආච්චි ගොහින් කළෙන් වතුර කෝප්පෙකුත් නවන් බීල විස්කෝතු ටිං එකට චීත්ත පොටේ හංගන් හිටි සල්ලි කොළ දෙක දාල වහල තිබ්බ තැනින් තියාලා යසෝ හොයන් ගියේ ඉතිරි කටයුතු කතා කොරගන්න ඕනැයි කියල.. සේරම ගලපාගෙන බේබි ආච්චි ආයෙත් ගෙට ගොඩ උනේ හෙන්දිරික්කා හිනාවෙද්දීන්..
ඕන් ඉතින් පහුවදා උදහනැක්කෙම නා කියා ගෙන පේ වෙලා ලක ලෑස්ති උණු බේබි ආච්චි කුස්සියට ගියේ විස්කෝතු ටිං ඒකෙන් සල්ලි ටික ගන්ට හිතාගෙන.. තියෙන තැන අත පත ගාපු බේබි ආච්චි සුදු සීනි පොල් කොහු වාගේ තිබ්බ කෙස් ඇදගන්ට පටන් ගත්තා..
හිනා බේරෙන මූණෙන් එන බේබි ආච්චියෙක් එනකල් බලන් හිටපු යසෝ දැක්කේ ලෙහෙන චීත්තෙ ගැට ගහ ගහ කෙස්ස කඩාගෙන අමාරුවෙන් දනි පනි ගාගෙන දුවගෙන එන බේබි ආච්චියෙකුව..ඒක දැකපු ධර්මේත් මිදුලට පැන්නා.. මොනවත් අහන්ට කලියෙන්ම යසෝගේ අත් දෙක උඩ පත බෑවුන ආච්චිව දෙන්නත් එක්ක වත්තන් කරගෙන ගෙට ගියේ කොලුවට වතුර ටිකක් ඇන්න එන්ට කියාගෙන...
මූණට වතුර ඉහාලා වතුර ඩිංගක් පොවාල පවන් ගහලා ගත්තට පස්සේ බේබි ආච්චි පණ ගහල ආවා. ඒ ආවත් හරි යමක් අහගන්ට විදිහක් උනේ නෑ බේබි ආච්චි වැළහින්න වාගේ විලාප තියන් වැළපෙන්ට පටන් ගත්තා නෙවද.. යසෝ කට බලියන් සැරෙන් සැරේ ධර්මේගේ මූණයි බේබි ආචිචිගේ මූණයි බලනවා වෙච්ච සන්තෑසිය අහගන්ට ඉස්පාසු නැතුව. ධර්මේ ඉස වනනවා ආච්චිට ඔහොම පොඩියක් ඉන්ට අරින්නෙයි කියාලා. ඔහොම ගොහින් උර ඉස් දෙක ඉතරක් ගැස්සෙන තරමකට ආවම යසෝ ඇහුව "මොක ආච්චියෙ උනේ..?" කියාලා..
" අනේ යසෝ.. උඹට කියන්ට අර.. අර මගේ ටිං එක?
"මොන ටිං එකදැයි?
" අනේ කෙල්ලේ උඹට නොකිව්වාට ආතාගේ දානෙට මං සල්ලි එක්කාසු කලා නෙව ටිං එකකට.. ඒක හංගාල තිබ්බේ ලිප් බොක්ක ගාව. ඊයේ හවහ සිරිසෝම ඇවිත් ඌටත් සල්ලි දීලා, යනකලුත් ඉඳල මං පිං පඩියෙන් ඒකට තව සල්ලි ටිකකුත් දාල වහල තියාල තමාගේ උඹලයි අහ ආවේ.. දවල් ඇවිදලා කොරල කකුල් කෙඩෙත්තුව නිසා ආයෙම ටිං කබල බලන්ට ගියේ නෑ ඇඳට වෙලා හිටිය මිස. උඹලයි ගෙදරින් පාන් කෑල්ලක් හවහ කෑව නිසා බඩගින්නක් තිබුනෙත් නෑ. පාන තියල පිරිත් අහන් ඉද්දි ඇහැ පියවුනා.." බේබි ආච්චි හති ලෑව..
"ඉතින්?" යසෝට කුතුහලේ..
"ඉතින් කියන්නේ අද උදේ උඹ එක්ක ටවුන් යන්න කියාලා නාල කොරල ගිහින් බලද්දී..." බේබි ආච්චිගේ ඇස් වලින් කඳුළු උතුරනවා.. "ටිං එක එතන නෑ කෙල්ලේ..!!!"
"හෑ..!! දෙයිහාන්දුරුවනේ !!" මොකා ගත්තද බොල ඒක..? යසෝගේ ඇස් ලොඳ එළියට පැන්නහේ ලොකු වෙලා තිවුනා.
කට කොනින් හිනා ගිය ධර්මේ කිව්වේ වෙන කවුරුත් නොවේ සිරිසෝමම ඒක ගන්ට ඇති කියාල.. ඊයේ හවහ සිරිසෝම වැට අද්දර හොර ගල් ඇහුලූ එකත් කියාපු ධර්මේ වෙන කෙනෙක් ගන්ට විදියක් නැති වගත් ඔප්පු වෙන කරුණු කාරනා කියාදුන්නා.. සිරිසෝම හුරතල් කොරන්ට ගොහින් වෙච්ච අබග්ගෙට වැරදි වෙන කවුරුත් නොවෙන එකත් ඒකට වැරදිකාරි බේබි ආච්චිමත් තමා කියාලත් කිව්වා."ඕ සමහර විට ආච්චිගේ ටිං එක ඒකා දැක්ක වෙන්ටත් ඇති හොරාට.." යසෝත් එහෙම කීවා..
දරුවෝ තුන් දෙනා උස්මහත් කරන්ට තමනුත් සැමියත් ගත්ත වැර වීරියත් දීග ගියායින් පස්සේ පැත්ත නොබලන ලොකු වුන් දෙන්න ගැනත්.. සල්ලි ටික ගන්ට හරි මාසෙකට දොහක් තමන් බලන්ට එන පොඩි පුතාට තමන්ගේ ඇති ආදර කැක්කුමත්, දරුවෝ ගිහින් බලන්ට වාරු නැති නිසා පුතාව එහෙම හරි ගෙන්නා ගෙන බලන්ට හිතාන සල්ලි දුන් බවත් කඳුළු ගගහා බේබි ආච්චි කියද්දී දෙන්ට ඕනෑ කොයිවගේ උත්තරයක්ද නොදැන අර දෙන්නා දෙමහල්ලෝ කට පියන් හිටියා..
ඕන් ඉතින් අඬල ඉදිමුන මූණත් ඇන්න බේබි ආච්චි යසෝ එක්ක යනවා පහුදා උදේ වැංජන වලට ජාති හොයන්න. අච්චර ලොකු වත්තක් තියෙන එකේ උයන ජාති කඩෙන් ගන්ට ඕනෑ නැති වෙයි කියාලා ධර්මේ කියාපු නිසා දෙන්නත් එක්ක යනවා.. වටේම ගිහින් හොයාගත්ත ඒවා එක්ක දෙන්න එන ගමන් දානේ උයන හැටිත් කතා වුනා.. අඹ මාලුවයි, කොස් මැල්ලුමයි හදාලා එකටම මයියොක්කා තෙල් දැමුමකුත් තියාල කිරි හොද්දකුත් හදමුයි කියලයි කතා වුනේ.. ලොකු හාන්දුරුවන්ට ඕනෑ නිසා කොච්චි දමාල සැරට කරවල බැදුමකුත් හදමුයි කියද්දී නම් බේබි ආච්චි කට නොහොල්ලා ඔලුව විතරක් වැනුවේ පවු අඩුවෙයි කියාලද මන්දා.. ඔය එද්දී සරුවට වැවුන ගොටුකොල ගොන්න දැකපු යසෝ එකෙනුත් කඩා ගත්තේ ගොටුකොල සම්බෝලෙකුත් තියන්න බැරිය කියාලයි..
ඔය සේරගෙන්ම හොඳට දන් වේලක් උයාගත්තු බේබි ආච්චි සුදු පිරුවට ඇඳලා දන් කඳ ඔලුවේ තියාගෙන පහුවදා උදෙන්ම යසෝයි කොලුවයි ධර්මෙයි එක්ක පන්සලට පිටත් වුනා.. හිතේ හැටියටම මහප්පරානෙට දානේ දෙන්ට බැරුව ගිය එකනම් කොච්චරක් උනත් බේබි ආච්චිගේ හිතට හරි නෑ.. පිනුත් ටිකක් අඩුවෙන් ලැබෙයි වගේ එකක් තමා උන්දැට දැනුනේ.
එදා ඉතින් පන්සලට දන් ගෙනිහින්.. හාන්දුරුවෝ දන් වළඳලා අර්නොලිස්ටත් පිං දීල මහන්සියෙන් දන් වේලක් පිළියෙළ කරාන ආවට බේබි ආච්චිටත් පින් දුන්නට මොකද යහමින් දානේ දෙන්න බැරි වෙච්චි එකට බේබි ආච්චිගේ හිතේ බැඳුන කහට යාන්තමින් හරි යවාගන්ට ලොකු හාන්දුරුවන්ට පෝය කීපෙකදිම බේබි ආච්චිට පුත්ගලිකවම දර්මය දේසනා කරන්ට වෙච්ච විත්තියත් දැනගන්ට ලැබුනා