වසන්තය පමා වී හෝ එළඹෙනු ඇත... (720)

post-title

කිසිවක් පවසාගත නොහැකිව ඇගේ මුව ගොලු වී ඇත. දෙඇස් කදුලින් පිරී ගොසිනි. උගුරේ යමක් හිරවූ සෙයකි. ජීවිතයේ වඩාත්ම සතුටු විය යුතු දිනය වුවත් මහා පාලුවකින් අවිනිශ්චිත බවකින් සිත පෙලයි.

වාහනයේ කවුලුවට එපිටින් පෙනෙන මද්‍යහ්න හිරුගේ රශ්මිය දැඩිය. එකම අහසක එකම හිරු වුවද උදෑසන ඇත්තේ සෞම්‍යාලෝකයකි. ජීවිතයත් එහෙමය. දිනෙන් දින වයසින් පරිණත වන විට මදක් හෝ මානසිකවත් දැඩි බවක් පරිණත බවක් ජීවිතයට එක් වෙයි. මේ ගෙවෙන්නේ ඒ ජීවිතයේ මැදි පරිණත වයසයි. එනමුත් හදවත කැළඹී ඇත්තේ විසි වයස් යුවතියකගේ සේය.

තව සුලු මොහොතකින් සිය දිවියේ පළමු වරට උපන් රටින් පිටවන්නට යන උත්තරා සිය එකම සහෝදරයාගේ දෑත් අල්වා ගත්තාය.

"මල්ලි, බොහොම ස්තූතියි ඔයාට....මේ හැමදේටම..... හැමදාම සතුටින් ඉන්න..... මං පුලුවන් ඉක්මනින් ඇවිත් යන්න එන්නම්....."

දිනුක හතළිස් වියැති උත්තරාගේ එකම සහෝදරයා. ඇයට වඩා වසර දහයකින් පමණ ලාබාලය. උත්තරා විජේසූරිය යනු කමලා විජේසූරිය හා රාජිත බණ්ඩාර විජේසූරිය යන වංශවත් දෙමව්පියන්ගේ වැඩිමහල් දියණියයි.

ප්‍රංශය බලා පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් යානය මගීන් වෙනුවෙන් විවෘත බව ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ නිවේදනය විය. දිනුකගෙන් සමුගත් උත්තරා සතුටත් දුකක් අතර දෝලනය වන සිය හදවත දරාගෙන ගුවන්යානයේ අසුන් ගත්තාය.

අම්මා මිය ගොස් අදට සිව් මසකි. මෙතරම් ඉක්මනින් ජීවිතය වෙනස් වේයැයි සිහිනෙන්වත් නොසිතුවෙමි. විශ්ව විද්‍යාලයේ සිටින අවධියේදී අප්පච්චි හදිසියේම මිය යෑමත් සමඟ අම්මාත් මල්ලීත් සැම විටම සිය වගකීමක් යැයි සලකන්නට සිත පුරුදු වූ අයුරු උත්තරාට සිහියට නැගුණි. එකල මල්ලිට වයස අවුරුදු පහළොවක්වත් වී නැත. ආර්ථික ව ඉතා ස්ථාවර වුවත් තනි ගැහැනියකට දිවිය පහසු නැත.. අප්පච්චි සිටින විට වලව්වට පැමිණ හොඳ මුහුණ පෙන්වූ නෑදෑයින් දේපල තණ්හාවෙන් අම්මා සමඟ ගැටුම් ඇති කර ගත්හ. ඇතැමුන් උදව්වට යැයි පවසමින් අම්මා වටා ගැවසෙමින් ව්‍යාපාරය සහ මුදල් කොල්ලකෑමට උත්සහ කලහ. වෙලාවකට යහමින් මුදල් තිබීමත් හිරිහැරයකි. මුදල් සහ වංශය නොවුවා නම් අද මාද දරුවන් දෙතුන් දෙනෙකු සිටින ආදරබර සැමියෙකුගේ බිරිඳ වන්නේ නොවෙද. ගෙවී ගිය කාලය නම් ඇද්දවිය නොහැක.

ගමේ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ප්‍රසාද් යහම්පත් කැරළි ගැසුනු කොණ්ඩයක් ඇති අඩි හයකට ආසන්නයේ උසක් ඇති පැහැපත් ජව සම්පන්න කඩවසම් තරුණයෙකි. ඔවු , ඔහු මා දුටු කඩවසම්ම පිරිමියායි. නමුත් මා ඔහුට බැඳුණේ කිසි ලෙසකින්වත් ඔහුගේ රූපය නිසා නම් නොවේ.....

"චූටි මැණිකේ " ..... ඒ ආදරය උතුරනා ආමන්ත්‍රණය අපගේ පළමු බැඳීමයි. ප්‍රසාද් අයියාගේ හැසිරීමත් ගතිගුණත් ඔහුගේ අම්මාගේ වගේමය. ඈ ගමේ පාසලේ සංගීත ආචාර්යවරියයි. එතරම් උගත් කමක් නොතිබූ බේබදු පියෙකුත් ආදරණීය මවකත් සිටි ප්‍රසාද් උත්සහ වන්තයකු විය. පාසල් වියේදී ඇරඹි ප්‍රේමය විශ්වවිද්‍යාල වරම් ලැබූ පසුවත් හොර රහසේ ගලා ගියේ සිහින දහසක් සමගිනි. සිතා සිටියේ දෙදෙනාම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී දෙමාපිය ආශිර්වාදය ඇතුව හෝ නැතුව විවාහ වෙමු කියායි. විවාහයෙන් පසු විදෙස් ගත වීමටද සැලසුම් කලෙමු.

මගේ පවුලට මා නැතත් මල්ලී සිටියි. ඔහුගේ මව පසුව අප වෙත ගෙන්වා ගත හැකියි. එතෙක් ඇයට සිය රැකියාවෙන් ජීවත් විය හැකියි.

පියා අහිමි වීමත් සමඟ වෙනස් වූයේ මාය. අම්මාට මාද අහිමි වූවොත් ඈ තනි වනු ඇත. මා පවුලේ වැඩිමලා ලෙස ඈට සවියක් විය යුතු විය. ඒ වන විට අපේ සම්බන්ධය දැන ගෙන සිටි අම්මාද ඈ කෙරේ වූ මගේ ආදරයෙන් ප්‍රයෝජන ගත්තාය. කෙසේ වුවත් ටිකෙන් ටික විවාහ වන වයස ඉක්මවා යද්දී ඈ අනිවාර්යෙන්ම ඒ ගැන පසුතැවිලි වන්නට ඇති බව දැන්නම් මට විශ්වාසය. එසේ නොවූවා නම් කෙසේවත් මා අද මේ ගමන නොයනු ඇත. 

ඔහු විශ්වවිද්‍යාලයට සමුදුන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වන බව මට ලියා එව්වේය. කිහිප විටක් මා හමුවීමට උත්සහ කලද මට ඔහු මුනගැසීමට තරම් සවියක් නොතිබුණි. අමාරුවෙන් හදාගන්නට උත්සහ කරන සිත ඔහු හමුවේ නැවත නැවතත් බිඳ වැටෙනු ඇතැයි මා බිය වූවෙමි.

 එතැන් පටන් ජීවිතය ව්‍යාපාරය, ඉඩකඩම් , වලව්ව , අම්මා , මල්ලි වටා පමණක් ගලා ගියේය. මම කියා ප්‍රාණියෙක් සිටින බවක් මටම අමතක විය. හුස්ම වැටුණි. නමුත්... විඳිය යුතු ජීවිතය විඳින් නැතුව ම ගෙවුණි. සෑම වසරක ම මගේ උපන්දිනයට විදේශයක සිට මා නමට මල් කලඹක් සහ ලිපියක් ලැබුණි. කෙදිනකවත් ම විසින් ඒ ලිපිය අතටවත් ගත්තේ නැත. මල් කලඹ නම් මගේ කාමරයේ පරවී කුණුවී යන තුරුම තිබුණි. මුලදී ඒ ගැන උරණ වූ අම්මා කල් යත්ම ඒ ගැන වදනක්වත් පැවසීමෙන් වැළකී සිටියාය. අපි අතර කවදාවත් ඒ අතීතය ගැන කතා බහක් ඇති නොවුණි. නමුත් මට වයස තිහ ඉක්මවද්දී වරක් අම්මා මා හා විවාහය පිළිබඳ කතා කරන්නට උත්සහ ගත්තා මතකය.

"අම්මේ මම මෙහෙම අම්මා එක්කම ඉන්නම්... මට පාඩුවෙ ඉන්න දෙන්න පුලුවන්ද...". ඒ අවසාන වතාව විය.... 

මල්ලි විවාහ විය....

ඔහු සිය නෑනන්ඩිය සමඟ විවාහ වූ බව ආරංචි විය. සතුටු වීමි... නමුත් වසර ගණනක් සිතේ හිර කරගෙන සිටි දුක කදුලු බවට පත්වී ගලා ගිය හැටි.

"දුව අම්මාට පිළිකාවක් ... අන්තිම ස්ටේජ් එකේ ඉන්නෙ... වැඩි කාලයක් නැහැ......" අම්මාගේ වෛද්‍යවරයා පැවසූ විට මට දැනුනේ මා ද මිය යමින් සිටින බවකි. 

ඉතින් මා තනිවනු ඇත. අම්මා වෙනුවෙන් මගේ මුලු ජීවිතයම කැප කරන්නට සූදානම් වී සිටියත් දැන් ඇය මා හැර යන්නට සූදානම් වී ඇත.

"අනේ මගෙ රත්තරන් මම මැරුණම උඹ තනි වෙනවානේ..... මම කරපු වැරදි වලට මට සමාවෙයන් මැණික"

අම්මා අන්තිම කාලය මා ගැන සිතමින් වද වන්නට ඇත. නමුත් මට කළ හැකි යමක් නොතිබුනි. වෛද්‍යවරුන් පැවසූ ලෙසම අම්මාට වූවේ මාස හයකටත් අඩු කාලයකි.... අම්මා අප හැර ගියාය.

"අක්කෙ , අක්කා හම්බවෙන්න චතුරානි කියල කෙනෙක් ඇවිත්..... "

අම්මාගේ මරණින් පසු මා ටික කලකට සියලුම ව්‍යාපාර කටයුතු ඈත්වීමට තීරණය කළෙමි. මල්ලීට දැන් මාගේ උපකාර අවශ්‍ය නැත. මා හමුවීමට කාන්තාවක් පැමිණ සිටින බව නිවසට ම වී ගෙවෙන දෙවන සතියේදී හදිසියේම නිවසට පැමිණි මල්ලී පැවසුවේය.



චතුරානි..... චතුරානි.......

මතකය නිවැරදි නම් ඈ ඔහුගේ නෑනන්ඩියයි. අද ඈ බිරිඳ විය යුතුය...

මගේ විසිත්ත කාමරයේ අසුන්ගෙන සිටි මැදිවියේ පසුවූ රූමත් කාන්තාව මා හමුවීමේ අරමුණ කෙසේවත් සිතා ගත නොහැකි විය. 

"ඔයා මාව දන්නෙ නැහැ මම හිතන්නෙ...."

"නැහැ මම දන්නවා...ඔයා ප්‍රසාද්ගෙ වයිෆ්..."

"ම්හ්....නැහැ නැහැ....මම ප්‍රසාද්ගෙ කසින්.... වයිෆ් නෙමෙයි... එයා මාව බැන්දෙ නැහැ. මම ප්‍රංශෙට ගියා. එයා මට ස්පොන්සර් කලා. ඒත් ඒ මගෙ ඉගෙනීමට. මම එයාට කැමති වුණත් එයා මාව බැන්දෙ නැහැ. එයා කාවවත්ම බැන්දෙ නැහැ. මම මීට අවුරුදු පහකට කලින් ලංකාවට ආව වෙලාවෙත් ඔයා හමුවෙන්න ආවා. ඒත් ඔයාගෙ අම්මා මට ඒකට ඉඩ දුන්නෙ නැහැ. ප්‍රසාද් අයියත් වතාවක් ආවා. ඒත් ඔයාගෙ අම්මා එයාට බැනල තිබුණා.... හැබැයි හරිම පුදුමයි.... මේ වතාවෙ ඔයාගෙ අම්මමයි මට කතා කලේ. දැනට සුමාන තුනකට කලින්. මට නිවාඩු ප්‍රශ්නයක් නිසා ඉක්මනින් එන්න බැරි වුණා....."

"අම්මා නැති වුණා..."

"ඕ..... මම දන්නෙ නැහැ ඒ ගැන.... ඒත් අම්මාට ඕන වුනා ඔයාට ප්‍රසාද්ව මුණ ගස්සන්න.... ඉතින් මම ආවෙ ඒ ගැන කතා කරන්න...."

මල්ලිත් සියල්ල දැන සිටි බව පසුව දැන ගන්නට ලැබුණි...

"අක්කා , අම්මාටත් ඕන වුනා ඔයා ප්‍රසාද් අයියව විවාහ කරගන්නව දකින්න. එයා අන්තිම දවස් වල ගොඩාක් පසුතැවිලි වුනා....... මම හිතන්නෙ ඔයා තවම පරක්කු නැහැ......."

මල්ලීගේත් අම්මා විසින් ලියන ලද ලිපියක් ඔස්සේ ඇය විසිනුත් ඉල්ලා සිටි පරිදි අවසානයේ මම මගේ දිවියෙ ඉරණම් ගමනක් මෙලෙස යන්නෙමි. තව පැය කිහිපයකින් මා ප්‍රංශය වෙත ළඟා වනු ඇත. සතියකින් පමණ පසු මා ඔහුගේ බිරිඳ වනු ඇත. 

වසන්තය පමාවී හෝ එළඹෙනු ඇත. 

.......................................................................

"මම ප්‍රසාද් යහම්පත්...... ප්‍රංශ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට...... තව පැය කිහිපයකින් ඈ මා අබියසට පැමිණෙනු ඇත.... වසර පහළොවකට පසු අපි එකිනෙකා මුණ ගැසෙනු ඇත.... මෙතෙක් කල් බලා සිටියත් මෙ පැය කිහිපය දරා ගත නොහැකි සෙයකි... කාලය නතරවී ඇත.....ඉදින් අප දෙදෙනා වෙතම වසන්තය එළඹෙනු ඇත... වසර ගණනාවකට පසු වසන්තය එළඹෙනු ඇත....දෛවය පුදුමාකාරය..........."

වසන්තය පමාවී හෝ එළඹෙනු ඇත......

Top