එතකොට උඹ මට ගැහැව්ව තාත්තෙ? (252 වන ලිපිය)

post-title

ගං තෙරේ බේබද්දා

ට්‍රිනිඩෑඩ් ලේඛක මයිකල් ඇන්තනිගේ Drunkard of the river කෙටිකතාවේ පරිවර්තනය.

“කෝ උඹේ අප්පා?” 

කොළුවා පිළිතුරු දුන්නේ නැත. නොගැඹුරු දියේ ඔරුව සීරුවෙන් හබල් ගෑ ඔහු, ගං ඉවුරට සමාන්තරව එය පදවාගෙන විත්, හබල තමා ඉදිරියෙන් සිටුවා, ගමන නතර කළේය. ඉක්බිති, කඹය කණුවෙහි රැඳවූ ඔහු, ඉවුරට පැනගත්තේය. ඔහුගේ මව, ඒ වනවිටත් ඔහු දෙස බලමින් දොරට මොබින් සිටගෙන උන්නාය.

“ කෝ උඹේ අප්පා?’

කොළුවා සිත තුළ නැඟි අපුල සඟවමින්, මව දෙස නෙත් යොමුකොට, සන්සුන්ව පිළිතුරු දුන්නේය.

“ අම්ම දන්නවනෙ තාත්ත ගැන. එයා ගැන දන්නවනෙ”

“ හරි. ඒත්, මං උඹට කිව්වේ නැද්ද තාත්ත එක්ක මිසක් ආපහු එන්න එපා කියල?” 

“ මං අප්ප එක්ක එන්න?” කොළුවා මුරගෑවේය. සිත තැතනූ නොපහන්බව දැන් දැන් ඔහු වෙලාගනිමින් තිබිණ.

“ එයා බොන්න වහ වැටුණු වෙලාවෙ මං කොහොමද එක්ක එන්නෙ?”

මේ හැමවිටම සිදුවූ ඒකාකාර රටාවය. කොළුවාගේ මව ගේ ඉදිරිපසට වී ගංදිය දෙස බලාගත්වනම උන්නාය. හැම සෙනසුරාදා රැයකම දැකිය හැකි වූයේ මේ සංගෙදියයි. හැම සෙනසුරාදාවකම, ගම්මණ්ඩියට පිටත්ව යන මනෝ, වාරු නැතිවන තුරා බීගෙන, බීමහලේ වැතිරෙයි. බීමහල හිමි චීනා එය වසා දමන තුරා ඔහු සාප කරමින්ද, වමනය කරමින්ද කලබල කරයි. ඉන්පසු, ඔවුන් කරනුයේ, ඔහු ඉවතට ඇද දැමීමය. ඔවුන්, ඔහුට කෙළද ගසනු ඇත. ඒ පිළිබඳ දන්නේ දෙවියන් පමණකි.

මව, ගංදිය දෙස බලාගෙන උන්නාය. ඇගේ සිත කොවින් හා සොවින් වෙලීගත්තේය. ඇයට, මේ රැයේ ගංදිය ඔස්සේ යාගත නොහැක. එසේ ගියහොත් අත්දැකිය හැකි වන්නේ මිහිපිට අපායකි. එහෙත්, කොයිමක්කාරියකින් හෝ මනෝ නිවසට ගෙන්වාගත යුතු විය. සොනා කුමක් කරන්නේදැයි ඇය පසෙකට හැරී බැළුවාය. මල්ලේ රුවාගෙන ආ අඩුම කුඩුම ඉවතට ගත් ඔහු දැන් හාන්සි පුටුවේ දිග ඇදී උන්නේය.

“ උඹ යන්න ඔන්න තාත්තව එකක එන්න” ඇය කීවාය.

“කවුද?”

“උඹ”

‘ මං නම් නෙමෙයි” 

“ කාටද උඹ ඔය මං නම් නෙමෙයි කියන්නෙ?” ඇය මුර ගෑවාය. දැන් ඈ කෝපවත්ව උන්නාය.” ඕන මල ඉලව්වක්. උඹ දැන් ගිහින් තාත්තව එක්ක එන්න ඕන”

සොනා, හුනස්නෙන් නැගිට්ටේ ඉවෙන් මෙනි. මව පහර දුන්නේ කලාතුරකින් වුවද ඔහු ඇය ගැන සහතික විය නොහැක. ඇය, මෙතරම් කේන්තිගෙන අඩි හැප්පුවේ ඉතා දිගු කාලයකට පසුවය.

ඔහු, නොකමැත්තෙන් වුව සිය අසුනින් නැගිටගත්තේ, සිය මවට වැළඳී ඇති මේ රෝගය කුමක්දැයි වටහාගත නොහැකිව ඇය දෙස බැල්මක් හෙළීය. සිය පියා ගැන මෙතරම් කරදර වන්නේ මොන හතිලව්වකටදැයි ඔහුට නොවැටහුණි. මෝඩයකු මෙන්ම අංගපුලාවක් නැති අයෙකුවූ පියා, ඔවුන්ගේ දිවිපෙවෙත දුක්බර කරන්නට දායක වූවකු විය. සොනාට තීරණ ගත හැකි වූවානම් මනෝ නිවසින් එළවාදමා සෑහෙන කලකි. එසේනම්, ඔහුගේ යහන වනු ඇත්තේ ඇසිංගේ බීමහල අබියස තිබි අපිරිසිදු මස් කපන මේසයයි. ඔහුට ඇත්තටම ගැළපුණේ එවැන්නකි. “කාලකණ්නියා” කොළුවා කවුළුවෙන් ඔබ්බට කෙළ ගැසීය. සිය පියා මතක්වූ වහා ඔහු සිත නැගෙන්නේ අපුලකි.

එසේ වුවද, සොනාගේ මව මේ අන්දමින් සිතුවේ නැත. ඇය විවාපත් වූවාවූද, පසුව කරුමක්කාරියක් නැති නිකමකුගේ තත්වයට පත් මේ මිනිසා තවමත් ඇගේ ජීවිතයේ අරටුව විය. ඔහු, දොම්නස පසුපස දොම්නසක්ද, කඳුළ පසුපස කඳුළක්ද ගෙන දුන් නමුදු ඔහු නැතිව ඇයට දැනුණේ, මං මුළාවූ, ආතක් පාතක් නැති හැඟුමකි. ඔහු, ඇයට දැනුණේ, නිවස ඉදිරිපසින් ගලාගිය නදිය මෙන් විසාලෙටය. ඔහුගේ තරුණ වියේදී මිනිසෙකුට කරගත හැකි නමුදු ඔහුට කරගත නොහැකි යමක් වීද යන්න පිළිබඳව ඇයට සිහි නගාගත නොහැකි විය. ඈ දුටු අන්දමට ඔහු තවමත් තරුණව උන්නේය. වියපත් වී ඇත්තේ ඇයයි. ඔහු මේ පත්ව උන්නේ නරක කාලයකටය. ඔහු මත්පැන් හිස්කළ අන්දම හා සරිකරගන්නා සොච්චම් කුලීමලී ඒ වෙනුවෙන් නිස්කාරණේ වැය කරන අන්දම ගැනද ඇය තරහින් උන්නද මුදල් පිළිබඳව එතරම් තැකුවේ නැත. දරා ඉන්නට බැරිවූයේ ඔහු පත්ව උන් බේබදු විලාසයයි. ඔහු, වෙරිවී වැනි වැනී ගෙදර ආ කළ, කොවින් වෙළෙවිව බැණ අඬගසා සාප කරනා මුත් අබග්ගයක් නැතිව පෙරළා නිවෙසට ආ බව දැනගත් විට යටි සිතේ ඉතිරෙන සොම්නස, ඕ පසක් කළාය.

මේ වනවිට තැබෑරුමේ කුමන සංගෙදියක් වනු ඇද්දැයි ඇය සිතන්නට වූවාය.දැනටමත්, වෙරිවූ ඔහු හව්හරණක් නැතිව රැස්වූවන්ගේ සිනහවට ලක් වී ඇතුවා විය හැකිය.

බේබද්දාගේ පුතා වූ සොනාගේ මනසටද අන් සියල්ලටම වඩා වදදුන්නේ මේ කරුණමය. මනෝ, හැමටම අවමන් කරමින් හැමගේම හාස්‍යයට ලක්වන ආකාරයය. ඇතැම් අවස්ථාවක පියාගේ කන්කරච්චලයට සවන් දුන් විටෙක, ඔහු කෙතරම් ලජ්ජාවට පත් වූයේදයත් ඔහුට පහර දීමට තරම් ගැම්මක් ඔහුගේ සිතට ඇතුළුවිය. බොහෝකොට ඔහු නිහඬව මිට මොලවා “ දවසක මං උඹට..” යැයි කෙඳිරුවේය.

සිය මව, මේ සියල්ලම- මිහිපිට අපාය, ඩහදිය හා සාගින්න- ඉවසා හුන් බව ඔහු දැනඋන්නේය. දිනෙන් දින වැහැරුණු මව, සිය සැබෑ වයස වූ තිස් හය නොව පනස් හයක විලාසයක් විදහා පෙන්වූවාය. ඇගේ හිසකේ දැනටමත් සුදු පැහැයට හැරෙමින් තිබිණ. ඇතැම් විටෙක සිය මව දෙස බලන ඔහු, පියා නිනව් නගා,” තිරිසනා” යි දත්මිටි කෑවේය. ඔහු දැන් පත්ව උන්නේ මෙවන් සිතිවිලි සමුදායකටය. වෙලෙවිව හුන් ඔහු, නොකමැත්තෙන් මෙන් ඔරුව ලිහා දමනු සඳහා ඉවතට ගියේය.

“ මට එයාව එක්ක එන්න බැරිනම් දාල එනව” ඔහු තරහින් කීය.

“ කාට හරි කියපං උදව් කරන්න කියල”

ඔහු ඈ වෙත හැරුණේය.” කවුරුවත් මට උදව් කරන එකක් නෑ. එයා සේරටම නින්දා කරනව. පහුගිය සුමානෙ බොලායි එයාට පයිනුත් ගැහැව්ව”

“ බොලායි පයින් ගැහැව්ව? ඉතින් උඹ මොනවැයි කොලේ?”

මව කම්පනයෙන් හා කෝපයෙන් වෙලී උන්නාය. ඇගේ දෙනෙත් විසාලව, රතුපාටින් දිස් විය. කොළුවා ඔනෑවට එපාවට මෙන් කඹය ලිහා දැමීය. “ මං කියල මොනව කරන්නද?” ඔහු කීය. “ ඒක එයැයිගෙයි බොලායිගෙයි වැඩක්”

මව එක්වරම හඬා වැටුණාය.

“ මං මොනා කරන්නද” සොනා නැවත කීයේය.” මං, තාත්තෙ ගෙදර යං කියනකොට එයා කියන දේ දන්නවද? එයැයි කියනව- මකබෑ වෙයං පරබල්ල කියල.

මව ඔහු වෙත හැරුණාය. ඇගේ දෙකොපුලින් තවමත් කඳුළු බිඳු වැගිරෙමින් තිබුණේය.

“ සොනා ගිහින් තාත්ත එක්ක වරෙන්. බොලායි තාත්තට පයින් ගහනකම් උඹ ඔහේ බලාගෙන උන්න. එයා උඹලට සලකල තියෙනව.” ඇය ඉකි ගැසුවාය. “ඒ උඹේ තාත්ත. උඹ කළගුණ නොදන්න...” කෝපයෙන් හා ශෝකයෙන් ඇලලී ගිය ඇය නැවතත් හඬන්නට පටන්ගත්තාය. ඇය නැවත හිස එසැවූවිට, සොනා නොගැඹුරු තැන් මග හරිමින්, රවමින් ගංමැද්දට හබල් ගාමින් උන්නේය.

වියයුතු පරිදිම, ඇසිංගේ බීමහලේ කලබගෑනියක් සිදුවෙමින් තිබිණ. මනෝගේ දිනචරියාව සුපුරුදු ලෙස රඟ දැක්වුණේය. ඔහු, සාප කරමින් හා කොඳුරමින් බීමහල හාත්පස වැනෙමින් උන් අතර, චීනා ඔහු භාවිතා කළ වචන පිළිබඳව විපරමින් උන්නේය. ඔහු, මනෝගේ ඉරියව් ගැන එතරම් තැකුවේ නැත. මනෝ පරිභෝජනයට ගත් මත්පැන්, ඇසිංගේ ගිණුම් පොතෙහි සෑහෙන වෙනසක් කළෙන්, එය බීමහල තුළ මනෝගේ අදහස් පැවසීමේ අයිතිය තහවුරු කළේය.

එහෙත්, සෙසු අය පිළිකුලින් බලා උන්නෝය. මනෝගේ බේබදුවත නිසා, සෙනසුරාදා රාත්‍රියේ නොයෙකුත් කලබගෑනි සිදුවිය. මනෝ බීමත්වූ විට, නිදහසේ බඩුමුට්ටුවක් මිළදී ගන්නට ඉඩහසර නොවීය.

දැන් කරදර රොද බඳිමින් තිබි මේ අව්අස්සේ, සොනාගේ ආගමනය මිහිරි සිහිනයක් විය. සොනා ඇතුළුවත්ම,එකෙක්, බඩුමුට්ටු අතර වැතිරහුන් මනෝ දෙසට ඇඟිල්ල දිගු කළේය.

“ තාත්තෙ”

මනෝ ඇස් හැර බැලීය.” මොකටද උඹ ආවෙ? “ ඔහු, ආයාසයෙන් වචන ගැට ගැසීය. “ කවුද උඹව එව්වෙ?”

“ අම්ම කියනව ගෙදර එන්න කියල” මේ පිටස්තරයන් ඉදිරියේ කලබල නොවිය යුතු යැයි ඔහු තමාටම කියාගත්තේය.

 “ හොඳා”

“ අම්ම කියනව එන්න කියල”

උඹේ අම්ම මාව එක්ක එන්න උඹ එව්ව? එතකොට, උඹයි මගෙ අප්ප?” බීමතින් උන් මනෝ, සිය පුතා වෙත ගාටන්නට විය.

සොනා ආපසු හැරුණේ නැත. පිරිසක් ඉදිරියේ මෝඩයකු වන්නට ඔහු ලැහැස්ති නොදීය. එහෙත්, සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්නට පෙර, ඉදිරියට පැන්න මනෝ, සිය පුතාගේ වම් කොපුලට පහරක් ගැසීය.

“ එතකොට උඹයි මගෙ අප්ප ඈ?” ඔහු කොළුවාට පා පහරක්ද ගැසීය.

මනෝ වෙතට කඩාපැන්න දෙතුන් දෙනෙක් ඔහු වළකා ගත්හ. සොනා, මේ දැන් සිය පියාගේ පා පහරට ලක්වූ උදරය දෑතින් අල්ලාගත්තේය. ඔහුගේ දෙනෙත කඳුළින් පිරිණ. වෙරිමත, මනෝ වෙලාගනිමින් තිබින. දැන් ඔහුට තනිවම සිට ගන්නටද නොහැකිවිය. මිනිස්සු තවමත් ඔහු අල්ලාගෙන උන්නෝය. සොනා පසෙකට විය.

“ මේක වස ලැජ්ජාවක්” එකෙක් කීය.

“ ලැජ්ජාව? “ මනෝ වෙරිමතින් කෑගෑවේය. “ ඌ මගෙ අප්ප. උගේ අම්ම එවල. අත ඇරපල්ල” ඔහු නැවතත් බැමි කඩාගන්නට තැත් කළේය.

“මං උඹව මරනව. උඹේ අම්මත්” එහෙත්, මේ වනවිට මනෝ මෙච්චල් කරන්නට එතරම් වෙහෙසක් ගත යුතු වූයේ නැත. ඔහු, දැන් අප්‍රාණිකව, දුර්වලව උන්නේය. “ මේක වස ලැජ්ජාවක්” යැයි කී මිනිසා යළිත් දොඩන්නට විය.

“ ඇයි උඹ එයාව එක්ක යන්නෙ නැත්තෙ කොළුවො? මේක දැන් හරි වාතයක් වෙලානෙ”

“ උඹල මට උදව් කරනවද එයාව ඔරුවට ගන්ඩ?” සොනා ඇසීය.

ඔහු මේ වනවිට කලබලයකින් තොරව, තැන්පත්ව උන්නේය. ඔහුගේ එකම අරමුණ ලෙස පෙනෙන්නට තිබුණේ හැකි ඉක්මනින් පියා මෙතනින් ඉවතට ගෙන මේ මලදානය කෙළවරක් කිරීමය. ඔහුගේ තැන්පත් වත ඔබ්බෙන් තිබුණේ කෙබඳු අදහසක්දැයි කිසිවෙක් දැන උන්නේ නැත. යටි හිතේ කැකෑරෙමින් තිබි ක්‍රෝධය කිසිවෙකුට අනුමාන කළ නොහැකි විය.

සොනා සහ තව සිව් දෙනෙක් එක්ව, මනෝ ඔරුව වෙතට තඩලාගෙන ගියහ. ඔහු මේ වනවිට ගොරවමින් උන්නේය. සියල්ල නිසල විය.

අර කී මිනිස්සු සිව්දෙන ඔරුව දියඹට තල්ලු කළහ. සොනා, සිය පියා දෙස බැලීය. මඳ වේලාවකට පසු ඔහු පාලම දෙස හැරී බැළුවේය. අඳුර, හැම දෙයක්ම වෙලාගනිමින් තිබුණේය.

“ තාත්තෙ” කොළුවා කීය. “ තාත්තෙ, උඹව ගෙදර එක්ක යනව” 

හාත්පස පැතිරුණේ අඳුර හා කඩොල් කැලයයි. ඔරුව ඉදිරියෙන් සුවිසල් නදිය විය. ඔව්හු තනි වූහ. සොනා, සිය පියා,නදිය, කඩොල් කැලය හා රාත්‍රියද කැටිව තනි විය. ඔහු, නැවතත් සිය පියා දෙස බැලීය.

“ එතකොට උඹ මට ගැහැව්ව තාත්තෙ?” ඔහු ඇසීය.

සොනාගේ මව දිගු රාත්‍රියක් බලා උන්නාය. එක් ඇලයකින් වැතිර හුන් ඇය යළි අනෙක් ඇලයට හැරුණාය. හැම ශබ්දයකටම අවදිව සවන් විහිදෙව්වාය. එහෙත්, හබල් ගානා හඬක් ඇසුණේ නැත. මේ වනවිට වෙළඳසැල් වසා දමා නොවේද? විපිළිසරව හුන් ඕ, දෑස කුකුළු නින්දක් කරා පියවෙමින් සිටිනතුරා කන් යොමමින් උන්නාය.

ඇය එක්වරම අවදිවූයේ නිදන කාමරයේ පියවර හඬකිනි. ඇය කතා කළ වහාම සොනා පසුපසට පැන්නේය.

“ කවුද? මනෝ”

“ ඒ මම” සොනා කීය.

සොනාගේ ඇට මිදුළු ජලය වෙත හැරෙමින් තිබිණ. ඒ වෙරි මත නිසා නොව බියෙනි. සිත තුළ උන් සිංහයා බැටළුවකු බවට පත්ව හුන්නේය. කතා කරන්නට ගත්විට ඔහුගේ කටහඬ වෙවිලීය.

 මව, මේ කිසිවක් සිහි නැගුවේ නැත.” ආ, උඹ ආවද? කෝ තාත්ත?” ඇය ඇසුවාය.

කොළුවා පිළිතුරු දුන්නේ නැත. ඔහු, අඳුරේම සිය ඇඳුම් ගැලවීය.

“ කෝ තාත්ත?” මව මුර ගෑවාය.

“ එයා එළියෙ නිදි. හොඳටම වෙරි”

“ බල්ල” මව පැවසුවේ යහනින් නැගිට, ගිනිකූරු සොයමින් අතපත ගාමිනි.

සොනා එක්වරම පිටතට පැනගත්තේය. දැන්, බිය ඔහු සිත වෙළාගෙන තිබි අතර හිසේ බර ගතියක් දැනිණ. නදිය දෙස නෙත් හෙළූ ඔහු, යළි ආපසු හැරී නිවස දෙසද බැලීය. ඔහුගේ සිත තුළ කීරිගසමින් තිබුණේ එකම එක වචනයකි.-පොලීසිය-

“මනෝ” සිය මව රෑ අඳුරට මුරගානු ඔහුට ඇසුණි.

දැඩි බියට පත් සොනා, කඩොල් කැලය හා රාත්‍රිය වෙතට පළා ගියේය.

Top