ඔහු, අහිංසකයාද? මිනීමරුවාද? (314 වන ලිපිය)

post-title

නඩු විභාගය

ග්‍රෙහම් ග්‍රීන්ගේ A case for the defence නම් කෙටිකතාවේ පරිවර්තනය

 ඒ මා දැක තිබි අපූරුතම නඩු විභාගය විය.

තදින් පහර දෙනු ලැබූ මැහැල්ල මරා දමා තිබි නෝර්ත්වුඩ් වීදිය, පෙක්හැම් වසමට අයත් නුවූවද, පුවත් පත් සිරස්තල වල එය හැඳින්වුණේ පෙක්හැම් මිනීමැරුම ලෙසිනි. මේ වූ කලී ජූරි සභිකයන්ගේ විමතිය ඔබටද අත් විඳිය හැකි පරිවේෂනීය සාක්ෂි වලින් පිරි නඩුවක් නම් නොවීය. මෙහි අඩුපාඩු කිසිවක් නොවීය. මිනීමරුවා සොයාගන්නා ලද්දේ මිනියත් සමගිනි. රජයේ නීතිඥයා සිය පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ උසාවිය තුළ හුන් කිසිවෙකුදු විත්ති කූඩුව තුළ උන් මිනිසාගේ ගැලවිල්ලට නම් කිසිදු හව්හරණක් ඇතැයි විශ්වාස නොකළහ.

ඔහු, ඉදිරියට නෙරූ රතුවන් දෙනෙතින් යුතු තරබාරු අයෙක් විය. ඔහුගේ මස් පිඬු සියල්ලම වාගේ කලවා ප්‍රදේශයට සීමා වූ බවක් පෙනෙන්නට තිබුණේය. ඔව්. ඔහු අජුව හාදයෙකි. හදිසියේ ඔහු වරක් දුටු අයෙක් වුව,අමතක නොකරන ආකාරයේ පෙනුමක් තිබි අයෙක් විය. ඔහු මෙය වැදගත් කරුණක් ලෙස සැළකිය යුතුව තිබුණේ, නෝර්ත්වුඩ් වීදියේ කුඩා රතු පැහැ නිවසින් ඔහු ලහිලහියේ පිටවයනු දුටුවාවූද, ඒ බැව් අමතක නොකළා වූද සාක්ෂිකරුවන් සිව් දෙනෙක් කැඳවන්නට පැමිණිල්ල යෝජනා කර තිබූ නිසාය. ඒ වනවිට අළුයම දෙකේ කණිසම නාද වූවා පමණි.

නෝර්ත්වුඩ් වීදියේ අංක 15 දරන තැන පදිංචිව හුන් සැමන් මහත්මිය එදින නිදිවර්ජිතව උන්නාය. දොරක් වැසෙන සද්දයක් ඇසුනද එය සිය කඩොල්ල යැයි ඇය සිතුවාය. මෙසේ සිය කවුළුව වෙතට ගිය ඇයට පාකර් මහත්මියගේ දොර පඩි පෙළ මත ඇඩම්ස් (ඒ විත්තිකරුගේ නම විය) සිටිනු දක්නට ලැබිණ. ඔහු ඒ මොහොතේ ආ බවක් පෙන්නුම් කළ අතර අත් වැසුම්ද පැළඳ උන්නේය. ඔහුගේ අතෙහි මිටියක් තිබුණු අතර එය, ඉදිරිපස ගේට්ටුව අසල තිබි ලෝරල් පඳුර වෙත විසි කරනු ඇය දුටුවාය. එහෙත්, ඔහු පිටව යන්නට පෙර ඇගේ කවුළුව දෙස නෙත් යොමා තිබේ. වීදි ලාම්පුවේ ආලෝකය තුළින් ඇයට වහංගු වී යන්නට තැත් කවන ඔහුගේ මුහුණ නිරාවරණය ව දිස්විය. ඔහුගේ දෙනෙත්, බියකරු, තිරිසන් භීතියකින් පිරී තිබුණේ, කසයක් අබියස සතකුගේ දෙනෙත් දිස්වන්නාක් සේ ම ය.

මම, පසුව සැමන් මහත්මිය හා කතා කළෙමි. මෙම විස්මිත හමුවෙන් පසු, ඇය වියයුතු සේම, බියට පත්ව උන්නාය. මා හිතන පරිදි, සෙසු සාක්ෂි කරුවෝද මෙම තීරණයටම එළඹ සිටියෝය. බෙන්ෆ්ලීට් වැයික්කියේ සිට සිය මෝටර් රියෙන් නිවෙස කරා පැමිණෙමින් හුන් හෙන්‍රි මැක්ඩෝගල්,නෝර්ත්වුඩ් වීදිය කෙළවරේදී ඇඩම්ස් ඊට යට නොකර බේරාගත්තේ අනූනවයෙනි. ඇඩම්ස් බීපු මිනිසකු සේ පාර මැද ගමන් ගනිමින් උන්නේය. පාකර් මහත්මියගේ නිවසට යාබද අංක දොළහ දරණ නිවසේ හුන් වීලර් මහතා පුටුවක් බිම පතිත වන්නාක් බඳු ශබ්දයකින් අවදි විය. කවුළුවෙන් නෙත් යොමන ඔහුට සැමන් මහත්මිය දුටු පරිදිම, ඇඩම්ස් පිටුපා හිඳිනුද පසුව ඔහු හැරී බලනවිට ඉදිරියට නෙරූ අර විශාල දෙනෙත්ද දිස් විය. ලෝරල් පටුමඟෙහිදීද තවත් සාක්ෂිකරුවකු විසින් ඔහු දැක තිබුණේය. කිසිදු ගැලවීමක් නැත. මේ අපරාධය මහ දවල් කළා හා සමානය.

පෝරකය පමණකි ඉතිරිව ඇත්තේ. සියල්ල අහවරය බඳු හැඟීමක් ඔබේ සිත තුළ පැළපදියම් වනු ඇත.

මිනිය සොයා ගත් පොලිස් නිලධාරියා හා එය පරීක්ෂණයට ලක් කළ ශල්‍ය විශේෂඥයාගේ මූලික සාක්ෂි අවසන් වූ පසු සැමන් මහත්මිය සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබීය. ඇයගේ සිහින් ස්කොට් උච්චාරණය හා ඇය වෙතින් දිස්වූ කාරුණිකභාවය හා අවංක විලාශය නිසාම ඇය හැබෑ නිර්ව්‍යාජ සාක්කිකාරියක වූවාය. රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අගේ කතාව සුමුදු ලෙස එළියට ගත්තේය. ඇය කතා කළේ තිරසර හඬකිනි. ඒ තුළ ද්වේශයක සේයාවක්වත් නොවීය. රතු පැහැ ලෝගුවෙන් සැරසී ගත්, මධ්‍යම අපරාධ අධිකරණයේ විනිසුරු අබියස සිටගෙන සිය වදන් ඔස්සේ නිනව් නගනා රැස්වූවන්ගේ සමාගමය තුල වුවද ඇය තුළ සාඩම්බර හැඟුමක් නම් නොවීය.

“ ඔව්, ඇය පහත මාලයට ගොස් පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දුන්නාය.”

“ හරි, ඔබට ඒ මිනිහ මේ උසාවිය තුළ දකින්න පුළුවන්ද?”

ඇය විත්තිකූඩුවේ උන් පෝරිසාදයා දෙස බැළුවාය. ඔහුද, සිය ඉදිරියට නෙරූ දෑස් වලින් හැඟීමක් රහිතව පෙරළා ඇය දෙස බැලීය.

“ ඔව්, අර ඉන්නෙ ඔහු තමයි”

“ ඔබට හොඳටම විශ්වාසයි?”

“ මට වරදින්න විදිහක් නෑ ස්වාමීනි” ඇය පිළිතුරු දුන්නාය. එය, එපමණටම සරල විය.

“ඔබට බොහොම ස්තුතියි සැමන් මහත්මිය”

විත්තියේ නීතිඥයා හරස් ප්‍රශ්න අසන්නට නැගී ගත්තේය. ඔබද, මා මෙන් අපරාධ නඩු රැසක් වාර්තා කර තිබුණානම්, ඔහුගේ ප්‍රශ්න කිරීම් විලාශය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න පිළිබඳව කලින්ම ඒත්තු ගන්නවාට සැකයක් නැත.

“ හරි, සැමන් නෝනා මහත්මයා, ඔබ දන්නවා එක්තරා මිනිහෙකුගේ ඉරණම රඳා පවතින්නෙ ඔබ අතේ බව?”

“ මම ඒ වග දන්නවා ස්වාමීනි”

“ ඔබේ ඇස් පෙනීම හොඳයි?”

“ මම කවදාවත් කණ්නාඩි පාවිච්චි කරල නැහැ ස්වාමීනි”

“ ඔබේ වයස පනස් පහයි?”

“ පනස් හයයි ස්වාමීනි”

“ ඒ එක්කම ඔබ ඔය දුටුවයි කියන හාදය උන්නෙ පාරෙන් එහා පැත්තෙ?”

“ එහෙමයි”

“ ඒ වෙලාවෙ පාන්දර දෙකයි. ඔබට බොහොම තියුණු දෙනෙතක්නෙ තියෙන්නෙ නෝනා මහත්තයා?”

“ නැහැ ස්වාමීනි, එදා හඳ පායල තිබ්බා. ඒ එක්කම මෙයා උඩ බැලුව. එතකොට ලාම්පු එළිය එයාගෙ මූණට වැදුන.”

“ හරි, ඔබට කිසිම සැකයක් නෑ තමන් දැක්ක මිනිහ අර සැකකාරය බව?”

“ කිසිම සැකයක් නෑ ස්වාමීනි. ඒ මුහුණ කෙනෙකුට ලේසියෙන් අමතක වෙන එකක් නෙමෙයි”

නීතිඥයා මොහොතක් උසාවිය හාත්පස නැරඹීය. ඉන්පසු, ඔහු මෙසේ පැවසීය.

“ සැමන් නෝනා මහත්මයා, කරුනාකරලා මේ උසාවියේ ඉන්න අය දිහා පොඩ්ඩක් බලනවද?”

“ නැහැ. සැකකාරය නෙමෙයි. ඇඩම්ස් මහත්තයා, කරුණාකරලා හිටගන්න.”

එවිටම, උසාවිය පිටිපසින් නැගීගත්තේ, තරබාරු දේහයක්, මස් පිඬු පිරි පා යුවලක් හා ඉදිරියට කඩා පනිනා දෙනෙතකින් යුතු වූ, සැකකරුවාගේ කපාපු පළුවක් බඳුවූ අයෙකි. ඔහු හැඳ උන්නේද විත්තිකරුගේ ඇඳුමටම සමාන, කිටිකිටියේ සිරවූ නිල් පැහැ ඇඳුම් කට්ටලයක් හා ඉරි වැටුණු කර පටියකි.

“ දැන් නෝන මහත්තයා, හොඳින් කල්පනා කරල බලල කියන්න, ඔබට තවමත් පුළුවන්ද පාකර් මහත්මියගේ වත්තට මිටිය විසි කරපු කෙනා මේ සැකකාරයද, නැත්නම් එයාගෙම නිවුන් සහෝදරය වෙච්චි අර මනුස්සයද කියල දිවුරල කියන්න?”

ඇත්තටම්, එය කල නොහැකි කාරියක් විය. ඇය උසාවි ශාලාව ඈත මෑත බැලූමුත් වදනකුදු හෝ නොදෙඩුවාය.

අර විසාල ආලවකයා විත්ති කූඩුව තුළ කකුලක් පිට කකුලක් දමාගෙන උන්නේය. අනෙකා, උසාවිය ඈත කොණේ වාඩි වී උන්නේය. දෙදෙනාව එක එල්ලේ බලාඋන්නේ සැමන් මහත්මිය දෙසය. ඇය, හිස සෙලෙව්වාය. අප ඊළඟට දුටුවේ නඩුවේ අවසානයය. තමන් දුටු පුද්ගලයා සැකකරුවාම බව දිවුරා ප්‍රකාශ කල හැකි සාක්කිකරුවකු උන්නේ නැත. නිවුන්නාටද ගැලවීමක් තිබුණේය. අපරාධය සිදු වූවා යැයි කියන අවස්ථාවේදී ඔහු උන්නේ සිය බිරිඳ සමගය.

ඔයාකාරයෙන්, මේ සැකකරුවා සාක්ෂි නැතිකම නිසාවෙන් නිදහස් කරනා ලදී. අපරාධය කළේ ඔහුද, ඔහුගේ සොහොයුරාද යන්න හෝ ඔහුට දඳුවමක් ලබුණාද කියා හෝ මම නොදනිමි.

මේ අපූරු දිනය අවසන් වූයේද අපූරු විලාශයකිනි.මම සැමන් මහත්මිය පිටිපසින් උසාවියෙන් පිටතට ආයෙමි. නිවුන්නන් දෙදෙන එනතුරු පොරොත්තුව උන් ජනකාය අතර අප සිරවීමු. ජනකාය විසුරුවා හරින්නට පොලීසිය තැත් කළද ඔවුනට හැකිවූයේ යාන වාහන සඳහා මාවත හෙළි පෙහෙළි කරන්නට පමණි. නිවුන්නන් පෑළ දොරකින් පිටමං කරන්නට පොලිසිය තැත් කළද ඔවුන් ඊට අකමැති වූ බව මම පසුව දැනගතිමි. ඔවුන්ගෙන් එකෙක්- කවරෙක්දැයි නොදනිමි- “ මම නිදහස් මිනිහෙක්නෙ. නැද්ද?” යි අසා තිබේ. ඔව්හු ඉදිරිපස දොරින් එළියට ආහ. අභාග්‍යය, එවිටම සිදු විය. මා උන්නේ අඩි හයකට තරම එහායිනි. ඒ නිසා සිදුවූයේ කුමක්ද යන්න හරිහැටි සිතාගත නොහැකිය. ජනකාය තෙරපෙන්නට වූ අතර, නිවුන්නන්ගෙන් එකෙක්, තල්ලු කරනු ලැබ, බසයක් ඉදිරියේ හොත්තේය.

ඔහු හාවකු සේ හීන් කෙඳිල්ලක් පිට කළා පමණකි. එතනම මිය ගියේය. ඔහුගේ හිස්ගෙඩියටද පාකර් මහත්මියට වූ සන්තෑසියම සිද්ද වී සුනේසුන්ව ගොස් තිබුණේය. මේ වූ කලී දිව්‍යමය පළිගැනීමක්ද? මළ සිරුර වෙතින් නැගීගත් අනෙක් ඇඩම්ස් සැමන් මහත්මිය දෙස නෙත් දැල්වීය. ඔහු උන්නේ ඉකි ගසමිනි. ඔහු, අහිංසකයාද මිනීමරුවාද යන්න වෙන්කොට කියන්නට කිසිවෙකුට කිසිදා නොහැකිවනු ඇත. එහෙත්, ඔබ සැමන් මහත්මිය වූවා නම්, රෑ සුවසේ නිදන්නට ඔබට පිළිවනිද?

Top