බේත් කොටන තුවක්කුවෙන් සීසීකඩ ඇරපු එකෙක්ද? මරුකතරේ මදිරා කෙටිකතාව (338)

post-title

උගුර පිටිපස, කැටි ගැසුණු ලුණු සේ හැඟුණු පිපාසය හැරෙන්නට තකහනියට කාරියක් නොවූයෙන්, ඩුරාන්ටේ සෙමෙන් ගමන් ගත්තේ ටෝනිගේ නිවහනේ සිසිල් දිය කරා සේන්දු වන්නට පෙර, වියළි බවේ අවසන් තත්පර කිහිපයේ සුවය අත් විඳින්නාක් මෙනි. ඇත්තටම කිවහොත්, කිසිදු හදිස්සියකට හේතුවක් තිබුණේ නැත. ඔහු, පැය විසිහතරකට ළංවන කාලයක් ඉස්සර වී හුන් අතර ඔවුනට උදෑසන වන තුරු ඔහු විසින් මරා දමන ලද මිනිසා සොයා ගත නොහැකි වනු ඇත. නොඑසේනම්, මුලාදෑනියා තනිවම එන්නට තරම් අමනයකු වන්නටද පුළුවන.

ඩුරන්ටේට දැන්පැයකටත් වැඩි කාලයක් තිස්සේ ටෝනිගේ හුළං මෝලේ පෙති හා බොස් ගෙඩිය දැකගත හැකි විය. එසේ වුවද මිදි වගාව තිබුණේ දෙනියක බැවින් අක්කර දහයක් පැතිරුණ මිදි යාය දකින්නට අවසන් හෙල දක්වාම එන්නට සිදු විය. ටෝනිට සුපුරුදු කතාව වූයේ තෙත් කාලයට ළිඳේ එකතුවන දියකඳට හේතු වූයේ, බිම්පෙතේ පැවති මේ දොරුව බවය. කතරේ වැලි තලාවට කිඳා ගිය වැසි දිය, ඒ යටින් තිබි බොරළු තට්ටුවෙන්ද රිංගා, පහතින් තිබි මැටි දෙනියේ එක්‍ රැස්විය. වියළි සමයේ මැදක් වන විට ළිඳ හිස්ව ගියද, ඊට බොහෝ කලකට පෙර, ටෝනි හැම දිය බිඳක්ම පොම්ප කරවීය. ඒ ලාබ රැළි යකඩින් තැනුණු ජල ටැංකි පෙළකටය. ටැංකි පේළියේ සිට මිදි වගාව තෙක් දිය ගෙන යනු ලැබුවේ සැහැල්ලු නල පද්ධතියකිනි. මේ නල, යැපෙන්නට තරම් ප්‍රමාණවත් දිය බිඳක් උරා ගන්නට මිදි පැල රොත්තට ඉඩ දුන්නේ නොවැම්බරයේ, අහස කළු වන තුරාය. හේමන්තයේ කිසියම් දිනක වැසි පතිත වන අතර, පොළොව මේ දිය කඳ මහහඬින් උරා බොයි. දිය උරනා කෙඳිරිය පිළිබඳව ඩුරාන්ටේ අසා තිබුනද, මේ දිගු නියං සමය තුළ ආ මුල්ම වතාව විය.

ඩුරාන්ටේට හුළං මෝල දිස්වූයේ ශුද්ධ වූ සංකේතයක් ලෙසිනි. තාර ආලේප කරන ලද පිරිපුන් ටැංකි විස්ස නෙතට රසඳුනක් විය. එහෙත් ඔහු ගතින් ඩහදිය වැගිරුණේය. මක්නිසාදයත්, දෙනියේ සුලඟින් නොසැලුණු වා ගැබ, සුප් බඳුනක් සේ නිසලවද උණුසුම්වද තිබි නිසාය. ඒ අතර මිදි යායද රත් පැහැ දුහුවිල්ලකින් වැසී ගොස් තිබිණ. මේ, බලන්නට හිත් නොදෙන කරගෑටි සුන්බුන් පමණක් විය. මිදි ඵල නෙලා අළුතින් මිදි යුෂ උකහාගෙන තිබිණ. ඉතිරිව තිබි අහුකොන් හා කොළ කඩම්මළු ලෙසින් එල්බ ගත්තේය.

කටුමැටි ගෙපැළ තෙක් කොටළුවා හැඹවූ ඩුරාන්ටේ, ඉදිරිපස අංගනය කරා සේන්දු විය. කුඩා ගෙමිදුල, තුන් පැත්තකින් වට වූයේ, මල් පිරි ලතාවකිනි. මේ පැලෑටිය කුමක්දැයි ඩුරාන්ටේ දැන උන්නේ නැත. එහෙත්, එහි පිපී තිබි මැද රන්වන් හදවතක් දිස්වූ විසල් සුදු පැහැ කුසුම්, හාත්පස කිසියම් මිහිරක් ගෙනායේය. ඩුරාන්ටේ මිහිරි බව නොරිස්සුවේය. ඒ ඔහු තවත් පිපාසිත කළ බැවිනි.

සිය කොටළුවාගේ බැමි මුදා හල ඔහු, නිවෙස තුළට ඇතුළු විය. මුළුතැන්ගෙයට මොබින් වූ සාලයේ, දිය සිසිල්කරණය තබා තිබිණ. මෙහි, සිදුරු සහිත පාෂාණයෙන් කල ඉපැරණි, විසල් බරණි දෙකක් විය. වම්පස බරණියේ ජලයද දකුණු පස මදිරාද විය.

එක් එක් බරණිය පසෙකින් සවි කළ කූඤ්ඤයක එල්ලන ලද බෙලෙක් හන්ද බැගින් විය.වම්පස බරණිය වසා තිබි පියන්පත ඉවත්කළ ඩුරාන්ටේ, එහි මිහිරි සිසිලස සිය මැණික් කටුව තෙක් තෙමන තුරු හැන්ද ඊතුළට එබුවේය.

“ඕයි, ටෝනි” ඔහු කෑගෑවේය. එහෙත් කාරම් බැඳුණු උගුරින් නික්මුණේ ගෙරවිල්ලක් පමණකි. ඔහු, දිය බී, නැවතත්, මෙවර පැහැදිලිවා කෑගෑවේය. “ ටෝනි” ඈතින් හඬක් ඇදී ආයේය.

දෙවන වරටත් දිය හැන්දක් පානය කරනා’තර ඩුරාන්ටේට සිය ඇඟළුම් කෙරෙන් නැඟි අපුල ගඳක් දැනුණේය. උණුසුම, ආලෝකයක් ලෙසින්, සිය සිරුරින්ද ඇඟළුම් කෙරෙන්ද නික්මෙන බවද, නිවෙස තුළ පැතිරුණු සිසිලසැති අඳුර විසින් ඒ ගිලගන්නා බවද ඔහුට හැඟීගියේය. ඒ සමග, ටෝනිගේ ලී කකුල, පොළෝ මත නැංවූ හඬ ඇසුණේය. ඩුරාන්ටේ විරිත්තුවේය. ටෝනි වහ වහා ආයේ, කෘතිම පාදයේ මෙච්චල් කළ නොහැකි දැඩි බව රඳවා ගනු වස් දෙපසට පැද්දෙමිනි. දුඹුරු පැහැ ඔහු වත ඩහදියෙන් දිළිසුණේ කිසියම් ආලෝක කදම්බයක් එ කරා නාභිගත කලාක් සේය.

“ අපොයි, මේ ඩික් නෙව” ඔහු කීය. “ අනේ නාකියෝ, උඹ ගිය වතාවෙ ආවට කොච්චර කාලෙකට පස්සෙද මේ? ජුලියා සන්තෝස නොවෙයිද? මං අහනේ, ජුලියා සන්තෝස නොවෙයිද?”

“ එයැයි දැන් මෙහේ නෙවෙයිද?” ඩුරාන්ටේ ඇසුවේ, දිය වැගිරෙන හැන්දෙන් හිස එකවරම පසෙකට හරවමිනි.

“ එයැයි නොගාලෙස් වල” ටෝනි කීය. “ මෙහේ නොසෑහෙන්න රත්වෙනව. මං එයාට කීව- ජුලියා ඔයා යන්න නොගාලෙස්වලට. එහේ හුළඟ වරදින්නෙ නැහැ-එයා හුඟාක් ඇඬුව. ඒත් මං එයාව එහෙ යැව්ව”

“එයා හුඟාක් ඇඬුවද?” ඩුරාන්ටේ ඇසීය.

“ ජුලියා හොඳ කෙල්ල” ටෝනි පිළිවදන් දුන්නේය.

“ඒක හරි, උඹ මගේ කොටළුවට වතුර ටිකක් දානවනෙ? නැද්ද?”

ටෝනි ඉවතට ගියේය. ඔහුගේ දැව මුවා පය, ආලින්දයේ දැව ඇතිරූ පොළොව මත ටක ටක හඬ නැංවූයේ දුහුවිලි අවුස්සමිනි. ආලින්දයේ කෙළවරක වූ නිදන මැස්ස, ඩුරන්ටේ නෙත ගැටින. එහි වැතිරගත් ඔහු, ක්ෂිතිජය තෙක් ඉහළ නැගි කතරේ දුහුවිලි මීදුම, බැස යන හිරු කිරණින් තල්ලු කරනා අයුරු නැරඹීය. ජලය, ඔහුගේ සිරුර්ස් තෙත් කරමින් තිබිණ. ඉක්බිති නැග ආයේ කුසගින්නය. මුළුතැන්ගෙයි හැලි වළං පෙරලන හඬද ඉන්පසු ටෝනිගේ ප්‍රීතිජනක ස්වරයද ඇසුණේය.

“උබට මොනවද ඕන ඩික්? මං ගාව හොඳ ඌරු මස් ටිකක් තියෙනවා. ආයෙ අපූරු මෙක්සිකන් බෝංචි. හොඳට රස්නෙට හැදුවෑකි. හොඳ වයින් ඇති පදම්. ආයෙ ටෝටිල්ලා පාන්. ජුලියාටවත් බෑ මාත් එක්ක ටෝටිල්ලා පුච්චන්න. පුංචි හා නාම්බෙක් කොහොමද?”

“ බේත් කොටන තුවක්කුවෙන් සීසීකඩ ඇරපු එකෙක්ද?”

“ නෑ නෑ. මං උන් මරන්නේ මගෙ රයිෆල් එකෙන්”

“ උඹ රයිෆල් එකෙන් හාවො මරනව?” ඩුරාන්ටේ ඇසුවේ තකහනි කුහුලකිනි.

“ මට තියෙන ගිනි බටේ ඔච්ච්රයි.” ටෝනි පැවසීය. “ ලී කකුලකට එච්චර දුර යාගන්න බැහැනෙ. ඉතින් මම උන්ව ඉක්මනට එලාගන්න ඕන. තේරුණාද? උන් ඉර පායන්න කිට්ටුව ගේ අහලට ඇවිත් කන්පෙති හොලවනව. මං හරියටම මානම ගන්නව ඔළුවට”

“ ඔළුවටම..” ඩුරාන්ටේ මූණක් හදා ගනිමින් තැන්පත් විය. යළිදු, සිය අත්ලෙන් මුහුණද හිසද පිරිමැද්දේය.

ටෝනි ආලින්දයට ගෙනා අඩුම කුඩුම එහි තිබි කුඩා මේසය මත තැන්පත් කරන්නට විය. බිත්තියට සවි කොට එල්ලා තිබි ලන්තෑරුමක්, මේසය බොඳ අඩ කවයකින් එළි ගැන්වීය. ඔව්හු එහි වාඩිගෙන බුදින්නට පටන් ගත්තෝය. ටෝනි, අහර බුදින්නට පෙර ඇඟපත දොවාගෙන හුන්නේය. ඔහුගේ කෙහෙවලිය දියෙන් තෙත්ව, වටකුරු හිස පිටිපසට පීරා තිබුණේය. මේ කෙස් රොද පොඟන්නට, මරු කතරේදී නම් කහවණු පහක් මිළ කළ හැකි දිය කන්දරාවක් වැය කළ යුතුව තිබිණ.

හැම දෙයක්ම මැනවින් සකසා තිබිණ. ටෝනි හොඳට උයන්නට පමණක් නොව, මදිරා බඳුන් නිතරම පුරවනා අන්දමද දැන උන්නේය.

“ මේ මගෙ අප්පච්චිගෙ පරණ වයින්. අවුරුදු එකොළහක් වෙච්චි.” ටෝනි කීය. “ ඔහෙට පුළුවන් මේක අස්සෙන් එළිය බලන්න. මේ රත් වයින්වල දුඹුරු පාට පෙනව නේද?. ඒ තමා හොඳ වයින්වල කාලය ගේන පදම. මගෙ අප්පච්චි නිතරම ඒක කීව”

“ උඹේ තාත්ත මියෑදුනේ කොහොමද?” ඩුරාන්ටේ ඇසීය.

ටෝනි සිය අත්ල එසවූයේ එක්කෝ ඇහුම්කම් දෙන ලෙසක් නැත්නම් කිසියම් සිතිවිල්ලක් නිනව් නගනා කලක මෙනි.

“ කාන්තාරෙ තමයි එයැයිව මැරුවෙ. මට එයාගෙ කොටළුව හදි ගැහුණා. ඌත් මැරිල. වතුර බාජනේ හිලක් තිබ්බ. ගිජු ලිහිණි සාවිය පෙන්නුම් කරද්දි එයා උන්නෙ හැතැක්ම පහක් තරම මෙහායින්”

“ හැතැක්ම පහක්? ඒ කියන්නේ පැයක විතර. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ” ඩුරාන්ටේ කීය. ඒ සමග ඔහු අයාගත් දෙනෙතින් බැළුම් හෙළීය.

“ නිකම්ම ඔහෙ වැටිල උන්නද?” ඔහු ඇසුවේය.

“ නැහැ” ටෝනි කීය. “ හැමෝම පිපාසෙන් මැරෙන කොට මැරෙන්නෙ එකම එක විදිහකට. මුලින්ම කමිසෙ ඉරා දානව. ඊළඟට යට බැනියම. ඒ ඇඟ සීතල වෙයි කියල හිතාගෙන. ඒත්, ඉර අව්ව ඇඟ ගිනියම් කරනව. ඊළඟට ඔන්න හිතෙනව හැම තැනම වතුර කියල. ඉතිං වතුර හොයන්න හාරන්න ගන්නව. දූවිල්ල නහය ගාවට එනව. මිනිහ විලාප දෙන්න ගන්නවා. නියපොතු වැල්ලට කැඩිල යනව. ඇඟිළිවල මස් ඇටේට යනකම් හීරිල යනව.” ඔහු ඉක්මන් වයින් උගුරක් ගත්තේය.

“ පිපාසෙන් පන යන මිනිහෙක් හැබහින් නොදැක තමුසෙ කොහොමද විලාප තියෙනව කියල දන්නෙ?” ඩුරාන්ටේ ඇසීය.

“ මුලිච්චි උන වෙලාවෙ උන්නෙ මුහුණුවල තියෙන්නෙ ඒ විදිහට තමා”ටෝනි කීය.

“ තව වයින් ටිකක් ගන්නවකො. ඒත්, කාන්තාරෙට බෑ මෙහාට එන්න. දෙණියට එන්න නොදී ඒක මෙච්චල් කරන හැටි අප්පච්චි මට කියල දීල තියෙනවා. මෙහේ අපට කිසිම අඩුපාඩුවක් නැහැ. එහෙම නේද?”

“ හැබෑව” ඩුරාන්ටේ සිනාසුණේ සිය කමිස කොලරය ලිහාලමිනි. “සෑහෙන්න හොඳයි”

ඉන්පසු ඔහු හොඳහැටි වැතිර හිතේ හැටියට නිදා ගත්තේ රයිෆල් හඬකින් අවදිවන තුරාය. එවිට, නුබ ගැබ අරුණාලෝකය දැකිය හැකි විය. එය කෙතරම් වටකුරු දීසියක් සේ දිස්වූවාද යත් ඔහුට හිතුණේ තමා ඊට උඩින් බලා ඉන්නා බවය.

නැගිටගත් ඔහුට හාවකු කණින් එල්ලාගත් ටෝනි අනෙක් අතෙහි රයිෆලය රඳවා එනු දැකිය හැකිවිය. 

“ පේනව නේද?” ටෝනි කීය. “ හීල ඇවිදින් අපට කතා කළා” ඔහු සිනාසුණේය.

ඩුරාන්ටේ මලකුණ පරිස්සමෙන් නැරඹීය.

තරබාරු එකකු වූ උගේ හිස පසාකොට වෙඩිල්ල වැදී තිබුණේය.

හරියට මැදින්ම. ඩුරාන්ටේගේ සිරුර මත කෙතරම් හිරිගඩු පිපීද යත්, ඔහු හීලට පෙර හොඳින් ඇඟපත දොවා ගත්තේය. මුළු දවසටම සරිලන සේ සිය ලෙය සිහිල්ව ඇතැයි ඔහුට හැඟුණි.

එය කදිම හීලක් විය. ඉස්ටු දැමූ හා මස් සමග මාළු මිරිස්. සහ පෑන් කේක්. අනුපානයට හොඳ සැර කෝපි විය. ඔවුන් අහර කිස නිම කරන්නට පෙර, නැගෙනහිර කවුළුව තුළින් ගලා ආ හිරුකිරණ, දහදිය නැංවීම ඇරඹීය.

“ මට බැරිද ටෝනි උඹේ රයිෆලේ පොඩ්ඩක් බලන්ට?” ඩුරාන්ටේ ඇසීය.

“ අපොයි. උබට ඇහැකි මයෙ තුවක්කුව බලන්ට. හබැයි, ඒකෙ වාසනාව නම් හොරාගන්ට එපා” ටෝනි හක හක ගෑයේය. ඔහු, පතරොම් පහළොවේ වින්චෙස්ටරය ගෙනායේය.

“ මූනිස්සම් කට ගාවටම පුරෝලද?” ඩුරාන්ටේ ඇසීය.

“ ගෙදර ආ කලියෙන්, මං නමෝ විත්තියෙන් කරන්නෙ මූනිස්සම් පුරවන එක” ටෝනි කීය.

“ ටෝනි, වරෙන් මාත් එක්ක එළියට” ඩුරාන්ටේ අණ කළේය.

ඔව්හු නිවසින් බැහැරට ආහ. හිරු රැස් ඩුරාන්ටේගේ ගත ඩා බිඳු උණු දිය බවට පත් කළ අතර නැවත හම සිසිල් වූයේ ඇඟළුම් විනිවිද පෙනෙනා ලෙසකිනි.

“ ටෝනි, මං ටිකක් දරදඬු වෙනවා” ඩුරාන්ටේ කීය. “ මට ළං වෙන්න හදන්න එපා.දැන් අහන් ඉඳින්. අද කීයට හරි මුලාදෑනියා මං හොයාන මෙහාට ඒවි. ඌයි උගෙ මිනිස්සුයි උඹේ වතුර ටැංකි වලින් හොඳහැටි බඩකට පුරෝ ගනී. ඉන් පස්සෙ උන් මගේ මග සළකුණු හොයාන කාන්තාරෙ හරහා ඒවි. තමුසෙට තේරෙනවා නේද? උන් මං පස්සෙ පන්නන්නෙ මෙහේදි වතුර ලැබුනොත් විතරයි. ඒත්, උං වතුර හොයාගන්න එකක් නෑ”

“ උඹ මොකක්ද කරන්න හදන්නෙ ඩික් පැටියො?” ටෝනි ඇසීය.” මේ බලපං. මට පුළුවන් උඹ වයින් බිම්ගෙයි හංගන්න.කාටවත් බැරිවෙයි උඹව හොයාගන්න”

“ මුලාදෑනියා මෙහෙදි වතුර හොයාගන්න එකක් නෑ” ඩුරාන්ටේ කීය. “ ඒක මෙන්න මෙහෙමයි”

රයිෆලය උරිස් මත්තට ගත් හේ, ඉලක්කය මානා වෙඩි තැබීය.වෙඩිල්ල ළඟින්ම තිබි ටැංකියේ පහළින් වැදුණේ පත්ල හිල් කරමිනි. යකඩ තාප්පය තොංගලින් වූ පොළොව අඳුරු අඩ කවයකින් පැල්ලම් විය. ටෝනි දණින් හොත්තේය. “ අපොයි, නැහැ. නැහැ. ඩික්” ඔහු විලාප දුන්නේය. “ බලපං මිදි යාය. ඒව වේලිල කරගෑටි වෙලා මැරිල යාවි. අපොයි ඩික්”

“ මූණ වහ ගනිං” ඩුරාන්ටේ කීය. “ මං පටන්ගත්තු එක අහවරක් කරන්න ඕන”

මුහුණ බිම හොවා වැතිරුණු ටෝනි දෑතින් කන් වසා ගත්තේය. ඩුරාන්ටේ ටැංකි එකිනෙක හිල් කළේය. ඉන්පසු, රයිෆලයට වාරු විය.

“ මගේ වතුර බෝතලේ අරං ගුරුලේත්තුවෙන් හොඳට කට ගාවට පුරෝපන්” ඔහු අණ කළේය.

“ ඉක්මනට ටෝනි” 

ටෝනි නැගිට ගත්තේය. වතුර බෝතලය ගෙන හාත්පස බැලීය. ඔහු බලා උන්නේ වතුර ටැංකි පහළින් පොළොව දිය උරා බොන සද්දය දෙස නොව මිදි යාය දෙසය. ඉන්පසු, ඔහු නිවස තුළට ගියේය.

ටෝනි සිය කොටළුවා පිට නැගී ගත්තේය. රයිෆලය වමතව ගත් ඔහු කොටළුවා මතට වන්නේය. ටෝනි බකල ගසමින් ආයේ බිමට යොමාගත් නෙතිනි. ඩුරාන්ටේ රිවෝල්වරය එල්ල කරමින්ම ටෝනි දෙස බැලීය. එහෙත්, ටෝනි හිස නූස්සාම වතුර බෝතලය දික් කළේය.

“ උඹේ පරහ ටෝනි, ඔය ඔතෑනිකම” ඩුරාන්ටේ දොඩන්නට පටන් ගත්තේය. “ මං දැන් උඹට කළ දේ කරන්න දිවියෝ රංචුවකට ඉඩදෙන්න කලින් මං මගේ අතින් පයින් උන් එක්ක හටන් කරනවා. උඹ වාඩි වෙලා හැම දෙයක්ම ඔහේ බාර ගන්නවා”

ටෝනි මේ කිසිවක් ඇසෙන බව හැඟවූයේ නැත. ඔහු මිදි යාය දෙස දෑත් දිගු කළේය.

“ උඹ මෙව්ව සේරම මැරෙන්න අරිනවද?” ඔහු ඇසීය.

ඩුරාන්ටේ උරිස් සෙලැවීය. වතුර බෝතලය අතට ගත් ඔහු, එය මුව විට තෙක් පිරී ඇද්දැයි සැක හැර දැන ගනු වස් සොලවා බැලීය. එය පිරී තිබුණි. ඉක්බිති, කොටළුවා හැරවූ ඔහු, හැල්මේ යනු වස් පා පහරකින් සන් කළේය. ටෝනිගේ නිවහනින් මයිල බාගයක් ගිය තැන ඔහු රයිෆලය විසි කළේය. මේ තේරුමක් නැති බර කර ගසාගෙන යා යුතු නැත. එසේම, බොරු කකුලක් සහිත ටෝනි මේ සා දුරක් ගාටා එන්නේද නැත.

තව මයිලයක් ගිය පසු ආපසු හැරී බැළූ ඩුරාන්ටේට දූවිල්ල අතරින් රයිෆලය ඇහිඳිනා ටෝනිගේ සේයාවද ඉන්පසු අයාගත් නෙතින් ඔහු තමා දෙස බලා ඉන්නා අයුරුද දැකිය හැකි විය. අර කී හාවාගේ හිස පසා කොට ගිය බුහුටි සිදුර ඔහුගේ මතකයට ආයේය. මින් මනත ඔහු කොතැන හක්කලම් කළද මේ මිදි යායට ඒම නම් බොරුය. එහෙත්, ඒ සමගම, ටෝනිගේ නිවහනට ගොඩ වදිනා මුලාදෑනියා හා පිරිවර සිහි නංවා ගත් ඩුරාන්ටේ ඇතිපදම් සිනාසුණේය.

මුලාදෑනි ගොල්ලට ඇති පදම් වයින් ලබාගත හැකි වෙතත් කිසිම මිනිහෙකුට ජලය නැතිව මරුකතර තරණය කරන්නටවත් හිතාගත නොහැක. මගහසර තනියට අසකු හෝ කොටළුවකු හිටියත් වෙනසක් නැත.

ඩුරාන්ටේ සිය වතුර බෝතලයේ පුළුල් පැත්තට තට්ටු කොට බැලීය. මුල්ම දිය පොද දැන් වුවත් මුවට ගත හැකි වෙතත්, ආශාව මැඩ ලිය නොහැකි තරමට දැඩි වන තුරා කල් දැමිය යුතු රහසක් තරමට ඒ අගනා වස්තුවකි.

ඔහු මග දෙපස නෙත් දැල්වීය. ළඟපාත අතන මෙතන ඉඳහිට පතිතව තිබුණේ ඇටකටුවකි. එහෙත්, ඈතින් තිත් පෙළකින් යා කළ රටහුණු ඉරක් විය. ඒ අමුතු කිතියකින් සලිත වූයේ අපාචේ කතරින් ඔබ්බේ සිසිල් නිල්වන් කඳුකරය සනිටුහන් කරමිනි. හෙට දින උදෑසන ඔහු ඒ කරා සේන්දු වනු ඇත.

දොරුවකින් මෑත්වූ කාන්තාර හිවලෙක් අපහැදිලි දුහුවිල්ලක් සේ දිව ගියේය. උගේ දිව මුව පසෙකින් කඩා හැළුණේ කුඩා රත්පැහැ කඩමාල්ලක් ලෙසිනි. ඩුරාන්ටේ හදිසියේම පිපාසයෙන් පීඩිතව ගියේය.

බෝතලයේ මූඩිය ගැලවූ ඔහු එය ඉහළට ඔසවා බැලීය. එහි, මඳ ඇඹුල් ගඳක් විය. බාගෙදා, බෝතලයේ හම් වැස්ම මඳක් පරනව ගොස් ඇතුවා විය හැකිය.

ඉක්බිති ඔහු, මඳ උණුසුම් දියරෙන් හොඳ උගුරක් වත්කර ගත්තේය. ඉඳුරන් විසින් අන්තරාය හඟවන්නට පෙර ඔහු එය බීවේය.

ඒ වයින් විය.

ඔහු සියල්ලටම පෙර බැළුවේ කඳුකරය දෙසය.ඒ නිල්වන්වද, තමා උදෑසන ගමන් ඇරඹූ විට සේම දුරස්තරවද දිස් විය. හ තරක් ගත කල යුතු වන්නේ ජලයෙන් නොව මදිරාවෙනි.

“ මට මෙහෙම වෙන්න ඕන” ඩුරාන්ටේ පවසා ගත්තේය. “මම ඌ විස්වාස කළා. මට මෙහෙම වෙන්න ඕන. ඌ යකාට ගියාවෙ”

ඔහු සිත තුළ නැඟි ගැස්ම ආයාසයෙන් මැඩලා ගත්තේය. ඔහු මධ්‍යහ්නය දක්වා මේ දියර අල්ලන්නේ නැත. ඉන්පසු, ඔහු එකම එක කෙටි උගුරක් ගනු ඇත. ඔහු මෙයින් දිනනු ඇත.

හෝරා ගෙවී ගියේය. හෝරා යතුර දෙස බැළූ ඔහුට තවමත් උදෑසන දහය බව හෙළිවිය.ඔහු හිතා උන්නේ මධ්‍යහ්නයට ඔන්න මෙන්න කියා ඇති බවය. වයින් බෝතලය වහුම් ඇරි ඔහු ඒ බඩ පුරා බීවේය. නැවත මූඩිය තද කරනා ඔහුට දිය පොදක අවශ්‍යතාවය හොඳහැටි දැනුණේය.ඔහු බෝතලය සෙලැවීය. ඒ දැන් බියකරු අන්දමකට බෙහෙවින් සැහැල්ලු විය.

වරක්, කොටළුවා ආපසු හැරවූ ඔහු පෙරලා එන්නටද සිතුවේය. එහෙත්, ඔහුට හරියටම හිස මැදින් සිදුරු වූ හාවා සිහිවිය.

ඒ සමග මිදි යාය වියළිව, රැඹටි ගැහී දිරාපත්ව පොතු හැලෙන මිදි වැල්. මේ හැම මිදි වැලක්ම ටෝනිට මියුරු ජීවයක් විය. ඉදින් ඩුරාන්ටේ ඒ හැමෙකක්ම මරුට කැපකර ඇත.

ඔහු නැවතත් නිල්වන් කඳු පෙල දෙස බැලීය. ලය තුළ හදවත බියෙන් ඇලලී කම්පනය විය. දිව උඩු තල්ලට ඇලී ගත්තේ මේ වියළි, මාරාන්තික වාතය ආශ්වාස කළ නිසා නොව හුදෙක් බිය නිසා විය යුතුය.

දවස කෙමෙන් වියැකී ගියේය. තියුණු වේදනාව හා වරින්වර නැගි ඔක්කාරය ඔහු කුස වෙලා ගත්තේය.

පහත බැළූ ඔහුට තම පාවහන් යුවල මත ලේ බිඳු පතිතව තිබෙනු දැකිය හැකිවිය. ඔහු කොටළුවාගේ දෑලෙන් ලේ වැකෙන තුරු අංකුසයෙන් ඇන තිබුණි. කොටළුවා ඉදිරියට ඇදුණේ පැත්තක් බිඳුණු පැද්දෙන පුටුවක් බඳු විපරීත විලාසයකිනි.

තමා දැන් බොහෝ වේලාවක් කොටළුවා හැල්මේ දැක්කූ බව ඩුරන්ටේට සිහිවිය. ඔහු, ඌ නතර කළේය. සතා හිටගත්තේ දෙපා පළල් කරගෙනය. හිස කඩා වැටී තිබිණ. ඔහු, සෑදලයෙන් එබී බැළූවිට මුව විවටව තිබෙණු දුටුවේය.

“ ඌ මැරෙයි. මං කොච්චර මෝඩයෙක්ද?”

හිරු අවරට යන තුරා කොටළුවා මියදුනේ නැත. ඩුරාන්ටේ රිවෝල්වරය හැර සෙසු හරුබස්ස අත් හැර දැමීය. ඔහු එහි බරද දරා උන්නේ තව මොහොතක් පමණි. ඉන්පසු, එයද විසිකර දැමීය. ඔහු දෙදණ පෙදින් පෙද වියැකෙමින් තිබුණේය. හිස ඔසවා, තරු කැළ දෙස බැළූ ඔහුට පැහැදිළිව දිස්වූයේ මොහොතකට පමණි. ඉන්පසු, ඒ භ්‍රමණය වන කුඩා කවයකටද රත්පැහැ අපැහැදිලි කඩ ඉරකටද පරිවර්තනය විය.

ඔහු පොළෝ මත වැතිර ගත්තේය. දෑස් පියැවුණේය. ගත පුරා පැතිරි වෙවිලිල්ල පහව යන තුරා බලාඋන්නේය. එහෙත්, ඒ නතර වූයේ නැත.

අඳුර තුල ගත් හැම හුස්මක්ම කළු දුහුවිල්ලේ ආශ්වාසයක් විය. නැගිටගත් ඔහු ඒ මේ අත වැනෙමින් ඉදිරියට ගියේය. විටෙක ඔහු, තමා දුව යන බව සිතීය. පිපාසයෙන් මියැදෙන්නට පෙර කෙනෙක් සිහි විකල් වන බව ද්දිගින් දිගටම සිහි නැංවීය.

ඵුගේ දිව විසාලෙට ඉදිමී තිබුණි. එය තම හුස්ම හිරකරන්නට පෙර පිහියෙන් සිදුරු කළහොත් ඉන් නික්මෙන රුධිරය ඔහුට පිටිවහලක් වනු ඇත. ඒ සමගම ඔහුගේ සිහියට ආයේ ලේ ලුණු රසැති බවය.

වරෙක, පැටි සමයේදී ඔහු හා පියා එක්ව කපොල්ලක් තරනය කළ දිනක, ඔවුන් කඳුකර විලක නිල් කැටයක් බඳු දියකඳ දැක තිබුණි. ඒ ටොන් මිලියනයකටද අධික සිසිල් ජල කඳකි.

දැන් ඔහු නෙත් දල්වා අහස දෙස බැළූ විට තරු පෙනෙන්නට තිබුණේ නැත. මේ දසුන දැන්නම් ඔහු බියපත් කළේය. ඔහු මින් පෙර මේ සා කළුවර කාන්තාර රාත්‍රියක් අත් දැක තිබුණේ නැත.

ඔහුගේ දෙනෙත් මැලවෙමින් තිබුණි. කෙමෙන් අන්ධ වෙමින් හුන්නේය.

උදෑසන හිරු උදාවූ පසු ඔහුට කඳුකරය බලාගත හැකි නොවනු ඇත. ඒ සමග මියෑදී වැටෙන තුරු ඔහේ කරකැවෙමින් පිය නගනු ඇත.

තරු හෝ සුලඟ නොවීය. වා ගැබ පල්වූ දිය කඩිත්තක් සේ නිසසල විය. ඔහු ඒ පත්ලේ මඩතලාවේ එරී හුන්නේය.

කමිසය දැඩිව අල්ලගත් ඔහු එය ඉරා දැම්මේ ඉඟටියෙන් පහළට කඩමාලු කැබලි දෙකක් සේ එල්ලෙන ලෙසිනි.

ඔහුට දැන් පොළොව දැකගත හැකි වූයේ ගල් කුළු අතර පය පැකිලී වැටෙන්නට පමණකි. එහෙත්, දෙව් ලොව කිසිදු තරු එළියක් නොවීය.

හැම සංවේදීතාවයක්ම සොරා ගන්නා වස මදිරා අතරට මුසු කරනා අන්දම යක්ෂයෝ මැනවින් දනිති. ටෝනි, ඔහු අන්ධයකු බවට පත් කර ඇත. ඔහුට දිය කැළඹෙන හඬක් ඇසුණේය. ඒ ඔහු පිය මාරු කරමින් ගෑටූ ගැඹුරු, සිහින් වැලි තලාව නිකුත් කළ හඬය. මේ වැල්ල කෙතරම් සිනිඳු වීද යත් කෙනෙකුට සිය දෑතින් ඒ හෑරිය හැකි විය.

ඉක්බිත්තෙන්, හෝරා ගණනාවකට පසු,ඔතෑනි අහස් කුසෙන් වැහි පොද වැගිරෙන්නට පටන් ගත්තේය. මුලින් කෙඳිරිල්ලක් හා පසුව මුදු පිළිසඳරක් වූ එය අරුණෝදයට ළං වූ කළ දහසක් අසකුර හඬ සේ ගිගුම් දුන්නේය. මේ හෙණ ගහනා, නා කපන වැස්සේ ආලෝලනය මැද වුවද, නිරාවරණ හිසින් හා රත් පැහැ ගෙලින් යුතු යෝධ ගිජු ලිහිණි රෑන, අපාව්හේ කාන්තාරයේ එක් තිතක් බලා පහළට රොක් වූහ.


මැක්ස් බ්‍රෑන්ඩ්( 1892-1944)

මැක්ස් බ්‍රෑන්ඩ් නමින් නිර්මාණකරණයේ යෙදුන ලේඛකයා, සැබෑ ජීවිතයේදී ෆ්‍රෙඩ්‍රික් පෝස්ට් නම් විය. මැක්ස් බ්‍රෑන්ඩ්, ඔහුගේ කෙලවරක් නැති ආරූඪ නම් අතුරින් එකක් විය.

මැක්ස් බ්‍රෑන්ඩ්, බෙහෙවින් නිර්මාණශීලී ලේඛකයකු විය. වසර විස්සක් ඇතුළත ඔහු නිමක් නැති නිර්මාන කන්දරාවක් බිහි කළේය. ඔහු බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වූයේ, අබිරහස් වෘත්තාන්ත හා අමෙර්කානු සාහිත්‍යයේ westerns ලෙස හැඳින්වෙන අමෙරිකානු පුරෝගාමීන්ගේ දිවි පෙවෙත හඟවනා ප්‍රබන්ධ නිර්මානයේය.

වෘත්තීය ලේඛකයකු වූ මැක්ස් බ්‍රෑන්ඩ්, දෙවන ලෝක යුද්ධය සමයේ වාර්තාකරුවකු ලෙස කටයුතු කොට ඉතාලියට එරෙහිව දියත් කෙරුණු අමෙරිකානු ආක්‍රමණයේදී මරු මුවට පත්විය.

ජනප්‍රිය ලේඛයකු වුවද, ඔහු සම්භාව්‍ය ලේඛකයකු ලෙස සැළකුණේ නැත. එහෙත් Wine in the Desert නම් මේ සමග පළවන කෙටිකතාව ලෝකයේ විශිෂ්ට කෙටිකතා අතුරින් එකක් සේ සැලකෙයි.



Top