හවස පූජාව අහවර වී පන්සලේ ඝණ්ඨාරය නාද කර අඩහෝරාවකුත් ගත විය. බටකූඩ ටික වියා අහවර කොට නාන්න ගිය ගරුතර හාමි ගෙට ගොඩ වුණේ දැන් ය. කුඩා දරුවා ඉස්තෝප්පු කාමරයේ නිදිකෙරවූ සිරියාවතී, අවුත් සෑදූ තේ කෝප්ප දෙක ගරුතරහාමිට හා සැමියා වූ විමලරත්නට පිළිගන්වා පාර බලන්නට විය.
සුද්‍ශේ ගේ දහවල් කෑමට කොතක් විතර බෙදා තැබූ බත් පිගානද, පිළුණු වූවෙන් එය විසි කර දැමූ හාමිනෝනාද කුප්පි ලාම්පු පත්තු කර ගෙනවිත් තියා පාර බලන්නට වූයේ කවදාවත් නොවූවිරූ ලෙස හැන්දෑවේ හය පහු වෙද්දීත් සුදේශ් තවමත් ගෙදර ආවේ නැති නිසාය.
කොලු නඩේ සමඟ නාට්‍ය පුරුදු වීම විනෝදාංශ කරගත් සුදේශ් හවස දෙක තුන වෙද්දී ගෙදර අවුත් බත් කා යළි ගරුතරහාමි සමඟ බට කූඩ විවීම පුරුද්දක් කරගෙන සිටියේය. වෙනදාට ආච්චියේ කියමින් හාමිනෝනා සමඟ විහිලු තහලු කරමින් සිටින සුදේශ් ගේ හැසිරීම අද අමුතු වූ බව හාමිනාට සිහි විය.
ගිය ඉරිදා ලෙංචිනා කොළම පෙන්වා අහවර වී, දැන් අලුත් නාට්‍යකට ලක ලෑස්ති වෙන නාට්‍ය කණ්ඩායමේ වැඩ ඉවර වී ගෙදර ආ විගස පෙරදා රැයේ අය්යා සමඟ හිත නෝක්කාඩු වී ඇද දමා තිබූ තම ඇදුම් යළි නමා සූට්කේසය තුළ තැම්පත් කරනවා හාමිනෝනා බලාගෙනය.
බන්දු.. ඒ සුදේශ් ගේ දෙවෙනි අයියා ය. අය්යලා දෙන්නෙක් සහ අක්කා කෙනෙක් ගේ බාල මළණුවන් වූයේ සුදේශ් ය. වැඩිමහල් අයියා කසාද බැද මඩවල පදිංචි වී සිටි අතර , අක්කා දීග ගොස් සිටියේ රාජාංගනයටය. බාල අයියා වූ බන්දු පෙදරේරුවෙකි. සුදේශ් වැඩිපුරම සමීප බන්දු අයියාට ය. මව වූ ලීලාවතී දරුවන් මහ ගෙදර දමා කොළඹ රැකියාවක් කලේ දරුවන් පුංචි සන්දියේ සිටය. එහෙයින් පුංචි සන්දියේ සිට දරුවන් බලාකියා ගන්නා රාජකාරිය පැවරුණේ සීයා හා ආච්චි වූ ගරුතර හාමි සහ හාමිනෝනාටත් මාමා වූ විමලරත්නටත් ය. බාල මළණුවන්ගේ සියලු ඕනෑ එපාකම් බැලුවේ බන්දුය. ඔහු එවකට තන්තිරිමලේ ගෙදරක මේසන් වැඩ කරමින් සිටියේ ය. නිවාඩුවට ගෙදර ආ බන්දු නැවත තන්තිරිමලේ යාමට ලක ලෑස්ති වීමේදි තමාටත් අය්යා සමඟ ගොස් බාස්ලාට අත්වැඩ දීමට අවැසි බව කියමින් මෙදා සැරේ තමාවත් තන්තිරිමලේ එක්කාගෙන යනලෙස ඉල්ලා සිටියේය .
අව්වේ පිච්චි පිච්චී, අත්වල කරගැට එනකම් වැලි තාච්චි උස්සා, බදාම අනා බාස්ලාට අත්වැඩ දෙන්නට තම එකම මළණුවන් කැදවාගෙන යාමට බන්දුට සිත් නොවීය. සල්ලි අතට ලැබෙද්දී වෙන දෙයක් ගැන නොහිතා ඒ රස්සවටම මළණුවන් සින්න වේ යැයි බන්දු ට සිතුණි. මල්ලි ගැන ඔහු තුළ වූයේ ඊට වඩා එහා ගිය බලාපොරොත්තුවකි. දිනක තමා මෙන්ම සුදේශ් ද මේසන් බාස් කෙනෙකු වෙන හීනයක් බන්දු තුළ නොවීය. මල්ලී ඔහුගේ කලා හැකියාවන් දියුණු කරගෙන එයින් ඉහලට යන දවසක ඒ දිහා බලා සතුටු වන දිනක් ගැන බන්දු ගේ සිහින තුල විය.ඒ නිසාවෙන්ම මල්ලි කළ යෝජනාව ප්‍රතික්ෂේප කර දමා බන්දු එදා තන්තිරිමලේ ගියේ වෙනදා මෙන්ම තමාගෙ සයයා වූ මුදිත් සමඟය. එයින් හිත නරක් කරගත් සුදේශ් ගමනට ලෑස්ති කර තිබූ රෙදි ද කාමරයේ සී සී කඩ විසුරුවා හිත් අමනාපයෙන් නින්දට ගියේය.
උදේ අවදි වී කහට කෝප්පයක් බී ගෙදරින් පිටවූ සුදේශ් දෙකට විතර ගෙදර ඇවිත් බතුත් නොකා කිසිවෙකුටත් නොකියා ගෙදරින් පිටවී යාමත් රාත්‍රී හතට කිට්ටු වීත් යළි ගෙදර නෑවිත් සිටීමත් "ගුලන ගෙදර" සියල්ලටම ප්‍රෙහේලිකාවකි.
" බන්දුවා එක්ක හිත් අමනාපෙන් මේකා කොහේ හරි ගියාද දන්නෙ නෑ"
හාමිනා තම මුණුබුරා තවමත් ගෙදර නාව තැවුල හිතේ රදවාගෙන කීවාය.
"ඌ එක්ක හිත් අමනාප වුණා කියලා ගෙදර නෑවිත් ඉන්න එකෙක් නෙවෙයි පොඩි එකා"
විමලරත්න කීවේ , ඉතිරි තේ මණ්ඩි ටික මිදුල මැද පැණි දොඩම් ගහ යටට වීසි කොට මහවත්ත පැත්ත තවත් සෝදිසි කරන ගමන් ය.
" ඒකත් හැබෑව, ලෙංචිනා කොළම නටලා ආව දවසේ ඉදන් කොල්ලා හිටියේ තෝන්තු වෙලා. එදා ඉදන්ම තමයි කොල්ලාගෙ හැසිරීම වෙනස්."
හාමිනෝනා නිකටේ අත රදවාගෙන සිහිකළාය.
"මං රුවිතන් බාප්පාලාගෙ ගෙවල් පැත්තට ගිහින් සෝදිසි කරලා එන්නම්"
විදුලි පන්දමක් දල්වා ගත් විමලරත්න පල්ලම් බැස්සේ සුදේශ් ට කුමක් වූවාද සිතමින් ය. යන අතරමග විමලරත්න පන්සලටද ගොඩ වී බැලුවේ කොලු නඩය සමඟ පන්සලට වී ඇතිදැයි බැලීමටය. සුමේද පොඩි හාමුදුරුවෝත් අවසන් වරට සුදේශ් දැක ඇත්තේ දහවලේය. තරුණ නඩ සමඟ එකතු වී රා අරක්කු බීම හෝ නොකරන නිසා එහෙව් තැන් වලට ගොස් පමා වෙනවා කියා සිතන්නටත් බැරිය.
" සුදේශ් පහුගිය ටිකේම හිත් අමනාපයෙන් තමා හිටියෙ"
රුවිතන් බාප්පාගෙ ගෙට ගොඩ වූ විමලරත්නට ඒ බැව් සැල කර සිටියේ සුනන්දා ය. හිත් තැවුලට හේතුව ගෑණු ළමයෙකුගේ පළහිලව්වක් යැයි තමාට සැක බව සුනන්දා කියා සිටියා ය. විමලරත්නගේ හිත යකාගෙ කම්මල මෙන් ය. කොල්ලා ආ ගිය අතක් නැත. කොල්ලාට යම් කරදරයක් වූවොත් පොඩි අක්කාට උත්තර බැද යුත්තේ තමාය. වැඩිමහල් දරුවන් තිදෙනාට වඩා පොඩි අක්කා වඩාත් සමීප සුදේශ්ට ය. රුවිතන් බාප්පාත් සමග පංදෙනියටත් ගොස් සුදේශ් ගැන තවත් සෝදිසි කිරීමට විමලරත්න සිතුවේ ඒ නිසාය.
රෑ බෝ වෙන තෙක් සෙව්වත් ඔහු ගැන ආරංචියක් නොවීය. ගෙදර එන විට ගෙදර උන් බලාගත් අත බලාගෙනය. ගෙයි සමහරක් තැන්වල කුප්පි ලාම්පු නිවී ගොස් ය. ඒවා දැල්වීමට වත් හිතක් විමලරත්න තුළ නොවීය. රෑ තිස්සෙ තවත් සොයන්නට තැනක් නොමැති නිසා උදේම තවත් සෝදිසි කිරීමට සිතා ඇහැ පියාගත්තත් ඔහු තුල නින්දක් නොවීය.
උදේ වෙන විට මුලු නක්කාවිටටම සුදේශ්ගේ අතුරුදන් වීම සැල වීය. අහල පහල තරුණ පිරිස් ගුලන ගෙදර වටා රොක් විය. තන්තිරිමලේ හුන් බන්දුටත් ටැලිග්‍රෑමයක් යැවීමට කිසිවෙක් දැරණියගලට ගියේ ය.
එදා දවසම සැක කටයුතු සියලු තැන් වල සුදේශ් ව සොයා ගම්වැසියෝ ගියෝ ය. එදින රාත්‍රී වන තෙක් කිසිවෙකුට ඔහු ගැන ආරංචියක් සොයාගත නොහැකි විය. දෙදිනක් පුරා කැලෑවේ යන්න පුලුවන් හැම තැනමත් ගමේ අහල පහල හැම තැනමත්, පන්දෙණිය , බෙලිගස්වත්ත හත්කෑල්ල වැනි අහල පහල ගම්වලත් සෙවූවත් කොහේවත් සුදේශ් නොවීය.
" අනේ බන්දුවෝ බලපන් මගෙ පොඩි එකාට වෙච්ච දෙයක් "
බන්දු ගෙට ගොඩ වන විටම හාමිනෝන ලතෝනි දෙන්නට විය.
" මාමෙ මොකක්ද වුණේ මේකාට"
උලුවස්සට වාරු වෙමින් බන්දු විමසුවේ විමලරත්නගෙන් ය.
"පුලුවන් හැම තැනම හෙව්වා බං මේකා කොහේ ගියාද කියලා හිතා ගන්න බෑනෙ"
"මෙහෙම බලන් ඉදලා හරියන්නෙ නෑ. පොලීසියටවත් පැමිණිලි කරමු" ඔවුහු කතිකා කර ගත්හ.
" අනේ මගේ පොඩි එකා. ඕකාට ලෙංචිනා නටලා වස් වැදුනා. ඒකයි මේ තෝන්තු වෙලා හිටියේ එදා ඉදන්"
ඒ අතර හාමිනෝනා එලෙස කියමින් හඩන්නට විය. තවමත් මිදුලේ ගමේ පිරිමි දෙතුන් දෙනෙකි.
" බන්දුවෝ පොඩ්ඩක් මෙහාට ආවනම්"
තලතුනා පිරිමි අයෙක් කෑ අඩගැසුවායා.
" බලාහන් අර වල්සපු ගහ දිහා නිල මැස්සො වගයක් කැරකෙනවා. මට මහ අමුත්තක් දැනෙනවා බං."
ඔහු ඒ වග බන්දු සමඟ කීවේ ගෙට ඉදිරිපස වූ ලදු කැලෑවේ උඩහා ඇති වල්සපු ගස පෙන්වමින් ය. මුදිත් ට හිසින් සන් කල බන්දු එදෙසට පිය නගත්ම විමරත්න කීවේ ගම්මු ඔය පදුරක් පදුරක් ගානේම සෝදිසි කල බවකි. සැබැවින්ම එය එසේ විය. නමුත් මුදිත් ඉස්සර විය. ඔහුගෙ නිගමන නිවැරදි විය. වල්සපු ගස පාමුල අකුලේ නිළමැසි පොදියකි. ගහමුල පෑනකි. එය ගියවර තමා තන්තිරිමලේ සිට එන විට මල්ලි වෙනුවෙන් මිලදී ගත් පෑන බව බන්දු හදුනා ගත්තාය.
" මල්ලියේ ......."
බන්දුගේ හඩගෑම පංදෙණිය දිහාට නෑහුනා නම් පුදුමය. හැඩිදැඩි පිරිමින් විසින් ඉටි රෙද්දක ඔතා සුදේශ් ගේ නිසල දේහය ගුලන මිදුලට ගෙන ආවත් ඒ වන විට ඉහඳ පණුවවෝ සිරුර ආක්‍රමණය කර අහවරය. ඉටිරෙද්දෙන් එලියට ආ සුදේශ් ගේ සුරතේ යමක් ගුළිකරගෙන සිටින අයුරු කදුලු අතරින් බන්දු දුටුවේ ය. නමුත් ඒ කුමක්දැයි බැලීමටවත් තරම් සිහියක් එවලේ ඔහු තුල නොවීය. රෝහලට රැගෙන ගිය සිරුර යලි නිවසට ආවේ සීල් තබාය. එහි තව දුරටත් දැක බලා ගැනීමට තරම් අවශේෂ කොටස් නැතිවීම සහ සිරුර නරක් වීගෙන ඒම එයට හේතුව විය. නිසල දේහය නිවසට ගෙන එන හෝරාවේ ම පාංශකූලයට කූලයට හාමුදුරුවෝ වැඩෙම්මෙව්වේය.
කොළඹ සිට පැමිණි ලීලාවතී මැණිකේ ඉදිරිපිට දේහය තැබූවත් අවසන් වරටවත් ඇයට තම ආදරණීය බාල පුතුගේ මුහුණ බැලීමට තරම් වාසනාවක් නොවීය.
" ලෙංචිනා මගේ .....ලෙංචිනා මගේ .."
ලීලාවතී ගේ කටින් පිටවූයේ එපමණකි.වැලමිට ළගින් දෑත් දෙක නවා ගත් ඇය යලි ඒ අත් දිගහැරියේ පසුගිය වසරේ අවසන් ගමන් යාමට පමණි.
ඉතින් අවසානයේ , පුතුගේ අභාවයෙන් පසු සෑම තැනම ලෙංචිනා කවි කියමින් ඇවිදීමත් , බොහෝ රාත්‍රීන් වල සුදේශ් ප්‍රිය රෝහණ පුතේ මාව එක්ක පලයන් යැයි හඩ ගෑමත් ඇය පුරුද්දක් කරගෙන සිටියා ය. ඇය මිය යාමට ආසන්න කාලයේත් විකල් වූ සිහිඇති ඇයගේ මතකයේ තිබුණේ ඇයගේ බාල පුතණුවන්ගේ නම පමණි.
(සත්‍ය කතාවක් ඇසුරෙන් කරන ලද නිර්මාණයකි)