අම්මගේ උපන්ගම රුවන්වැල්ල. පියා කීර්ති ධර්මරත්න. සිංහල බෞද්ධ. මව මේරි මේබල්. කතෝලික නමක්. උප්පැන්නේ තිබුණෙ නම් එහෙම. ඒත් ප්‍රශ්නයක්...... අම්මාව පුංචි කාලේ ඉදන් බලාගත්ත තාත්තාගේ නම ජයවර්ධන. මව වුණේ සෝමා රත්නායක. ඉතින් කොහොමද අම්මට තාත්තලා දෙන්නෙක්. අම්මලා දෙන්නෙක්. පුංචි කමට මාත් අම්මා ළගින් වාඩිවෙලා දිගට හරහට ප්‍රශ්න වැලක් අහගෙන ගියා. ඒත් ඉතින් ඒ එක ප්‍රශ්නෙකටවත් මගෙ අම්මා නම් උත්තර දුන්නේ නැහැ. සමහර විට එයා හිතන්න ඇති මම පුංචි නිසා මට මේ දේවල් කීවත් තේරෙන්නෙ නැතිව ඇති කියලා. එහෙමත් නැතිනම් මට කීවා කියලා වැඩක් නැහැ කියලා හිතුවා වෙන්නත් පුලුවන්.
දවසක් හදිසි පණිවුඩයක් ලැබුණේ අපි නොසිතපු වෙලාවක. පණිවුඩය අපේ ගෙදරට අරන් ආවේ අම්මාගේ නෑයෙක් වන අපේ ගමේ කෙනෙක්ලු. පස්සෙ තමයි මමත් දැන ගත්තේ එයා අම්මාගේ නෑයෙක් කියලා. ඒ පණිවුඩය අහපු ගමන් ගෙදර හැමෝම කලබල වෙනවා මම දැක්කා. මාත් පුංචිකමට ටිකෙන් ටික ළං වුණේ ගෙදර හැමෝම කලබල වෙන්න තරමට ඒ පණිවුඩේ ඒ තරම් තියෙන වැදගත්කම මොකක්ද කියලා දැන ගන්නයි. රුවැන්වැල්ලෙ ඉන්න තාත්තට හදිසියේම හොදටම අසනීප වෙලා. එයාගේ දුවව දකින්න ආස නිසා දුවට පුලුවන් තරම් ඉක්මනින් එන්න කියන්න කියලයි ඒ ආපු නැන්දා කියලා ගියේ. එදා මගේ සුදු සීයයි, සුදු ආච්චියි පිල්කඩ උඩ වාඩිවෙලා ඉන්නවා යන්තමට මම දැක්කා. මිදුලට වැටිලා තියෙන හද එළිය නිසාම එයාලගේ මුහුණවල් හොදටම පෙනුණා. කුප්පි ලාම්පුවෙන් දිවිගෙවපු අපිට හද එළියත් ඉස්තරම්. ඒ දෙන්නගෙම ඇස්වල කදුළු. පිරුණු කදුළු වලට ඒ ඇස් දිලිසෙනවා. ඒත් කදුළු එන්න තරම් දෙයක් මේ ගෙදර සිද්ධ වෙලා තියෙනවාද කියලා මම දැනන් හිටියේ නැහැ. ඔය අතරෙදි අම්මත් මේ දෙන්නා දිහා බලලා හූල්ලනවා යන්තමට මම දැක්කා. එදා රෑ මම නින්දට ගියේ පිළිතුරු නැති ප්‍රශ්න පත්තරයක්ම හිතේ තියාගෙන. පහුවෙදා උදෙන්ම අම්මයි, තාත්තයි චූටි නංගිවයි ලෑස්ති කරගෙන ගමනක් යන්න පිටත් වෙනවා මම දැක්කා. මම හිතුවා කලින් දවසේ අර නැන්දා ඇවිත් කියපු පණිවිඩයට තමයි මේ යන්නේ කියලා. ඒ යද්දී අම්මා මට රුපියල් 20ක් අතේ තියලා සුදු සීයාට කියලා කඩෙන් ටොෆි අරන් කන්න කියලා ගියේ හවස් වෙද්දි ගෙදර එනවයි කියලා.
එදා දවස ඉස්කෝලේ නිවාඩු දවසක් වුණු නිසාම මම ගෙදර මේස ලාච්චුවට අත දැම්මෙ සුදු සීයාත් එක්ක අලුත් නිර්මාණයක් කරන්න මොනවාහරි උපකරණ ටිකක් හොයා ගන්න. ඒ ලාච්චුවේ නැති දෙයක් නැහැ. මුහුදු බෙල්ලෝ, සිප්පි කටු, පරණ රිදී තඹ කාසි, පරණ තඹ හා රිදී මිශ්‍ර ආබරණ, ඉබි යතුරු, කැටයම් කළ නිර්මාණ, ලිපි ද්‍රව්‍ය මේ වගේ ගොඩක් දේවල් තිබුණා. මම හරි පරිස්සමට එකවිට නෙත ගැටුණු ලිපි ද්‍රව්‍ය ඇවිස්සුවේ ආසාවට. ඒ අතර හතරට පහට නවපු ලියුම් කිහිපයක් ඒ ලිපි ගොණු අස්සේ තියෙනවා අහම්බෙන් දැක්කා. ඒවා එකිනෙක කියවන්න ගද්දීම මගේ සුදු සීයා කතා කරනවා ඇහුණු නිසාම ආයෙමත් ඒවා තිබුණු විදියට අසුරලා එතැනින් යන්න ගියා. අම්මලා හවස් වෙනකොට ගෙදර ඇවිත් ගමනේ විස්තර සුදු සීයාට කියනවානම් ඇහුණා. ඉක්මනට සනීප වෙයි කියනවාත් යාන්තමට ඇසුනා.
සුපුරුදු පරිදි කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. ඒ කාලේ ඉදන්ම මට තිබුණ රහස් පරීක්ෂක උණ නිසාම මං ආයෙමත් අර මේස ලාච්චුවට නෙත් යොමු කළේ එදා අම්මාගේ උප්පැන්න සහතිකයේ ජායා පිටපතක් ඒකෙ තිබුණු නිසයි. එතන ලොකු කතාවක් තියෙනවා කියලා නම් මට වැටහිලයි තිබුණෙ. එදා මම අසුරපු පිළිවෙලට තිබුණ ලියුම් කිහිපය එකිනෙක කියවන්න ගත්තා.
ආදරණීය පුංචි දෝණි,
පුතේ ඔයා හොදින් ඇති කියලා හිතනවා. මට ඔයා එවපු ලිපිය හම්බවුණා. ඔයා සාමාන්‍ය පෙළ විභාගයට උප්පැන්න සහතිකය බලද්දී ඔයාට එතැන ගැටලුවක් තිබුණා. ඔයා මේ හැමදේකම ඇත්ත තාත්තගෙන් අහලා දැන ගත්තා. ඔයා මගේ ලිපිනය හොයාගෙන මට ලියුම එවන්න කලින් ඔයාගේ තාත්තා මට පුතා ඇත්ත දැනගත්තා කියලා හැම විස්තරයක්ම සදහන් කරලා ලියුමක් එවුවා.
පුතේ, හැමදෙයක්ම ඒ විදියට සිද්ධ වෙන්න හේතුවක් තිබුණා. ඔයාගේ අම්මාගෙයි මගෙයි සම්බන්ධෙට අපේ ගෙදර කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. ඔයාගේ අම්මා ක්‍රිස්තියානි කෙනෙක් නිසා. ඒත් අපි ගෙදරට හොරෙන් විවාහ වෙලා වෙනම පදිංචි වුණා. පස්සේ ඔයාව ලැබුණා. ඔයාව
ලැබිලා මාස තුනකට පස්සේ ඔයාගේ අම්මා හදිසියේ නැතිවුණා. අන්තිමට ඔයාව හදාගන්න මට තනිවම පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔයාට එතකොට මාස තුනයි. මම ආයෙමත් අපේ ගෙදර ගියොත් ඔයාට ඒ අයගෙන් වෙනස්කමක් වෙයි කියලා මම බයවුණා................ මම ඉක්මනට එනවා ඔයාගේ පුංචි අම්මයි, ඔයාගේ නංගියි මල්ලියි එක්ක ඔයාව බලන්න. පරිස්සමින් ඉන්න මගේ දෝණි. ඔයාට බුදුසරණයි.
මීට,
තාත්තා.
ලියුම් ටික කියවලා ඉවරවෙලා නැවතත් ඒවා තිබුණු පිළිවෙලටම මේස ලාච්චුවෙහි අසුරා තැබුවේ හැමෝම ගැන හදවතේ උපන් ශෝකයක්, දුකක් ඇතිවයි. එදා සෙනසුරාදාවක්. අම්මා කීවා රුවන්වැල්ලේ ඉන්න සීයා බලන්න යමු කියලා. මම ඒ සීයා බලන්න යන්නේ පළවෙනි වතාවට. අම්මාගෙනම් මේ දෙවැනි වතාවලු. එදා උදේ සුදු සීයාට වැදලා යද්දී සුදු සීයා අම්මගෙන් ඇහුවේ පුතාලා අදම ගෙදර එනවා නේද? කියලයි. ඒ ඇස්වල කදුළු බෝල වෙනදා වගේම එදත් දිළිසුණා.
ඔව්.... මම ඒ සීයාව දැක්කා. අම්ම වගේම සුදුයි. තරුණ කාලේ කඩවසම් වෙන්න ඇති කියලාත් නිකමට මට හිතුණා. මං හිතින් මගෙ සුදු සීයාවයි මේ සීයාවයි හිතින් සංසන්දනය කරලා බැලුවා. ආදරේ බර වැඩිම සුදු සීයාගේ පැත්තටයි. සුවිශාල වත්තේ විශාල දෙමහල් නිවෙස් දෙකක්, සීයාට අයිති අවට තේ වතු සියසින් දැක්කා. ඒ වෙලාවෙ මට හිතුනෙ මගෙ අම්මගේ උරුමයනෙ මෙයාලා භුක්ති විදින්නෙ කියලා. ඒ ගැන සියුම් තරහක් නොදැනුනාම නෙවෙයි. අපි නැවත ගෙදර එද්දි අපි එනකල් මග බලන් ඉන්න සුදු සීයාව දැක්කා. ඒ වෙලාවෙ සුදු සීයාගෙ මුහුණෙ තිබ්බ සතුට මට අදටත් අමතක වෙන්නෙ නැහැ. ඒ වෙලාවේ සුදු සීයා අම්මගෙ හිස අතගාලා පිල්කඩ උඩට ගොඩ වුණේ නිරාමිස සතුටකින් බව කියන්න වෙනත් සාක්ෂි වුවමනා වුණේ නැහැ. ඒ සියල්ලටම ඒ අහිංසක මුහුණ සාක්ෂි දැරුවා.
දවසක් අම්මා හොදටම අසනීප වුණා. ඒ වෙලාවෙ මගෙ සුදු සීයා අම්ම ළගට වෙලා හිස අතගගා පිරිත් කිය කිය තාමත් පුංචි දරුවෙක් රකිනවා වගේ රැක ගත්තා. දවසක් චූටි නංගිව දෝතට තුරුලු කරන් සුදු සීයා අපි නාන තොටට ආවේ චූටි නංගිව අඩනවා බලන් ඉන්න බැරි වුණු නිසයි. ඒ වෙලාවෙ මට හිතුනෙ මගෙ අම්මව චූටි කාලෙ කොයි විදියට ආරක්ෂා කරන්න ඇතිද කියලයි.
තවත් දවසක අම්මා හිටියේ දුරකථනයෙන් කාටද කතා කරමින්. ඒ වෙලාවෙ අම්මා කියනවා ඇහුණෙ ඒ සල්ලි නංගියි මල්ලියි අතරෙ බෙදලා දෙන්න. මට මෙහෙ තාත්තා ඉතිරි කරලා ගිය දේවල් ජීවත්වෙන්න හොදටම ඇති කියලයි. අම්මා කවදාවත්ම එයාගේ උරුමය ඉල්ලාගෙන ගියෙ නැහැ. අම්මා මේ වෙනකල් එයාගේ ඇත්ත තාත්තව බලන්න ගිහින් තියෙන්නේ තුන් පාරයි. රුවැන්වැල්ලෙ ඉන්න සීයා අම්මව බලන්න ඇවිල්ලා තියෙන්නෙ එකපාරයිලු. එදා වගේම අදත් අම්මගේ ජීවිතේ වීරයා, ආදරණීය තාත්තා වුණේ ජීවිතයට ආදරය, සතුට දුන්න සුදු සීයා. තාත්තෙක්ගේ ආදරය දුවෙක්ට සල්ලි වලින්, වතුපිටිවලින් දෙන කෙනා නෙවෙයි සැබෑ තාත්තා කියන්නෙ කියලයි අම්මා මට කීවේ.
අදටත් කවුරුමහරි අම්මගේ තාත්තා ගැන මතක් කරද්දී අම්මාගේ ඇහැට කදුළු උනන්නෙ සුදු සීයා වෙනුවෙන්. අදත් මම අහන ප්‍රශ්නෙට අම්මගෙන් හම්බෙන පිළිතුර වෙනදා දෙන පිළිතුරුම තමයි. ඒ කර්කශ පොළවත් එක්ක ගැටිලා තමන්ගේ ලේ වලින් නොඉපදුණු දරුවෙක් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරමින් ආදරය, උණුහුම දීලා ගිය සුදු සීයා.............ඔව්...ඒ සුදු සීයා.........