මිනිස්සු, ජීවිතය හොඳයි කියන සිතුවිල්ලට ආපහු යන්න ඕන (523)

post-title

නාඳුනන අයකු විසින්

ඊජිප්තු ලේඛක නජිබ් මාහ්ෆුස්ගේ By a Person unknown නම් කෙටිකතාවේ පරිවර්තනය

තට්ටු නිවාසයේ, අවධානය දිනා ගැන්මට සමත්, විමර්ශකයකුට කිසියම් උදව්වක් වෙතැයි සිතිය හැකි කිසිවක් නොවීය. කාමර දෙකකින් හා පිවිසුම් ශාලාවකින් යුතුවූ එය, සාමාන්‍යයෙන් ගත් කළ, බෙහෙවින්ම සරල විය. විස්මයට ඇත්තෙන්ම හේතු වූයේ එහි සිදුවූ හයානක මිනීමැරුම තිබියදී වුව, නිදන කාමරය එහි සුපුරුදු පිරිසිදුකම රඳවා ගනිමින්, ස්වාභාවික තත්වයෙන් පැවතීමය. යහන පවා, අවුල් නොකරන ලදුව, නැතහොත් යමෙකු එහි නිදාසිටි බැවින් එපමණකින් පමණක් අපිළිවෙල වී තිබුණේය. එසේවුවත්, එහි වැතිරහුන් තැනැත්තා උන්නේ නින්දේ නොව, ඝාතනයට ලක්කරන ලදුවය.ලේ, ඒවනවිටත් වියලී නොතිබුණි. ගෙල හිරකළ රැහැන්පට විසින් කල සළකුණ හා එළියට පැන තිබි ඇස්ගෝල කියාපෑවේ ඔහු ගෙල මිරිකන ලද බවය. නැහැය හා මුව අවට ලේ කැටිගැසී තිබුණේය. ඒ හැර, යහන, යහන් ගැබ හා සෙසුපටු තට්ටු නිවාසය තුළ දැඟලිල්ලක හෝ ප්‍රතිරෝධයක කිසිදු සේයාවක් තිබුණේ නැත. හැම දෙයක්ම පැවතුණේ ස්වාභාවික, සාමාන්‍ය හා හුරුපුරුදු විලාශයෙනි.

කාර්‍යභාර නිලධාරියා උන්නේ විස්මයට පත්වය. ඔහුගේ පුරුදු පුහුණු කල දෙනෙත් හාත්පස අහුමුළු පිරික්සමින්, සටහන්කර ගැනීමේ නිරත වුවද කිසිවක් උකහා ගත්තේ නැත. නිසැකවම ඔහු උන්නේ අපරාධයක් අබිමුවය. අපරාධකරුවකු නැති අපරාධයක් නැත. කිසියම් හෝඩුවාවක් ඔස්සේ හැර, අපරාධකරුවා අනාවරණය කරගත නොහැක. මෙහි හැම කවුළුවක්ම වසා දමා තිබූ නිසා, මිනීමරුවා පැමිණියේද පිටවූයේද දොරකඩින් විය යුතුය.මෙයට අමතරව, ඝාතනයට ලක්වූ අය මියගොස් තිබුණේ පටියකින් ගෙල සිර කිරීමෙනි. ශෙමනම්, මිනීමරුවාට මේ මනුස්සයාගෙ ගෙල වටා රැහැන ඔතන්නට හැකිවූයේ කෙලෙසකද? එකත් එකටම, ඔහුට එසේ කරන්නට හැකිවූයේ වින්දිතයා නිදාසිටි අතරවාරයේ වියයුතුය. කිසිදු ප්‍රතිරෝධයක සළකුණක් නොතිබූ නිසා, පිළිගත හැකි එකම පැහදිලිකිරීම එය විය. තවත් පැහදිලි කිරීමක් වූයේ ඔහු, වින්දිතයාට නොදැනෙන සේ පිටිපසින් විත්, ගෙල සිරකොට මරා දමා, යහනත හොවා, හැම දෙයක්ම තිබූ පරිදිම සකස් කොට, කිසිදු හෝඩුවාවක් නැතිව පිටව ගිය බවය. මොන මනුස්සයෙක්ද? මොන දිරියක්ද? ඔහු කටයුතු කළේ, ඉවසීමෙන්,කල්පනාකාරීව, සන්සුන්ව හා තිතටය. හරියට ප්‍රබන්ධ කතාවක සිදුවන්නාක් මෙනි. ඔහු, තම සිත, වින්දිතයා, අපරාධය හා මුළුමහත් පිහිටීමම මනවින් පාලනය කරමින්, කිසිදු කරදරයක් නැතිව පිටවී යයි. කොපමන දක්ෂ මිනීමරුවෙක්ද?

නිලධාරිය, විමර්ශනයේ පියවර සිය සිතෙහි සටහන් කර ගත්තේය. (අපරාධයට හේතුභූත වූ කාරණය, ගොඩනැගිලි භාරකරුවා හා වියපත් ගෘහ සේවිකාවගෙන් ප්‍රශ්න කිරීම) ඒ සමග, විය හැකි උපකල්පන කිහිපයක්ද ගොඩනගා ගත්තේය. ඔහු, තම සිත තුළ නැගි ප්‍රබල ආවේගයන් හැකි පමණින් මැඩලා, තට්ටු නිවාසයට රිංගා, අරකී මිනිසා ඝාතනය කොට, සුනම්‍ය සුළං පොදක් හෝ හිරුරැස් කදම්බයක් සේ සළකුණක් රහිතව පිටව ගිය මේ අමුතු මිනීමරුවා ගැන සිතන්නට වන්නේය. ඔහු, කබඩය, මේසය හා රෙදි පෙරෙදි සෝදිසි කොට, පවුම් දහයක් සහිත පසුම්බියක්, අර මනුස්සයාගේ අත් ඔරලෝසුව, හා රන් මුදුවක්ද සොයා ගත්තේය. අපරාධයට හේතුව, සොරකම නොවන බව පෙනෙන්නට තිබුණේය. එහෙම නම්, මෙයට පෙලඹවූ හේතුව කුමක්ද?

ඔහු, භාරකරු ප්‍රශ්න කරනු සඳහා කැඳවාගෙන එන්නැයි පැවසීය. භාරකරුවා, අබ්බාසියා වසමේ, බරාද් වීදියේ පිහිටි මේ කුඩා ගොඩනැගිල්ලේ වසර ගණනාවක් තිස්සේ සේවය කර තිබි, වයසක නුබියන් ජාතිකයකු විය. ඔහු, කිසියම් අදාලත්වයක් තිබි ප්‍රකාශයක් කළේය. මරා දමන ලද තැනැත්තා, නමින් හසන් වාහ්බි නම්වූ විශ්‍රාමලත් ගුරුවරයෙකැයි පැවසීය. ඔහු, වසර හැත්තෑවකට වඩා වියපත් වූ අතර, බිරිය මියගිය දා සිට තනිව දිවි ගෙවීය. ඔහුට ඇසියොට් හි වසනා විවාපත් දියණියක හා පෝර්ට් සෙයිඩ් හි සේවය කරන වෙදැදුරකු වන පුතෙක්ද වෙති. ඔහුගේ මුල් ගම්බිම් ඩැමියෙට්ටාහිය. කාරණා කටයුතු බලා කියාගත්තේ හැම දිනකම පෙරවරු දහයට පැමිණ, පස්වරු පහට තරම නික්මගිය උම් අමීනා විසිනි.

“ එතකොට තමුන්? තමුන් සමහර වෙලාවට එයාට පයිණ්ඩ පනත් කළේ නැද්ද?”

“ අවුරුද්දකට වතාවක්වත් නෑ” වියපත් මනුස්සයා කඩිනමින් හා තිරලෙසින් කීය. “ මං එයාව දකින්නෙ දොර ගාවදි. එළියට යනකොටයි, ඇතුළට එනකොටයි විතරයි”

“ ඊයෙ වුනේ මොකක්ද කියන්න”

“ මං දුටුව එයා අටට ගෙයින් එළියට යනව”

“ එයා තමුන්ට කීවෙ නැද්ද ෆ්ලැට් එක සුද්ද කරන්න කියල?”

මනුස්සයා පිළිතුරු දුන්නේ කිසියම් ආකාරයක රළු බවකිනි. “ මං ඔබට කීවනෙ, අවුරුද්දකට වතාවක්වත්, ජීවිත කාලෙටම වතාවක්වත් නැහැ කියල. උම් අමීනා දහයට එනව. එයාගෙ කෑම ටික උයල දීල, ගේදොර සුද්ද කරල, රෙදිටික හෝදල දෙන්න”

“ ඒ ඇත්ති ජනෙල් හෙම ඇරල යනවද?”

“ මං දන්නෙ නෑ”

“ කාටහරි බැරිද ජනේලෙන් ඇතුළට එන්න?”

“ ඔබට පේනවනෙ ෆ්ලැට් එක තියෙන්නෙ තුන්වෙනි තට්ටුවෙ. ඒක හින්ද ඒක කරන්න බැහැ. ඇරත්, බිල්ඩිම තුන් පත්තකින් තව බිල්ඩිං වලින් වැහිල. හතරවෙනි පැත්ත බරාද් වීදියට මුහුණ දාල කෙලින්ම”

“ ඔහේ කරගෙන ආපු කතාව කරගෙන යන්න”

“ එයා අටට පිටවෙලා ගිහිං නමයට ආපහු ආව. අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සෙ ඒක තමා එයාගෙ සාමාන්‍ය පුරුද්ද. ඊටපස්සෙ එළිය වැටෙනකම් ගෙයි තමා ඉන්නෙ”

“ එයාව හම්බ වෙන්න කවුරුවත් එන්නෙ නැද්ද?”

“ එයාගෙ දුවයි පුතයි ඇරුනහම, වෙන කෙනෙක් ආව කියල නිච්චි නෑ”

“ ඒ ගොල්ලො අන්තිම වතාවට ආවෙ කවද්ද?”

“ ඒ මහා බයිරාම් උත්සවේ වෙලාවෙ”

“ කිරි කාරයයි පත්තර කාරයයි එන්නෙ නැද්ද?”

“ එයා උදේ එළියට ගිහින් එනකොට පත්තර ගේනව. යෝගට් නම්, උම් අමීනා හවස්ජාමෙ ගෙනියනව”

“ එයා ඊයෙ එව්ව ගෙනිච්චද?”

“ ඔව්. මං දුටුව කොළුව උඩට ගිහිං ආපහු යනව”

“ උම් අමීනා ඊයෙ යනකොට කීය විතර උනාද?”

“ ඉර බහිද්දි”

“ ඒ කරල අද ආවෙ?”

“ දහයට විතර. එයා බෙලෙක ගැහැව්ව. සද්දයක් නැහැ”

“ එයා අද එළියට ගියාද?”

“ නැහැ”

“ තමුන්ට විශ්වාසද?”

“ එයා යනව මම දුටුවෙ නැහැ. මම උම් අමීනා එනතුරාමත් මගේ රාජකාරි මේසෙමයි උන්නෙ. ඉන්පස්සෙ, පැය කාලකට විතර පස්සෙ, එයා ඇවිත් කීව බෙල් එකට උත්තරයක් නෑ කියල. ඉතින් මම එයත් එක්කල උඩට ගියා. බෙල් එක ගැහැව්ව. දොරටත් තට්ටු කළා. උත්තරයක් නැති හින්දා අපි ගියා පොලිසියට.”

මේ වයසක භරකරුවාට හෝ උම් අමීනාට, කුකුළකුගේ ගෙල සිර කිරීමටවත් හැකියාවක් නැතැයි නිලදරුවා තීරණය කලද කිසියම් අයෙකුට ඇතුළුවීමට හා පිටවීමට ඉඩ ලබාදීමේ හැකියාවක් ඔවුනට තිබුණේය. එහෙත්, මේ හසන් වහ්බි උන්නැහේ ඝාතනය කරන්නේ ඇන්නෑවකටද?. මෙහි කිසියම්, හෙළිකොට නැති සොරකමක් වීද? මුදල් පසුම්බියට අත නොතබා තිබුණේ පොලිසිය නොමග යවන්නට විය නොහැකිද? තට්ටු නිවාසයේ යතුර මේස ලාච්චුවේ තිබීමත් තවත් ප්‍රයෝගයක්ද?

තමා ශතවර්ෂ කාලක් තරම ගුරු මහතාගේ නිවසේ සේවය කරන බව උම් අමීනා පවසුවාය. ඒ, ඔහුගේ බිරිය මියයන්නට පෙර පසළොස් වසරක් හා ඇය මිය ගියාට පසු දස වසරක්ද වශයෙනි. ඔහු කනවැන්දුම් වූ පසු,තමන් තම නිවසේ රෑ පහන් කල යුතු බව ඔහු කීවායැයි ඇය පැවසුවාය. ඇයද වැන්දඹුවක් වූ අතර, ඇය පැවසූ ලෙස දූවරුන් හය දෙනෙකුගේ මවකි. මේ හැම කෙනෙක්ම කම්කරුවන් හෝ ශිල්පීන් හා විවාහ වී සිටිති. ඇය, ඒ හැම කෙනෙකුන්ගේම ලිපිනයන් ලබා දුන්නාය.

“ ඊයෙ එයැයි හොඳ සනීපෙන් උන්න. පත්තර සේරම කියෙව්ව. කුරානයෙන් කොටහක් සද්ද කරල කීව. මං යද්දි, රේඩියෝ එක අහ අහ උන්නෙ”

“ තමුන් මොනවද එයාගෙ පවුල ගැන දන්නෙ?”

“ ඒ ගොල්ලන්ගෙ මුල් ගම් ඩැමියෙට්ටාවල. ඒත් එයා ඒ ගොල්ලො එක්ක වැඩි සම්බන්ධතාවයක් තිබ්බෙ නෑ. පුතයි දුවයි ඔය මංගල්ල දවස් වලටයි නිවාඩු පාඩුවටයි එනව ඇර වෙන කවුරුවත් එයා හම්බවෙන්න ආවෙ නැහැ”

“තමුන් දන්නවද එයාට හතුරො හෙම හිටියද කියල?”

“ කවුරුවත් නැහැ”

“ කවුරුහරි මේ ගෙදරට ආවද එයා මුණ ගැහෙන්න?”

“ කවදාවත් නැහැ. බොහොම කලාතුරකින් දවසක, එයා කැෆේ එකකට වෙලා යාළුවෙක් එක්ක හරි පරණ ගෝලයො එක්ක හරි ඉන්නව හැර”

මේ අපරාධය, කිසිදු හේතු කාරකයක් හෝ හෝඩුවා නොමැතිව සිදුවන්නට හැකිවූයේ මන්දැයි නිලදරුවා විමතියට පත්විය.

අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කරන ලදුව, නිලදරුවාගේ සහායකයාගේ උදව්වද සහිතව, භාරකරුගේ නවාතැන් පරිශ්‍රය හා උම් අමීනා හා ඇගේ දියණියන් හය දෙනාගේ නිවෙස් පරීක්ෂා කෙරුණේය. ඉන්පසු, මියගිය තැනැත්තාගේ හිතවතුන් කිහිප දෙනා ප්‍රශ්න කිරීම් සඳහා කැඳවන ලද අතර, ඒ කිසිවකුත් කිසියම් වැදගත්කමක් සහිත සාක්ෂියක් දුන්නේ නැත. මේ මනුස්සයාගේ ඝාතනය, හිත සපුරා කොනහන සුළු අබිරහසක් විය. මේ සංගෙදියේ තොරතුරු වීදිය ඔස්සේ විහිදී, ඉන්පසු පුවත්පත් වලද පළවූ අතර, පසුව මුළු මහත් අබ්බසියා වසමේම ප්‍රචලිත විය. බොහොමයක් අය ඉන් අකම්පාල වූහ. මියගිය අයගේ පුතා, දොස්තරවරයා ස්ථිරව සඳහන් කළේ සිය පියා වටිනාකමක් ඇති කිසිවක් සන්තකයේ තබාගෙන නොසිටි බවත්, හදිසියකදී ගන්නට ඉතුරු කර තිබි පවුම් සියයට වඩා යමක් ඔහුගේ බැංකු ගිණුමේ නොතිබි බව හා එයද අන්තිමා කාලයේදී පෙරළා ලබාගෙන තිබුණු බවත් ය. මේ වියපත් මනුස්සයාට සතුරන් කිසිවකුත් නොසිටි බව තහවුරු කළ ඔහු, ඝාතනයට හේතුකාරක වන්නට ඇත්තේ, ඔහුගේ නිවසේ ඇතැයි ඇදහූ කිසියම් පරිකල්පිත වස්තුවක් කෙරේ හටගත් තණ්හාව විය හැකි බව පැවසීය. ගොඩනැගිල්ලේ භාරකරු හා උම් අමීනා, තියුණු ප්‍රශ්න කිරීම් වලට ලක් කළද, කිසිදු ප්‍රතිෆලයක් නොවූයෙන් ඇප රහිතව නිදහස් කරනු ලැබූහ.

විමර්ශන නිලධාරියා විපිළිසරයේ මීදුමක අතරමංව, ඔහු මින් පෙර කිසි දිනක අත් නොවිඳි ඉච්ඡාභංගත්වයකින් පෙළෙන්නට විය. ඔහු, නගරයේ මෙන් ගම්බදද අපරාධ මැඩලීම කෙරේ ගෞරවනීය ඉතිහාසයක් තිබි, පොදුවේගත් කල ඉහල තලයේ කීර්ති නාමයක් සහිත නිලධාරියකු විය. මෙය, බලාපොරොත්තුවක පුංජයක් හෝ සහනයක් පිරිනොනමමින් ඔහු සපුරා පරාජය කරන්නට සමත්වූ මුල්ම අපරාධය විය. ඔහු, සිය චර පුරුෂයන්, වයිලි වසමට මායිම්වූ මුකටාම් කඳුපෙතේ සැකසහිත චරිත අතරට යැව්වද ඒ හැම අයකුම පෙරළා ආයේ කිසිදු තොරතුරක් රහිතවය. හසන් වහ්බි උන්නැහේ මිය ගොස් තිබුණේ ගෙල සිර කිරීම නිසා බව අධිකරණ වෙද නිලදරුවා වාර්තා කල අතර, ඔහු අපරාධකරුවා දමා ගොස් තිබිය හැකි හෝඩුවා, ඇඟිලි සළකුණක් හෝ කෙස් රොදක් සොයාගන්නා අපේක්ෂාවෙන්, මරනකරු සතු දෑ සියල්ල පරීක්ෂාවට ලක් කලද ඒ සියළු ප්‍රයත්න නිෂ්ෆල විය. හැමකෙනෙකුම පසක් කළේ, තමන් හිස් අගාධයක් මුවවිට ඉන්නා බවය.

මෙ ලඟපාත, පොලිස් ස්ථානය කරා යොමුවූ වීදියක විසූ මුෂින් අල්-බාරි නම් නිලදරුවා, තමා අත්විඳි දැඩි පරාජය නිසා විපිලිසරයට පත්ව, ඔහු සිත නොසන්සුන් විය. ඔහුගේ විශාදය හඳුනාගත් බිරිය, “ මේ කෙහෙම්මලක් නිසා හිත කලබල කරගන්න එපා” යැයි මුදු ලෙසින් පැවසුවාය.

නිහඬතාවය කරා පසුබැස ගිය ඔහු,මේ කරුණු කාරණා සිතට කාන්දුවීම වලකාලනු වස්, කියවන්නට විය. ඔහු, පොලිස් විමර්ශකයකු එල්ලේ විරල විනෝදාංශයක් වූ, එනිසාම තම සමීපතම මිතුරන් කෙරෙන්ද සැඟවූ, සාදි, ඉබන් අල්-ෆරීඩ්, ඉබන් අල්-අරාබි බඳු ගුප්ත කවියන් කෙරේ ලොල්විය.

මේ පලහිලව්ව, අබ්බාසියා වසමේ කතාබහට මාතෘකාව වූයේ, එහි වික්ෂිප්ත අබිරහස හේතු කොට මෙන්ම, මියගිය අය, දිස්ත්‍රික්කයේ ළාබාල හා මැදි වයසේ අය බොහොමයකගේ ගුරුවරයකුව උන් නිසාය. එහෙත්, සතියක් දෙකක් ගතවත්ම, මෙපුවත, විස්මෘති සයුරක ගිලී, අතුරුදන් වූ අතර, මුෂින් අබ්ද් අල්-අබාරිද එය ‘නාඳුනනා අයකු හෝ අයවළුන් විසින් කල අපරාධ’ තුල ගොනු කර ගත්තේ, සිය තිත්ත පරාජය ලොඹු කරමින්, “ නාඳුනන. මේ සංගෙදිය නම් හැබෑටම අඥාතයි” යනුවෙන් තමාටම පවසා ගනිමිනි.

මසකට පසු, නිලදරුවා අබ්බාසියා හි කෙළින් වීදියේ, ඉපැරණි මන්දිරයකට කැඳවනු ලැබුවේ, මේ හා සමාන අපරාධයක් සඳහාය. එය, හරියට, පලමු අපරාධයේ පිටපතක් ක්‍රියාත්මක වූවා හා සමාන විය. ඝාතනයට ලක්වූ අය, හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයකු විය. ඔහු, වයස හැටක බිරියක, එසේම වයස හැටක වැන්ඳඹු සොහොයුරියක හා විසි වියැති සරසවි සිසුවකු වූ සිය බාල පුතාගෙන් සමන්විත පවුල හා සමග දිවි ගෙවීය. මන්දිරයේ වාසය කල සෙසු අය වූයේ, මුරකරුවා, උයන් පල්ලා, රියැදුරා, කෝකියා හා තවත් ආවතේවකරුවන් දෙදෙනෙකි.

එක් උදාසනක, මේජර් ජෙනරාල්වරයා සුපුරුදු ලෙස නිදනා බව විද්‍යමාන විය. එසේවුවත්, එය සාමාන්‍ය තත්වයට වඩා ප්‍රමාද වූයෙන්, ඔහුට කරදරයක් නැතිදැයි සොයා බලන්නට ඔහුගේ බිරිය පැමිණ ඇත. එහෙත් ඔහු නිදාඋන්නා නොවේ. ඔහු ගෙල සිරකර තිබුණි; රැහැන් පටේ සළකුණු ගෙල වටා දිස්වෙමින්, දෑස් බියජනක ලෙසින් ඉදිරියට නෙරා, මුව හා නැහැය අවට ඇලෙන සුළු ලේ තැවරී තිබුණේය. කාමරය ගැන සඳහන් කරතොත්, එහි යහනත පවා පිළිවෙලට තිබුණු අතර එම මහලේම නිදාහුන් පවුලේ සෙසු අය අවදිකරන්නට පොහොනා කිසිදු ශබ්දයක් රාත්‍රියේදී ඇසී තිබුණේද නැත. මෙහි දිග පළල වූයේ, විමර්ශණ නිලධාරියාට මසකට පෙර හසන් වහ්බි ගුරුතුමාගේ නිවසේදී, තමා තලා පෙලා දැමූ මරණීය අබිරහසට යළිත් වතාවක් මුහුණ දෙන්නට සිදුව ඇති වගය. අර කී, නාඳුනන අය, ඔහුගේ නිහඬතාවය, පැහැදිළි කෲරත්වය, ගූඪබව හා විපරීත සමච්චලයට මුහුණ දිය යුතු බවය.

“ මොනවහරි හොරකම් කරලද?” 

“නැහැ”

“එයාට තරහකාරයො උන්නද?”

“ කවුරුවත් නෑ?”

“ ඒ එක්කලා සේවකයො? ඒ අය එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුණද?”

“ බොහොම හොඳින්”

“ කා ගැන හරි සැකයක් තියෙනවද?”

“ මොනවත් නෑ?”

නිලදරුවා සුපුරුදු වතාවතෙහි නිමග්න වූයේ බලාපොරොත්තු රහිතවය. ඔහු, මන්දිරය මැනවින් පිරික්සා, පවුලේ අය හා සේවකයන්ගෙන් ප්‍රශ්න කළේය. කිසියම් නාඳුනන පුද්ගලයෙක්, වින්දිතයන් විශාල සංඛ්‍යාවක් පමණක් නොව, ඔහුගේ කීර්ති නාමය් මෙන්ම ජීවනසාර ධර්මද විනාශ කරලීමේ මෙහෙයුමක හොරහසේ නිමග්නව කුමන්ත්‍රණයක් දියත් කරන බවට ඔහුට බිය ජනක හැඟුමක් දැනුණේය. ඔහුට ඒ හා සමානව හැඟුණේ අබිරහසේ බරින් තම හුස්ම හිරවන තෙක් තෙරපන්නට සූදානම්, කිසියම් ආකාරයක ප්‍රහේළිකාවක් ඇති බව හා ඔහු යළිත් වතාවක් අසාර්ථක වූවොත් ජීවිතය මුහුණ දෙන්නට ඇති හැකියාව අහිමි වන බවය; එබඳු ජීවිතයක් කිසිවෙකුටත් නොවටනා බවය.

මරා දමනලද පුද්ගලයාගේ තරාතිරම නිසාම, මේ පරීක්ෂණය භාරගනු වස් ජ්‍යේෂ්ට විමර්ශකයෝ පිරිසක්ම ආහ. “ අපරාධයක් ඇත්තටම සිද්ද වෙලා තියෙනව.” ඔවුන’තර එක් අයෙක් විමතියට පත්ව කීය. “ ඒත්, මේක පේන විදිහට සිද්ද වෙලා තියෙන්නේ අපරාධකාරයෙක් නැතුව නෙව?”

“ නමුත්, අපරාධකාරයෙක් ඉන්නව ඇත්තටම. බාගෙදා, අපි හිතනවට වඩා කිට්ටුවෙන් වෙන්න පුළුවන්.”

“ එයා කොහොමද ඒක කළේ?”

“ එයා බෙල්ල වටේට තුනී රැහන් පටක් යවල, මිනිහ මැරෙන තුරු ඒක හිර කරනව. ඒහ්, කොහොමද එයා අපරාධය වෙච්චි තැනට ගියේ?”

“ ඒත් එක්ක, මරා දමන්න හේතුව?”

“ මරල දාන හේතු, ජීවත් වෙන්න තියෙන හේතු වාගෙම හුඟක්”

“ හේතුවක් නැතිව මරල දාන්න පුළුවනිද?”

“ මිනිහ පිස්සෙක් උනා නම්, හේතුවක් නැතිව- නැත්නම් අපිව සෑහීමකට පත් කරන තරමේ හේතුවක් නැතිව- මරල දායි”

“ මේ ගුරුවරයයි, මේජර් ජෙනරාලුයි අතරෙ සම්බන්ධය මොකක්ද?”

“ දෙන්නම මරණයට අවනත වෙන අය”

මෙපුවත්, පුවත්පත් වල මුල් පිටුවේ පලකෙරුණේ ප්‍රකෝපකාරී ශීර්ෂ පාඨ සමගිනි. පොදු ජනතා මතය, විශේෂයෙන් ගත් කළ අබ්බාසියාහි පදිංචිකරුවන් අතර, සසල වූයේ, අවස්ථා කිහිපයකම මැතිවරණ අපේක්ෂකයකු සේ ඉදිරිපත්ව, වරක් සෙනේට් මණ්ඩලයටද තේරී පත්වූ මේජර් ජෙනරාල්වරයා, මැතිවරණ සමයේ සිටම ප්‍රසිද්ධ චරිතයක් වූ බැවිනි. මුෂින්, බලකායේ හුන් සෑම රහස් පරීක්ෂකයකුම, මේ ගැන විමර්ශනය හා විපරම් කරන්නට යෙදවීය. ඔහු, ඔවුනට තදබල උපදෙස් සපයා, සාර්ථකත්වය පිළිබඳ සැබෑ උණකින් සිය කාර්‍යයන් වෙත අවතීර්ණ විය. රාත්‍රිය අවසානයේදී, ඔහු පෙරලා නිවසට ආයේ, සිතින් මෙන්ම ගතින්ද වැහැරීය. සිය දෝමනස්සයන්, ඒ වනවිට දරු ගැබක අපහසුව දරන්නට පටන්ගත් සිය බිරියගෙන් වසන් කරලන්නට ඔහු අදිටන් කරගත්තේය. ඔහු, වඩාත්ම බියවූ කාරණය වූයේ, තමා පරාජයේ අවමානයක සලකුණු විදහා පාමින් අල්-වයිලිහි පොලිස් ස්ථානයෙන් මාරුකොට, වෙනකකු ඒ වෙනුවට පත් කරනු ඇත යන්නය. හරියට තමන්නේ සාර්ථකත්වය හා ජයග්‍රහණ පැවති සමයේ, තමන් ගම්බද හුන් සෙස්සන් වෙනුවට පත් කරනු ලබුවා සේමය. ඔහු, සිය කනස්සලයන් කෙරෙන් මිදෙනු වස්, කව් පොත් කියවීම අත් හදා බැළුවද, එය ව්‍යර්ථ වූයේ, ඔහුගේ මනස එකලාව නාභිගතව තිබුණේ සිය පරාජයේ සංකේතය බවට පත්ව තිබි අපරාධය කෙරෙහිම වූ නිසාය.

මේ දරුණු මිනීමරුවා කවරෙක් විය හැකිද? ඔහු, සොරකු හෝ පළිගැනීම අරමුණු කරගත්තකු විය නොහැකිය. උම්මත්තකයකුද නොවේ. උම්මත්තකයකු යමකු මරන්නට ඉඩකඩ ඇතත්, මේ සා ප්‍රබල පරිසමාප්තියකින් අපරාධ සිදු කරන්නේ නැත. ඔහු මුහුණ ලා තිබුණේ,ශක්තිමත්, සියල්ල යටපත් කරවනා ප්‍රහේලිකාවක් හමුවටය. එහි හිතුවක්කාරී ස්වභාවයෙන් ගැලවීමක් නොතිබුණි.ඉදින් ඔහු, ජීවිත සුරැකීමේ වගකීම දරා සිටින්නේ කෙසේද?

ජනතාව, විශේෂයෙන් අබ්බාසියාවේ වැසියෝ, මේ පිළිබඳ කුතුහලය හැරපියා මඳක් සන්සුන් වූහ. නිලධාරියා තුළ වූ සැකය, ඔහුගේ සිත තුළ ගැඹුරින් ජනිත, සන්සුන් ශෝකයකට හැරුණේය.

තුන්වැනි මිනීමැරුම සිදුවූයේ මේ අවස්ථාවේදීය. එය සිදුවූයේ, මේජර් ජෙනරාල්වරයාගේ ඝාතනයෙන් දින හතළිහකට පසුවය. තැන, බායින් අල්-ගුනායෙන්හි මධ්‍යම ප්‍රමාණයේ නිවසකි. වින්දිතයා, කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවකුගේ බිරිය හා දරු තිදෙනෙකුගේ මවක වූ තිස් ගණන්වල තරුණ කාන්තාවක් විය. හැම දෙයක්ම, සුපුරුදු ලෙස, -ගෙල වටා රැහැනේ නිල් පැහැ සළකුණ, මුව හා නැහැය හාත්පස ලේ හා නෙරූ ඇස්ගෙඩි හැර- ස්වාභාවික විය. මේ හැර, වෙනත් කිසිවක සළකුණක් නොවීය. මුෂින්, සිය එදිනෙදා වැඩ කටයුතු, නිහඬ, බලාපොරොත්තු සුන් විලාසයකින් කරගෙන ගියේ, ඔහුගේ මේ වධය කිසිදා කෙළවරක් නොවන බවද, තමන් කිසියම් අනුකම්පාවිරහිත බලවේගයක ඉලක්කය වී ඇති බවද අදහමිනි. මියගිය කාන්තාවගේ මව ඇය හා දිවි ගෙව්වාය. “ මං උදේ එයාට කොහොමද කියල බලන්න ගියා. එතකොට.....” ඇය කඳුළු තුළින් ගොළුවී ගිය අතර,වැලපීම කෙලවරක් වනතුරු නිහඬව උන්නාය.

“ අහිංසකීට අවුරුදු දහයකට කලින් උණ සන්නිපාතෙ හැදුනා”

“ උණ සන්නිපාතෙ?” මුෂින් මේ අදාල නැති තොරතුර අසා විමතියෙන් හඬ ගෑවේය.

“ ඔව්, එයාට හුඟක් අමාරු උනා. ඒත්, මියෑදුනේ නැහැ”

“ රාත්තිරි මොනවහරි යෑම් ඊම් ගැන මතකයක් තියේද?”

“ මොකුත් නෑ. පොඩි එව්වො මේ කාමරේ නිදියනව. මම, එයාගෙ කාමරේ ළඟ සෝපාවෙ ඇලවෙනව. මොකද එයාට ඕනකමක් උනොත් ළඟ ඉන්න ඕන නිසා. මං තමා පරක්කුම වෙලා නිදා ගන්නෙත්, කලින්ම අවදි වෙන්නෙත්. මං එයාගෙ කාමරේට ගියා. මං දැක්ක එයාව. මගෙ රත්තරනෙ.......... ඔහෙලට පේනවනෙ?”

සැමියා පැමිණියේ මධ්‍යහ්නයේදීය. ඒ වද්දී ඇලෙක්සැන්ඩ්‍රියා නුවර උන් ඔහු හුන්නේ අතිමහත් ශෝකයකිනි. විමර්ශණ නිලධාරියාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට පෙර, කිසියම් වේලාවක් ගත කරන්නට ඔහුට සිදු විය. විමර්ශනයට රුකුල් දිය හැකි යමක් ඔහු වෙත නොවීය. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ උන්නේ කිසියම් ව්‍යාපාරික කටයුත්තකය. පෙරදින, කොමර්ෂල් කැෆේහි නම් සඳහන් කළ පිරිසක් සමග ගත කළ ඔහු, රාත්‍රිය කබාරිහි ගත කළේ ඉන් එක් අයකු හා සමගය. ඛේදජනක විදුලි පණිවිඩය ඔහුට ලැබුණේ එහිදීය. දිගු සුසුමක් හෙළූ ඔහු, “ ඔෆිසර්, මේක දරාගන්න බැහැ. මේ මුල් වතාව නෙමෙයි. මීට කලින් ගුරු මහත්තයයි, මේජර් ජෙනරාලුයි මරල දම්ම. පොලිසිය මොනවද මේ ගැන කරන්නෙ? මිනීමරුවෙක් නැතුව මිනිස්සු මැරෙන්නෙ නැහැනෙ. ඔබලා ඔහුව අත් අඩංගුවට ගන්න එපාය?’ යි පැවසීය.

“ අපි මැජික්කාරයො නෙමෙයි” මුෂින් කඩාපැන්නේ මෙවන් ප්‍රහාරයක් දරාගත නොහැකිවය. “ ඔහෙට තේරෙන්නෙ නැද්ද?”

ඔහු සිය වදන් පිළිබඳව ඉක්මනින්ම කණගාටුවට පත් විය. පෙරළා පොලිස් ස්ථානයට පැමිණියේ, මිනීමරුවාගේ අංක එකේ වින්දිතයා තමා බව, තමන්ටම පවසා ගනිමිනි.මේ මිනීමරුවා සුළඟ මෙනි; එහෙත්, සුළඟද එහි බිඳක් නිවෙස් තුළ ඉතිරි කරලයි; නැතහොත් උණුසුම මෙනි; එහෙත්, එයද එහි ශේෂය ඉතිරි කරලයි. අපරාධ, ‘ නාඳුනන අයකු විසින් සිදු කර ඇත’ යනුවෙන් වාර්තා කිරීම තව කෙතරම් කලක් දිගටම කරගෙන යන්නේද?

මේ අතරතුරේ, අබ්බාසියා වසම, පුවත්පත් විසින් ගිනි ඇවිළූ භීතියක රුදාවේ වෙලී හුන්නේය. අවන්හල් තුළ පිළිසඳරේදී, ගෙල සිර කර මරා දැමීම් හා නාඳුනන මිනීමරුවා හැර වෙනත් මැයක් ගැන කතාබහ කෙරුණේ නැත. එය, හදිසියේ පහල වූ උපද්‍රවයක් වූ අතර, කිසිවකුදු ආරක්ෂිත නොවීය. ආරක්ෂක හමුදා කෙරේ විශ්වාසයක් තවදුරටත් නොතිබි අතර, එසමයේ පැවති විලාසිතාව අනුව යමින්, සැකය එල්ල වූයේ විකෘතිකාමීන් හා උම්මත්තකයන් වෙතය. විමර්ශන තුළින් හැඟීගියේ, මානසික රෝහල්වල හුන් නේවාසිකයන් කිසිවකුදු ඉන් පැනගොස් නොසිටි බවය. අඥාත දැනුම්දෙන්නන් විසින් පොලිස් ස්ථානවලට ලිපි යවන ලද අතර, එහි ප්‍රතිපලයක් ලෙස කොතෙකුත් නිවෙස් පරීක්ෂාවට ලක් කළද, වැදගත් යැයි හඟිනා කිසිවක් අනාවරණය නොවීය. මෙසේ පටලවන ලද්දෝ බොහොමයක්ම වියපත් අය වූහ. කවුරුන් හෝ විසින්, සරායට් වීදියේ විසූ තරුණ පහේ හාදයකු අස්වාභාවික හෝ උමතුයැයි ඔත්තු සපයන ලදී.`ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තඩලාගෙන ගියද, හෙළි වූයේ, මේජර් ජෙනරාල්වරයා මරා දමන ලද රාත්‍රියේදී ඔහු, වීදියේදී තරුණියකට කන්නලව් කිරීමේ චෝදනාව මත එස්බෙකියාහිදී පොලිස් භාරයට ගෙන තිබි බවය. මේ සියළු වෑයම් නිරර්ථක වූ අතර, මුෂින් සෝබර ලෙසින් කීයේ මේ නඩුවේ එකම විත්තිකාරයා තමා බවය.

ඉතින්, ඔහුගේ මතය එපරිදි වූ අතර, අබ්බාසියාවේ පදිංචිකරුවන් හා පුවත්පත් පාඨකයන්ගේ මතය වූයේද එයමය. දූෂමාන ආරංචි පැතිරගියේ ඒ කෙසේ පැතිරුණේදැයි කිසිවෙකුත් නොදැන සිටියදීය. ආරක්ෂක අංශ මිනීමරුවා පිළිබඳව දන්නා බවටද ඔහු වැදගත් චරිතයකට සමීප ඥාතියකු වූ බැවින් ඒ තොරතුරු වසන් කරන බවටද ආරංචි විය. තවදුරටත් කියැවුණේ, කිසිදු අපරාධයක් හෝ අපරාධකරුවකු නොසිටි බවත්, මේ සියල්ල කිසියම් නාඳුනන හා බියකරු ව්‍යාධියක ප්‍රතිපලයක් බව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ පරීක්ෂණාගාර, එහි සුළමුල සොයා දිවා රෑ මෙහෙයුම් කරනා බවත් ය. මේ නයින්, විපිළිසරය හා නොසන්සුන්බව රජයන්නට විය.

කාන්තාවගේ ඝාතනයෙන් මසකට තරම පසු, එක් දිනක, අල්-වයිලි පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් භටයෙක්, ඒ පසෙක වූ පටුමගක, මියගිය තැනැත්තකුගේ සිරුරක් සොයා ගත්තේය. මෙබඳු යමක්, කිසිම කළෙක අසා තිබුණේ නැත. මුෂින් අබ්ද් අල්-බාරි නිලදරුවා, සිරුර වැටී තිබි තැනට වහා ගියේ, ඔහුට අවශ්‍ය වී නම්, සිය කුටියේ කවුළුව තුළින් එය බලන්නට හැකියාව තිබියදීය. එය, පොලිස් ස්ථානයේ තාප්පයට හේත්තු වී වැටී තිබි බොහෝදුරට නිරුවත් මිනිසකුගේ, ඉන්තේරුවෙන්ම යාචකයකුගෙ, සිරුරක් බව ඔහු වටහා ගත්තේය. සිය දෙනෙත්, ගෙල වටා දිස් වූ රැහැන් පටේ සළකුණ කරා යොමුවත්ම, ඔහු මහත් තැවුලින් විලාප නගන්නට ඔන්න මෙන්න කියා හුන්නේය. මගේ දෙවියනේ. මේ අසරණයා. ඔහු, සිරුර පිරික්සුවේ, හරියට ඒ ඔස්සේ යමක් හොයා ගත හැකි වූ පරිද්දෙනි. ප්‍රාදේශීය දිස්ත්‍රික් නිලධාරියා කැඳවන ලදුව, ඔහු, සිරුර, අල්-වයිලියා අල්-සුගාරා වැයික්කියේ හුන් පුලන්නකු, බොහෝ දෙනා දැන උන්නද, ස්ථිර වාසස්ථානයක් නැති අයකු බව හඳුනා ගත්තේය.

විමර්ශන සුපුරුදු පරිද්දෙන් පටන් ගන්නා ලද්දේ, අපේක්ෂාවක් රහිතව, හුදු ලජ්ජාසහගත පරාජයකට ආවරණයක් සේය. ළඟපාත නිවෙස් හිමියන්ගෙන් ප්‍රශ්න කලද, අපේක්ෂා කල හැකිව තිබුණේ කුමක්ද? අපරාධය සිද්ද වුනේ පොලිසියෙ අගුවෙ නේ. අහන්නෙ නැද්ද ඒ ගොල්ලන්ගෙන්? රහස් පරීක්ෂකයන්, සැකයට බඳුන් වූ කලාප කරා විහිදුනත්, ඔවුන් යම් භූතාවේශයක්, අවතාරයක් මිස විශේෂයෙන් යමක් ගැන විමසුවේ නැත. මිනිසුන්ගේ සිත්සතන් තුළ නැඟි ක්‍රෝධයට ප්‍රතිචාරයක් ලෙසින්, විකෘතිකාමීන් හා සැකසහිත අයවළුන් රොත්තක්ම, පීරා අත් අඩංගුවට ගන්නා ලද්දේ මුළු මහත් අබ්බාසියාවම ඔවුන්ගෙන් පිරිසිදු කරලනු සඳහාය. මෙයට අමතරව, විශේෂයෙන් රාත්‍රී කාලයේදී, මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයන් සංඛ්‍යාව වැඩි කරනු ලැබීය. පොලිසිය, අබිරහස් මිනීමරුවා කරා යොමු කරවන ඔත්තුවක් සඳහා පවුම් දහසක මුදල් ත්‍යාගයක් ලබා දෙන්නට ස්වදේශ කටයුතු අමාත්‍යංශය මුදල් වෙන් කළේය. පුවත්පත් මේ ප්‍රශ්නය සියතට ගත්තේ සිය මුල් පිටුවල භාවාතිශය සිරස්තල පල කරමිනි. මේ සියල්ල තුළින් සිදුවූයේ, අවසන බියකරු පරිමාවක අර්බුදයක් බවට පත්වෙමින්, අබ්බාසියාවේ පදිංචිකරුවන්ගේ සිත් තුල ආතතිය තීව්‍ර කිරීමය. භීතිය මිනිසුන්ගේ සිත් වෙලා ගත් අතර, උනුනුන් අතරේ මත පල කිරීම, දුෂ්ට හඟවුම් මගින් මඩනා ලදුව, උමතු විලාප බවට පත් විය. හැකියාව තිබි අය, දිස්ත්‍රික්කය හැර පියා ගියෝය. නිවෙස් සපයා ගැනීමේ අර්බුදය හා මිනිසුන් දිවි ගෙවූ පරිසරය නොවන්නට, අබ්බාසියාවේ ජනගහනය හිස්වන්නට තිබුණාට කිසිදු සැකයක් නොවීය.

එසේ වුවද, ඇත්තෙන්ම කිවහොත්, මුෂින් අබ්ද් අල්-බාරි නිලදරුවා හා ඔහුගේ අවාසනාවන්ත ගැබිණි බිරිය තරම් පීඩා විඳි අන් යමකු උන්නේ නැත. සනසාලීම හා දිරිගැන්වීම අරමුණු කර ගනිමින් ඇය කීයේ “ මේක ඔයාගෙ වරදක් නෙමෙයි. මේක මිනිසුන්ගේ සිතීමේ සීමාවෙන් ඔබ්බට ගිය දෙයක්” කියාය.

“ මං තව දුරටත් රස්සාවෙ රැඳිල ඉන්න එකේ තේරුමක් නැහැ”

“ ඔයා කොහොමද මේකට වරද කාරයෙක් වෙන්නෙ කියල මට කියන්න” ඇය නුහුරු සිතින් කීවාය.

“ ජීවිත ආරක්ෂා නොකරන තුරා, අනීවාරතේ දරපු වෑයමත්, වරද බාර ගැනීමත් දෙකම එකක්”

“ අන්තිමට, හැමදාම වෙච්චි විදිහට, ඔයා දිනයි”

“ මට සැකයි ඒ ගැන. මේක, සාමාන්‍ය තත්වයෙන් බොහොම එහාට ගිය දෙයක්”

ඔහු, එදින රෑ නිදිවර්ජිතව ගත කළේය. ඔහු, සිය සිතිවිලි අතර අවදිව පසු වූයේ, නිසලතාවය හා සදාතනික සත්‍යය රැඳුණු, ආලෝකය පරම ඒකාත්මික පැවැත්ම කරා දියවී ගිය, ජීවිතයේ විනිශ්චයන්, අසාර්ථකවීම් හා සංචලනයන්ගෙන් අස්වැසිල්ල තිබි, ගූඪ කව් ලොව කර මිදී යෑමේ අභිරුචියෙන් මඩනා ලදුවය. සත්‍යයට වන්දනාමාන කරන්නා හා මේ තිරිසන් මිනීමරුවා එකම ජීවිතයකට හිමිකම් දරනවාය යන හැඟුමම අසාමාන්‍ය නොවේද? අපි, අපේ ජීවිත කාලය තුල විකාර සහගත දෑ ගැන සොයමින්, එය අපතේ හරින්නෙමු. අපේ දිවිය, සත්‍යය වෙතම පමණක් යොමු කරන්නේ නම් හර අපට කිසිදු ජීවිතයක් හෝ ගැලවීමක් නැත.

දෙසතියක් ගත වන්නට පෙර, කලින් සඳහන් කල සිදුවීමට නොදෙවෙනි අමුතු සංගෙදියක් විය. රාත්‍රිය පසු යාමයේදී, දහවන වීදියේ අංක 22 දරණ ට්‍රෑම් රථයේ අවසන් මැදිරියෙන් සිරුරක් බිමට වැටුණේය. ට්‍රෑම් රිය නවතා ලූ නියාමකයා, සද්දය ආ දිසාවට ගමන් කල අතර, රියදුරා ඔහු පසුපසින් ගියේය. ඔව්හු, පොළෝ මත වැටී හුන්, සම්පූර්න ඇඳුම් කට්ටලයකින් සැරසීගත් මිනිසකු දුටුවෝය. ඔවුන් සිතුවේ, ඔහු බීමතින් හෝ කිසියම් මත් ද්‍රව්‍යයක් නිසාවෙන් වැටෙන්නට ඇති බවය. රියදුරා, සිය විදුලි පන්දම ඔහු වෙතට එල්ලකොට, එක්වරම කෑමොර දුන්නේ අර හාදයාගේ ගෙල දෙසට අත දිගු කරමිනි. “ අර බලන්න”

නියාමකයා, රැහැන් පටෙහි, හැමම දැන උන් සලකුණ දුටුවේය. ඔවුන් මේ බව දැනුම් දුන්නෙන්, ළඟපාත අහුමුළු හැමකකම උන් පොලිස් භටයෝ හා සිවිල් ඇඳුමින් සැරසුණු පරීක්ෂකයෝ එතැනට රොක්වූහ. ඒ මග අවට පා ගමනින් යමින් උන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදුව, පොලිස් ස්ථානයට රැගෙන යනු ලැබූහ. මේ සිද්ධිය ප්‍රබල කම්පනයක් බිහි කල අතරවාරයේ, මුෂින් තවතවත් බරපතල නමුදු නිරර්ථක පියවර ගත්තද, ඒ පලරහිත විය. අත් අඩ්ංගුවට ගත් එක් අයකු( ඔහු සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා නිලධාරියකු බව හෙළිවිය) නිදහස් කරන ලදී. අන් කිහිප දෙනෙකුන් ප්‍රශ්න කරන්නට ලක් වූවද, පිළිතුරු රහිත විය. මුෂින්, පස්වන වතාවටත් පරාජයේ හා ඉච්ඡාභංගත්වයේ තිත්ත රස වින්දේය. අපරාධකරුවාගේ වියරු සමච්චලය එල්ල කළේ තමා හැර අන් කිසිවෙකුට නොවන බව ඔහුට වැටහුණේය. මිනීමරුවාගේ චරිත ස්වභාවය ඔහුට සිහිගැන්වූයේ ප්‍රබන්ධ කතාවල එන අබිරහස් චරිත හෝ සිනමා පටවල වෙනත් ග්‍රහලෝක වලින් පෘතිවිය කරා එන ජීවීන්‍ ය.

සිත ඇතුළත, මේ පීඩනයෙන් වියරු වැටුණු ඔහු, බිරියට මෙසේ කීය. “ ඔයාට කරන්න තියෙන එකම නුවණක්කාර වැඩේ, පිරමිඩ් පැත්තෙ තත්තලගෙ ගෙදර යන එක. මේ බයයි, දුක් කන්දරාවෙනුයි කැකෑරිච්චි සාවියේ ඉන්නෙ නැතුව”

“ ඔයා මේ තත්වයෙන් ඉඳිද්දී, යන එක හරි මදි නේද?” ඇය ඊට එරෙහි වූවාය.

ඔහු, සුසුමක් හෙලමින් කීවේ, “ මට හරි, මගේ සහායකයෙකුට හරි වරද පටවන්න හොඳ හේතුවක් හොයාගත්ත නම් කියල හිතෙනව” කියාය.

මේ කාරනය, පුවත්පත් වල හා මනෝ චිකිත්සකයන් හා ආගමික උගතුන් විසින් විස්තරාත්මක ලිපි ලේඛන තුළින් දිගින් දිගට විවරණය කරනු ලැබීය. අබ්බාසියාව ගන කිවහොත්, එය සන්ත්‍රාසයක ගිලී ගියේය. හිරු බැසයත්ම, එහි ජනගහණය වියැකී ගියේය. අවන්හල් හා වීදි හිස් විය. එය හරියට හැම කෙනෙකුම , ඉක්බිති එළඹෙන්නට නියමිත සිය ඉරණම අපේක්ෂා කරමින් උන්නා සේ විය.අර්බුදය, උච්චතම තලයට ආයේ, කාන්තා ප්‍රාථමික පාසැලක දැරියක්, වැසිකිලියක් තුළ ගෙල සිර කොට , මරා දමා තිබෙණු සොයාගත් විටය.

සිදුවීම් එකපිට එක හටගැනුණේ භීෂණ විලාසයකිනි. මිනිස්සු තුෂ්නිම්භූත වූහ. කිසිවෙකුත්, විමර්ශන හා පරීක්ෂණ පිළිබඳ වෙහෙසකර විස්තර වලට හෝ විමර්ශන නිලධාරීන් මාධ්‍යයට පල කල මතවාදයන් කෙරේ හෝ තවදුරටත් අවධානය යොමු කළේ නැත. හැම සිතිවිල්ලක්ම ගොනු කරනු ලැබුවේ, කිසිවක් නොතකමින්, වියපත් හා ළාබාල, රෝගී හා නිරෝගී, දුගී පොහොසත්, නිවෙසක්, ට්‍රෑම් රියක්, හෝ මහමඟ, මේ කිසිවක් නොතකමින් ඉදිරියට ඇදෙන ළඟදීම සිදුවන්නට නියමිත අන්තරාය කෙරේය. මේ උම්මත්තකයෙක්ද? වසංගතයක්ද? රහසිගත අවියක්ද? කිසියම් මුග්ධ උපමා කතාවක්ද? මිනිසුන්ගෙන් අඩක් හිස්වූ බිම් පියස මත අන්ධකාරය ප්‍රාදූර්භූත විය. ත්‍රාසය, එය බුදින්නට විය. මිනිස්සු සිය දොර කවුළු අගුළු ලෑහ. කිසිවෙක්, මරණය හැර අන් මැයක් ගැන දෙඩුවේ නැත.

මුෂින් අබ්ද් අල්-බාරි, දිස්ත්‍රික්කය හාත්පස සැරිසැරුවේ, යක්ෂාවේශයක හුන් අයකු සේය. ඔහු, පොලිසිය හා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරික්සමින්, මුහුණු හා ඒ ඒ තැන් දෙස විමසිල්ලෙන් බලමින්,කිසිදු හව්හරණක් නැති ලෙස හක්කලම් කරමින්, සිය පරාජයේ වේදනාව හා නෂ්ටාපේක්ෂාව පිළිබඳව තමාටම දොඩමින්, සෙසුපටු අය ඔහුගේ යක්ෂාවේශ රැහැනින් මුදවන්නේ නම් තමන්නේ ගෙල මිනීමරුවාට පුද කරන්නේ යැයි දිවුරමින් උන්නේය.

ඔහු, සිය බිරිය වැතිර හුන් මාතෘ රෝහලට ගියේය. මඳ වේලාවක් ඇගේ යහන පසෙක වැතිර, ඇය හා අළුත උපන් බිළිඳා දෙස බැළුම් හෙලා, මෑත කාලයේ ප්‍රථම වතාවට මුවගට සිනා පොදක් නගමින්, විවේක සුව වින්දේය. ඉන්පසු ඔහු, ඇගේ නළලත සිඹ, සමු දුන්නේය. තමා, අන් කිසිවකු විසින් දකිනු නොලබන්නට ප්‍රාර්ථනා කළ ලෝකය කරා යළි ආයේය. ඔහුට කරකැවිල්ලක් බඳු යමක් දැනුණි. ජීවිතය. කිසියම් නාඳුනන තැනැත්තකුගේ රැහැන් පටින් කෙලවරක් වන්නේ ශුන්‍ය වන තුරාය. එසේ වුවද, එය සැකයක් රහිතව, යමක් විය; වටිනා යමක් විය; ආදරය , කවි හා අළුත උපන් බිළිඳා; සීමා මයිම් රහිත අපේක්ෂාවක ලස්සණ; ජීවිතය තුළ ජීවත්වීම; හුදෙක්, ජීවිතය තුළ හිඳීම. නිවැරදි කළ යුතු කිසියම් වැරැද්දක් වීද? එය, නිවැරදි කළ යුත්තේ කුමන වෙලාවකදීද? කරකැවිල්ලේ ස්වභාවය තීව්‍ර වූයේ, යමෙකු ගැඹුරු නින්දකින් අවදිවන්නාක් සේය.

මුෂින් අබ්ද් අල්-බාරි නම් නිලධාරියා, මාරු කොට, වෙනත් අයකු ඒ වෙනුවෙන් පත්කරන්නට තීරණය කළ බැව් සඳහන් වාර්තාව, පොලිස් ස්ථානයේ අධිකාරිවරයාට ලැබුණේය. බෙහෙවින් කලබලයට පත් අධිකාරිවරයා, තමා දැඩි තැකීමක් දැක්වූ මෙම නිලධාරියාගේ කාමරයට එක්වරම ගියේය. ඔහු, නින්දට වැටුණාක් සේ හිස මේසය මත හොවා, හිඳිනු දුටුවේය. ඔහු, ළං වී, මුදු හඬකින් කතා කළේය. “ මුෂින්”

පිළිතුරක් නැත. ඔහු, යළිත් වරක් කතා කළද, මුෂින් පිළිතුරු දුන්නේ නැත. ඔහු අවදි කරලනු වස් හිස සෙලැවූ විට, එය විකාර සහගත ලෙසින් කඩා වැටුණේය. අධිකාරිවරයා, තීන්ත පොවනය මත වූ ලේ බිඳුව දුටුවේ ඒ අවස්ථාවේදීය. ඔහු, බියෙන් වෙලෙවිව, සිය සගයා දෙස බලත්ම, අර කී ශාපලත් රැහැන් පටේ සළකුණ, ගෙල වටා දිස්විය. පොලිස් ස්ථානය හා එහි ඇත්තෝ සිඳී බිඳී ගියහ.

ආණ්ඩුකාර කාර්‍යාලය තුළ බරපතල රැස්වීම් කිහිපයක්ම පවත්වන ලද අතර, හදිසි හා වැදගත් තීරණ ගනු ලැබීය. අධ්‍යක්ෂක ජනරාල්වරයා, සිය සහායකයන් කැඳවා,තිරසර, උද්වේගී ස්වරයකින් ඔවුන් ඇමතීය. “ අපි මේ අපරාධකාරය අත් අඩංගුවට ගන්න තුරු පසු නොබසින යුද්ධයක් ප්‍රකාශයට පත් කරනව” ඔහු, මොහොතක් කල්පනාවක නිමග්නව, මෙසේ දොඩන්නට විය. “ අපරාධකාරය අත් අඩංගුවට ගන්න කාරණය තරම්ම වැදගත් තවත් යමක් තියෙනව.- ඒ මිනිස්සුන්ට දැනෙන මේ සන්ත්‍රාසය පාලනය කරන එක”

“ එහෙමයි සර්”

“ ජීවිතය, සාමාන්‍ය විදිහට ගෙනියන්න ඕන. මිනිස්සු, ජීවිතය හොඳයි කියන සිතුවිල්ලට ආපහු යන්න ඕන.”

අධ්‍යක්ෂක ජනරාල්වරයා, විමසිලිමත් දෑස් තුල දිස්වූ ප්‍රශ්නාර්ථයට පිළිතුරු දුන්නේය.

“ මේ පලහිලව්ව පිළිබඳ එක වචනයක් පත්තරවල පල විය යුතු නැහැ”

ඔහු, මේ හාදයින්නේ නෙතු යුග තුළ කිසියම් උදාසීන විලාසයක් උකහා ගත්තේය.

“ ඇත්ත තත්වය නම්” ඔහු පටන් ගත්තේය. “ පත්තර වලින් අතුරුදහන් වුනාට පස්සෙ, මේ ලෝකෙන්ම ප්‍රවෘත්ති අතුරුදහන් වෙනව.” ඔහු, මුහුණු නිරීක්ෂණය කළේය. “ කිසිම කෙනෙක්, කිසිම දෙයක් දැනගන්න එකක් නැහැ. අබ්බබාසියා වල පදිංචිකාරයො උනත්”

සිය මිට මෙළැවූ අතින්, මේසයට තඩි බෑ ඔහු, “ අදන් පස්සෙ , මරණය ගැන කතාවක් නැහැ. ජීවිතය, සුපුරුදු විදිහට ගෙවෙන්න ඕන. ජීවිතය හොඳයි කියන අදහසට ආපහු යන්න ඕන- ඒ එක්කම, අපි මේ විමර්ශනය නවත් වන්නෙත් නැහැ”

Top