ජෝන් ස්ටයින්බෙක්ගේ The Murder නම් කෙටිකතාවේ පරිවර්තනය
මෙම සංගෙදිය, මධ්‍යම කැලිෆෝනියාවේ මොන්ටෙරි කෝරළයේදී සිදුවූයේ වසර ගණනාවකට පෙරය. කැනන් දෙල් කස්තිලෝ දෙණිය, සාන්ත ලුසියා කඳුයායේ කොට්ජෙකුත් ගිරිහිස් හා හෙල් වැටි අතර තිබි මිටියාවත් අතරින් එකක් විය. මෙහි, ප්‍රධාන මිටියාවත කෙරෙන් කඳුකරය තුළට විහිදුණු කුඩා නිම්න කිහිපයක්ම විය. මේ, විසකුරු ඕක් හා සේර පඳුරින් ගැවසීගත් වදුලින් යුතු දොරු විය. දොරුව මුවවිට ඇත්තේ දැවැන්ත සෙල්මුවා බළකොටුවකි. මේ වූ කලී කුරුස යුද්ධකරුවන් සිය දිග්විජය ගමන් මග පැනවූ සුවිසල් පවුරු පදනම් සේම උත්තුංගව දිස්විය. ඒ ඇත්ත වශයෙන්ම, කාලය, ජලය හා ඛාදනය විසින් සුමුදු ස්තරයෙන් යුතු වැලිගලෙහි කළ අසිරිමත් අහඹුවක් බව වටහාගන්නට නම්, බළකොටුව ආසන්නයටම විත් බැළිය යුතු විය. ඈතින් දිස්වන නටබුන්ව ගිය යුද පිටි, බිහි දොර, අට්ටාල හා ඊ විදුම් සිහි නගන්නට නම් මඳ පරිකල්පනයක් ඇවැසි විය.
බළකොටුවට පහළින්, දෙණියේ බොහෝකොට සමතලා පොළොව මත පැරණි ගොවිනිවස පිහිටියේය.ඒ හා සමග, අව්වැසි පහර ලත් පෙඳ කෑ අටුවක් හා ඇඹරී ගිය ගව මඩුවක් විය. නිවෙස, පාළුවට හරිනු ලබ තිබේ. බලකොටුව දෙසින් සුළං හමනා රැයක, මළකෑ අසව් මතින් පැද්දෙන දොර පියන්පත් මැනවින් හඬ නංවා වැසේ. නිවස බලාගන්නට එන්නෝ ටික දෙනෙකි. විටෙක, ළමුන් රොත්තක් එහි කුටි ඔස්සේ හක්කලම් කරන්නේ හිස් අහුමුළු අතර එබිකම් කරමින් හා තමන් සිතින් පිළිකෙව් කරනා හොල්මනට එරෙහිව මහ හඬින් සද්ද කරමිනි.
මෙම දේපලෙහි හිමිකරුවා වන ජිම් මුවර්, නිවස අවට මිනිසුන් ගැවසෙනවාට අකැමැතිය. මිටියාවතෙහි තවත් පහතින් පිහිටි සිය නව නිවසේ සිට අසු අරා එන ඔහු, කොල්ලන් පලවා හරී. කුහුලින් බර, දුරින් දුරුකොට තබා ගත යුතු අය පිටමං කඔට තබා ගනු පිණිස, ඔහු, “අවසර නැතිව ඇතුල්වීම තහනම්” යි සඳහන් පුවරු, ඉණි වැටේ සවිකරඇත. පැරණි නිවස ගිනි ලෑ යුතු යැයි ඔහු විටෙක සිතතත්, පැද්දෙන දොර හා පාළු, අඳුරු පෙනුමැති කවුළු හා සමග බැඳුණු පුදුම සහගත ළබැඳියාවක් ඔහු ඉන් වළකා ලයි. ඔහු, මේ නිවස ගිනිබත් කරනේ නම්, සිය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විනාශකර දමනු ඇත. ඔහු, තවමත් රුවැති, මඳක් තරබාරු සිය බිරිය හා නගරයට ගිය දිනෙක, මේ හැඟුම අත්දකී. මග තොට මිනිසුන්, පියමං වන ඔහු දෙස හැරී බලන්නේ විස්මයෙන්ද කිසියම් අයුරක අගය කිරීමකින්ද යුතුවය.
ජිම් මුවර් උපන්නේද හැදුණේ වැඩුණේද මේ පැරණි නිවස තුළමය. ඔහු, එහි, අටුවේ හැම වයිරම් වැටුණු, අව්කෑ දැව පුවරුවක්මද අසොරුවේ ගෙවුණු දැව පටිද මනවින් දැන උන්නේය. ඔහුට වයස තිහ පිරෙද්දී, දෙමාපියන් මිය පරළොව ගොස් උන්නෝය. ඔහු සිය ඉලන්දාරි විය සැමරුවේ යටි රවුළක් වවමිනි. සිය ඌරු රංචුව විකුණා දැමූ ඔහු තවදුරටත් උන් ඇතිනොකරන්නට ඉටා ගත්තේය. අවසන ඔහු කදිම ගර්න්සේ ගව නාම්බකු මිළ දී ගත්තේ සිය පට්ටිය වර්ධනය කරන්නටය. ඒ සමගම ඔහු, රෑ පානේ මොන්ටෙරි නගරය වෙත ගොස්, තරු තුනේ ගුබ්බෑයමේ කටකාර කෙල්ලන් සමග තොඳොල් වන්නටද පටන් ගත්තේය.
ජිම් මුවර් වසරක් ඇතුළත ජෙල්කා සෙපික් හා විවාපත් විය. යුගෝස්ලාව් එකියක වූ ඇය,පයින් දොරුවේ විසූ ඉවසිලිවන්ත තරබාරු ගොවියකුගේ දියණියක වූවාය. ජිම්, ඇගේ පිටස්තර පවුල හා කෙළවරක් නැති සොයුරු සොයුරියන් හා මස්සිනාවරුන් ගැන ආඩම්බර නොවුවද ඇගේ රූසිරියෙන් උද්දාම විය. ජෙල්කාගේ දෑස්, මුවැත්තියකගේ මෙන් විසල්ද ප්‍රශ්නකාරීද විය. ඇගේ සිහින් නැහැය, තියුණුව ඇලවී තිබුණු අතර ලවන් ගැඹුරුද සිනිඳුද විය.එහෙත්, ජිම් විමතියට පත් කළේ ඇගේ සමය. මක්නිසාදයත්, රැයින් රැය එය කෙතරම් දැකුම්කළු වීද යන්න ඔහු අමතක කළ බැවිනි. ඇය, කෙතරම් හුරුබුහුටි ගෘහණියක වූවාද කිවහොත්, මගුල් දා අගෙ පියා දුන් උපදෙස් ජිම් සිහි නැංවූයේ පිළිකුලෙනි. බීර පානයෙන් හොඳහැටි ඉදිමී පදම්ව හුන් මහල්ලා, ජිම්ගේ ඇළපතට ඇන, කිසිවක් හඟවන්නාක් මෙන් විරිත්තුවෙන් කුඩා අඳුරු දෙනුවන, ඉදිමී, රැළි නැංවූ පියන් පත් මැද අතුරුදන් විය.
“ නිකං මෝඩයෙක් වෙන්න එපා” ඔහු කීය. “ ජෙල්කා ස්ලාව් කෙල්ලක්. ඒක, ඇමරිකන් කෙල්ලක් වගේ . නෙමෙයි. ඌ නරක නම් තඩි බාපං. ඕනැවට වඩා හොඳ නම්, ඒත් තඩි බාපං. මං ඕකුන්නෙ අම්මට තඩි බානව. මිනිහ ගෑනිට තඩි බානව. ස්ලාව් කෙල්ල. ඒකි මිනිහෙක් නෙමෙයි”
“මං ජෙල්කාට ගහන්නේ නෑ”
කොක්සන් නැගූ ඇගේ පියා නැවත වතාවක් වැළමිටෙන් ඇන්නේය. “ නිකං මෝඩයෙක් වෙන්න එපා” ඔහු අනතුරු ඇඟවීය. “ කවදහරි උඹට තේරෙයි” ඔහු නැවතත් බීර පීප්පය කරා පෙරළී ගියේය.
ජෙල්කා, ඇමරිකානු කෙල්ලනට වඩා වෙනස් වූ බව ජිම් කල් නොයවාම වටහා ගත්තේය. ඇය, බෙහෙවින් නිහඬ චරිතයක් වූවාය. කිසිදාක, මුලින් දොඩන්නට පටන් ගත්තේ නැත. දෙඩුවා නම්, ඒ ඔහුගේ පනයකට පිළිතුරු ලෙස පමණකි. එයද, කෙටි, මුදු පිළිතුරකිනි. ඇය සිය සැමියා වටහා ගත්තේ, ශුද්ධ වූ පතපොත තේරුම් ගත්තා හා සමානවය. ඔවුන් විවාපත්ව මඳ කලකින්, ජිම්ට නිවස තුළ කිසිවක් සොයා බලන්නට ඇවැසි නොවීය. ඇය කිසිදිනක පිළිසඳරේ යෙදුණේ නැත. අයාගත් විසල් දෙනුවන්, ඔහු ගිය මග අනුවම ගිය අතර, ඔහු සිනාසුණු විටෙක ඇයද සිනාසුණේ දුරස්තර, වැසුණු හසරැල්ලකිනි. ඇගේ මැහුම් ගෙතුම් කෙළවරක් නැතිවිය. මේ සා දැකුම්කළු නිවසට පිරිමහිනා දෑ තනන්නට හැකි සුදු පැහැ, කුඩා අතැඟිළි දෙස ඈ බලා උන්නේ විශ්මය හා අගය වඩවමිනි. ඇය, සිව්පාවකුට කෙතරම් ළං ව උන්නාද කිවහොත්, ජිම් විටෙක ඇගේ හිස හා ගෙල පිරිමැද්දේ අසකු අතගාන්නට සිත් දුන් විලාසයටමය.
නිවස තුළ ජෙල්කා කැපී පෙනුනාය. උණුසුම් වියළි කඳුකරයේ හෝ පහත ගොවිපලේ සිට ජිම් ආයේ කිකලක වුවද ඔහුගේ රෑ අහරකිස උණුසුම්ව දුම් දමමින් සරිව තිබුණේය. ඈ ඔහු අහර බුදිනා අතරේ බලා උන්නී, ඔහුට අහර ඇවැසි වූ විට දීසි ළං කොට ඔඩම හිස්වූ විට ඒ පුරවා දුන්නාය.
විවාපත් මුල් දිනවල, ඔහු ඇයට ගොවිපළේ සිදුවීම් පිළිබඳව ගතු කී මුත් ඈ ඔහු හා සිනාසුණේ, කිසිවක් නොවැටහෙන කලක වුව සිනාසෙන්නට කැමතිවන විදේශිකයකු පරිද්දෙනි.
“ අස්ස නාම්බ කම්බි පොටට හූරගෙන” ඔහු කීය. ඉදින්, ඈ “ ඔව්” යයි පිළිතුරු දුන්නේ පැනයක් හෝ කුහුලක් නොවූ බිමට අයාගත් හඬකිනි.
කල් නොයවාම ඔහු පසක් කළේ තමාට ඇයට සමීප වන්නට කිසිදු ඉඩක් නැති බවය. ඇයට වෙන්ව තිබි දිවියක් වී නම් ඒ ඔහුට අත පොවන්නට නොතරම් ඈත දුරකිනි. ඇගේ දෑසින් විදහා පා නොපෑහෙනබව කිසි ලෙසකින් හෝ ඉවත් කළ හැක්කක් නුවූයේ එහි සතුරු හෝ දැඩි ස්වභාවයක් නොවූ නිසාය.
රෑ පානේ ඔහු, ඈ සතු ඉද්ද ගැසුණු කළුවන් කෙහෙවලිය හා විශ්වාස කළ නුහුණු සේ සිනිඳු රන්වන් උරහිස් පිරිමැදි කළ ඇය සතුටට පත්ව, හීන් කෙඳිරිල්ලක් නැංවූවාය. ඇය නිබය, සරාගී පතිකඩක් විවට කළේ ඔහුගේ ආලිංගනයේ උද්වේගකර මොහොතෙහිදී පමණකි. එහෙත්, ඒ නිමා වූ පසු ඇය එක්වරම, වේදනාකාරී ලෙස, කීකරු බිරියකගේ භූමිකාවට යළි පිළිපන්නාය.
“ ඇයි ඔයා මා එක්කලා කතාබහ නැත්තෙ?” ඔහු ඇසීය. “ මා එක්කලා කතාබහ කරන්න මනාප නැතුවද?”
“හොඳයි” ඇය පිළිවදන් දුන්නාය. “ මොනවද මම කතා කරන්න ඕන?” ඇය ඔහුගේ බස දෙඩුවේ ඔහුගේ වරිගයට ආගන්තුක හඬකිනි.
වසරක් ගත වුනා හාම ජිම්, ගැහැණුන් හා සමාගමයට, සිල්ලර දෑ ගැන තොරතෝන්චියක් නැතිව දොඩවන්නට, ආහ්ලාදජනක පරිහාසයට හා පාදඩ ලෙස මුවහත් කළ අසැබි බවට කෑදරව ලොල් විය. ඔහු නැවත සිදාදියට ගොස් තරු තුනේ තානායමේ හැකර කෙල්ලන් හා කෙළිබර වන්නට පටන් ගත්තේය. එහි ළඳුන් ඔහුට මනාප වූයේ ඔහුගේ දැඩිසේ පාලනය කළ වුවන හා කොක්සන් නගන්නට තිබි ලැසිබව නිසාය.
“ කෝ, ඔයාගෙ පවුල?” ඔව්හු ඇසූහ.
“ ගෙදර-අටුවෙ” ඔහු පිළිවදන් දුන්නේය. එය හැමවිටම නොවරදිනා විහිළුවක් විය.
සෙනසුරාදා හව්ස් යාමයේ අසු පිට නගුණු ඔහු, මගතොටදී මුවකු හදි ගැහුණහොත් පරිහරණයට ගනු වස් රයිෆලයක්ද කලමණා අතර රුවා ගත්තේය. “ තනියම ඉන්න ඔයැයිට වගක් නැද්ද?” ඔහු හැමවිටකම ඇසීය.
“නැහැ. මට තනියක් නෑ”
ඔහු, එක්වරම මෙසේ ඇසීය. “ කාට හරි එන්න හිතුනොත් එහෙම?”
ඇගේ දෙනුවන, මොහොතකට තියුණුව ගියේය. ඉක්බිති, ඈ සිනාසුණාය. “ මං එයාලව පිටමං කරනව” ඇය කීවාය.
“ මං හෙට මද්දහනෙ තරම ආපහු එනව. රෑ පානෙ අස්සයො දක්කන්න තරම් එහේ දුර වැඩියි.” තමා යන්නේ කොයිබකදැයි ඇය දැන උන්නායැයි ඔහු සිතුවේය. එහෙත්, ඇය කෙදිනක හෝ ඊට විරුද්ධ වූයේවත් අකමැත්තක සේයාවක් දැක්වූයේවත් නැත.
“ ඔයාට බබෙක් ඉන්නවනම් හොඳා” ඔහු කීය.
ඇගේ මුහුණ විකසිත විය. “ බාගෙදා- දෙයියො බලාවි” ඇය උද්‍යෝගී හඬකින් පැවසුවාය.
ඔහු ඇගේ තනිය ගැන අකම්පාල විය. ඇය දෙණියේ උන් අන් ලඳුන් හා සමාගමයට ගියේ වී නම් ඒ මඳක් මග හරවා ගත හැකිව තිබිණ. එහෙත් ඊට ඇයගේ කැමැත්තක් නොවීය. මසකට වරක් තරම පැතලි කරත්තයට අසුන් බැඳගන්නා ඇය, සිය මව, සොයුරු සොයුරියන් හා මස්සිනාලා කැළත හා සමග වරුවක් ගත කරණු පිණිස ගියාය.
“ ඔයයිට යසයි ඒක” ජිම් පැවසීය. “ මුළු හවස් වරුවම පාත්තයො වාගෙ ඔයාලගෙ අර විකාර බාසාව දොඩවාවි. අර බෙරිවෙච්චි මූණක් තියෙන පත හාදය, ඔයාගෙ මස්සිනා -එක්ක හිකි හිකි ගාවි. මට ඔයාගෙ පේන්න තියෙන එකම පරහ- ඔයා මල ඉලව් පරදේසක්කාරයෙක් වග”
ඇය පාන් උදුනෙහි දමන්නට පෙර කුරුසිය සළකුණු කොට ආසිරි පතන අයුරු, හැම රැයකම නින්දට පෙර යහන පසෙක බිම දණ හොවා යදින අන්දම හා රෙදිපිළි කුටියේ බිත්තිය මත ශුද්ධ වූ සිතුවමක් සවිකොට තිබි විලාසයද ඔහුගේ සිහියට ආයේය.
ජූනි මස දුහුවිල්ලෙන් පිරි එක් සෙනසුරාදාවක ජිම්, කුඹුරේ ඕට් කැපීය. නෙලන යන්ත්‍රය විසින් අවසන් ඕට් පඳුරු පෙරලා දමද්දී හවස හය පසු විය. ඔහු, හඬ නංවනා යන්ත්‍රය අටු මිදුල වෙත පදවාගෙන විත් එය උපකරණ මඩුවේ දැමීය. එහිදීම අසුන් ලිහා දමා ඔවුන්ට ඉරු දින පුරාම කඳුවැටියේ උලාකන්නට ඉඩ හළේය. ඔහු, මුළුතැන්ගෙට එද්දී ජෙල්කා ඔහුගේ රෑ අහර කිස ලැහැස්ති කරමින් උන්නාය.
සිය මුහුණ කට, අත් පා දොවා ගත් ජිම්, අහර බුදින්නට වාඩි විය. “ මට මහන්සියි” ඔහු කීය. “ ඒ වුනත්, මං හිතනව කොහොමහරි මොන්ටෙරිවලට යාගන්න. අද පුරහඳ තියෙයි”
ඇගේ මුදු නෙත් විකසිත විය.
“ මං කියන්නද මම කරන්න යන දේ?” ඔහු ඇසීය. “ ඔයා කැමතිනම්, මාත් එක්ක යන්න, මම කරත්තෙ බඳින්නම්”
ඇය යළි සිනාසී, හිස සෙලෙව්වාය.
“ නැහැ. අද කඩවල් වහල තියෙයි.මම මෙහෙමම ඉන්නම්”
“ හොඳයි. කමක් නෑ. මම අස්සය බැඳ ගන්නම්. මං හිතාන උන්නෙ නෑ යන්න. ඒත්, අඩුමකුඩුම සේරම අහවරයි. ඔයැයි ඇත්තටම මනාප නැද්ද යන්න?”
“ කලින් ගියානම් කඩවල් ඇරල තියේවි. ඒහ්, ඔයා එහාට යනකොට දහයවත් වෙයි”
“ අපොයි නැහැ. අස්සය පිටේ හින්ද, කොහොම උනත් මට නමේ පහුවෙලා ටික වෙලාවකින් යාගන්න පුළුවන් වේවි”
ඇගේ මුව ඊට සිනාසුණද, දෙනෙත් පැතුමක සේයාවක් සොයමින් ඔහු දෙස බලා උන්නේය. දිගු දිනක, වැඩපලින් බාගෙදා වෙහෙසට පත්ව හුන් නිසාදෝ ඔහු මෙසේ ඇසීය. “ ඔයා මොනව ගැනද හිතන්නෙ?”
“ හිතන්නෙ? මට මතකයි අපි බැඳපු අළුත ඔයා ඔය විදිහටම ඇහැව්ව”
“ මොකක්ද ඔයා මේ කියන්නෙ?” ඔහු ඇසුවේ නොරිස්සුම් ලෙසකිනි.
“ අපෝ, මං හිතන්නෙ කළු කිකිළි රකින බිත්තර ගැන” නැගිටගත් ඈ, බිත්තියේ තිබි විසල් දින දර්ශනය වෙත පියමං කළාය.
“ එක්කො හෙට. නැත්නම් සඳුදා පැටව් එළියට එයි”
ඔහු, රවුල් බා, සිය නිල් පැහැ සර්ප ඇඳුම් කට්ටලය හැඳ, අළුත ගත් පාවහන් යුවළ පැළඳි විට ඇඳිරි වැටෙමින් තිබිණ. ජෙල්කා, පිඟන් කෝප සෝදා තැන්පත් කොට උන්නාය. ජිම්, මුළුතැන්ගෙය ඔස්සේ යද්දී ඇය කවුළුව අසල තිබි මේසය වෙතට පහන ගෙනගොස්, ඒ පසෙක ඈඳිගෙන, දුඹුරු පැහැ ලෝම මේස් යුවළක් ගෙත්තම් කරමින් ඉනු දුටුවේය.
“ මොකද ඔයා මේ මහ රෑ ඔතන වාඩි වුනේ?” ජිම් ඇසීය. “ ඔයා හැමදාම වාඩිවෙන්නෙ මෙතැනනෙ. ඔය පංගුවක් වෙලාවට හරිම විකාර වැඩ කරන්නෙ”
ඇගේ නෙත් යුග, කඩිසරව ඉගිලෙන දෑත වෙත සෙමෙන් එසවිණ. “ නෑ.” ඇය සෙමෙන් පැවසුවාය. “ ඔයා කීවනෙ අද පුන්සඳ දා කියල. මං හඳ පායනව දකින්න ආසයි”
“ ඒත්, ඒක මෝඩ වැඩක්. ඔය කවුළුවෙන් ඒක පේන්නෙ නෑ. මං හිතාන උන්නෙ ඔයා මේ හතරවටේ ගැන ඔයිට වඩා හොඳින් දන්නව කියල”
ඇය දුරස්තර ලෙසින් සිනාසුණාය.” එහෙනම් , මං නිදන කාමරේ ජනේලෙන් බලන්නම්”
ජිම්, සිය කළු පැහ හිස්වස්ම රුවාගෙන පිටව ගියේය. අඳුරු, හිස් ධාන්‍ය ගබඩාව ඔස්සේ පිය නැගූ ඔහු, රාක්කයේ තිබී අසුන් බඳිනා තේඩාවක් අතට ගත්තේය. අහර බිදීම නතරකළ අස්සු, සෙමෙන් ඔහු කරා පිය නගමින් විත් පියවර විස්සක් තරම් දුරින් නතරව ගත්තෝය. ඔහු, සිය දුඹුරු පැහ කර ඇඹූ අසු කරා සෙමෙන් පැමිණ, උගේ ඇලපත දිගේ හා ගෙල වටා පිරිමැද්දේය. තේඩාවේ ගාංචුව වැටිණ. ආපසු හැරුණු ජිම්, අසු යළිත් ධාන්‍ය ගබඩාවට දක්කාගෙන ආයේය. සෑදලය උහු පිට මත තැන්පත් කොට, නිවස කරා ගෙනගියේය.
පෙරදිග කඳුහෙල් මතින් මුදු රතු පැහැ, දිදුලන ආලෝක කදම්බයක් විය. නිම්නය පුරා දිවා ආලෝකය සපුරා වියැකෙන්නට පෙර, පුන්සඳ පායනු ඇත.
ජෙල්කා තවමත් මුළුතැන්ගෙයි හිඳ ගෙත්තම් කරමින් උන්නාය. කුටිය කෙළවරකට ගිය ජිම් 30-30 කාබයින් තුවක්කුව අතට ගත්තේය. ඔහු ඊට උණ්ඩ පුරවද්දී මෙසේ පැවසීය. “ හඳපාන තියෙන්නෙ කන්ද පැත්තෙන්. ඒක බලන්න මනාප නම් දැන්ම එළියට ගියොත් හොඳා. පායනකොට, හොඳ රතුපාටට තියේවි”
“ තව චුට්ටකින්” ඇය පිළිතුරු දුන්නාය. “ මං මේක අහවර කරපු ගමන්.” ඇය වෙතට ගිය ඔහු ඇගේ පැහැබර හිස පිරිමැද්දේය.
“ ශුභ රාත්‍රියක්. මම හෙට මද්දහන වෙනකොට කොහොමත් එනව” ඇගේ සෝබර, කළුවන් නෙත්, ඔහුගේ මේ ගමන දොරින් ඔබ්බට විපරම් කළේය.
ජිම්, තුවක්කුව සෑදල කොපුවේ රුවා, අසු පිට නැඟ, දොරුව ඔස්සේ උහු හැඹවීය. ඔහුගේ දකුණු පසින්, අඳුරුව යන කඳුපෙළ පිටිපසින්,සුවිසල් රත් පැහැ සඳ ඉක්මනින් පායා ආයේය. දිනයේ අවසන් රිවිකිරණ හා සඳපානේ ද්විත්ව ආලෝකය, තුරු පෙළ සේයාව තද පැහැ ගැන්වූ අතර, කඳුයායට ගුප්ත මුහුණුවරක්ද එක් කළේය. දූවිලි වැකුණු ඕක් ගස්, දිදුලන්නට විය. ඒ පාමුල සෙවණ, විල්ලුද පලසක සේ කළුවන් විය. දික්වූ පයැති අසකුගේ හා අඩ මිනිසකුගේ සෙවණැල්ල, වම්පසින් ගමන් ගත්තේ ජිම්ට මඳක් ඉදිරියෙනි. ළඟපාත හා ඈත එපිට ගොවිපළ තුළින් නැගී ආයේ ඝෝෂාවෙන් පිරි රැයක් සඳහා සූදානම් වන බල්ලන්නේ බිරුසනය. කුකුළන් හඬ ලෑයේ නව අරුණක් වේලාසනින්ම උදා වී ඇතැයි සිතමිනි. ජිම්, අසු පිම්මේ හඹවන්නට විය. අසුගේ විසිරෙන කුර හඬ, ජිම් පිටිපෛන් වූ බළකොටුව වෙතින් දෝංකාර දුන්නේය. මොන්ටෙරිහි තරු තුනේ නිකේතනයේ රන්වන් කෙස් කළඹින් යුතු “මේ” නම් තරුණිය ගැන ඔහු නිනව් නැගීය. “ මං පරක්කුයි. වෙන එකෙක් ඒකි අර ගනීවි” ඔහු සිතුවේය. සඳ දැන් කඳු පෙළින් මෑත්ව මුදුන් විය.
ඔහු කරා සේන්දුවන තවත් අසකුගේ කුර හඬ ඇසෙන විට ජිම් මයිලයක් තරම මග ගෙවා උන්නේය. ඔහු වෙත ආ අසරුවෙක් අසු නතර කර ගත්තේය.
“ජිම්, ඒ උඹද?”
“ ඔව්, හලෝ ජෝර්ජ්”
“ මං මේ උඹේ ගෙදරට යමින් ගමන්. මට උඹට කියන්න යමක් තියෙනව. උඹ දන්නවනෙ මගෙ ඉඩම ඉහත්තාවෙන් තියෙන පැන්නුම?”
“ ඔව්. මං දන්නව”
“ හරි. මං මේ හවස එහෙ ගියා. මට හදි ගැහුන වාඩියක තිබ්බ ගිනිමැළයක්. ඒ එක්කල වස්සෙකුගෙ ඔළුවයි, අඬුයි. හම ගිනිමැළේ තිබ්බෙ. මං ඒක ඇදල ගත්ත. ඒකෙ තිබ්බෙ උඹේ හණ”
“යකාට ගියාවෙ” ජිම් කීය. “ගිනිමැළේ කොච්චර පරණද?”
“ බිම අළුගොඩ නම් ඒ වෙනකොටත් රස්නෙයි. මං හිතන්නෙ ඊයේ රාත්තිරි. මේ බලපං ජිම්. මට උඹත් එක්ක යන්න වෙන්නේ නෑ. මං මේ ටවුමට යමින් ගමන්. ඒත්, මං හිතුව මේ පලහිලව්ව උඹට කියල යන්න ඕන කියල. මොකද උබට පුළුවන්නෙ විපරම් කරල බලන්න”
“ කට්ටිය කොච්චරක් විතර කියලද හිතන්නෙ?”ජිම් සෙමෙන් ඇසීය.
“ මං එච්චර ළඟින් බැළුවෙ නෑ”
“ හොඳයි. මං හිතන්නෙ ගිහිං විපරම් කළොත් හොඳා කියල. මාත් මේ සෙයිලමට යන ගමන්. ඒත්, හොරු හක්කලම් කරනව නම්, මට තවත් සත්තු නැතිකර ගන්න ඕනෙකමක් නෑ.උඹේ අකමැත්තක් නැත්නම්, මං උඹේ වත්ත උඩින් විගහට යන්නම් ජෝර්ජ්”
“මටත් එන්න තිබ්බ, ඒත්, මම ටවුමට යාගන්න එපාය. උඹ ළඟ තුවක්කුවක් තියෙනවනෙ”
“ අපොයි ඔව්. මෙතන මගෙ කකුල යටිං. කිව්ව එක ලොකු දෙයක්”
“ ඒකෙ දෙයක් නැහැ. උඹ කැමති තැනකින් මාරු වෙයන්. ශුභ රාත්‍රියක්” සිය අසු හැරවූ අසල්වැසියා තමා ආ මගින්ම සතා හැඹවීය.
ජිම්, සුළු මොහොතක් සඳපානේ වාඩිගත්තේ දිගට විහිදුණු සිය හේමලයා දෙස බලමිනි. පැසෙන් රයිෆලය ඉවතට ගත් ඔහු, මූනිස්සම් පුරවා, එය සෑදලය මත හරහට තබා ගත්තේය. මාවතින් වම් පසට හැරුණු ඔහු, කුඩා හෙල්වැටිය ඉහළට විත්, ඕක් වදුල හා තණ වැවුණු ඌරුපිට කන්ද ඔස්සේ ඊළඟ දොරුවට සේන්දු විය.
ඔහුට පැය බාගයකින් අත්හැර දමන ලද වාඩිය සොයාගත හැකිවිය. වස්සාගේ බරැති හම්කඩ පෙරළා බැළූ ඔහු, ඌ මියගොස් තිබුණේ කුමන වෙලාවකදැයි සැක හැර දැනගනු වස් දුහුවිලි වැකුණු දිව අතගා වියළි බව සොයා බැලීය. ගිනිකූරක් දල්වා අඩක් පිළිස්සුණු සම මත වූ සිය හණ විමසීය. අන්තිමේදී, නැවත අසු පිට නැඟ තුරු රහිත තණ බෑවුම් පසු කොට තම ගොවිපළ කරා ආයේය.
කඳුපෙළ මතින් උණුසුම් ගිම්හාන සුළඟක් හමා ආයේය. කෙමෙන් නුබ ගැබ මුදුන් වූ සඳ, එහි වූ රත් පැහැය හර පියා, සැර තේ පැහැයකට මාරුවිය. කඳු අතර, වෘකයෝ නද දුන්නෝය.පහළින් තිබි ගොවි නිවස තුළ උන් බලු රෑන බිඳුණු බිරුසනින් උන් හා එක්වූහ. පහළ තද කොළ පැහැ ඕක් වදුලද කහවන් ගිම්හාන තණපිටියද සඳපානේ සිය පැහැය විදා හලේය.
මිණිගෙඩි හඬ ඔස්සේ සිය ගව රංචුව වෙත ගිය ජිම්ට උන් නිසොල්මනේ උලාකනු දැකිය හැකි විය. මුවෝ කිහිප දෙනෙක්ද උන් අතර වැටී උන්නෝය. ඔහු සුලා අතට සවන් යොමු කළේ සතුන්ගේ කුර හඬ හෝ මිනිසුන්ගේ හඬ අල්ලාගන්නා අටියෙනි.
ඔහු සිය නිවස දෙසට අසු හරවද්දීරෑ එකොළහද පසු විය. අලිගල් බලකොටුවේ බටහිර කුළුණු වටා ගිය ඔහු, එහි සෙවණැල්ල තුලින් ඇදී යළිදු සඳපානට එළඹියේය. ඔහුගේ නිවස හා අටුව, පහළින් අලස ලෙස දිස්විය. නිදන කාමරයේ කවුළුව ආලෝක පිළිඹිබුවක ඉරක් පළ කළේය.
ජිම්, තණපිටිය ඔස්සේ පල්ලම් බහිනවිට බුදිමින් සිටි අස්සු, සිය හිස් එසැවූහ. ඔවුන් හිස් හැරවූ කළ, දෑස් රත් පැහැයෙන් දිළිසුණේය.
ජිම්, අස්ගාලේ වැට කරා පැමිණුනා පමණකි. ධාන්‍ය ගබඩාව තුළ අසකුගේ පා පහර හඬ ඔහුට ඇසුණි. ඔහු සවන් දුන්නේය. පා හඬ යළි ඇසිණ. සිය රයිෆලය එසැවූ ජිම්, නිහඬව අසුපිටින් බැස ගත්තේය. සිය අසු නිදැල්ලේ හළ හේ,ධන්‍ය ගබඩාව දෙසට ඇදෙන්නට විය.
අසකු පිදුරු බුදිනා’තර දත්මිටි කන හඬ අසන්නට ඔහුට හැකි විය. අස්ගාල තෙක් එනතුරු ඔහු ධන්‍ය ගබඩාව අයිනෙන් පියමං කළේය. මොහොතක් එකෙල මෙකෙල වූ ඔහු, සිය රයිෆල් කඳ මත ගිනිකූරක් ඇතිල්ලීය. සෑදල පැළඳ, කටකලියාවද දැමූ අසෙක්, ගාලේ දිගෙලි කර උන්නේය. කටකලියාවේ කොණ හොම්බ කෙළවරින් රුවා තිබි අතර, සෑදල පටි බුරුල්කර තිබිණ. අහර බිදීම නතර කළ අසු, ආලෝකය දෙසට හිස හැරවීය.
ගිනිකූර නිවා දැමූ ජිම්, හනික ධාන්‍ය ගබඩාවෙන් පිට විය.අස්-ඔරුව තොංගලින් වාඩිගෙන ඊ තුළ වූ ජලය දෙස නෙත් හෙළීය. ඔහු, සිතිවිලි සිහි නැඟුවේ කෙතරම් සෙමින්ද යත්, ඒ වදන් වලට පෙරළා සිය හුස්ම හා පිට කළේය.
“ මං කවුළුවෙන් බලන්නද? නෑ. මගෙ ඔළුව කාමරෙට ඡායාවක් පාත් කරයි”
ඔහු, සිය අත වූ රයිෆලය පිරික්සීය. එහි කොකා ගෙවී තිබුණේ රිදී පැහැ ලෝහය ඉතිරි කරමිනි.
අවසන, තීරණයක් ගත් ඔහු, නැගිට ගත්තේය. නිවස දෙසට පිය නැගීය. දොර පඩි අබියස, විදාහල හැම දැව පුවරුවක්ම සීරුවෙන් සෙවුම් බැළුම් කළේ සිරුරේ බර දරන්නට පෙරාතුවය. ගොවිපළේ බල්ලෝ තිදෙන, නිවස යටින් මෑත්ව දිවවිත්, ඉවකොට,දිග ඇදී, නගුට වනා, යළි නින්දට පිවිසියෝය.
මුළුතැන්ගෙය අඳුරු විය. එහෙත් ජිම්, හැම භාණ්ඩයක්ම තිබූ තැන් මැනවින් දැන උන්නෙන්, පිය නගන අතර අත මෑත්කොට, මේසයේ තොංගල, පුටු පත්තක් හා තුවා රඳවනය අත ගෑවේය. ඔහු කාමර හරහා ගියේ කෙතරම් නිසලවද යත් ඔහුට ඇසිය හැකි වූයේ තමන්ගේම හුස්ම, කලිසම් කකුල් එකට ඇතිල්ලෙන කෙඳිරිය හා සාක්කුව තුළ වූ ඔරලෝසුවේ ටික් ටික් හඬ පමණකි. නිදන කාමරයේ දොර විවෘතව තිබුනෙන්, එතුළින් මෝදුවූ සඳපාන මුළුතැන්ගෙයි පොළෝ මත ආලෝක පදාසයක් පැතිරවීය. අවසන, දොර වෙතට ආ ජිම්, ඒතුළට එබී බැලීය.
සුදු පැහැ යහන මත සඳපාන පැතිර තිබුණේය. ජෙල්කා උඩුබැලි අතට වැතිර, නිරාවරණය වූ මුදු අතකින් නළල්තලය හා දෙනෙත් වසා නිදනු පෙනුණේය. මිනිසා කවුරුන්දැයි ඔහුට නිනව් නගා ගත නොහැකි වූයේ ඔහුගේ හිස පසෙකට ඇලවී තිබුණු නිසාය. ජිම් බලාඋන්නේ හුස්මක් නොහෙලමිනි. එවිටම ජෙල්කා නින්දෙන් ගැස්සුණු අතර, මිනිසා සිය හිස හරවා සුසුමක් පිට කළේය. ඒ, ජෙල්කාගේ තරබාරු, බෙරි මුහුණැති මස්සිනා විය.
ආපසු හැරුණු ජිම්, මුළුතැන්ගෙය ඔස්සේ හනික වහංගු වූයේ, පියගැට පෙළින්ද පහළට බැස්සේය. මිදුල හරහා ජල ඔරුව වෙත යළි ගොස් එහි තොංගලේ වාඩි ගත්තේය. සඳ රටහුණු සේ සුදු පැහැති විය. ඒ, දිය මත පාවිණ; බාර්ලි හා පිදුරු ආලෝකමත් කළේය; අසුන් මුව දෑලෙන් කඩා හැළුණේය. මදුරු රෑන, දිය මත ඒ මේ අත දඟලනුද ඔහු දිටීය. දිය ඔරුව පත්ලේ පෙඳ කැටියක් මත හිකනැල් පැටියෙක්ද විය.
ඔහුගේ සිතුවිලි , සිය පියා ඌරකු මරනා’තර මව ඌ ගෙලින් වැගිරුණු ලේ දහර රඳවා ගන්නට බාල්දියක් අල්ලා උන් අයුර කරා මාරු විය. ඇය, හැකිතාක් දුරින් සිට ගනිමින් බාල්දිය අතේ දුරින් අල්ලා ගෙන උන්නේ ලේ බිඳු සිය ඇඟළුම් මත නොවිසිරෙනා ලෙසිනි.
ජලඔරුව තුළට අත දැමූ ජිම්, සඳ, බිඳුණු, ඒ මේ අත සලිතවන ආලෝක තීරු රාශියකට කැලතීය.
සිය පෙඟුණු දෑතින් නළලත තෙමූ ඔහු නැගිට ගත්තේය. ඔහු මෙවර ඒ තරම් නිහඬව හක්මන් නොකලද මුළුතැන්ගේ හරහා නිය පිටින් ගොස් නිදන කාමරයේ එළිපත්ත මත ඉද්ද ගැසුණේය. ජෙල්කා සිය අත මෑත්කොට දෙනෙත් මඳක් විවර කළාය. ඈ ඒ සමගම දෑස් විවර කොට අයාගත් අතර, ඒ කඳුලින් දිලිසුණේය. ජිම්, ඇගේ දෙනෙත් තුළට එබී බැළුවේය. ඔහුගේ බැල්මේ කිසිදු හැඟුමක් නොවීය. ඇය පෙරළා ඔහු දෙස බැළුවාය.
ජිම්, රයිෆලය මෑනුවේය. කොකා මානන හඬ නිවෙස තුළ විහිදුණේය. මිනිසා, යහන මත, අපහසුවෙන් මෙන්, නින්දෙන් දැඟලුවේය. ජිම්ගේ දෑත් වෙවුලන්නට විය. ඔහු, තුවක්කුව උර මතට ගත්තේ, නොසොල්වා කිටිකිටියේ රඳවා ගනු පිණිසය. මානම අතරින් මිනිසාගේ ඇහි බැම හා කෙස් අතර තිබි කුඩා, සුදු පහැති කොටුව ඔහුට පෙනිණ.
වෙඩි හඬ හාත්පස සිසාරා ගියේය. තුවක්කු කඳ දිගේ පහත බලන ජිම්ට මුළු යහනම වෙඩි පහරින් ගිගුම් දෙනු දැකිය හැකි විය. මිනිසාගේ නළලත, කුඩා, කළු පැහැ, ලේ නොවැකුණු සිදුරක් විය. එහෙත්, පසුපස ලක්ෂ්‍යය මොල කැටිති හා ඇට කැබිලිති කොට්ටය මත විසිරවීය.
ජෙල්කාගේ මස්සිනා ගොරොද්දය ඇද්දේය. ඔහුගේ දෑත්, පොරෝනය යටින් මෑත් වූයේ, සුවිසල්, සුදු පැහැ මකුළුවන් මෙනි. මොහොතක් විහිදී ගිය ඒ, ඉක්බිති වෙලෙවිව නතරවිය.
ජිම්, ජෙල්කා දෙස සෙමෙන් බැළීය. ඇය සොටු පෙරමින් උන්නාය. ඇගේ දෙනෙත් ඔහු කෙරෙන් යොමු වූයේ රයිෆල් කඳ කෙළවරටය. ඇය, සීතල බළු කික්කියක සේ කෙඳිරුවාය.
ජිම්, කලබලෙන් ඉවත හැරුණේය. ඔහුගේ බූට් සපත්තු හඬ මුළුතැන්ගෙයි පොළෝ මත නින්නාද විය.ගෙන් පිටතට ආ ඔහු යළි සෙමෙන් පියවර නැගුවේ දිය ඔරුව කරාය. ඔහු උගුරෙහි ලුණු රසක් විය. හදවත ගැස්සුණේ ඇදුම් දෙමිනි. හිස්වැස්ම ඉවත් කල ඔහු හිස දියට නැඹුරු කළේය. ඉක්බිති, දිග ඇදී, පොළෝ මතට වමනය කළේය. නිවස තුළ ජෙල්කා සක්මන් කරන හඬ, ඔහුට ඇසුණේය. ඇය බලු පැටවකු සේ කෙඳිරි ගෑවාය. ජිම් ඉද්ද ගැසුණේ, දුබලව, තෝන්තුවාවෙනි.
අස්ගාල හරහා වෙහෙසකර ලෙසින් පියමං කල ඔහු තණ පිටියට වන්නේය. සෑදල බැඳ හුන් අසු ඔහුගේ සිවුරුහම අනුව ආයේය. යන්ත්‍රයක් සේ සෑදල පටිය තද කල ඔහු අසු අරා මාවත ඔස්සේ හැඹවූයේ නිම්නය කරාය. කැටිවූ කළු පැහැ සෙවණැල්ල ඔහු පසෙකින් ගමන් ගත්තේය.සඳ සුවිසල් අහසේ සුදට පා විය. නොසන්සුන් බලු රැළ ඒකාකාරී ලෙස හඬ තැළූහ.
උදෑසන හිරු උදාවත් සමග, අසුන් දෙදෙනෙකු බැඳ තිබි පැතලි කරත්තයක් ගොවිපලට ආයේ කිකිළියන් සීසීකඩ විසුරුවමිනි. උප මුලාදෑනියෙක් හා මරණ පරීක්ෂකයා එහි අසුන්ගෙන උන්හ. පිටිපස කරත්ත ඇන්දට සිය සෑදලය හේත්තු කර ඊට වාරුව ජිම් උන්නේ බාගෙට දිග ඇදීගෙනය. වෙහෙසට පත් ඔහුගේ අසු පිටිපසින් ගාටමින් ආයේය. තිරිංග පටි තද කල උප මුලාදෑනියා රේන්ස පටි එහි එතීය. මිනිස්සු, රියෙන් බිමට බැස්සෝය.
“ මමත් ඇතුළට යන්න ඔන්නද?” ජිම් ඇසීය. “ මට හොඳටම මහන්සියි. ඒත් එක්ක, මෙව්ව බලන්න තරම් හිත එකලාසයක් නැහැ.”
මරණ පරීක්ෂකවරයා, දෙතොල් සපා කල්පනා කරන්නට විය. “ මං හිතන්නෙ ඕනෙ නෑ කියල. අපි මේ තියෙන දෙයක් බලාගන්නම්”
ජිම්, ජල ඔරුව දෙසට ඇදුණේය. “ මං කියන්නෙ” ඔහු කීය. “ ටිකක් සුද්ද බුද්ද කරල දාන්න පුළුවන්නෙ. නැද්ද?”
ඔවුන්, මිනිත්තු කිහිපයකින් ගෙන් පිටතට ආයේ දරදඬු මිනිය ඔසවා ගනිමිනි. ඒ දවටා තිබුණේ ඇඳ ඇතිරිල්ලකිනි. ඔව්හු එය කරත්තය තුළ සීරුවෙන් තැන්පත් කළහ. ජිම්, ඔවුන් වෙත පිය නැගීය.
“ දැන් මම ඔහෙලත් එක්ක එන්න ඕනෙද?”
“ කෝ ඔහෙගෙ පවුල මුවර් මහත්තයා?” උප මුලාදෑනියා විචාළේය.
“ මං දන්නෙ නෑ” ඔහු පිළිතුරු දුන්නේ විඩාවෙනි.
“ ඔහේ ඈවත් මරල දැම්මෙ නැහැනෙ මයෙ හිතේ?”
“ නෑ. මං එයාට අත තිබෙවත් නෑ. මම එයාව හොයාගෙන අද හවසට එන්නම්. ඒ කියන්නෙ දැං මං ඔහෙල එක්ක එන්න ඕනෙ නැත්නම්”
“ අපට ඔහෙගෙ කටෞත්තරේ තියෙනවා” මරණ පරීක්ෂකයා පැවසීය. “ දෙයියන්ට ඔප්පු වෙන්න, අපට ඇසුත් තියෙනවනෙ, නද්ද විල්? ඇත්තම කියනව නම් ඔහෙට විරුද්ධව නීතියෙ හැටියට මිනීමැරුම් චෝදනාවක් තියෙනව. ඒත් ඒක අහක දායි. මේ සාවියෙ නීතිය හැම තිස්සෙම ඒ වාගෙ. පවුලට කරුණාවෙන් සලකන්න මුවර් මහත්තයා”
“ මං එයාට රිද්දන්නෙ නෑ” ජිම් පැවසීය. ඔහු, කරත්තය පැද්දෙමින් ඉවත යනු ඔහු බලා උන්නේය. ඔහු අලස ලෙසින්, පයින් ඇන, දුහුවිලි ඇවිස්සීය. උණුසුම් ජූලි මස හිරු කඳු යායට ඉහළින් පායා ආ අතර, නිදන කාමරයේ කවුළුව මත සැඩ කිරණ විහිදවීය.
සෙමෙන් නිවස තුළට ආ ජිම්, අඩි නවයේ ගොපළු කසය ගෙන ආයේය. මිදුල හරහා ගොස් ධාන්‍ය අටුව කරා ගියේය. පිදුරු බිස්සට යොමුවූ ඉණිමග නගිනා ඔහුට බලු කුක්කකුගේ තියුණු කෙඳිරිය පටන් ගන්නවා ඇසුණේය.
ජිම්, නැවත ධන්‍ය අටුවෙන් ඉවතට ආයේ ජෙල්කා උරමතින් ඔසවා ගනිමිනි. දිය ඔරුව ළඟ්දී ඔහු ඇය සීරුවෙන් පොළෝ මත තැබීය. ඇගේ හිසකේ අතර පිදුරු කැරලි රැඳුණු අතර සිනිඳු උඩ කබායේ පසුපස ලෙයින් පෙඟී තිබිණ.
ජිම්, සිය අත් ලේන්සුව ජල කරාමයෙන් පොඟවා, ඇගේ බිඳුණු තොල්පෙතිද මුහුණද තෙත මාත්තු කොට කෙහෙවලියද යළි පීරුවේය. ජෙල්කාගේ බොඳ, කළුවන් නෙතු යුග, ඔහුගේ හැම ඉරියව්වක්ම බලා උන්නේය. “ ඔයා, මට රිදෙව්ව” ඇය කීවාය. “ වස නරක විදිහට රිදෙව්ව” ඔහු, බැරෑරුම් ලෙසින් හිස සෙලැවීය. “ ඔව්, ඔයාව නොමරා”
හිරු පොළෝ මත සැඩ කිරණ විහිදැවීය. නිල මැස්සන් කිහිප දෙනෙක් ඒ මේ අත පියෑඹුවේ ලේ සොයමිනි.
ජෙල්කාගේ ඉදිමුණු දෙතොල් සිනා නගන්නට තැත් කළේය. “ ඔයා උදේට මුකුත් කෑවද?”
“ නැහ” ඔහු කීය. “ මුකුත් නැහැ”
“ හොඳයි, එහෙනම් මං බිත්තර ටිකක් බදින්නම්” ඇය වේදනාවෙන් නැගිටින්නට තැත් කළාය.
“ ඉන්න මං අල්ලගන්න,,” ඔහු කීය. “ ඉන්න මං ඔයාගෙ කමිසෙ ගලවන්න උදව් වෙන්නම්. ඒක ලේත් එක්ක ඇඟට ඇලිල වේලෙයි. ඒක රිදෙයි”
“නැහැ. මම්ම ඒක ගලවගන්නම්” ඇගේ ස්වරයෙහි, ආවේණික තිරසර බවක් විය. ඇගේ නෙත්, උණුසුම් ලෙසින් මොහොතක් ඔහු වෙත එල්ල වූ අතර, ඉක්බිති හැරීගත් ඈ නිවස තුළට සෙමින් ඇදුනාය.
මොහොතකින් දෙකකින්, ජෙල්කා මුළුතැන්ගෙයි දොරකඩ හිඳිමින් ඔහුට අඬ ගැසුවාය. “ එන්න ජිම්, ඔයාගෙ හීල” බැදපු බිත්තර හතරක් හා ඝනකමැති බේකන් තීරු හතරක් උණුසුම් බඳුනක් මත ඔහු වෙනුවෙන් පිළියෙලව තිබුණි.
“ මිනිත්තුවකින් කෝපි ටික ලෑස්තියි” ඇය කීවාය.
“ ඔයා කන්නෙ නැද්ද?”
“ නෑ. දැන් නෙමෙයි. මගේ කට තවමත් ඉදිමිල”
කෑදර ලෙසින් බිත්තර අනුභව කළ ඔහු ඉන්පසු, ඇය දෙස බැලීය. ඇගේ කළුවන් කෙහෙවලිය මැනවින් පීරා තිබිණ. ඇය, අළුත් උඩ කබායක් හැඳ උන්නීය.
“ අපි අද හවස ටවුමට යන්න ඕන.” ඔහු කීයේය. “ මම ළී දඬු තොගයකට ඕඩරයක් දෙනව. අපි, දෙණියෙ එහායින් අළුත් ගෙයක් හදමු” ඇගේ දෙනුවන, වැසුණු යහන් ගැබ දොර වෙතද ඉන්පසු ඔහු වෙතද යොමු විය. “ ඔව්” ඇය කීවාය. “ ඒක එහෙම හොඳයි”
ඉක්බිති, මොහොතකට පසු, ඇය මෙසේ පිළිවිසියාය. “ ඔයා මේ පලහිලව්වට මට මින් පස්සෙත් තලනවද?”
“නා. මේකට, තවත් නෑ”
ඇගේ දෙනෙත් සිනාසුණේය. ඇය ඔහු සමීපයේ වූ අසුනක වාඩි ගත්තාය. සිය සුරත මෑත් කළ ජිම් ඇගේ හිසකේද ගෙල පිටිපසද පිරිමදින්නට විය.
ජෝන් ස්ටයින්බෙක්( 1902-1968)
අර්නස්ට් හෙමිංවේ, විලියම් ෆෝක්නර් හා වෝල්ට් විට්මන් සේම අමෙරිකානු සාහිත්‍ය යෝධයකුවූ ස්ටයින්බෙක් උපත ලද්දේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැලිනාස් මිටියවතෙදීය. ඔහු ලේඛකයකු හැටියට මුලින්ම නමක් දිනා ගත්තේ Tortilla Flat නම් හාස්‍යජනක නවකතාව1935 දී පලකරමිනි. කැලිෆෝනියාවේ මොන්ටෙරි නම් ධීවර ගම්මානයේ ප්‍රසන්න පාදඩයින් සිව්දෙනෙකු වටා ගෙතුණු මේ කතාව, ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
Of Mice and Men හා East of Eden වැනි නිර්මාණද බෙහෙවින් සාර්ථක වුවත්, ස්ටයින්බෙක්ගේ සදාදරණීය නිමාණය The Grapes of Wrath නවකතාව බව පිළිගැනේ. එය, විසිවන සියවසේ අමෙරිකානු නවකතා අතර මුල් තැනක් ගන්නා බව විචාරක මතයයි. සිය ජීවිතයේ අවසන් සමයේදී චාලි නම් සුරතල් බල්ලකුද කැටිව ඇමරිකාව පුරා සංචාරය කළ ස්ටයින්බෙක් Travels with Charley නම් චාරිකා සටහන ලිවීය. 1962 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ස්ටයින්බෙක්, 1968 දී මිය ගියවිට මිහිදන්කරන ලද්දේ ඔහු හැමදා ඇළූම් කල සැලිනාස් මිටියාවතේය.