පුංචි මහත්තය අස්සය පිට රවුමක් යන්න කැමතිද? (The Hounds of fate නම් කෙටි කතාවේ පරිවර්තනය 202)

post-title

ඉරණමේ දඩබල්ලෝ.

සාකිගේ The Hounds of fate නම් කෙටි කතාවේ පරිවර්තනය

ශරත් සමයේ එක් කමකට නැති සැදෑවක, මළහිරු බැස යන අතර, මාටින් ස්ටෝනර්, මඩ වැකුණු පටු මං හා රෝද සළකුණු හෑරුණු කරත්ත පාරවල් අතරින් පියමං කළේ තමා මේ යන්නේ කොයිබකදැයි කිසිදු අරමුණක් නොමැතිවය. තමා ඉදිරියෙන්, කිසියම් දුරක් ඔබ්බෙන් ඇත්තේ මුහුද යැයි ඔහු දැන උන්නේය. ඔහුගේ දෙපා නිතරම පිය නැගුවේ මුහුද දෙසටය. ඔහු මේ අරමුණ කරා අසීරුවෙන් පිය නගන්නේ කුමන හේතුවක් නිසා දැයි තේරුම් කිරීම අසීරු නොවන්නේ, හෙම්බත් ගෝනකු ගල් කුළු අතර සිය අවසන් ඉරණම සොයා යන්නාක් බඳු ඉවක් ඔහුටද හිමිවන්නේ නම් පමණකි. මේ අවස්ථාවේදී නම් ඉරණමේ දඩබල්ලෝ කිසිදු පැකිලීමකින් තොරව ඔහු පසු පස හඹා එමින් සිටියහ.

කුසගින්න, වෙහෙස හා හව් හරණක් නැති බලාපොරොත්තු සුන්වීම් ඔහුගේ මොළය අප්‍රාණික කරවීය. තමා ඉදියට මෙහෙයවන යටි සිත කුමක්දැයි වටහා ගැන්මට අවශ්‍ය ශක්තිය ගොනු කර ගන්නටද ඔහු අපොහොසත් විය.

ස්ටෝනර්, හැම දෙයක්ම අත්හදා බලා, ඒ කිසිවක් සාර්ථක කර ගත නුහුණු අවාසනාවන්ත පුද්ගලයන් අතර ගිණිය හැක්කෙකි. ඔහු වෙත තිබි, ස්වභාවික අලස බව හා අවාසනාව, කිසියම් සෑහෙන සාර්ථකත්වයක් වුව පෑදෙද්දී එය වළකා ලන්නට ඉදිරිපත් විය. දැන් ඔහු ඉවසීමේ රතු ඉර පන්නා සිටි අතර, තවදුරටත් වෑයම් කරන්නට යමක් ඉතිරිව නොතිබීය.අන්ත අසරණ බව ඔහු තුළ, කිසියම් ශක්ති පුංජයක්වත් දැල් වූයේ නැත. ඔහුගේ අවාසනාවන්ත අතීතය වටා කිසියම් මානසික අර්බුදයක් කැකෑරෙමින් තිබුණි. හැඳ සිටි ඇඳුම් පමණක් අතැතිව,සාකුවේ පැන්ස බාගයක් පමණක් සන්තකව, උදව්වක් බලාපොරොත්තුව්කද හිත මිතුරෙක් නොමැතිව, රාත්‍රියට සයනයක් හා හෙට දින ආහාර වේලක බලපොරොත්තුවක් නොමැතිව, ස්ටොනර් සෙමෙන් සෙමෙන් පා නැගුවේ තෙතබරි පැළ ඉණි වැට අතරින් හා දිය බිඳු වැගිරෙන තුරු වදුලු යටිනි.

ඔහු, විශාල, එනමුත් නොසලකා හැර ඇති ලෙසක් පෙන්නුම් කළ ගොවිපලක විවෘත කඩොල්ල වෙතට ආයේ මෙන්න මේ අවස්ථාවේදීය. ඔහු, එතන නතර විය. මේ වන විට පොද වැස්සක් පටන් ගත්තෙන්, මෙහිදී විනාඩි කිහිපයක සෙවණක් හා අතැති අන්තිම කාසියද වැය කර කිරි වීදුරුවකුත් ලබා ගත හැකි වෙතැයි ස්ටෝනර් සිතුවේය.

සෙමෙන් හා වෙහෙසකර ලෙස ගොවිපළ දෙසට හැරුණු ඔහු, ගල් ඇතිරූ පටු අඩි පාරක් ඔස්සේ, නිවස පැත්තක තිබි දොරක් කරා පිය මං කළේය. ඔහු දොරට තට්ටු කරන්නටත් පෙර එය විවෘත වූයෙන්, ඉන් පිටතට ආ කුදු ගැසුණු, බෙලහීන මහල්ලෙක්, උළුවස්සෙන් මෑත්ව, පසෙකට වූයේ ඔහුට ඇතුළු වන්නට ඉඩ සලසන්නාක් මෙනි.

“ මං වැස්සට පොඩ්ඩක් ඇතුළට එන්නද?” ස්ටෝනර් එසේ කීමට පටන් ගත්තද, මහල්ලා ඔහුට බාධා කළේය.

“ ඇතුළට එන්න මාස්ටර් ටොම්. මම හිතුව පුංචි මහත්තය කවද හරි දවසක ආපහු එන බව”

උළුවස්සෙන් ඇතුළට වූ ස්ටෝනර්, මේ කිසිවක් නොවැටහෙන්නාක් සේ අනෙකා දෙස බලාගත් වනම බලා උන්නේය.

“ මං රෑ කෑම ටික ලෑස්ති කරනකල් පොඩ්ඩක් ඔහෙන් ඈඳි ගන්න” මහළු මිනිසා වෙවුලන, එහෙත් සතුට පිරි හඬකින් කීය. වෙහෙස නිසා අඩපණව තිබි ස්ටෝනර්ගේ දෙපා නැමුණු අතර, ඔහු තමා වෙතට තල්ලු කරන ලද හාන්සි පුටුවේ හැඟීමකින් තොරව හරිබරි ගැසුණේය. ඊළඟ මිනිත්තුව ඇතුළත තමා පසෙක තිබි මේසය මත තබන ලද ශීත කළ මස්, කේජු හා පාන් බුදිමින් උන්නේය.

“අවුරුදු හතරට ඔහේ සොච්චමයි වෙනස් වෙලා තියෙන්නේ” මහළු මිනිසා කියවාගෙන ගියේය. ඔහුගේ කටහඬ ස්ටෝනර්ගේ සවනත වැකුණේ දුරස්තර, හරසුන් සිහිනයක මෙනි.

“නමුත්, පුංචි මහත්තයට තේරෙයි අපි නම් ටිකක් වෙනස්වෙලා කියල. ඔහේ මෙහෙන් ගිය දවස්වල හිටපු අය හැමෝම වෙනස් වෙලා. ඒ කියන්නේ මමයි ඔහෙගෙ වයසක නැන්දම්මයි ඇර. එයා, ඔහෙව මුණ ගැහෙන එකක් නෑ. ඒ වුනාට කියල තිබ්බෙ ආවොත් බාර ගන්න කියල. ඒ මනුස්සය හැමදාම කීවෙ ආව දවසක බාර ගන්නවය ඒත් ඇස් දෙකට මුලිච්චි කරන්නෙවත් කතා බහ කරන්නෙවත් නැත කියල”

ස්ටෝනර් ඉදිරියෙන් තිබි මේසය මත බීර ජොග්ගුවක් තැබූ මහල්ලා දිගු පියමගක් ඔස්සේ කොර ගසමින් ගියේය.

පොද වැස්ස, දොර ජනෙල් මත වියරු වැටුනාක් මෙන් පහර දෙන ධාරානිපාත වරුසාවක් බවට පත්ව ඇත. රාත්‍රිය හතර වටින් ළං වෙද්දී, මෙම නා කපන වැස්සේ මුහුදු වෙරළ කෙබඳු ස්වරූපයක් ගන්නට ඇද්දැයි ස්ටෝනර් කල්පනා කරන්නට විය. කෑම සහ බීර හමාර කළ ඔහු සිය අරුම පුදුම සංග්‍රහකරුවා එනතුරු බලා උන්නේය.

“ වයසක නෝන මහත්තයා මුලිච්චි වෙන්න එන එකක් නෑ ටොම් මහත්තයෝ.නමුත්, උන්දැ කියනව තමුන්ට මෙහේ නතර වෙන්න පුළුවන් කියල. ඒක නම් හොඳටෝම ඇත්ත. උන්දැ වල පල්ලට ගියාට පස්සේ මේ ගොවිපොළ අයිති වෙන්නෙ ඔහේටනේ. ඉටින්, පුංචි මහත්තයා, මං කාමරේ ගිනි උදුන මෙලෙව්වා. වැඩකාරියො ඇඳට අළුත් ඇඳ ඇතිරිලි දමාවි.ඒකේ මොකුත් වෙනස් වෙලා නැති බව තේරෙයි. මං හිතන්නෙ ඔහේට හුඟක් වෙහෙස නිසා එහෙ ගියොත් හොඳානේ?”

වචනයක් වත් පිට නොකළ මාටින් ස්ටෝනර්, හුනස්නෙන් නැගී සිටියේ තමාට ආවතේව කළ මේ දේව දූතයා පිටුපසින් වැටී දිගු පිය මග ඔස්සේ හා කිරි කිරි හඬ නංවන හිණි පෙළක් දිගේ ගොස් උණුසුම් ගිනි උදුනකින් සැදුම් ලත් සුවිසල් නිදන කාමරයකට ඇතුළු විය. ඒ තුළ් අවූයේ, චාම්, පැරණි පන්නයේ මුත් හොඳ වර්ගයේ ලී බඩු කිහිපයක් පමණි. රාක්කයක තිබි පුළුන් පිරැවූ ලේනෙක් හා සිව් වසරක් පැරණි බිත්ති දින දර්ශනයක් එහි වූ එකම විසිතුරු භාණ්ඩ විය. නමුත්, සයනය හැර වෙනත් යමක සිරි විඳින්නට ස්ටෝනර්ට ඕනෑකමක් නොතිබුණු අතර, සිය ඇඟළුම් ගලවා වෙහෙසකර සුඛෝපභෝගිත්වයේ පතුල දක්වා වැතිරී සැනහෙන්නට නොඉවසිලිමත් විය. ඉරණමේ දඩ බල්ලෝ සුළු මොහොතකට වත් පසුබා ඇති සෙයකි.

ඊළඟ උදෑසන සීතල පින්නේ අවදි වූ ස්ටෝනර්,හැඟීමකින් තොරව සිනාසුණේ තමා දැන් පත්ව ඇති තත්වය කෙමෙන් පසක් කරමිනි. බාග වෙලාවට, අර කී අයාලේ ගිය අසරණයා හා තමන් අතර ඇති ස්වරූපයේ සමාන බව පිළිසරණ කොට ගෙන, හීලටත් මොනවා හරි ගිල දමා, තමා වෙත පනවා ඇති මේ විකාරය කිසිවෙක් හෙළිදරව් කරගන්නට පෙර හිරිහැරයක් නැතිව පැන යන්නට පුළුවන.

කුදු ගැසුනු මහළු මිනිසා, පහත මාලයේ කුටියක, පුංචි මහත්තයාගේ උදෑසන අහාර වේල සඳහා බේකන් හා බැදපු බිත්තර පිඟානක් සකස් කරමින් සිටි අතර, වියපත් කම්මිත්තක්, තේ පෝච්චියක් රැගෙන විත් තේ බඳුනක් වත් කළාය. ඔහු, මේසය පසෙක වාඩි ගත් විට, ස්පැනියල් වර්ගයේ කුඩා බල්ලෙක් ළබැඳි ලෙස ඉදිරියට ඇදී ආයේය.

“ වයසක බව්කර්ගෙ පැටිය” මහල්ලා කීය. කරගෑටි මුහුණ සහිත මෙහෙකාරිය, ඔහු ඇමතුවේ ජෝර්ජ් යනුවෙනි.

“ ඔහේ ඕස්ට්‍රේලියා ගියත් එක්කම ඒකි හුඟක් වෙනස් උනා. දැනට අවුරුද්දකට ඉහත මළා. මේ ඒකිගෙ පැටිය”

බැල්ලගේ මරණය ගැන ශෝක වීම අසීරු බැව් ස්ටෝනර්ට හැඟුණි. හඳුනා ගැනීමේ ලක්ෂණයක් සේ ඇය ආසා කරන යමක් ඉතිරි කර යන්නට ඇත.

“ පුංචි මහත්තය අස්සය පිට රවුමක් යන්න කැමතිද?” ඒ මහල්ලා ගෙනා ඊළඟ බලාපොරොත්තු රහිත යෝජනාව විය.

“ මෙහේ ඉන්නව අපූරු පුංචි පුල්ලි අස්පයෙක්, සෑදලේට කදිමට පෑහෙනව. නාකි බිඩී වයසට ගොහින් උන්නත් තවමත් හොඳා. ඒත්, මම පුල්ලි අස්පයව බඳින්නම්”

“ මං ගාව ඇඳුම් ආයිත්තම් මොනවත් නැහැනෙ” ස්ටෝනර් ගොත ගසමින් කීයේ තමාගේ ඉරී ගිය ඇඳුම් කට්ටලය ගැන සිනාසෙමින් බලමිනි.

“ ටොම් මහත්තයෝ” මහල්ලා සිත් වේදනාවෙන් කීය. “ ඔහෙගෙ ඇඳුම් කැඩුම් සේරම ඒ තිබ්බ විදිහටම තියෙනව. පොඩ්ඩක් උදුනට අල්ලන්න විතරයි ඇත්තෙ. එතකොට හරි යාවි. ඉඳ හිට අස්පයො පිට යන එකයි, වලි කුකුල් දඩයමයි කාන්සියටත් එක්ක හොඳා. තේරෙයි මේ අවට මිනිස්සු තවමත් තමුන් එක්ක ආරෝවෙන් ඉන්න බව. උන් අමතක කරලත් නෑ. සමාව දෙන්නෙත් නෑ. ඒත්, උන් කවුරුවත් ඔහෙට කිට්ටු වෙන එකක් නෑ. ඉතින්, කාන්සියට ඔය අස්පයයි, බල්ලයි තමා. උං හොඳා ඒකට”

ස්ටෝනර් දැන් නම් අන් කිසිම කලෙක නුවූ ලෙස සිහිනයක නිමග්න වූයේ උඩු මහලට ගොස් ටොම්ගේ ඇඳුම් අල්මාරිය නරඹන්නට සිතුවේය. ටොම්ගේ පැරණි සගයන් කවරෙක්වත් තමා හමු වන්නට නොඑන බව දැනගත්තෙන්, මේ බොරුව හෙළි වීමේ අන්තරාය තරමක් දුරට බෙලහීන වන බව ඔහු පසක් කළේය.

අසුන් හැඹවීම ස්ටෝනර් ප්‍රිය කළ එක් විනෝදාංශයක් විය. එය, ඔහුගේ හදවතට ළං වූවකි. අයාලේ කඩා වැටුණු මේ හාදයා, තමාට මැනවින් ගැළපුණු ඇඳුම් කට්ටලය තුළට රිංගන අතරතුරේදීත් කල්පන්න කළේ, මුළු ගම් පළාතම තරහ කර ගන්නට තරම් මේ ටොම් කියන හාදයා විසින් කරන්නට ඇති බරපතල වරද කුමක්ද කියාය. තෙත පොළොව මත බරට ඇසුණු කුර හඬ ඔහුගේ සිතිවිලි සමුදාය බිඳ දැමීය. පුංචි පුල්ලි අශ්වයා පිටත දොර වෙතට ගෙනැවිත් තිබිණ.

“ අසුන් පිට යන හිඟන්නෝ” ස්ටෝනර් තමාටම මුමුණා ගත්තේ තමා කමකට නැති අනාථයකු හැටියට ඊයේ දෙපයින් ගෑටූ පටු මං ඔස්සේ හැල්මේ යමිනි. ඊළඟට, මනෝ රාජ්‍යයේ සිහින මැවීම් කම්මැලිබවකින් පැත්තකට දැමූ ඔහු, මාවතේ හොඳින් මට්ටම් වූ කොටසක තණ පිඩැලි වැසුණු අයින දිගේ පිම්මේ අසු හැඹවීමේ ආශ්වාදජනක ක්‍රීඩාවට පිළිපන්නේය. එක් විවෘත කඩොල්ලක් ළඟදී ඔහු, කරත්ත දෙකකට කුඹුරක් වෙත හැරෙන්නට ඉඩ දෙනු වස් සිය ගමන් වේගය බාල කළේය. කරත්ත දැක්කූ ගැටයන්ට ඔහු වෙත දිගු බැල්මක් හෙළන්නට තරම් කාලයක් ලැබිණ. ඔහු පියමං කරත්ම, එක් හඬක් කලබල වූ ස්වරයකින් මෙසේ පවසනු ඇසිණ.

“ මං දැන ගත්තා. ඒකා ටොම් ප්‍රයික්. ආයෙමත් මේ පැත්තෙ කරක් ගහනව වගේ නේද?”

ඉතාමත් සමීප දුරකින් දුබල මහල්ලකු නොමග යැවූ මේ සමාන බව, කෙටි දුරක තිබි ළාබාල දෙනුවනක්ද නොමග යවන්නට සමත් වූ ලෙසකි. අතුරුදහන් වී ඇති ටොම්ගෙන් තමා කරපිටට උරුම වී ඇති මේ ඉරණම, නැත්නම් ඉපැරණි සාපරාධය, අසල්වැසියන්ගේ සිත් වලින් කිසිසේත් මැකීනොමැති බවට වූ සඳහන, සනාථ කිරීමට පොහොනා සාධක, මේ ගමන තුළ අත් දකින්නට හැකි විය. මිනිසුන් මුණ ගැසුණු හැම විටෙකම, තොල් මැතිරීම්, ඉඟි කිරීම් හා ක්‍රෝධය කැකෑරුණු නෙතග බැළුම් දායාදයක් සේ ලැබුණේය. කලහකාරී ලොවක සුහද බවේ එකම සංකේතය වූයේ, ඔහු පසෙකින් සන්සුන් ලෙස දිව ආ බව්කර්ගේ බලු පටවා පමණි.

ඔහු, පසෙක වූ දොර අබියසදී අසු පිටින් බසිත්ම, උඩු මහලේ කවුළු තිරයකට මුවා වී එබිකම් පානා වියපත්, බෙලහීන ගැහැණියකගේ සැලෙන සේයාව දිටීය. එකත් එකටම, මේ ඔහු හදා වඩා ගත්තැයි කියනා නැන්දම්මා විය යුතුය.

තමා වෙනුවෙන් ඒ වනවිටත් පිළියෙල කර තිබි කදිම දිවා භෝජනය ගන්නා අතර, ස්ටෝනර් තමා මේ පත්ව තිබි අසාමාන්‍ය තත්වය සමාලෝචනය කළේය. සැබෑ ටොම්, සිව් අවුරුදු නිහැඬියාවකින් පසු කෙදිනක හෝ පෙරළා ගොවිපළට එනු ඇත. නැත්නම්, කොයි මොහොතක හෝ ඔහුගෙන් ලිපියක් ලැබෙනු ඇත. අනෙක් අතට, මේ ගොවිපළේ උරුමක්කාරයා ලෙස ව්‍යාජ ටොම්ට ඇතැම් ලියකියවිලි අත්සන් කරන්නට සිදුවනු ඇත. එය, අසීරු සහගත තත්වයක් වනු ඇත. එසේත් නැතිනම්, නැන්දම්මාගේ උදාසීන ආකල්පය නොදරන නෑයන් පැමිණෙන්නට පුළුවන. මේ සියළුම කරුණු වලින් ඔහු ලජ්ජා සහගත ලෙස අනාවරණය වනු ඇත. අනෙක් අතට තිබි විකල්පය වූයේ විවෘත අහස හා සයුර දෙසට විහිදුණු පටු මාවත්‍ ය. කොයි අතකින් කල්පනා කළත්, මේ ගොවිපළ ඔහුට අසරණබවින් තොර තාවකාලික හෝ සහනයක් ලබා දුන්නේය. ඔහු අතීතයේදී අත්හදා බැළූ දේ අතරින් ගොවිතැනද එකක් විය. තමා ඉතාමත් යාන්තමින් සුදුස්සකු වන මේ ත්‍යාගශීලී භාවයට හිලව්වක් සේ කිසියම් ප්‍රමාණයක වැඩ කොටසක් එමගින් ඉටු කිරීමට ඔහුට පුළුවන.

“ මහත්තයට රෑ කෑමට හීත කරපු ඌරු මස් හොඳද? නැත්නම්, ටිකක් රත් කරන්නද?” කම්මිත්ත ඔහුගෙන් ඇසුවේ කෑම මේසය සුද්ද බුද්ද කරන අතර වාරයේය.

“ රස්නෙට-රතු ලූණුත් එක්ක” ස්ටොනර් පිළිතුරු දුන්නේය.ඔහු සිය ජීවිත කාලය තුළ ඉක්මන් තීරණයක් ගත් එකම වතාව එය විය. එසේ අණ දෙනවාත් සමගම ඔහු ඉටා ගත්තේ තමා මේ අවුදින් සිටින්නේ නතර වන්නටම බවය.

නිවෙස තුළ තමා වෙත වෙන්කර ඇතැයි හඟවන ලද කොටස් වල පමණක් රෑඳී සිටීමට ස්ටෝනර් දැඩිව වග බලා ගත්තේය. ඔහු ගොවිපළෙහි වැඩපලේ නිරතව සිටියානම් ඒ අණ දෙන්නෙකු නොව අණ පිළිපදින්නකු සේය. අන් කිසි ලෙසකින් දරිය නොහැකි සේ නිසල වූත්, එරෙහිවූත් ලෝකය තුළ ඔහුට සිටි එකම සගයන් වූයේ, නාකි ජෝර්ජ්, පුල්ලි අශ්වයා හා බව්කර්ගේ බලු පැටවා පමණකි. ගොවිපළේ හිමිකාරිය පිළිබඳව නම් ඔහු කිසිවක් දුටුවේ නැත. වරක්, ඇය පල්ලියට ගිය බව සැක හැර දැනගත් විටෙක, ඔහු ගොවි නිවසේ ඇතුළු සාලයට හොරෙන් පිවිසියේ, තමා විසින් උරුමය පැහැර ගන්නා ලද හා තමාට නොසණ්ඩාල නමක් උරුම කර දුන් මේ තරුණයාගේ කිසියම් කටු සටහනක් වත් සොයා ගනු පිණිසය. බිත්ති මත එල්ලා තිබි හා හුරුබුහුටි රාමු මත සවිකළ කොතෙකුත් සේයා රූ තිබුණද ඔහු සොයන සේයා රුව ඒවායේ නොවීය. අවසන, දසුනට ලක් නොවන සේ ඉවත දමන ලද සමරු පොතක තිබී තමා සොයන දේ ඔහුට හමු විය.

එහි ඡායාරූප රාශියක් පිළිවෙලට එක්කොට තිබූ අතර ඊ මත “ටොම්” යැයි සටහන් කර තිබුණි. දැකුම්කළු ඇඳුමකින් සැරසුණු හුරුබුහුටි තුන් මස් ළදරුවෙක්, බෙහෙවින් ආශා කරන්නාක් සේ ක්‍රිකට් පිත්තක් අතින් ගත් වයස දොළහක් මෙන් පෙනුණු විමතියට පත් කොළු පැංචෙක්, මෘදු ලෙස දෙපසට පීරූ කෙහෙරැලි සහිත, කඩවසම්, දහ අට වියැති ගැටවරයෙක් හා අවසන, කිසියම් ලෙස, රළු, මහසොහොන් පෙනුමක් සහිත තරුණයෙක් ඒ අතර විය. මෙම අවසන් සේයා රුව දෙස ස්ටෝනර් සැලකිල්ලෙන් බැලීය. එය, වෙන් කර හඳුනාගත නොහැකි සේ ඔහුට සමාන විය.

වෙනත් මාතෘකා වලදී හොඳ හැටි දොඩමළු වන නාකි ජෝර්ජ්ගේ මුවින්, තමා මෙසේ අසල්වැසියන් විසින් කොන්කර දමනු ලැබූවකු බවට පත් කරන්නට හේතු වූ වරද කුමක්දැයි දැන ගැන්මට ඔහු කෙළවරක් නොමැතිව උත්සාහ ගත්තේය.

“ මේ අවට ඈයෝ මං ගැන මොනවද කියන්නේ?” ඔවුන් දෙදෙනා මඳක් ඔබ්බෙන් වූ කුඹුරක සිට නිවෙස බලා පෙරළා එන අතරමගදී ඔහු ඇසීය. මහල්ලා හිස සෙලැවීය.

“ උං අමනාපයි. ජම්මාන්තරයි. ඒක හරිම කණගාටු දෙයක්” ඔහු කිසිවිටෙකත් ඉන් එහාට තේරුම් ගත හැකි යමක් දෙඩවූයේ නැත.

නත්තලට දින කිහිපයකට පෙර, එක් පැහැදිලි එහෙත් නිහඬ සැඳෑවක, ස්ටෝනර් හාත්පස ගමම හොඳින් නැරඹිය හැකි පළතුරු වත්තේ එක් තැනක සිට ගත්තේය. උත්සව සමයේ හොඳහිත හා ප්‍රීතිමත්බව ජනිත වන මිනිස් දනව්වල අසිරිය කියා පාමින්, අතරින් පතර ලාම්පු හා ඉටිපන්දම් එළි තිත් රාශියක් දිස් විය. ඔහුට පිටිපසින්, නිසල, කටුක පෙනුමක් විදහා පෑ ගොවි නිවස විය. එහි, කිසිවෙක් කිසි කළෙක සිනා වූයේ නැත. එහි දබරයක් වුව ප්‍රමෝදයක් සේ පෙනෙන්නට ඇත. අඳුරු සෙවණැල්ලෙන් වැසී ගත් ගොඩනැගිල්ලේ දිගු, අළු පැහැ ඉදිරිපස දෙස හැරී බලත්ම,දොරක් විවෘතව, වයසක ජෝර්ජ් කඩිනමින් ඉන් ඉවතට ආයේය.

“ටොම් මහත්තයෝ” මහල්ලා කෙඳිරීය.” ඔහේ ටික දොහකට කොහාට හරි වහංගු වෙලා යන්ට ඕන. මයිකල් ලේ ආයෙමත් ගමට ඇවිල්ල තියෙනව. මුලිච්චි උනොත් වෙඩි තියෙනව කියල මිනිහ දිවුරලයි තියෙන්නේ. ඌ නම් හැටියෙන්ම මිනීමරුව. ඒ හන්දා අද රෑ මෙහෙන් පැන ගන්ඩ. ඒක සතියකට හමාරකට විතරයි. මොකද අරූ ඊට වැඩි කල් මේකෙ කරක් ගහන්නෙ නෑ”

“නමුත්, මං කොහාටද යන්නෙ?” ස්ටෝනර් ගොත ගසමින් කීය. මහල්ලා තුළ වූ භීතිය ඔහුටද බෝ වූ අන්දමකි.

“ වැල්ල දිගේ පන්ච්ෆෝඩ් වලට ගිහිං එහෙ හැංගිලා ඉන්න. මයිකල් මෙහෙන් තොලොංජි උනාට පස්සෙ මම පුල්ලි අස්පයා අරන් එහේ “නිල් මකරා” තානායමට එන්නම්. තානායමේ අස්පය දිගේලි කරල ඉන්නව දැක්කොත් ඒ ආයෙමත් මෙහාට එන්න ඔහේට කරන සළකුණ තමා”

“ නමුත්..” ස්ටෝනර් දිරාපත් හඬකින් පටන් ගත්තේය.

“ හරි. හරි. සල්ලි ගැන කතාවක් නැහැ” අනෙකා කීය. “ නාකි උන්දැ කියන්නෙත් මං කියපු හරියම තමා. ඒ ඇත්ති මට මේ ටික දුන්නා” මහල්ලා, රන් පවුම් තුනක් හා රිදී සිල්ලර කාසි කිහිපයක් පෙන්වීය.

එදින රෑ, මැහැල්ලගේ මුදල් සිය සාක්කුවල රුවා ගෙන, ගොවිපළේ පිටිපස කඩොල්ලකින් සොරකු මෙන් පළා යන අතරේ ස්ටෝනර්ට හැඟුණේ තමා අන් කවරදාකටවත් වඩා අද නම් වංචාකාරයකු බවය. නාකි ජෝර්ජ් හා බව්කර්ගේ බලු පැටවා ඔහුට සමු දෙමින් නිසලව බලා සිටියෝය. තමාට, පෙරළා එන්නට හැකි වේද යන්න සිතා ගැන්මට ඔහු අපොහොසත් වූ අතර, සිය ආපසු ගමන සුහද ලෙසින් ප්‍රාර්ථනා කරන මේ අහිංසක මිතුරන් දෙදෙනා ගැන හදවතින් වැළපුනේය. කිසියම් දිනෙක සැබෑ ටොම් පෙරළා පැමිනෙණු ඇත.මේ අය, තමන් දින දෙක තුනක් මේ වහල යට නවාතැන් දුන් මිනිසා ගැන හතර අතේ කල්පනා කරනු ඇත. සිය ඉරණම පිළිබඳව නම් ඔහුට ඉක්මන් බියක් නොවීය. ජීවිතය සාර්ථක ලෙස ගත කළ අයෙකුට නම් රන් කාසි තුනක් ඒ හැටි ගතයුත්තක් නොවේ. එහෙත්, සිය භාණ්ඩාගාරය පැන්ස වලින් ගණන් බැළුවෙකුට එය ආරම්භයකි.

ගොවිපළින් ඈත් වන්නට, ඈත් වන්නට, ඔහු තුළ වූ උද්‍යෝගයද බුබුළු දමන්නට පටන් ගත්තේය. සිය නැතිවූ අනන්‍යතාවය නැවත ලබා ගැනීමේද, අනෙකකුගේ අසහනකාරී හොල්මනින් මිදීමට හැකිවීමේද සහනදායී සිතිවිල්ල ඔහු සිත රජයන්නට විය. ඔහු, දැන් සිය ජීවිතයට කඩා පාත් වී ඇති සමහන් කළ නොහැකි සතුරා ගැන කිසිවක් නොසිතුවේ, දැනටමත් අතීතය පියමං කර ඇති තමාට එබඳු අස්වාභාවික නිමිත්තක් නොවැදගත් බැවිනි. ඔහු, මාස ගණනාවකට පසු කිසියම් රිද්මයක් සිහින් හඳකින් මුමුණන්නට විය. එවිටම වාගේ, අතු පතර විහිදුණු ඕක් ගසක සිට, තුවක්කුවක් අතින් ගත් කිසියම් අයෙකුගේ සේයාව බිමට බටුයේය. මේ කවුරුදැයි සිතන්නට යමක් නොතිබුණි. අමුත්තාගේ පැතලි මුහුණ මත පැතිරුණු සඳපාන තුළින් ස්ටෝනර් දුටුවේ තමා ඉබාගාතේ සක්මන් කළ මුළු මහත් කාලය තුළ කිසිදා නුදුටු රුදුරු බැල්මකි. පටු මාවතට මායිම් වූ පැළ ඉණි වැට තුළින් ඉවතට පැන ගන්නට ඔහු වියරු පිම්මක් පැන්නේය.එහෙත්, වඩා දැඩි අතු පතර ඔහු වළකා ලීය. මේ පටු මාවත් අතර, නිරතුරු හක්කලම් කළ ඉරණමේ දඩ බල්ලන් මෙවර නම් වළකාගත නොහැකි විය.

Top