දුක හිතෙන කතාවක් ...(774)

post-title

 

“දැහැමි...”

ඇය පිටුපස හැරුණි. මේ හන්තාන අඩවිය යට ඇගේ සුන්දර වත මඩල පුරා සදවතක් යැයි මම නොකියමි. එහෙත් ඇය සතු සීදේවි පෙනුමට මා ප්‍රිය කළෙමි.

“ආ...නිදුක..”

ඇය මා දැක සිනා සේලයක් ගලහ පාරේ බිම හළේය. අතරින් පතර පිපුණ රොබරෝසියා මල් ඒ සිනාවෙන් ලැජ්ජාවූවා වන්නට ඇත. සරසවියේ බොහෝ සිසු සිසුවියන් ඇවිද යන මග දෙස බලා මම සිනාසුනි. ඒ දිනක් ඇය මට කියූ කරුණක් සිහිවය.

“මං ආසයි දවසක පේරාදෙණි කැම්පස් එකට එන්න... මට ලංකාවෙ වෙන කැම්පස් එකක් සෙට් උනත් මම පේරාදෙණි වෛද්‍යය පීඨය ඉල්ලාගන අඩල අඩල හරි එනවා එනවාමයි”

ඇය පේරාදෙණියට අප්‍රමාණව පෙම් කලාය. ඒ මන්දැයි මා කිසිදාක ඇසුවේ නැත. කොහොමටත් ගම්පොල පාරේ අම්බුලළුවාව පේන මානයක ඉපදුනු මට නුවර හුරුපුරුදු ය. ඇය නුවර ආවේ උසස් පෙළ කරන්නට ය. ඇගේ ජීවිතය ගෙවී තිබුනේ කොළඹ නගරයේ කොන්ක්‍රීට් ගොඩනැගිලි අතරේ ය. වෛද්‍යවරයෙක් වූ සිය පියාට මහනුවර රෝහලට පත්වීම ලැබූ පසු අම්මා ද නැති මේ සොදඳුරු දියණිය ඔහු නුවර එද්දී රැ‍ගෙන විත් තිබුණි.

“මොනාද අප්පා මට කතා කරල ඔයා තනියම පාරේ යන වාහන ගනින්න හදනවා.”

ඇය නෝක්කාඩු කියයි... මම සිනාසෙමි. සමහර විට මා මේ ඇය සමග මේ ගල‍හ පාරේ ඇවිද යන අවසන් දිනය අද විය හැකි ය. අද අපේ ටියුෂන් පන්තියේ අවසන් දිනයයි. ඇය සේම මම ද යළිත් උසස් පෙළට පන්ති යන්නේ නැත. රසායනික විද්‍යාව පන්තියෙන් අපේ උසස් පෙළ ටියුෂන් ජීවිතය අවසන් විය

දැහැමි... එක්සෑම් ඉවරවෙලා මොනා ද කරන්නේ.?

ඇය මා දෙස හිස ඇල කොට බලා සිනාසෙයි. ඒ සිනාවට මා පෙම් බදින්නට පටන් ගත්තේ මෙයට දෑ වසරකට පෙර ය. ඒ ඇය උසස් පෙළ ටියුෂන් පන්තියට පැමිණි පළමු දිනයයි. මට ඒ දිනය අද මෙන් මතකය. ඇය උන්නේ අපේ පේළියේ ය. අපි උන්නේ පන්තියේ පළමු පේළියේ ය. ඒ නිසා අප අතර මිතුරු බැඳීම ඇති වන්නට වැඩි දිනයක් නොගියේ ය. දිනෙන් දින ඇය මට ලංවිය. මම ඇයට අප්‍රමාණව පෙම් කරන්නේ මෙලෙස ලංවීම සමග ය.

“මොක ද අයියෝ මේ නිදුක ට වෙලා තියෙන්නේ...”

දැහැමි මගේ සිතුවිලි කන්දරාවට නැවතීමක් තබයි. මම සිනාසෙමින් ඒ නැවතීම මකා දමමි. අප දෙදෙනා ගලහ පාරට සිනාසෙමු. අපේ පන්තිය අවසන් වී අප හැමදාම ගලහ පාරේ පයින් ඇවිද ගියෙමු. ඒ වන විට දැහැමි ගේ පියා පේරාදෙණියේ වෛද්‍ය පීඨයේ දේශකයෙක් වශයෙන් කටයුතු කර බැවින් ඇය පන්ති අවසන් ව හැමදාමත් පියා හමුවන්නට ගියා ය. මම ගම්පල බසයක එල්ලෙන්නේ හැමදාමත් ඇයව සිය පියාට බාරදී ය.

මුකුත් නැහැ දැහැමි...

මම කිසිත් නොකියමි. අවම වශයෙන් වසර දෙකක් තිස්සේ බැදි ප්‍රේමය අදටත් සිත යට හංගාගෙන මම ඉවසා සියල්ල දරා ගතිමි.

“මුකුත් නැත්තන් කමක් නෑ .... මම ඒත් මේ බැලුවා අද ක්ලාස් එකේ අවසන් දවසෙ අපටත් හොරෙන් හිත කාටවත් දීලා ඇවිත් වත් ද ? කියලා”

මේ හිත දෙන්නට කෙනෙක් නැත. ඒ මන්ද කියා ඇය නොදනියි. ඒ මේ හිත කුලුඳුලේ ම කෙනෙකුට වෙන්කලේ මෙයට වසර දෙකකට පෙර ය. ඒ බැව් ඇය නොදනියි. මේ ගැන මුල පටන් දත් ම‍ගේ මිතුරා දිනුක නිරන්තරවම මට බැණ වදියි.

''කෙල්ලො කියන්නෙ වැල් වගේ බං එතෙන්න ගහක් හම්බවුනාම එතෙනවා. ඊට කලින් මේ ගැන දැහැමිට කියපන්.. නැත්තම් උඹට වෙන්නේ ඒකිව අහිමි කර ගන්න..''

නැත. දිනුක ගේ මේ කිසිදු අවවාදයක් මා කනකට ගත්තේ නැත. මට එයට හේතුවක් තිබුණි. දැහැමි යනු පන්තියේ උන් දක්ෂම සිසුවියයි. ඇය ගේ හීනය ශෛල්‍ය වෛද්‍යවරියක් වීම ය. ඒ සදහා ඇය අප්‍රමාණ කැපවීමෙන් පාඩම් වැඩවල නිරත විය. මට අවැසි වූයේ ඇයට ඇගේ ගමන නිදහසේ යන්නට දෙන්නට ය. එබැවින් මා සිතා උන්නේ උසස් පෙළ විභාගයෙන් පසු මගේ ප්‍රේමය ප්‍රකාශ කරන්නට ය.

ඒ මා මේ දෑ වසර පුරාවට ම සිතූ අයුරු ය. එසේ සිතා ඇය පිළිබදව වූ ප්‍රේමය මා වසං කලෙමි. එහෙත් මේ දෑ වසරේ ඇයට උන් හොදම මිතුරා මා විය. ඇය ගේ බොහෝමයක් ඕනෑ එපාකම් සොයා බලා ඒවා ඉෂ්ඨ කර දුන්නේ මා ය. යම් යම් අවස්ථාවල ඇය ට මගේ උදවු නොමැතිව කිසිදු දෙයක් කර ගත නොහැකි විය. ඇගේ පියා බුද්ධිමත් අයෙක් බැවින් අපේ මිත්‍රත්වය ඔහු මනාව තේරුම් ගන තිබුණි. එබැවින් දැහැමි ගේ හා මගේ මිතුදම තව තවත් තදින් බැදුණි. මගේ ප්‍රේමය ද රහසේම මේ තරම් දුරක් විහිදුනේ ද ඒ සමග ය.

“අයියෝ...”

පේරාදෙණිය අහස නිතර වාගේ හඩයි. යළිත් ඒ අහස හඩයි. දැහැමි ගේ ලා නිල් බ්ලවුසය තද නිල් පැහැයට හරවමින් පිනි පොකුරු ඇද හැලෙන්නට විය. ඇය හනික ඇගේ පුංචි මල් කුඩය වැසි තුවානට විරැද්ධව එසවිය.

“මෙහෙ එනෝ ...”

දැහැමි මගේ අතින් ඇද මා ඇගේ කුඩය යටට ගනියි. සරසවි පාරේ දැන් පොදයකි. මම ඒ පොදය යටින් ඇදෙන සරසවි මානවක මානවිකාවන් දෙස බලා හිදිමි. ලබන සතියේ පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් පසු දිනෙක අප ට ද මේ සරසවි මානවක මානවිකාවන් අතර සැරිසරන්නට හැකිවනු ඇත. එසද ඇය මා වම්පස හිදිනු ඇත. මම සිතුවෙමි.

''නිදුක... ඔයා අද වෙනස් ..”

පොද වැස්ස යට ඇගේ හඩ අවදිවෙයි

“නෑ දැහැමි ... එහෙම නැහැ. මේ පොඩ්ඩක් ඔලුව රිදෙනවා”

මම ඇයට බොරුවක් කියුවෙමි. ආදරය කරන අයෙකුට බොරුවක් කිවීමෙන් පසු ඇති වේදනාවෙන් ම පසුව පීඩා වින්දෙමි.

''අයියෝ ඇයි මට නොකියුවෙ?''

ඇය කලබල ය.

''නැහැ දැහැමි ඒ තරම් අමාරුවක් නැහැ. ''

“ඉන්න අපි ත්‍රීවිල් එකක යමු. ‍කොහොමටත් මට යාලුවෙක් මීට් වෙන්න යන්න ඕන”

මා ඇය වලකන්නටත් පෙර ඇය ගලහ හංදියේ ත්‍රීවිල් රථයකට අත වැනීය. මොහොතකින් අප උන්නේ එහි ය. ත්‍රීව්ල් රථයේ අමල් පෙ‍රේරා ගේ ගීයක් වාදනය වෙයි.

“මල්හීන හිත බැන් ද කිරි කෝඩු කාලේ

එක හීනයක් ගාව මම නැවතිලා

තරුවාගෙ දිලිහෙච්ච පොඩි ඇස් ඔයා ගේ

බැහැ දැන් කියා ගන්න හිත ගොලුවෙලා

දැන ගත්ත දා ඈත වෙන්වී ගියෝතින්

හැමදාම දුක් වෙන්න මා මෙහි තියා

නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්

මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා...”

හිත ගැස්සුනි. නැත ගීතය ගීතයක්ම පමණකියි කියා මම සිත සවිමත් කර ගතිමි. අවසන ඇය මිතුරා හමුවන්නට පොරොන්දු වූ තැනට පැමිනියෙමි. වැස්ස තුරල් කොට තිබුණි. අප උන්නේ ගම්පොල පාරේ ය. සැදෑහිරු අහස වසා තැඹිලි පැහැය හලමින් බැස යයි. ඈතින් අම්බුළුවාව කන්ද බලා හිදියි. පාර අයිනේ නවතා තිබුනේ නවතම වර්ගයේ හයිබ්‍රිඩ් රථයකි. එහි උන් තරුණයා උන්නේ පිළිවෙලට සැකසූ ඇදුමකින් සැරසී ය. ඔහු අප දැක සිනාසී රථයෙන් බැස ආවේත් දැහැමි ගොස් උනුසුම් හාදුවකින් ඔහුට සංග්‍රහ කලේත් එක්වරම ය. මම පසෙකට වීමි. හිත ගැස්සුනි. එහෙත් මම ආයාසයෙන් එය දරා ගතිමි.ඒ මිතුරෙකු විය හැකි ය. මම එසේ සිතුවෙමි.

''මම ඔයාට කියුවෙ රන්දුල ... මේ තමයි මගේ හොදම හොදම හොදම යාලුවා... ධර්මරාජෙ ඒ ලෙවල් සයන්ස් එකේ පට්ටම මීටරේ.. නිදුක පැහැදුල් සමරනායක''

ඇය මා හදුන්වා දුන්නේ එසේ ය. ඔහු මට අත පෑවේ ය. මම අපහසුවෙන් ඒ අත අල්වා සෙලවීමි.

''නිදුක මේ තමයි. රන්දුල වික්‍රමනායක. කරාපිටිය මෙඩිකල් පැකල්ටියෙන් පහුගිය මාසෙ අවුට් උන දොස්තර මහත්තයෙක්.. ''

 

සැනසුම් සුසුමක් ගලා ගියේය. ඔහු මිතුරෙකු විය හැකි ය. දැහැමි යලිත් තෙපලයි.

 

''තව.....කියනවා නම්... මාස හයක් තිස්සෙ මගේ පස්සෙන් ඇවිත් වද දිදී කෝල් කර කර ඉදලා අවසානෙට ඊයේ රෑ මගේ සම්පූර්ණ අයිතිය අරගත්ත මගේ ආදරණීය ප්‍රේමවන්තයා.”

 

ඇය ඔහුට තුරුල් විය. සැනසුම් සුසුම මියැදුනි.

 

මම සිනාසුනිමි. මටම පුදුමය. එහෙත් මම සිනාසුනිමි. මම ඔවුන්ට සුභ පැතීමි. වෙනසක් නොපෙන්වා ම ගම්පොල පාර දිගේ අවසන් රැස් දහරත් ගලා යන රාස්සිගේ එළිය යට ඇවිද ගියෙමි. එහෙත් මා ගිය මග සේම මින් පසු යන මග පුරාවට ද සීතල කදුලක් නම් ඇදී එනු ඇත..

------------------------------------

ලියුවේ.

Top