"එක කුස ඉපදීලා වෛරෙන් මත්වෙලා - තම සොහොයුරා මරයි වස විස දීලා " (754)

post-title

යස්සගල කඳු මුදුනින් එපිටහට හිරු අඩියටම ගිලෙමින් පැවතිණි.හේන්‍ යායේ කැලයට මායිම් වූ කෙළවරක පුපුරා ගිය රතිඤ්ඤා කරලක සද්දයට කලබල වූ මොණර කුකුළෝ හුන් තැන්වලම හිඳ මරහඬ තළන්නට වූහ.බඩපැළේ වූ මැටි කළගෙඩිය අතට ගත් අප්පුහාමි පය ඉක්මන් කළේ හේනේ මායිමෙන් ගලා ගිය පොළොංආරේ ඉවුරක හාරා තිබූ පුහුවළ වෙතටය.පොළොං ආර යනු නිකම්ම පටබැඳුණු නමක් නොවේ.එනිසාම එය ගොම්මං වැටුණු පසු එන්නට සුදුසු තැනක් නොවෙන බව අප්පුහාමි අවුරුදු ගණනක අත්දැකීමෙන්ම හොඳහැටි දනියි.පුහුවළේ දිය මඩ කර නොගෙන ප්‍රවේසමට පොල්කටුවෙන් කළයට පුරවාගත් හෙතෙම ඉක්මන් ගමනින් අඩිපාර දිගේ පැළ වෙත ඇදුණේ රෑ සප්පායම ගැන සිතමිනි.

" මාතර උන්නැහේ කොහේ ගිහින්ද කියල අපි මේ බැලුව ඒත්...."

" අපෙ අප්පෝ මේ අපේ මහත්තැන්ලනෙ...අනේ මේ තනි මම කොහේ යන්නද මහත්තයො...ආරට ගියා වතුර කළගෙඩියක් අරන් එන්න කියල.මහත්තයල ආයෙම ආවා හෙනං..." 

අප්පුහාමි බුලත් කහට බැඳුණු දසන් පෑය.හදිසියේ පැළට ගොඩවී සිටි අවි අත දැරූ කාකි ඇඳුම් ඇඳ බූට් සපත්තු පය ලෑ හමුදා නිළධාරීන් කිහිපදෙනාගෙන් ඔහුගේ පැළට එක්වූයේ අමුතු තේජසකි.මීට පෙර දිනක්ද ඔවුන් තමාගේ පැළට ගොඩවී කතා බස් කර ගිය වග අප්පුහාමිට සිහිපත් විණි.

"ඔව් අපි මේ යස්සගල කන්ද පැත්තට යන ගමන් පොඩි මුර සංචාරෙකට.දන්නැද්ද මාතර උන්නැහේ ඉතින් ඔය පොඩි පොඩි පැමිණිලි එහෙම ලැබෙනවනෙ කෑම්ප් එකට.."

" ආ ඒක හොඳයි මහත්තයෝ..උදේ ඉඳන් මූකලාන මැදින් එන්නත් ඇතිනෙ..ඉන්න මම විගහට කහට ටිකක් වක් කරල ගන්නං...මම හදාපු අග්ගලා වගේකුත් තියෙනව.."

දුම වැදී කලු ගැහුණු මුට්ටි කබල ඇතුළතින්ද දුඹුරුපැහැ ගැන්වී ඇත්තේ තේ කහටටම විය යුතුය.පහුගිය අවුරුදු පහලොවම අප්පුහාමි තේ කොළ තැම්බුවේ එහිය.වතුර ලිප තබා නටනතෙක් පොල්අතු වහලේ වූ කොක්කක එල්ලා තිබූ පන්මල්ලකින් අග්ගලා පොදියක් එලියට ගත් ඔහු එහි පිටින් හිටි හින්නන් කිහිපදෙනා ගසා බසා දමා අග්ගලා කිහිපය ඔහු සතු එකම බෙලෙක් පිඟානට දැමුවේය.

" ආ මහත්තයො..බඩඉරුඟු පිටිවලින් මං ඇනුවෙ කිතුල් පැණි දාලා..මමම මැදපු කිතුලෙ පැණි.."

"ගොඩක් ස්තූතියි මාතර උන්නැහේ..

අපිත් ගම්මු එදා කිව්ව පළියට මාතර උන්නැහේ කියනව.මාතර නිසා වෙන්න ඇති මාතර උන්නැහේ කියනව ඇත්තෙ නේද කෝපල්?..ඇත්ත නම අපි දන්නෙ නෑනෙ ? " එක් හමුදා සෙබළෙක් අනෙකෙකුගෙන් ඇසුවේ අප්පුහාමි දෙස බලාගෙනමය.

ලිපට තව සේරු මුලක් ළංකළ අප්පුහාමි පැහෙන වතුරට තේ කොළ මිටක් ගෙන හැළුවේය.

" මගේ උපන් ගම නම් මාතර තමා මහත්තයො.මාතර කඹුරුපිටියෙ.මගෙ නම අප්පුහාමි.මෙහේ ඈයො මාතර බාස් කියන්නෙ ගමේ නමට.කවුරුත් අප්පුහාමි කිව්වට මාව දන්නෙත් නෑ මයෙ හිතේ..."ඔහු නැවතත් කහට බැඳුණු දසන් දක්වා සිනාසුණි.

ආගන්තුකයෝ අප්පුහාමි විසින් පිළිගන්නන ලද කහට සමඟ අග්ගලා කෑහ.

" අප්පුහාමි මාමගෙ දරුමල්ලො එහෙම එතකොට?.. "

"මට දරුමල්ලො ගෑණු කිසිකෙනෙක් නෑ මහත්තයො.මම කලින් මහවැලියෙ හිටියෙ.ඒ ඉන්න කාලෙම උන් ඔක්කොම මාව දාලා යන්නම ගියා.ඒක දිග කතාවක්.." අප්පුහාමි දිග සුසුමක් හෙළූ නමුත් ඒ හාම මඳ සිනාවක් දෙතොළ ඇදී ගියේ පැලට එන අඩිපාර දෙස නෙත් යොමන විටය.

" ආ...ඔය එන්නෙ මගේ දරුපවුල කියනකොටම...ඕං බලාගන්න මහත්තයො මගේ දැන් දරු පවුල..මගෙ තනි නොතනියට ඉන්නෙ මේං මුන් පස්දෙනා තමයි මෙහේ දැන්..."

ඒ සමඟම කොහෙදෝ සිට දුව ආ කලු බලු තඩියාත් දුඹුරු පැහැ බැල්ලත් අවසරයකින් තොරවම වාඩියට වැදුණාහ.බැල්ලගේ බුරුල්ලෙහි එල්ලෙමින් දිව ආවේ දුඹුරු කළු පැහැ පෙරළෙන බෝලගෙඩි මෙන් වූ බලු පැටව් තිදෙනෙකි. 

"දවල් දවසෙම හේනේ සංචාරේ යනව පවුල පිටින්ම .හාවොන්ට රතිඤ්ඤා දානවනෙ හවහට යායෙ මිනිස්සු.මුන් පණ කඩාගෙන වාඩියට එන්නෙ ඒ සද්දෙට බයේ ඔය.."

අප්පුහාමි කතාකළේ ආදරයෙන් පිරුණු හඬකිනි.

"ලොකු උන්නැහෙ එහෙනම් අපි යන්නද ?..ආව වැඩේ ඉවර කරල හෙට දවල් වෙද්දි ආපහු කෑම්ප් එකට යන්නත් ඕන..බොහොම ස්තූතියි සංග්‍රහයට" 

"අනේ ඕක මොකක්ද මහත්තයෝ...ආ මේ පුවාලු ඇවරියත් අරන් යන්න අතරමඟ කන්න.හෙට යන ගමන් ගොඩ වෙලා යන්න එන්නකො..මම දළු ඉරුඟු ටිකක් තම්බලා තියන්නං"

"හරි එහෙනම් අපි යන්නන් ලොකු උන්නැහෙ..."

ඔවුන් කුරහන් ලියද්දේ නියර දිගේ පෙළට ගොස් මෑ මණ්ඩියට වැදෙන තෙක් බලාසිටි අප්පුහාමිට හදිසියේ යමක් මතක් විය.

" මහත්තයෝ පොළොංආර උඩහ පිට්ටනිය අවට තනියා ගැවසෙනවා.දළ ඇතෙකුත් ඉන්න බව ආරංචි.පරිස්සම් වෙන්න තනියා නම් නාහෙට නාහන අසමජ්ජාතියෙක්.."

" හරි මාතර උන්නැහෙ..අපි බලාගෙන යන්නම්..."

* * * * * * * *

අප්පුහාමි නිදාගන්නා පැළ තිබුණේ පෙරකී බඩපැළ හෙවත් වාඩිය අසලම තිබුණු මහ බුරුත ගහේය.දහපහළොස් දෙනෙකුට වුව නිදාගන්නට ඉඩකඩ මෙන්ම සවිසක්තිය ද ඇතිව ලී කෝටු මැස්ස මත ගොම මැටි ගා, වහළට පිදුරු සෙවිළිකර, හුළං වැස්සෙන් බේරීමට පන්පැදුරු වට ඇද්දේද ඔහුගේම දෑතිනි. ගිය කන්නයේ අග සහළෝලෙට උණ ගැනී අටේ කණුවේ ආණ්ඩුවේ ඩිස්පැන්සරියට ගිය වෙලේ තට්ට නානාගේ කඩෙන් ගෙන ආ ලොකු චිමිනි ලාම්පුව ඔහුගේ පැළට පමණක් නොව හේනේ සතරකොණටම පෙනෙන්නට එළිය විහිදුවේය.

චිමිනි ලාම්පුව, පැදුර, කොට්ටය, ඇඳ ඇතිරිලි හැරුණ විට ඔහුගේ පැල් කොටයේ තිබුණේ බැටරි කෑලි හතරේ ටයිගර් විදුලි පන්දමක් සහ වෑර්ලස් යන්ත්‍රයක් පමණි.සෝමා ඔහු සමඟ දීග ආ දා සෝමාගේ ලොකු අයියා වූ පේමරත්න විසින් තෑගි කළ බැටරි කෑලි හතරේ යුනික් රේඩියෝව එදාටත් වඩා අද ඔහුට වටින්නේ, ඔහුගේ පාලුව දුක සංකා සියල්ල මකන්නට එය සමත් වන බැවිනි.ඔහු මහවැලියේ සිට රැගෙන ආ දෙයකට ඇත්තේද එය පමණි.

වටින් පිටින් එළිය වැටීගෙන එද්දීම අවදිවූ අප්පුහාමි ඉනිමඟ බැස වාඩියට ගොස් ලිප අවුළා වතුර මුට්ටිය ලිප තබා මැස්සේ වාඩිවී හේන දෙස බලා හිඳින්නට විය.පසෙකින් පීදී එන ගොයමත්, කුරහනුත්,තිඹිරි ගහට එහායින් පීදුණ බඩ ඉරිඟුත් දකින වාරයක් පාසා ඔහුගේ සිත සතුටින් පිරේ.කුරහන් ලියද්දට එහායින් ඇත්තේ මෑකරල්,තිබ්බටු , වම්බටු , කැකිරි,කවුපි,බණ්ඩක්කා, තවත් එළවලු කීපයක්ද වගා කළ බිම් කඩකි. හේනේ තැනින් තැන දෙහි , දොඩම් ,පේර ,කෙසෙල් ගස් කීපයක්ද ඇත.මේ සියල්ලෙන් ඔහු පරිපූර්ණ යැයි ඔහුට හැඟුණත් ,හුරුපුරුදු තනිකම නම් ඔහුට අඩුවක් නොවේ.ගමේ කෙලවරක මූකලානට මායිම් වූ මේ යායට ගම්මු එන්නේ හේන් කාලයට පමණි.හේන් කන්නය ඉවර වූ විට අප්පුහාමිට මිනිස් පුලුටක් දැකගන්නට හැකි වන්නේ ද එහෙමත් කලාතුරකිනි.ඔහු මේ යායෙන් පිටවී ගමට යන්නේද ඊටත් වඩා කලාතුරකිනි.පෙර පවුලේ දරුමල්ලන් නෑදෑයින් යහළුවන් පිරිවරා හුන් ඔහුට මෙසේ තනිව සිටින්නට වේ යැයි සිතුවේ කවුද?..

" ආ පුංචි බලු රාළෙ, මොකද මේ බඩගිනි වෙලාද?..කෝ උඹලයි මහ එකී ?" ...

අප්පුහාමි කල්පනාවෙන් මිදුණේ පුලුන් බෝලයක් විත් ඔහුගේ කෘෂ දෙපා මත දැවටෙන විටය.බැල්ලද විත් අප්පුහාමිගේ මූණ බලා සිටියේ " දරුවන්ට කිරි දෙන්න මයේ බඩටත් මොනාහරි වැටෙන්නෝන රාළේ " යැයි පවසන්නාක් මෙන් යැයි අප්පුහාමිට සිතිණි.

" හිටහල්ලා ඩිංගිත්තක්.මොනාහරි රත්කරනකම් මං" 

කරවල කූරියෙක් ගෙන ලිපේ අඟුරු මතට දැමූ අප්පුහාමි එය පුලුස්සාගෙන රෑ ඉතිරිව තිබූ දංකුඩ සමඟ හොඳින් අනා වාඩිය කොණේ වූ කිරිහට්ටියක් මතට දැමුවේය.බැල්ල බත් කන දෙස ආදරයෙන් බලා සිටි අප්පුහාමිගේ සිත මහවැලියට ඉගිලුණේ ඔහුටත් හොරෙනි.

"තිරිසන් සතෙකුටවත් කරන අමනුස්ස වැඩක්ද දෙයියනේ මයෙම උන් මගේ සෝමාට කරේ?.....දරු තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් ඒකී..පොඩි එකී කුසේ උහුළන් ඉද්දි...අනේ මගේ අහිංසකී....මගෙ ඇට්ටර කොල්ලො දෙන්නා...උන් දෙන්නාම මගේම කපාපු පලු...කොයිතරම් ආසාවකින්ද කෙලි පැටික්කියෙක්ගෙ මූණ බලන්න අපි මඟ බලන් හිටියෙ සීවරං දෙයියනේ..."ඔහුගේ සිත හඬා වැටුණමුත් එකඳු කඳුළක්වත් ඔහුගේ දෑසින් නොවැටුණි. අවුරුදු ගණනාවක් රාත්‍රීන් නිදිවර්ජිතව හැඬූ කඳුළින් පහන් කර ඇති අප්පුහාමිට දැන් කඳුළු උනන්නේ නැත.එසේ වී ඇත්තේ තමන්ගේ හදවතත් ඇසුත් හා වී ඇති නහර මැරී ඇති නිසායැයි ඔහු තදින්ම විස්වාස කරයි.

කල්පනාව පිටම කහට කෝප්පයක්ම හිස් කළ අප්පුහාමි වට්ටක්කා ගෙඩියක් ගෙන එය හතරට පළා මද යන්තමින් අයින් කොට එයද ලිප තැබුවේය.

වට්ටක්කා මාලුව රසටම උයන්න දන්නී සෝමාය.ඇය අතින් ඉවුණු බතක් මාලුවක් කුළුඳුළේම කෑ දාද ඇය වට්ටක්කා මාලුවක් පිස තිබූ බව ඔහුට මතකය.අප්පුහාමි කුඩා කලම අම්මා තාත්තා දෙදෙනාම මියගොස් තිබුණේ කැලෑ උණෙනි.සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් හතරදෙනෙකු සහිත පවුලක බඩපිස්සා වූ ඔහු ඉලන්දාරි සංදියේම කඹුරුපිටියේ සිට මහවැලියට පැමිණියේ පෙදරේරුවෙකු ලෙසය.පෙදරේරුවකු ලෙස පැමිණියත් මහවැලියෙන් ඉඩම් හිමිවූ පසු තේ කඩයක හිමිකාරයෙක් මෙන්ම සාර්ථක ගොවියෙක්ද වීමට තරුණ වයසේදීම අප්පුහාමිට හැකිවූයේ ඔහුගේ ගතේ ශක්තියට වඩා හිතේ තිබූ ශක්තිය නිසාවෙනි.සුරාවෙන් සූදුවෙන් තොර ඔහු සෙල්ලක්කාරයෙකු නොවුණ මුත් යහළුවන් පිරිවරා සිටියද මහවැලියේ කිසිවෙකුට ඔලුව නැමීමටනම් කිසිවිටෙකත් නොගියේය.මහවැලියට පැමිණ ඉඩං කඩං ගත් පිටගංකාරයන් අතර වැඩිමනත් සිටියේ දකුණු පළාතේ උදවිය වූ අතර සෝමාගේ අයියා වූ පේමරත්න ,පුංචිරාළ හා ජිනදාස යන තිදෙනාම වැලිගම සිට මහවැලියේ රැකියාවට පැමිණ සිටියෝය.පේමරත්න මහවැලියේ ආණ්ඩුවේ කන්තෝරුවක සේවය කළ අතර අනෙක් දෙදෙනා අප්පුහාමි සමඟම එකම පාටියේ වැඩ කළ පෙදරේරුවන්‍ වූහ.ඒ කාලයේ පුංචිරාළ අප්පුහාමිගේ හොඳම යහළුවා වූ හෙයින් නිතර යනෙන ඔවුන් තිදෙනාගේ නිවෙස අප්පුහාමිටද බොහෝ සෙයින් හුරුපුරුදු විය.ඒ කාලයේ එක් දිනක් පාසල් නිවාඩුවට සෝමා සිය සොහොයුරන් බැලීමට මව සමඟ පැමිණ සිටියාය.සෝමා ඒ වනවිට දාසය හැවිරිදි රූමත් තරුණියකි.පළමු දැක්මෙන්ම ඇයට ආලය සිතුණ සැටිත් , පුංචිරාළ සමඟ එය කී හැටිත් , පසුව සොයුරන් තිදෙනාගේ වුවමනාවට හිස නැමූ දෙමව්පියන්ගේද කැමැත්තෙන් සෝමාගේ බලවත් අකමැත්ත මැද්දේ ඇය කරකාරයට ගත් හැටිත් අප්පුහාමිගේ මනසේ ඇඳුණේ චිත්‍රපටයක් පරිද්දෙනි.ඔහුගේ ගෙට ඈ පැමිණි මුල්ම දිනයේ ඈ පිසුවේ කැකුළු බතකුත් වට්ටක්කා මාලුවකුත් පමණි.එහි රස අදටත් අප්පුහාමිට දැනෙන්නා සේය.

" ආ ...උඹ විතරයි අඩු වෙලා හිටියෙ..

වටේ හොරගල් අහුළන්නෙ නැතුව ඇවිත් කාපං මෙන්න.." 

හාල් මිටක් ගත් අප්පුහාමි එය පැළ වටේ කැරකෙමින් සිටි මොණර නාම්බා දිහාවට විසි කළේය.අඩි හතරක පමණ දිගු පිල් කළඹක් හිමි මොණර නාම්බා හේනේ කිසිම බෝගයකට කිසිවිටෙක හානි නොකළ අතර ඉඳහිට පැමිණ අප්පුහාමිගේ සුවදුක් බලා හාල් මිටක් බත් මිටක් කා නැවත වනගත වීමට පුරුදුව සිටියේය.දිනක් කිතුල් රා පොල්කටු කීපයකින් සප්පායම් වී දහවල් වනතුරු නිදාහුන් අප්පුහාමි අවදිවනවිට දෙපා මුල මොණර නාම්බා ඇග සිටි අතර ඔහු අවදි වූ විගස පියඹා ගිය අතර සිහි එළවා බලන කල තුනට හතරට කඩා දැමූ මාපිලෙක්ගේ කෑලි ද ඒ අසලම විසිර තිබෙනු දැකිය හැකි විය.එදා පටන් ඔහු මොණරා පවුලේ හිතවතෙකු මෙන් සලකන්නට විය.හාල් අහුළමින් කෑ මොණර නාම්බා පැළේ ඉනිමං ලීයකට නැඟී නිසලව සිටින්නට විය.

" උඹේ පිල් ටිකට වඩා දිගයි බොල මගේ සෝමාගේ කොණ්ඩෙ "

මොණර නාම්බා මෙය අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ.ඒ ඇසෙන සැම විටම ඌ ඉගිළ ඈතට ගියේය.

වතුර පෙරාගත් වට්ටක්කා කැබැලි හට්ටියේම තබා ගාගත් පොල් තලයකුත් එයටම වාඩිය අසල හීන් කොච්චි ගහෙන් කඩාගත් කොච්චි මිටකුත් දමා කූරූගෑ අප්පුහාමි බෙලෙක් පිඟානෙන් එය වසා ලිපේ ගින්දර ඇද දැමුවේය.

වෑර්ලස් එකේ සෝ හඬ මැදින් " එක කුස ඉපදීලා වෛරෙන් මත්වෙලා - තම සොහොයුරා මරයි..වස විස දීලා .." බෙග් මාස්ටර්ගේ කටහඬ ඔහුට පැහැදිලිව ඇසේ.

කොතරම් ඇත්තක්ද?..සෝමා සමඟ විවාහයෙන් අවුරුද්දකට පසු ගමට වී දුක්විඳිමින් සිටි තමාගේ එක කුස ඉපදුණු සොයුරු සොයුරියන් මහවැලියට ගෙන්නාගෙන ඉඩකඩම් දී වගාකරන්නට කියාදී පදිංචි කළේ අප්පුහාමිය.අකමැත්තෙන් අප්පුහාමි හා දීග පැමිණි සෝමා නොබෝ කලකින්ම අප්පුහාමිට සිය පණටත් වඩා ආදරය කරන්නට පටන් ගත්තාය.පළමු දරුවා කුසට පැමිණීමත් සමඟම ඒ බැඳීම තවත් වැඩි වැඩියෙන් ශක්තිමත් වූ බව ඔහුට මතකය. අක්කලා අයියලා ගමට පැමිණි මුල් දිනවල නිතර නිවෙසට ආ ගිය සැටිද පසුව ටිකින් ටික සෝමා සමඟ බහින් බස් වීම් රණ්ඩු සරුවල් ඇති වූ ආකාරයද අප්පුහාමිට මතකය.ඒ කිසිවිට සෝමා රණ්ඩුවට නොගියාය.නොකිපුණාය.ඉවසීමෙන් සියල්ල දරාගත්තාය.ඇගේ ඒ ගතිගුණ නිසා අප්පුහාමි තව තවත් ඈට ආලය පෑවේය.කල් යත්ම අප්පුහාමිට සෝමා එකෙකු නොව කොලු පැටව්න් දෙදෙනෙකුම ලබා දුන්නාය.ඔහුගේ ඉඩකඩම් ව්‍යාපාර තව තවත් දියුණු වූ අතර ජනප්‍රිය "සෝමා බේකරිය " යටතේ අලුතින් බේකරිද ප්‍රදේශයේ තැන තැන ආරම්භ කිරීමටද ඔහුට හැකිවිය.ව්‍යාපාර කටයුතු නිසා ඔහු කාර්‍යබහුල වෙන අතරතුර සැමට රහසේ ඔහුගේ දේපළ කෙරෙහි ගිජුවූවන්ගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබිණි.ඒ වනවිටද සෝමා නැවත වතාවක් ගැබිණියක් වූ අතර මෙවර දූ සිඟිත්තක් ගේන බවට ඇය දිවුරා පොරොන්දු වී සිටියාය.ගෙදර සැමතැන සිරියාවෙන් පිරී තිබුණ ඒ දවස් හොරු ගෙනයන්නට ගියේ සතියකටත් අඩු කාලයකි.අප්පුහාමි නගරයට ගිය දිනක මාරයා සෝමා හා දරු දෙදෙනා කරා ලඟාවී තිබුණේ බත්පතක සැඟවීගෙනය.ගැබිණියක වූ දා පටන්ම කවුරුන් හෝ සාදා දෙන බත් කෑමට කවදත් රුසියෙකු වූ සෝමා දරු දෙදෙනාටද කවා ඉක්මනින් බත්පත කන්නට ඇත.අප්පුහාමි ඇගේ හැටි හොඳින් දනී.එහෙත් ඔහු නිවෙසට එන විට සියල්ල සිදු වී හමාරය.ලේ වමනය ගොඩක් මැද ඒ වනවිටත් මෙලොව හැරදා ගොස් සිටි සිය පුතුන් දෑතින් බදා සෝමා වේදනාවෙන් ඇඹරෙමින් වැටී සිටි හැටි ඔහු කවදා කෙසේ නම් අමතක කරන්නද ??...ඇගේ පණ ගියේ ඔහුගේ දෑත් මතය.ඔහුට එතැන් සිට අවුරුදු දෙකක් ගතවනතුරු සිදුවූ කිසිවක් අදටත් මතක නැත.මතකය ඇත්තේ සෝමාගෙ අයියාගෙ නිවෙසේ දී විශාල නින්දකින් අවදි වූ හැටි පමණි.

" උඹේ ගෑණිට දීලා තියෙන්නෙ වීදුරු කටු කුඩු බන්..කෑම එකට කලවම් කරල..."

" බඩවැල් කැපිලා නිසයි ලේ වමනෙ දාලා තියෙන්නෙ.."

" කණේරු තලල දාපු වතුරෙන් උයල දීපු බතක් "

" සර්ප විෂ දාලාලු බත් උයල දීලා තියෙන්නෙ.."

මෙකී නොකී කතාන්දර රැසක් ඔහුගේ සවනට වැටුණේ ඉන් පසුවය.ඔහුගේ වගාවන් ව්‍යාපාර කිසිවක් ඔහු සතු නොවිණි.සෝමාගෙ අයියලා නිවෙසේ තිබූ බඩු භාණ්ඩ කිහිපයක් නංගී මතක් වෙන්නට රැගෙන විත් තිබිණි.ඒ හැර සියල්ල ඒ වනවිටත් අප්පුහාමිගේ සහෝදර සහෝදරියන් සතු විය.පළිගන්නට තරම්වත් හිතට සවියක් නොතිබුණෙන් සෝමා දීග එන දා හැඳ සිටි ලාම්පුතෙල් සුවඳැති රතු ලොකු මල් ගවුමත් දරුවන් දෙදෙනාගේ කුඩා සපත්තු ජෝඩු දෙකකුත් වෑර්ලස් එකත් පමණක් බෑගයකට දමා ගත් අප්පුහාමි නොබෝ කලකින්ම මහවැලියට සමුදී දිගාමඩුල්ලට පැමිණියේ ඉන් පසුවය.එදා සිට මේ දක්වා ඔහු මේ පැළ නිවහන කරගෙන ජීවත් විය.

අතීතය මතක් වත්ම පිඟානට බෙදාගත් වට්ටක්කා උගුරෙන් පහළට නොයන්නා සේ අප්පුහාමිට දැණිනි.ඔහු පිඟාන පසෙකින් තබා මැස්සේ මඳක් හාන්සි වූයේ දෑතින්ම පපුව පිරිමැදගනිමිනි.

" අනේ මගෙ මැණිකේ උඹයි දරුවොයි මගෙ ලඟ හිටියනම් ..මම රජෙක් බන්..ඔව් මං අද රජෙක් වගේ මිනිහෙක්..."

කොහෙදෝ සිට ආ බැල්ල ඔහුගේ පාද ලෙවකනවා ඔහුට දැනිණි.ඔහු හෙමිහිට නැඟිට්ටේය.

" උඹ වාඩියට බඩක් උස්සන් ආව දවසෙ ඉඳන් මම නොකා හරි උඹලට කන්න දීලා හරි ආදරෙන් බලාගත්තෙ...උඹල විතරයි මට ඉන්නෙ දැන්...කෝ උඹේ පැටව් ටික..අම්මෙක් නේද...පලයන් ගිහින් හොයන් වරෙන් දරුවො ටික...කකුල් ලෙවකකා ඉන්නෙ නැතුව.."

බැල්ල ඇස් හීනි කර අප්පුහාමි දෙස බලාසිටියාය.අනතුරුව ඇස් හෙමින් සීරුවේ බිමට යොමාගත් ඈ වලිගය වනමින් නියර දිගේ දිවගියාය.

" අහිංසකී...මට හැබෑම ළෙංගතුයි.." අප්පුහාමි තමාටම පවසාගත්තේය.

* * * *

අප්පුහාමි දවල් බත ලිපේ තබා වම්බටු කපන්නට පටන් ගත්තේය.ගල ගා මුවහත් කළ පිහිය එක්වරම ඔහුගේ ඇඟිල්ලේ ඇතිල්ලෙනු ඔහුට නොදැනුණේ මන්දැයි ඔහුට නොවැටහුණි.ඇඟිල්ලෙන් ආ ලේ සීරාව බටු කැබලි මතින් ගලායද්දී අප්පුහාමි පිහිය ඉවත දමා අනෙක් අතින් ඇඟිල්ල මිරිකා ගත්තේය.

" නොදොමකින් මූසල පිහිය."

හදිසියේ ඇසුණ කලබලයකින් අප්පුහාමි හිස ඔසවා හේනේ ඉම දෙස බැලුවේය.කලු බල්ලා සහ බැල්ල බුරමින් යමක් දෙසට කඩාපනිනු ඔහු දුටුවේය.

කලුවා නවත්තන පාටක් පෙනෙන්නට නැත.බැල්ලද සිය ස්වාමියා පසුපසම වැටෙමින් බුරයි.දත් විලිස්සා කඩා පනියි.නමුත් කාටදැයි පෙනෙන්නට නැත.

" කලූ ...මෙහෙ වරෙන්.." අප්පුහාමි කෑගාමින්ම එදෙසට අඩිය ඉක්මන් කළේය.

එක්වරම බල්ලා ඇද වැටෙනුද දෙවෙනුවට බැල්ල ඇද වැටෙනුද දුටු අප්පුහාමිට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොවීය.බලු පැටව්න් තිදෙනාද අම්මා අසලම සිටිනු දුටු ඔහු දිවගියේ කුමක් වූවාදැයි බලන්නටය.තියුණු පිහියක් විත් බැල්ලගේ බෙල්ලෙහි ඇමිණී තිබිණි.ඇය අවසන් සුසුම් හෙළමින් සිටියාය.පැටවුන් තිදෙනා ඇගේ බුරුල්ලෙහි එල්ලෙමින් කිරි උරා බොන්නට පොර කෑවෝය.

"මේ මොන සහගහන අපරාදයක්ද..කවුද මේක කරපු අවජාතක බල්ලා..."

ඔහු උස් හඬින් කෑ ගැසුවේ කේන්තිය හා වේදනාව පාලනය කරගත නොහුණු හෙයිනි.

කැලය දෙසින් කිසිදු හැලහොල්මනක් නොතිබිණි.කිසිවෙකු වේගයෙන් දිව යන හඬත් අතු කැබලි බිඳෙන හඬත් ඔහුට පැහැදිලිව ඇසුණි.

" හෙණගහපන් තොපිට නයා පොළඟම ගහල මැරියල්ලා තොපි ..වලටත් එක්ක වැහි නැති හෙණ ගහපියව්.." 

ඔහුගේ හදවතත් ඇසුත් අතර වසර ගණනාවක් තිස්සේ නැතීවී ගිය සම්බන්ධතාව නැවත පණ ලබා ඇති බව ඔහුට දැනිණි.සත්‍ය වශයෙන්ම ඔහුගේ දෑස් කඳුළින් බොඳවෙමින් පැවතිණි.

* * *

" ලොකු උන්නැහේ මොකද මේ " 

කාකි කලිසම් කිහිපයක් මූකලානෙන් මෑත්වෙනු ඔහු යන්තමට දුටුවේය.

ඔහුට පිළිතුරු දීගන්නට නොහැකි විය.

" කෝපල් මෙයා හෙල්ලෙන්නෙවත් නෑනෙ.අසනීපයක්වත්ද..."

ඒ වනවිටත් අප්පුහාමි හිටියේ ශරීරයට අඩි කිහිපයක් උඩින් අහසේ පාවෙමිනි.

සෝමා දරු දෙදෙනා මෙන්ම බැල්ල සහ කලූද ඔහු පසෙකින් වූහ.සෝමා ඔහු වැළඳගත්තී දරුවන්ද ළංකරගනිමින් සෙනෙහසින් කඳුළු හැළුවාය.

"සෝමා...."

" මයෙ අප්පුහාමි අයියා..." ඇගේ හඬ ඉකිබිඳෙයි.

* * * * *

" කෝපල්..බල්ලයි බැල්ලියි දෙන්නත් මරල දාලා..අරුන් මෙහෙන් පැනල යද්දි ඇටෑක් කරල වගේ...පිහි තමයි තමයි විසිකරලා මරල තියෙන්නෙ...මෑන්ගෙත් හාට් එක ඩව්න්.."

" මුන් මේ මනුස්සයවත් මරලද ඒ කියන්නෙ ?..."

" තුවාල නම් මොකුත්ම පේන්න නෑ කෝපල්...කෝකටත් පොලිසියට ඉන්ෆෝම් කරමු බොඩි එක ගැන.."

පුලුන් බෝල තුනක් බැල්ලගේ බුරුල්ලෙන් මිදී ඔවුන් දෙසට පෙරළී ආවේ එවිටය.

" අපි මෙයාලව කෑම්ප් එකට අරන් යමුද ?.අම්මයි තාත්තයිත් නෑ අප්පුහාමිත් නෑනෙ දැන්.." එක් සෙබළෙකුගේ උණුවූ හදවතට පිං සිද්ධ වෙන්නට අහිංසක පුලුන් බෝල තුන කාකි ඇඳුම්වල උණුසුමට ගුළිවූයේ එලෙසය.

"මහත්තයෝ...වාඩියේ බත් ඇති..මහත්තයලටම තම්බපු දලු ඉරිඟුත් හට්ටියෙ..මහන්සිය යන්න කහට එකක් වත් වක්කරං බීලා යන්න."

සියල්ල බලා සිටි අප්පුහාමි කෑ ගසා කීවේය.ඇසුණාද නෑසුණාද ඔහුට නිච්චියක් නැතිය.කොලු පැටව්න් දෙදෙනා දෝතින් වඩා වඩා ගත් ඔහු සෝමාද පපුවට තුරුල් කරගත්තේ උතුරා ගිය සෙනෙහසිනි.

කාකි ඇඳුම් පුලුන් බෝලද රැගෙන අප්පුහාමිගේ වාඩිය කරා නික්මිණි.

Top